ගම්භාර දෙවියන්ගෙන් අපමණ පිහිට ලැබෙන පූජාවක් | සිළුමිණ

ගම්භාර දෙවියන්ගෙන් අපමණ පිහිට ලැබෙන පූජාවක්

 

මෙරට බැතිමතුන් ඉමහත් ගෞරවාදරයෙන් පුද පූජා පවත්වන දෙවියකු ලෙස සිද්ධ ශ්‍රී සූනියම් දිව්‍යරාජයා දැක්විය හැකිය. ගමභාර දෙවියන් වශයෙන් ද හැඳින්වෙන සිද්ධ ශ්‍රී සූනියම් දෙවියන්ගෙන් පිහිට ලබාගත හැකි පුද පූජා පිළිබඳවයි මෙවර දැනුම්වත් කිරීම.

කුලියාපිටිය ඇඹව කබලෑ සිද්ධ ශ්‍රී සූනියම් දෙවියන්ගේ පුරාණ මුල් අරහන්තය, කුලියාපිටිය කබලෑව සිද්ධ ශ්‍රී සූනියම් දේවාලය, මිනුවන්ගොඩ ගලේ දේවාලය ඇතුළු රට පුරා විසිරී පැතිරී ඇති සූනියම් දේවාල උන්වහන්සේගේ ඔද තෙද බල පවතින ස්ථාන වශයෙන් සැලකෙන අතර කතරගම සිද්ධ ශ්‍රී සූනියම් දේවාලය ද උන් වහන්සේ වෙනුවෙන් දිනපතා පුද පූජා පැවැත්වෙන බැතිමතුන් පිහිට පතා පැමිණෙන ප්‍රකට දේවාලයකි.

“සව්නියම් = සූනියම් සව්නියම් යනු සියලු ගම් නියම් ගම්ය. ගම්බාර දෙවියන් ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන් වන්නේ ඒ අනුවයි.ශ්‍රී ලංකාවේ සියලු ගම් නියම් ගම්, ආරාම පන්සල් දේවාලවල සිය අණසක පතුරමින් ඇල්ම බැල්ම ආකර්ශණය ලබා දෙන ඔද තෙද බල දුකට පිහිට වන පින්වත් දෙවියන් ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන්ය. ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයා සමඟ ඉතා කුලුපග ඇසුරක් ඇති සූනියම් දෙවියන් ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පෙනී සිටිමින් බැතිමතුන්ට පිහිට වන පින්වත් දෙවියෙකි. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්ට බාරහාර වෙමින් පිහිට පතන අයට ක්ෂණයෙන් එම පිහිට ලබා දීම ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා විසින් පවරන්නේ සිද්ධ ශ්‍රී සූනියම් දෙවියන්ටයි. ඒ තරමට ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා සහ සිද්ධ ශ්‍රී සූනියම් දෙවියන් සම්බන්ධයි.

අපේ විහාරස්ථ පුරාණ ටැම්පිට විහාරයේ වඩා හිඳුවා ඇති මහා බලැති පෞරාණික ශ්‍රී විෂ්ණු දේව පිළිරුව මුල් කරගෙන බුද්ධ පූජා පවත්වා ශ්‍රී විෂ්ණු දේව පූජා පැවැත්වීමෙන් අනතුරුව රාත්‍රි 10 .36 ට ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා වෙනුවෙන් දින 21 ක් ගෙයින් පිටත පහනක් දල්වා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාට සහ සිද්ධ ශ්‍රී සූනියම් දෙවියන්ට පින් දෙන පූජාව අනාදිමත් කාලයක සිට අපේ විහාරස්ථානය මුල්කොට පැවැත්වෙන පූජා විධිය. එයට හේතුව ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා සහ සිද්ධ ශ්‍රී සූනියම් දෙවියන් අතර ඇති මේ කුලුපග බවයි. පුර පක්ෂයට බලගතු දේවතාවකු ලෙසත් අව පක්ෂයට ප්‍රබල යක්ෂ සේනාධිපතියකු ලෙසත් කටයුතු කරන සිද්ධ ශ්‍රී සූනියම් දෙවියන්ගේ පිහිට පතද්දී මෙම තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි.

මෙහිදී පුර සහ අව පක්ෂයන් පිළිබඳ ඔබට අවබෝධයක් තිබිය යුතුයි.

මාසෙ පෝය නැත්නම් අමාවක පෝය දිනයෙන් පසු උදා වන්නේ පුර අටවක පොහෝ දිනයයි. එදින සිට පුර පසළොස්වක පුන් පොහෝ දින පසුවී උදාවන අව අටවක පෝය දිනය දක්වා කාලය පුර පක්ෂයයි.

ඉතිරි කාලය අව පක්ෂයයි. පුර පක්ෂයේ ඕනෑම දිනක රාත්‍රි 10.36ට ඊසාන දිසාවට මුහුණ ලා සකස් කරගත් පහන් පැලක පහනක් දල්වා පිහිට පතන ඕනෑම අයකුට මවක්, පියකු දරුවකුට පිහිට වෙනවා උපකාර කරනවා මෙන් ගම්භාර දෙවියන්ගේ පිහිට ලැබෙනවා. එසේ පහන් පූජා කරන විට සමන්පිච්ච මල් කිහිපයක් පූජා කිරීම ගම්බාර සිද්ධ සූනියම් දෙවියන් අතිශයින්ම ප්‍රිය පූජාවක්. තිසරණ සහිත පංචශීලය සමාදන් වීමෙන් පසු සුපුරුදු බුද්ධ පූජා පවත්වන්න.

ඉන් අනතුරුව දේවාරාධනා ගාථාව කියමින් දෙවියන්ට ආරාධනා කරන්න. කරණීය මෙත්ත සූත්‍රය එක් වරක් සඡ්ඣායනා කර පහත සඳහන් මහා බලගතු සූනියම් දැහැන ගෞරවයෙන් යුතුව සඡ්ඣායනා කරන්න.

සූනියම් දැහැන

සිරස මිණි ක්‍රීට කනක රත්න මිණි රුවන් රැසින් යුත්

වුවනත පුර සඳ මඩල සවන්

සක් මද ගෙල උරගාභාරණ යුත්

පනිඳු බරණින් ළමැද නීල මිණිබරණ සැදි

තුරඟ වාහනාරූඪව පාද සූකර අයුරු දකුණත රන් කඩුව ගෙන වමත ගිනි දැලින් සැදි

මෙසේ දස දිග දස අවතාරයෙන් දිවැස් ඇති ඔඩ්ඩි වඩිග පිල්ලි සූනියම් දේවාස්වාමි නමෝ නමහ්

මේ සියලු වතාවත් අවසන් වූ පසු මෙම ගාථාවෙන් ගම්බාර සිද්ධ ශ්‍රී සූනියම් දේවතාවුනට පිනඅනුමෝදන් කර අවසානයේ ආකාසට්ඨා ච...ගාථාවෙන් සමස්ත දේව සමූහයාට පින් දෙන්න.

සූනියම් දෙවියන්ට පින් දීමේ ගාථාව

නා නා වන්ණෝ මහා තේජෝ

ඕදාත හය වාහනෝ

ග්‍රාම සංචාරකෝ දේවෝ

ඉමං පුඤ්ඤානු මෝදතෝ

 

 

 

 

වාරියපොල කොළඹගම

ශ්‍රී මියුගුණාරාම රාජමහා

විහාරාධිකාරි,

ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ

පේමරතන ස්වාමීන්වහන්සේ

(කොළඹගම පොඩිහාමුදුරුවෝ) 

Comments