මේ මහා අර්බුදයට ඇත්තේ විසඳුම් හතරයි | සිළුමිණ

මේ මහා අර්බුදයට ඇත්තේ විසඳුම් හතරයි

 

බොහෝ පිරිස් රටේ ඇති වී ඇති ජාතික අර්බුදයට විසඳුම් සොයන්නට උත්සාහ කරන්නේ අරගල ඇතිකර ආණ්ඩු මාරු කිරීමෙන්. එහෙත් ඔබ ඊට එහා ගිය චතුර්විධ ප්‍රවේශයක් යෝජනා කරනවා?

පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, ගෑස් නැහැ. විදුලිය කපනවා. මේ නිසා මතුපිටින් බැලූ බැල්මට ජනතාව දකින්නේ මේ ආර්ථික අර්බුදයෙන් ඉතා සුළු කොටසක් පමණයි. නමුත් මේ ආර්ථික අර්බුදය ඉතාම ගැඹුරින් තේරුම් ගත යුත්තක්. බොහෝ දෙනා දකින්නේ ඇත්ත ආර්ථික අර්බුදය නෙමෙයි.

ඔබේ දැනුමේ පමණින් කුමක්ද ඇත්ත ආර්ථික අර්බුදය?

නිදහසින් පසු ලංකාවේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයයි අද ඇති වී ඇත්තේ. 2001 දී ආර්ථික වර්ධන වේගය - 1.7 කින් ආපස්සට ගියා. කොවිඩ් වසංගතය නිසා එය -3.5 ට අඩුවුණා. 2022 ට ඇස්තමේන්තු කර තියෙනවා එය - 6 ක් වන බව. සංඛ්‍යා දත්ත අනුව ඔප්පු වෙනවා, ආර්ථික වර්ධන වේගයේ වැඩිම සෘණ අගයක් ගන්නා වසර මෙය බව. ඒ තුළින් කියන්නේ රටේ සමස්ත නිමැවුම් ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය ඉතිරුම් ආයෝජනය යන සාර්ව ආර්ථික විචල්‍යයන් සියල්ල කෙරෙහි අහිතකර බලපැමක් ඇති වන බව. එම නිසා මේ වර්ෂයේ නිමැවුම අඩු වුණා. ජනතාවගේ ආදායම් අඩුවුණා. සේවා ව්‍යුක්තිය වැඩි වුණා. උද්ධමනය වැඩි වුණා. ගෙවුම් ශේෂය මත අධික පීඩනයක් ඇති වෙනවා. ඉතුරුම් ආයෝජන අඩු වෙනවා.

අරගලකරුවන් පවසා සිටින්නේ මේ අර්බුදයේ වගඋත්තරකරු හිටපු ජනාධිපති කියලා. ඒ නිසයි අරගල කර හිටපු ජනාධිපති ඉවත් කරන්න කටයුතු කළේ කියලා?

මේ ප්‍රකාශය ආර්ථික විග්‍රහත්මක දැනීමක් නැති මහ පොළොවේ යථාර්ථය තේරුම් නොගත් තරුණ පිරිසකගේ නොමේරු බොළඳ මතයක්. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගෙන් විමසුව හොත් ඔහුගේ විෂයානුබද්ධ පිළිතුර වන්නේ මෙය ගෝඨාභය රාජපක්ෂ පාලනය නිසා වූවක් නොව දීර්ඝකාලීනව වැරදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක් නිසා ඇති වූ ආර්ථික කඩා වැටීම් රාශියක සමුච්චිත ප්‍රතිඵලයක් බව. නිදහසින් හා 1977 න් පසු අපේ රටේ ආර්ථිකය ගැන නිවැරදි ප්‍රතිපත්තියක් තිබි නැහැ.

මේ චෝදනාවෙන් කොටසක් ඔබටත් හිමියි නේද?

ඔව්. අවුරුදු 33 කට පෙර සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් ලෙස මේ වගකීමෙන් කොටසක් අපිටත් පැවැරෙනවා. නමුත් එයින් අඩු වගකීමත් තමයි මා වෙත පැවැරෙන්නේ. මා මේ වෙන්න යන විනාශය පිළිබඳ පොත් විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කර ප්‍රසිද්ධ කළා. ලිපි ලේඛන ලිව්වා. පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත වාද විවාද හරහා කොතරම් කරුණු ඉදිරිපත් කළත් ඒ සඳහා ලැබුණු පිළිතුර සිනහව, අවලාද උපහාස පමණයි.

සමහර දේශපාලන පක්ෂ කියන්නේ තමන්ට ආණ්ඩු බලය දුන්නොත් මාස 6 න් මේ ප්‍රශ්න විසඳන බව?

පුළුවන් ඕනෑම කෙනෙකුට මේ රජය බාර දෙන්න සූදානම් බව හිටපු ජනාධිපති හා වත්මන් ජනාධිපති ප්‍රකාශ කළා. නමුත් රනිල් වික්‍රමසිංහයන් අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්න කැමැතියි කියූ පසුයි සජිත් ප්‍රේමදාස බාර ගන්න කැමැති බව කිව්වේ. ඒ නිසා අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවුණා. මැයි 9 වැනිදා ප්‍රචණ්ඩ සිදුවීම්වලදි ගෝඨාභය රාජපක්ෂයන් කිසිසේත් කැමැති වුණේ නැහැ හමුදාවට වෙඩි තැබීමට නියෝග ලබා දී මිනී මරනවා දකින්න. ඒ නිසා අරගලකරුවන්ට ජයග්‍රහණය ලබා දී ජනාධිපති ධූරය අත්හරින බව ප්‍රකාශ කර රටින් පිටව ගියා.

එහෙනම් පසුගියදා විපක්ෂ නායක කිව්වේ මේ ආණ්ඩුව ජනවරමක් තිබෙන ආණ්ඩුවක් බව නොපිළිගන්නා බව?

දේශපාලන වශයෙන් එය ඔහුට අව­ාසිදායක ප්‍රකාශයක්. ඔහු යෝජනා කර ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම වැඩි ඡන්දයෙන් තේරී පත්වූවා නම් එය ජනවරම ලැබුණ ආණ්ඩුවක් බව පවසනවා. නමුත් පැරදුණ පසු ජනවරමක් නොමැති බව පවසනවා. මේ ආකාරයෙන් රටකට ගොඩ යන්න බැහැ. දියුණු රටවල පාර්ලිමේන්තුව මේ ආකාරයෙන් හැසිරෙන්නේ නැහැ.

අපේ පාර්ලිමේන්තුව ඒ ආකාරයෙන් හැසිරෙන්නේ නැති බව ද ඔබ පවසන්නේ ඇයි?

අද ලංකාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න සියල්ලටම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක් ලෙස පිළිතුරු සෙවිය යුත්තේ ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවෙන්. ලොව බොහෝ රටවල් මෙන්ම ඉන්දියාව

පකිස්තානය වැනි අසල්වැසි රටවල පාර්ලිමේන්තු ක්‍රමය හරහායි පිළිතුරු සොයන්නේ.

එයින් අදහස් වන්නේ පාර්ලිමේන්තුව මේ ප්‍රශ්නවල වගකීම බාරගත යුතු බවද ?

අවශ්‍ය­‍ෙයන්ම ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148,149, 150, 151 හා 152 වගන්තිවල ඇත්තේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සියලු බලය පාර්ලිමේන්තුවට පවරා ඇති බව. ඒ නිසා රටේ රුපියල්, ඩොලර් නැහැ කියන්නේ මුදල් අච්චු ගහන්න වෙලා කියන්නේ රට බංකොළොත් වී ඇතැයි කියන්නේ රාජ්‍ය මූල්‍යයි. රාජ්‍ය මූල්‍ය යනු රජයට මහජනයා මත බදු පනවා හෝ වෙනත් ක්‍රම මඟින් ආදායම් ලබා ගැනීම. දෙවැන්න රජයේ සේවකයින්ට පඩි නඩි ගෙවා එදිනෙදා, ප්‍රාග්ධන වියදම් හා පුනරාවර්තන වියදම් දැරීම. ඒ ආදායම් වියදම් අතර පරතරය පියවා ගැනීමට දේශිය හා විදේශීය ණය ලබා ගැනීම. නිදහසින් පසු මේ කාර්ය කිරීමේ වගකීම නිල වශයෙන් පැවැරුණේ පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායකයයි. මන්ත්‍රීවරු නිකරුනේ බත් කතා ඉන්න බව පවසනවා නම් එය අමනෝඥ ප්‍රකාශයක්. මහජනතාවගේ අරමුණු ඉටු කරන්න රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ අණ පනත් සම්මත කරන්නේ පාර්ලිමේන්තුව. ඒවා ක්‍රියාත්කම කරන්නට ආයතන සකසා තියෙනවා. උදා- 1949 මුදල් නීති පනතින් 1950 දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම. පාර්ලිමේන්තු අවසරය මත මුදල් අච්චු ගැසීමේ එකාධිකාරය ඇත්තේ මහ බැංකුවට පමණයි. එම නිසා ණය සම්බන්ධ වගකීම ඇත්තේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට. මේ දෙපාර්තමේන්තුව නිලධාරීන් බඳවා ගන්නේ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා පළමු සාමාර්ථයක් ලැබී දේශීය විදේශීය විභාග සමත්වී ජාත්‍යන්තර පුහුණුව ලබාගත් පසුයි. ඔවුන්ට විශාල වැටුපක් ගෙවනවා. මේ අරගලකරුවන්ට, සම­ාජයේ බොහෝ දෙනාට මේ විෂය තේරෙන්නේ නැහැ. ඒ නිසා ණය ගැනීම හා එහි වගකීම දැරිය යුත්තේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. නමුත් අද මෙයට දේශපාලඥයන් පටලවා ගෙන. මේ නිලධාරීන් රට බංකොළොත් වීමට හේතුවූ කරුණු පහදා දිය යුතුයි.

දෙවැනි ආයතනය මුදල් අමාත්‍යාංශය. එහි භාණ්ඩාගාරය තමයි මහජනයා වෙනුවෙන් වියදම් කරන්නේ. අයවැය සකස් කරන්නේ ඔවුනුයි. එහි විශාල පුහුණු නිලධාරින් පිරිසක් ඉන්නවා. අයවැය ලේඛනයෙන් සත්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. භාණ්ඩාගාරය පාර්ලිමේන්තුව නොමඟ යවලා ඉතා විශාල වැරදි ප්‍රමාණයන් කර තියෙනවා. මේ අයට කිසිදු දොසක් නැහැ. ලංකාවේ දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව නියෝජන කරන බහුතර මන්ත්‍රින්ට රාජ්‍ය මූල්‍ය කළමනාකාරිත්වය පිළිබඳව ඇත්තේ අඩු අවබෝධයක්. ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ සිටියත් පසුගිය දශක තුන හතර තුළ සිටි සෑම මන්ත්‍රීවරයකුම මීට වග උත්තරකරුවෙක්.

ඒ කියන්නේ ඔබත් මීට වග උත්තරකරුවෙක්ද?

මම මේ දක්වා කිසිදු අයවැය ලේඛනයක් සකසා නැහැ. ලංකාවේ අයවැය ලේඛන දැනුම ඇතිව සකස් කළේ ජේ. ආර්. ජයවර්ධන හා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා. අනිත් අය කවුරු හෝ සකස් කර දෙන දෙයක් ඇවිත් කියෙව්වා. හදපු නිලධාරින් කියන විදියටයි පාර්ලිමේන්තුවේ මේ ගැන තර්ක කරන්නේ. තමන්ට ඩොලර් තියෙනවා නම් එල් සී ඇර ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙනැත් ඒ බදු විදේශ මුලින්ම ගෙවන්න අපි යෝජනා කළා. ඒත් යෝජනා කළත් මහ බැංකු නිලධාරින් අනුමැතිය දෙන්නැතිනම් කරන්න බැහැ. ඒ අයට වෙනමම බලයක් තිනෙවා. ලංකාවේ ඩොලර් තියෙන අයට ඩොලර් වලින් ගනුදෙනු කරන්න වෙළෙඳපොළක් ලබා දිය යුතුයි. වර්ණසේන රාසපුත්‍රම් මහ බැංකු අධිපතිවරයාගේ කාලයේ හාරක බැඳුම්කර හෝ රැගෙන එන්නට යෝජනා කළා. එය මුදල් විසුද්ධිකරණයට ලක්වෙයි කියලා බැහැ කිව්වා. ඒනිසා මහ බැංකු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් මෙය කරන්න පුළුවන් ක්‍රමයක් යෝජනා කළ යුතුයි. ඒ නිසා මේ නිලධාරීන් ගන්න තීන්දු තීරණවලට දේශපාලඥයෝ වගඋත්තරකරුවෝ වන්නේ කෙසේද?

පාර්ලිමේන්තුව හෝ විෂයානුබද්ධ පිරිස් කියන දේ ක්‍රියාත්මක වන්නේ නැතිනම් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නේ කවුරුන්ද?

සර්ව පාක්ෂික එකඟතාවක් ඇති කර ගත යුතුයි. දෙවැනුව මේ සඳහා ඇත්තේ විසදුම් 4 ක් බව මහ ජනතාවට තේරුම් කරදිය යුතුයි. එක, රජයේ ආදායම ඉහළ නංවා ගැනීම, 2027 වන විට දළ දේශය නිෂ්පාදිතයෙන් 27% දක්වා ආදායම වැඩිකර ගැනීම. දෙක රජයේ වියදම අඩුකර ගැනීම. 2027 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 22% මට්ටමේ පවත්වා ගැනීම. එසේ කළ විට 2027 දී අයවැය පරතරය 5%ට එන අතර ඉන්පසු දිගටම අයවැය පරතරය 5% ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම. තුන්වැන්න, අපනයන ඉපැයුම් වැඩි කර ගැනීම. භාණ්ඩ හා සේවා වාර්ෂික අපනයන ඉපැයුම ඇමරිකානු ඩොලර් බිලියන 22 දක්වා වැඩි කිරීම හා සිවුවැන්න, ආනයනික වියදම් 2027 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 20 දක්වා අඩු කිරීම. එවිට ගෙවුම් ශේෂය ජංගම ගිණුමේ ඇමරිකානු ඩොලර් බිලියන 2 ක පමණ අතිරික්තයක් ඇතිවීම.

ත්දැකීම් ඇති ඔබ මෙය රජයට යෝජනා නොකරන්නේ ඇයි?

මට ඒ සඳහා ව්‍යවස්ථාපිත බලයක් තිබෙන අවස්ථාවේ මේ අර්බුදයට විසඳුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකිම් පනත. එහි මූලික අරමුණු අතර 2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ට අඩු කොට එය අඛණ්ඩව පවත්වා ගෙන යාම. නොපියවූ රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 60% දක්වා අඩු කොට දිගටම එය පවත්වා ගෙන යාම. රාජ්‍ය ණය සඳහා ඇපවීම, දළ දේශීය නිශ්පාදිතයෙන් 4.5% නොඉක්මවීම. මම ග්‍රාමිය කටයුතු පිළිබඳ කැබිනට් හා මුදල් නියෝජ්‍ය ඇමැති වශයෙන් මේ අර්බුදයට වඩා ම නිවැරදි පිළිතුර ලබා දුන්නා. නමුත් අවාසනාවට නිලධාරින් විසින් හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුවට සත්‍ය වසන් කොට 2004 දි මේ පනත ආපසු හැරෙව්වා. එහි ප්‍රතිඵලය අද රට බංකොළොත් වීම. පාර්ලිමේන්තුව සම්මත කළ 2003 මූල්‍ය කළමනාකරන පනත 2013 වන විට එයාකාරයෙන්ම ක්‍රියාත්මක වුණානම් අද රට බංකොළොත් නැති බව සහතිකයි.

මේ පනත සංශෝධනය කරන විට විෂයානුබද්ධ බුද්ධිමතුන් නිහඬව සිටියේ ඇයි ?

අපේ රටේ විෂයානුබද්ධ බුද්ධිමතුන් අරගලකරුවන් නෙවෙයි. අරගලකරුවන්ද විෂයානුබද්ධ බුද්ධිමතුන් නොවේ. ඒ නිසා අපේ රටේ බුද්ධිමතුන්ගේ හඬ දේශපාලඥයන්ට ඇසෙන්නේ නැහැ. අනික් අතට මෙම බුද්ධිමතුන් රාජ්‍ය මූල්‍ය කළමණාකරණ ක්‍රියාවලියට උපදේශාත්මක වශයෙන් හෝ දායක කර ගන්නේද අඩුවන්. මේ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැඟීම සඳහා දේශපාලන පක්ෂවලට ගැති නොවන බුද්ධිමතුන් හා ව්‍යවසායකයන් දායක කර ගත යුතුයි.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

 

Comments