
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
පාරින්ද්‍ර සුගතදාස
ඒ රාෂ්ටක කාල වකවානු ඉතා අවාසනාවන්ත බවත් එම කාල සීමාව තුළ මරණය සිදු වීම, තදබල අසනීප සෑදීම, රැකියා නැති වීම, විවාහ ජීවිත දෙදරා යෑම වැනි අසුබ සිදුවීම් සිදුවන බවත් ජනගත වී ඇත. එහෙත් ප්‍රායෝගිකව මා විසින් මගේ ඒරාෂ්ටක කාල වකවානුවල ලබා ඇති අත්දැකීම්වලට සහ ඒරාෂ්ටක කාල වකවානු ලබා ඇති කේන්ද්‍ර සටහන් දහස් ගණනක් පරීක්ෂා කිරීමෙන් ලබා ඇති අත්දැකීම්වලට අනුව පැවසිය හැක්කේ ඒරාෂ්ටක කාල වකවානු ගැන ජනගත වී ඇති අසුබ ආකල්ප පිළිබඳ කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බවය.
ඒරාෂ්ටක කාල වකවානුවල අසුබ සිදුවීම් පමණක් සිදුවන බවට ජනගත වී ඇති අදහසට අභියෝග කළ හැකි වර්තමානයේ පවතින ඉතා විශිෂ්ට උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා හැඳින්විය හැකිය. මීට පෙර හය වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්ව ඇති එතුමා, එවකට සිටි රාජ්‍ය නායකයාගේ ඝාතනයෙන් පසු එතුමාවත් නොසිතූ ලෙස ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇත්තේ එතුමාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උපන් දින සටහනට සහ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර සහ ලග්න ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කරද්දීය. මෙහි විශේෂත්වය වන්නේ එතුමන් 2022 වසරේදී එතුමාවත් නොසිතූ මොහොතක හය වැනි වතාවට අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙද්දී, ඒරාෂ්ටකයේ අවසාන අදියර සහ ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත කරමින් සිටීමය. කෙසේ වෙතත් මෙම ඒරාෂ්ටක කාල වකවානුව ගත වෙද්දී එතුමන්ගේ එකම නිවෙසට සතුරන් විසින් ගිනි තබන ලද අතර, පණ මෙන් රැකගෙන සිටි පුස්තක සහ වෙනත් සිහිවටන විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ විය. එතුමා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙද්දී මෙන්ම ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිතුමා ලෙස මුල් පුටුවට පත් වද්දීද එතුමන්ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවෙමින් තිබී ඇත. මෙයින් පෙනී යන්නේ තදබල ඒරාෂ්ටක කාල වකවානු ගත වද්දී, අභියෝග මධ්‍යයේ වුවද, බලාපොරොත්තු රහිත ලෙස ඉතා ඉහළ තනතුරු, ලාභ පවා ලැබෙන්නට ඉඩ ඇති බවය. එනම් ඒරාෂ්ටක පිළිබඳ ජනගත වී ඇති අසුබ ආකල්ප පිළිබඳ අපට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් නොව ඊට පෙර රාජ්‍ය නායකත්වයට පත්වූ රාජ්‍ය නායකයන්ගෙන් බහුතරයක් ද රාජ්‍ය නායකත්වයට පත්වූ කාල වකවානුවල තදබල ඒරාෂ්ටක කාල වකවානු ගත කරමින් සිටීම මෙහිදී සැලකිය යුතු කරුණක් වෙයි.
මේ දිනවල 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා දක්වාම මකර ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වන අතර, මිථුන ලග්න හිමියන්ට ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙයි. මීට අමතර ලෙස මේ දිනවල සිට 2021 වසරෙහි ජනවාරි 17 වැනිදා දක්වා ඉදිරියට පවතින කාල සීමාව තුළ ධනු ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකයේ අවසාන අදියර ද, කුම්භ ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකයේ පළමු අදියර ද ගත වෙයි. මීට අමතර ලෙස උත්පත්ති කේන්ද්‍ර සටහන්වල චන්ද්‍රයාගේ පිහිටීම අනුව ජන්ම ඒරාෂ්ටක උදා වන අතර, ඒ අනුව උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව පෙර කී ලග්න හිමියන්ට ද වඩා ඒරාෂ්ටක කාල වකවානුවලදී උත්පත්ති අභියෝගවලට මුහුණ දීමට සිදු වීම ස්වාභාවිකය. නොඑසේ නම් සමහරවිට බරපතළ බාධාවලට මුහුණ දීමට සිදුවිය හැකිය. නමුත් එම බරපතළ බාධා මධ්‍යයේ ලබන නොසිතූ දැවැන්ත ජයග්‍රහණවලට ද ඒරාෂ්ටක කාල වකවානුවලදී ඉඩකඩ ඇත. උදාහරණ ලෙස ඒරාෂ්ටක කාල වකවානුවලදී ජීවිතයේ පළමු වතාවට සිදු වන සුබ හෝ අසුබ සිදුවීම් පෙන්නුම් කෙරේ. ජීවිතයේ පළමු වතාවට පොතක් ලිවීම, විවාහ වීම, ජීවිතයේ පළමු වතාවට ප්‍රේම සබඳතාවක් ඇති වීම, ජීවිතයේ පළමු වතාවට විශාල අනතුරක් සිදුවීම, ජීවිතයේ පළමු වතාවට ශල්‍ය කර්මයක් සිදු කිරීම, ජීවිතයේ පළමු වතාවට ගෙයක් සෑදීම, ජීවිතයේ පළමු වතාවට ඉඩමක් මිලදී ගැනීම, ජීවිතයේ පළමු වතාවට වාහනයක් මිලදී ගැනීම, ජීවිතයේ පළමු වතාවට විදේශයකට පදිංචියකට යෑම, ජීවිතයේ පළමු වතාවට විදෙස් ගතවීම, ජීවිතයේ පළමු වතාවට ප්‍රසිද්ධිය උපරිම වීම, ජීවිතයේ පළමු වතාවට අපූරු පුද්ගලයකු මුණ ගැසීම, ජීවිතයේ පළමු වතාවට ආධ්‍යාත්මික මට්ටම වෙනස් වීම වැනි සුවිශේෂී සිදුවීම් ඒරාෂ්ටක කාලවකවානුවල සිදු වන බව අප විසින් අත්දැක ඇත. කෙසේ වෙතත් ඒරාෂ්ටක කාල වකවානුවලදී සාමාන්‍යයෙන් අසනීප පිළිබඳව ද, අනතුරු පිළිබඳව ද, රැවටිලි වලට හසුවීම පිළිබඳව ද සැලකිලිමත් විය යුතු අතර, පවුලේ කිහිප දෙනකුට එකවර ප්‍රබල ඒරාෂ්ටක ඇත්නම් එම කාල වකවානුව තුළ කම්පාකාරී සිදුවීම්වලටද ඉඩ ඇත. විශේෂයෙන් ඒරාෂ්ටක කාලවකවානු තුළ සිදුවන රැවටිලිවලට හසුවීම් හෙළි වන්නේ සමහරවිට එම කාලවකවානුව නිම වීමෙන් පසුව විය හැකි අතර ඒරාෂ්ටක කාලවකවානුවල ඇති වන අසනීප හෙළි වන්නේ ද එම කාලවකවානුව නිම වීමෙන් පසුව විය හැකිය.
ඒරාෂ්ටක කාල වකවානුවලදී සෙනසුරාදා දිනවල නිර්මාංශව සිට එම පිනෙන් අපල දුරු වේවා! යැයි සිතීම සුදුසු වන අතර, සෙනසුරාදා දිනවල උදෑසන 6.00ත් උදෑසන 10.00ත් අතර කාල සීමාව තුළ උපවාසයේ යෙදී එම අධිෂ්ඨාන ශක්තිය තුළින් අපල දුරු වේවා! යැයි සිතීම ද සුදුසුය. මීට අමතරව උපවාසයේ අවසාන කොටස තුළ නොහොත් කුසගින්න උපරිම වද්දී මිදුලේ හෝ වත්තේ සිටින කළු පාට කූඹින්ට උන් ආහාරයට ගැනීමට කැමති සීනි වැනි කෑම වර්ග දී උන් ඒවා රස කර කර ආහාරයට ගන්නවා කුසගින්නේ බලා සිට එම පිනෙන් අපල දුරු වේවා! යැයි සිතීම සුදුසුය. තවද සෑම සෙනසුරාදා දිනකම, තෝරාගත් මහලු, කකුලක් කොර ගසන අයකුට මුදලක් පරිත්‍යාග කර එම පිනෙන් අපල දුරු වේවා! යැයි සිතීම ද සුදුසුය. තවද සෙනසුරාදා දිනවල පැරණි බෝධියක් අසල බෝධි පූජා තබා එමඟින් රැස් කර ගන්නා පින බෝධියට අරක් ගත් දෙවි දේවතාවන්ට අනුමෝදන් කර එම දෙවිවරුන්ගේ ආශිර්වාදය සහ රැකවරණය පැතීම සුදුසුය. සෙනසුරාදා දිනවල, දුගී මගී යාචකයන් 10 දෙනකුට පමණ බත් පාර්සල් බෙදා දී එමඟින් අපල දුරු වේවා යැයි සිතීම ද වත් පිළිවෙතකි. එමෙන්ම සෙනසුරාදා දිනවල නිල් පාට ඇඳුම් දන් දීම මඟින් ද, සෙනසුරාදා දිනවල රාත්‍රී 8.00 ත් 9.00ත් අතර කාල සීමාව තුළ නිල් පාට මල් පූජා කර බුදුන් වැඳ රැස් කර ගත් පින් දෙවිවරුන්ට අනුමෝදන් කර දෙවිවරුන්ගේ ආශිර්වාදය සහ රැකවරණය ප්‍රාර්ථනා කිරීම මඟින් ද අපල දුරු වනු ඇත.
******************
බිලිඳු නමට අකුරු - අගෝස්තු 14 සිට අගෝස්තු 20 දක්වාඅගෝස්තු 14 ඉරිදා
අගෝස්තු 14 ඉරිදා 21.55 තෙක් පුවපුටුප නැකතයි. සුදුසු අකුරු සෙ, සො, ද, දි
අගෝස්තු 15 සඳුදා
අගෝස්තු 14 ඉරිදා 21.55 සිට අගෝස්තු 15 සඳුදා 21.06 තෙක් උත්‍රපුටුප නැකැතයි. සුදුසු අකුර දු.
අගෝස්තු 16 අඟහරුවාදා
අගෝස්තු 15 සඳුදා 21.06 සිට අගෝස්තු 16 අඟහරුවාදා 21.06 තෙක් රේවතී නැකතයි. සුදුසු අකුරු දෙ, දො, ච, චි
අගෝස්තු 17 බදාදා
අගෝස්තු 16 අඟහරුවාදා 21.06 සිට අගෝස්තු 17 බදාදා 21.56 තෙක් අස්විද නැකතයි.
සුදුසු අකුරු චු, චෙ, චො, ල
අගෝස්තු 18 බ්‍රහස්පතින්දා
අගෝස්තු 17 බදාදා 21.56 සිට අගෝස්තු 18 බ්‍රහස්පතින්දා 23.35 තෙක් බෙරණ නැකතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
අගෝස්තු 19 සිකුරාදා
අගෝස්තු 18 බ්‍රහස්පතින්දා 23.35 සිට අගෝස්තු 19 සිකුරාදා මුළු දවස පුරාම කැති නැකතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ
අගෝස්තු 20 සෙනසුරාදා
අගෝස්තු 19 සිකුරාදා දවස පුරාම පවතින කැති නැකත අගෝස්තු 20 සෙනසුරාදා 1.53 තෙක් පවතී. සුදුසු අකුරු අ, ඉ, උ, එ. ඉන්පසු උදාවන රෙහෙණ නැකත 21 ඉරිදා 4.39 තෙක් පවතී. සුදුසු අකුරු ඔ, ව, වි, වු.
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.