
බුද්ධිය, ප්‍රඥාව, ප්‍රතිභාව සන්නිවේදනය යනාදී කරුණු නිවේදනය කරන බුධ සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහ තාරකාවයි. සෞම්‍ය, චන්ද්‍ර පුත්‍ර, කුමාර බෝධන යන නම් වලින් ද හඳුන්වනු ලබන බුධ ඔබගේ මතක ශක්තිය අවදි කර මඟ, නොමඟ හෙළි පෙහෙළි කර දෙයි. ඒ නිසා මෙය අභියෝගාත්මක ග්‍රහ මාරුවක් ලෙස හඳුන්වා දිය හැකිය. බුධ තරුවේ බලපෑම නියමාකාරයෙන් ලද අය විහිළුවෙන් කාලය ගෙවන ප්‍රිය මනාප ලෙස හැසිරෙන ආකාරයක් දිස්වෙයි. එකම නරක ලෙස පෙන්නුම් කරනු ලබන්නේ සංයෝග වන ග්‍රහයාගේ ගතිගුණ ආරෝපණය කර ගැනීමයි.
2022 අගෝස්තු මස 21 වැනි දින අලුයම 02.06 ට කන්‍යා රාශියට පිවිසෙන බුධ, ඔක්තෝබර් මස 26 දින තෙක්ම සිය චලිතය පවත්වාගෙන යන්නේ උච්ච, මූලත්රිකෝණ, ස්වක්ෂේත්ර යන උපරිම බලයකින් යුතුවයි. එම කාල සීමාව තුළ පොත පත පරිශීලනය, පොත් ප්‍රදර්ශනය, පොත් එළිදැක්වීම්, සංස්කෘතික උත්සව මෙන්ම දරුවන්ට අකුරු කියවීමේ සරස්වතී යෝග ද යෙදෙයි. එපමණක් නොව මේ කාල සීමාව තුළ උපදින දරුවන්ට පංචමහා පුරුෂ යෝගවලින් එකක් වන භද්‍රා යෝගය ද යෙදීමෙන් අනාගතයේ රටට ලෝකයට වැඩදායක වන බුද්ධිමතුන් බිහිවෙයි. එනිසා මෙය ඉතා අගනා පෙරළිකාර ග්‍රහ මාරුවක් බව ද සඳහන් කරනු කැමැත්තෙමි. ලග්නයෙන් ලග්නයට මෙහි බලපෑම කෙසේදැයි විමසා බලමු.
මේෂ - සතුරු කරදර දුරුවෙයි
ඔබගේ 6 වැන්න තුළ බලවත් වන බුධ 3 වෙනි සහ 6 වෙනි භාවයන් නියෝජනය කරන බැවින් මිශ්රඵල ඇති කරයි. සහජ දක්ෂතා වැඩි දියුණු කරන සතුරු කරදර පලවා හරින සහෝදර ඵල වැඩි කරන ග්‍රහමාරුවක් වනු ඇත. 6 වැන්න රෝගස්ථානය සතුරු ස්ථානය බැවින් ඔබට හතුරුකම් කරන අය සිටින්නට පුළුවන. ඒ ගැන කල්පනාකාරී වන්න. රැකියා තත්වයන් දියුණු හා උසස් අන්දමින් කරගෙන යෑමට හැකිවන අතර, ලිපි ලේඛන ආදියෙන් සුබඵල හිමිවෙයි. තුනටියේ වේදනා, මුත්‍රා ආසාදන ඇතිවිය හැකි බැවින් කොහොඹ කොළ තම්බා ගත් වතුර ස්නානය සඳහා යොදා ගැනීමෙන් අසනීප අඩුවේ.
වෘෂභ - ආර්ථිකය ශක්තිමත් වෙයි
ඔබගේ කේන්ද්‍රය අනුව 5 වැන්නේ ගෝචර වන බුධ ග්‍රහයා 2 වැන්නට ද අධිපති වෙයි. දියුණුව, වාසනාව පෙන්වන මෙම ග්‍රහ මාරුව නිසා ඔබගේ ආර්ථිකය ශක්තිමත් වෙයි. ඉගෙන ගන්නා දුවා දරුවන්ගේ ධාරණ ශක්තිය වර්ධනය වනවා පමණක් නොව ඉලක්ක සපුරා ගැනීමට හැකිවේ. වචනයේ ප්‍රබලත්වය සහ කරුණු අවබෝධ කරදීමේ හැකියාව නිසා ඔබගේ ප්‍රියමනාප බව වැඩිවේ. ආමාශගත සුළු අසනීප මතුවිය හැකිය. බුධ ග්‍රහයාගේ වෘක්ෂය වන කොහොඹ පැළයක් ගෙමිදුලෙහි සිටුවා සත්කාර කළ හැකි නම් අපල උපද්‍රව සමනය කරගත හැකිය.
මිථුන - විභාග ජය
ඔබගේ කේන්ද්‍රයේ සිවුවැන්නේ ගෝචර වන බුධ ඉතාම සුබවාදී ප්‍රතිඵල ලබාදෙනු ඇත. ලග්නාධිපති වන බුධගෙන් ගේ දෙර ඉඩකඩම් ගැටලු නිරාකරණය වන අතර, ඉගෙන ගන්නා දුවා දරුවන්ට යහපත් අධ්‍යාපනයක් දෙයි. ඔවුන්ගේ විභාග ජයග්‍රහණය කර ගැනීමට අවශ්‍ය දැනුම් සම්පාදනය කරයි. ධනය පිළිබඳ ගැටලු ඇති නොවනු ඇත. හැකිනම් නාමල් වට්ටියක් බුදුන්ට පූජා කරන්න. අපල ඇතොත් මගහැරී යයි.
කටක - විදෙස් ගමන් සඵල වෙයි
ඔබගේ කේන්ද්‍රයට අනුව තුන්වැන්න වූ වික්‍රමස්ථානයේ ගෝචර වන බුධ ග්‍රහයා 12 වැන්න අධිපතිකම ද උසුලයි. ඔබගේ කථා විලාසයෙන් අන්‍යයන්ගේ සිත් ඇදගන්නා බැවින් ආර්ථික ලාභ හිමිවෙයි. ව්‍යාපාර සහ කෘෂිකාර්මික කටයුතු දියුණු වෙයි. අධ්‍යාපන ක්ෂේත්රයේ සුළු සහනදායී පිළිවෙත නිසා දරුවන්ගේ අලස ගති මගහැරී යයි. බුධගේ බලපෑම අනුව නැණ නුවණ ගෙන දෙයි. විදෙස්ගතවීම් ද දක්නට ඇත. වාසනාවන්ත ග්‍රහ මාරුවකි. ගිතෙල් පූජා කිරීමෙන් බුධගේ අපල ඇත්නම් අඩුවේ. පාදවල සහ උරහිස් වේදනා මතු කරයි.
සිංහ - අවිවාහකයන්ට මංගල යෝග
2 වැන්න සහ 11 වැන්න අධිපති ලෙස බුධ ලග්නයේ දෙවැනි භාවයේම ගෝචර වෙයි. ප්‍රිය වචනයට අන්‍යයන් ගරු කරයි. ආදායම් තත්ත්වය ඉතා හොඳයි. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල හිමිවේ. විදේශගතව ඉගෙන ගන්නා දරුවනට ද සුබඵල අත්වෙයි. අවිවාහකයනට මංගල යෝග උදාවෙයි. සියලු ලැබීම් සහිත කාල වකවානුවකි.
කන්‍යා - රැකියාවෙන් උසස් වීම්
ලග්නාධිපති ලග්නයේම බලවත් වන අතර එම බුධ ග්‍රහයා 10 වැන්න වූ රැකියා ස්ථානයේ ද අධිපතිත්වය උසුලයි. ඒ අනුව කරන කියන රැකියා කටයුතු බුද්ධිය මෙහෙයවා කිරීමෙන් ප්‍රධානීන්ගෙන් උදවු උපකාර හිමිවේ. ලග්නයේ බුධ බලවත්ව සිටීම අනුව ඔබට කීර්තිය ගෞරවය පමණක් නොව ඥාන ශක්තිය ද වර්ධනය වේ. උසස්වීම් හිමිකර දෙයි. ලිපි ලේඛනවලින් ජයග්‍රාහී පියවරක් තබයි. දරුලාභ හිමිවෙයි. භද්රායෝග බලය හොඳින්ම පෙන්නුම් කරයි.
තුලා - අන්‍යයන්ගෙන් උපකාර
ඔබගේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයාගේ ගෝචරය සිදුවන්නේ 12 වැන්නටයි. එම බුධ 9 වැන්නේ ද අධිපතිත්වය උසුලයි. ඒ නිසා බුද්ධියෙන් කටයුතු කිරීමෙන් සහ පුණ්‍ය කටයුතු සිදු කිරීමෙන් ජීවිතය ඵලදායි කර ගැනීමට ඔබට හැකිවේ. විදේශ අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කර තිබෙන දරුවන්ට ඒ සඳහා ඉඩකඩ සැලසෙයි. දුර බැහැර මෙන්ම විදේශගත අයගෙන් උදවු උපකාර හිමිවේ. අසරණ වූ අයකුට පිහිට වීමට හැකි නම් එය මහත් පින්කමකි.
වෘශ්චික - හදිසි ධන ලාභ
කේන්ද්‍රයේ 8 වැන්න සහ 11 වැන්න නියෝජනය කරන බුධ ග්‍රහ තාරකාව අයස්ථානය වූ සිය භාවයේම බලවත් වී ඔබට නොසිතූ ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. රැකී රක්ෂා කටයුතුවලින් ද වෙනත් ඥාති හිතවත් අයගෙන් ද ලාභ ප්‍රයෝජන හිමිවන අතර විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයට ද ඒ සඳහා අවස්ථාව සැලසෙනු ඇත. කලින් අවස්ථාවල මගහැරී ගිය දියුණුව යළි නඟා සිටුවා ගැනීමට බුද්ධිමත්ව සිතා බැලීමෙන් ඔබට හැකියාව ගෙන දෙයි. උදේ සවස ජය පිරිත ශ්‍රවණය කරන්න.
ධනු - අාදායම් ඉහළට
ලග්නයට බල පවත්වන ඒරාෂ්ටකය ගෙවීගෙන යන මේ කාලය තුළ බුධ ග්‍රහයා 10 වැන්න තුළ බලය පතුරුවා හැරීම ආශිර්වාදයකි. 7 වැන්නේ ද අධිපතිකම උසුලන බැවින් ව්‍යාපාර හා රැකී රක්ෂාවල ආදායම් තත්ත්වය ඉහළ ප්රතිලාභ මත කරගෙන යා හැකිය. මේ කාලය තුළ ඔබට ධර්ම කර්මාධිපති යෝගය ද බලපවත්වන බැවින් විදේශ ගමන් ද සාර්ථක විය හැකිය. ජයග්‍රහණ අත්පත් කර ගැනීමට මඟ කියා දෙන අතර අධ්‍යාපන කටයුතුවලින් උසස් විභාගවලින් ජය අත්වේ.
මකර - දේපළ ගැටලු නිරවුල් වෙයි
ඔබගේ කේන්ද්‍රයට අනුව 6 සහ 9 වැන්න බුධගේ අධිපතිත්වය දරන රාශීන් වේ. අටවැන්න තුළ බුධ සිය උපරිම බලය පතුරුවා හැරීම තුළින් විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයට ද උසස් අධ්‍යාපන කටයුතු කරන අයට ද සුබඵල පමුණුවයි. එමෙන්ම දේපළ පිළිබඳ ගැටලු පැවතියේ නම් ඒවා ලියකියවිලි මඟින් පවරා ගැනීමට ද ඉඩකඩ ලැබෙනු ඇත. පුණ්‍ය කටයුතුවලට නිරතුරුව සහභාගි වන්නට ඉඩකඩ සැලසේ. ඒරාෂ්ඨක අපල පවතින මේ කාල සීමාවේ බුද්ධිමත්ව ජීවිතය හසුරුවා ගැනීමට මෙම බුධ මාරුව උපකාරී වේ.
කුම්භ - දරුඵල සඵල වෙයි
ඔබගේ කේන්ද්‍රයට අනුව 5 වැන්න සහ 8 වැන්න අධිපතිත්වය උසුලන බුධගේ ඥාන ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට හැකිවේ. දරුවන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවීමේ ප්‍රවණතාවක් ඇත. දරුඵල ප්‍රමාද වූවන්ට ඒ සඳහා යහපත් පණිවුඩ ලැබෙනු ඇත. පසුගිය කාලයේ මගහැරුණු වැඩ කොටස් යළි නඟා සිටුවා ගත හැකි කාලයකි.
මීන - විවාහ අපේක්ෂකයන්ගේ පැතුම් ඉටු වෙයි
කේන්ද්‍රස්ථාන දෙකක අධිපතිත්වය උසුලන බුධ ග්‍රහයා 7 වැන්නේ සිය බලය පවත්වා ගැනීම තුළ ඔබට විවාහ ප්‍රමාද වීම් තිබුණේ නම් ඒවා සඵල වී උගත් බුද්ධිමත් ළාබාල පෙනුමෙන් යුතු අය මුණ ගැසේ. රැකී රක්ෂා, වෙළ හෙළඳාම් කටයුතු දියුණු වේ. මගහැරී තිබුණු ගෙදරදොර වැඩ යළි ආරම්භ වේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට පොත්පත් සඟරා ආදිය ලබා ගැනීමට අවස්ථාව උදාවේ. දරුඵල ප්‍රමාද වී තිබුණු විවාහකයනට සුබවාදී බලාපොරොත්තු තබා ගැනීමට කාලයකි. එමෙන්ම පිට පළාත්වල සිටි තම දුවා දරුවන් නිවෙසට පැමිණීම ද අනිවාර්යයෙන් සිදුවේ.
බුධගේ උච්ච බලපෑම එක් එක් රාශියට ඉහත දැක්වූ අයුරු ප්‍රතිඵල ගෙන දුන්නත් උපතේදී බුධ සතුරුව නීචව සිටි අයට උපරිම සුබඵල ලබා නොදීමට පුළුවන. ඒ සඳහා බදාදා දිනවල බෝධි පූජා පැවැත්වීම, කොහොඹ කොළ තම්බා ස්නානය කිරීම, ඉගෙන ගන්නා දරුවනට උදවු උපකාර කිරීම සහ නාමල් පූජා කිරීම ද සුදුසු වේ. එමෙන්ම ධර්ම ග්රන්ථ පරිහරණය කිරීම ද වැදගත්ය.