ඉන්ධන පෝලිම් නව­ත්තන ඇප් එකේ විස්තරේ මෙන්න | සිළුමිණ

ඉන්ධන පෝලිම් නව­ත්තන ඇප් එකේ විස්තරේ මෙන්න

න්ධන අර්බුදයෙන් මුළු රටම හෙම්බත්ව සිටින්නේ දැනට මාස හතරක පහක සිටය. ඩොලර් අර්බුදය මුළු රටේම ආර්ථිකය අඩපණ කරද්දී ඉන්ධන, ගෑස් සපයා ගැනීමට ද බරපතළ බාධා ඇතිවීම නිසා මහජනතාව දැන් මාස ගණනක සිට ඉන්ධන, ගෑස් ලබා ගැනීම පිණිස දිවා රාත්‍රි අවු වැසි නොතකමින් දිගු පෝලිම්වල එක දිගට දින හතර පහ සමහරවිට ඊටත් වඩා කාලයක් ගත කරන්නේ අනන්ත අප්‍රමාණ දුක් කරදර ගොඩක් විඳ දරා ගනිමිනි.

 

විශේෂයෙන් රටපුරා ඉන්ධන පෝලිම් කිලෝමීටර් ගණන් දිගට පවතිද්දී ඒවාට ලැබෙන පෙට්‍රල්, ඩීසල් සීමිත ප්‍රමාණය බෙදා හදා ගැනීමට පොරකන ලක්ෂ සංඛ්‍යාත මහජනතාව ඇතැම් අවස්ථාවල ගහමරා ගන්නේ පෙට්‍රල් කඳුළක් සඳහාය. පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල සිදුවී ඇති මරණ ගණන මේ වන විට 18කි. ගාල්ලේදී එක් අයකු ඝාතනයට ලක්වූයේ ද පසුගියදාය. පෙට්‍රල් ඩීසල් බලාපොරොත්තුවෙන් එකදිගට දවස් ගණන් කිලෝමීටර් ගණන් දුර පෝලිම්වල රැඳීසිටින මහජනතාව ඇත්ත වශයෙන්ම ගෙවන්නේ අපා දුකකි. රටේ සෑම ප්‍රදේශයකම තත්වය එයයි. සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර් ගණන් දිග වාහන පෝලිම් දකින අය කම්මුලේ අත ගසා ගන්නේ 'අනේ අපොයි' කියමිනි.

කිසිම විනයක්, පාලනයක්, ක්‍රමයක්, විධියක් නැති මේ ඉන්ධන පෝලිම්වලට ක්‍රමයක්, විධියක්, පාලනයක්, සංයමයක් ඇති කිරීමට ගත් සෑම උත්සාහයක්ම නිශ්ඵල විය. ඉන්ධන පෝලිම්වල පසුගිය දිනවල ඇතිවුණු සිදුවීම් දහසකට ආසන්නය. පොලිසිය හමුදාව සමඟ ගහමරා ගැනීම් ද ඊට අඩු නැත. මේ සිදුවීම්වලදී තුවාල වූ සහ අත්අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව ද සුළුපටු නොවේ.

ඉන්ධන පෝලිම්වල දිවා රෑ නැතිව රැඳී සිටින පිරිසට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මුලින් ක්‍රමවේද කීපයක් ගැන කල්පනා කර තිබිණි. ඉන් පළමුවැන්න වූයේ වාහනයේ ලියාපදිංචි අංකයේ අග ඉලක්කමට නියමිත දිනයක් ලබාදී වාහන වර්ග කර නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් නියමිත කාලයකට ලබාදීමයි. එහෙත් මේ වැඩපිළිවෙළ සාකච්ඡා මට්ටමේ පවතිද්දී රටපුරා තෙල් පෝලිම් කිලෝමීටර ගණන් දිගු වී ඒවා ඇතැම් ස්ථානවල 'ගිනි ගැනීමත්' සමඟ ඇතිවූ කලහකාරි තත්ත්වය සංසිඳවීම සඳහා ක්ෂණික පියවරක් ගැනීමට බලශක්ති අමාත්‍යාංශයට සිදුවිය. ඒ සඳහා සුදුසු එකම විසඳුම වූයේ 'ටෝකන්' ක්‍රමයයි.

කොළඹ ඉන්දන පිරවුම් හලකදී QR කේතය අත්හදා බැලූ අයුරු. ඡායාරූපය දුෂ්මන්ත මායාදුන්න

'ටෝකන්' ක්‍රමය මුලින්ම අත්හදා බැලුවේ සිපෙට්කෝ පිරවුම්හල් පෝලිම් සඳහාය. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනිණි. ටෝකන් ලබා ගත් අය පෝලිම්වලින් ඉවත් කැරුණත් ඇතැම් තැන්වල දිගු පෝලිම් එලෙසම තිබිණි. සිපෙට්කෝව දෙසතියකට පෙර ඉන්ධන බෙදා හැරීම නැවැත්වීමත් සමඟ අයිඕසී පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවිය. අයිඕසී පිරවුම්හල්වල පෝලිම්වලට ද 'ටෝකන්' ක්‍රමය හඳුන්වා දුන්නත් එම ක්‍රමය එතරම් සාර්ථක වූයේ නැත. ඩීසල් ටොන් 40,000ක් රැගත් නෞකා 2ක් 16 වැනිදා සහ 17 වැනිදා මෙරටට ළඟාවූ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකා දෙකක් 18 සහ 19 මෙරටට ළඟා වන්නේ ඔය අතරය. ඒ සමඟම ඉන්ධන පෝලිම් ද 'රත්වන' බව දන්නා බලශක්ති අමාත්‍යාංශය 'ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය' මහජනතාවට හඳුන්වා දීමට කටයුතු කරන්නේ මේ අතරය. ඒ ජූලි මාසයේ 16 වැනිදාය.

'ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය' යටතේ පාරිභෝගිකයන්ට ලැබෙන ඉන්ධන යම් සීමාවන්වලට යටත්ව බෙදා හැරීමට තීරණය කැරෙන්නේ ඔය අතරය. පොදු ප්‍රවාහන සේවා වන බස්, දුම්රිය සඳහා අනිවාර්යයෙන් සීමාවකින් තොරව ඉන්ධන ලබාදීමට තීරණය කෙරිණි.

පෞද්ගලික රථ වාහනවලට යම් සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කිරීම සඳහා තීරණය කැරිණි. පෞද්ගලික වාහන ලියාපදිංචි කර ඒවා සඳහා පනවන ඉන්ධන සීමාවන් පිළිබඳ තොරතුරු ලියාපදිංචි කිරීමට සැලැසුම් සකස් කෙරිණි. ඒ අනුව පෞද්ගලික වාහන හිමිකරුවන් සඳහා 'ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය' කරළියට පැමිණෙන්නේ ජූලි මාසයේ 16 වැනිදාය.

ඒ අනුව 'ජාතික ඉන්ධන අවසරපත්‍ර' ලබා ගැනීමට බලාපොරොත්තු වන අය fuelpass.gov.lk වෙබ් අඩවියට ප්‍රවේශ වී තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය යටතේ ජාතික ඉන්ධන අවසරපත්‍ර සඳහා ලියාපදිංචි වීමට හැකි බවද අවධාරණය කෙරිණි.

ත්‍රි‌ෙරා්ද රථයකට රු 2000ක් මෝටර් සයිකලයකට රු1500ක් සහ සෙසු වාහන වලට රු 7000ක ඉන්ධන මේ ක්‍රමය යටතේ නිකුත් වේ.

ජාතික ඉන්ධන අවසරපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයට තමන්ගේ නම, ලිපිනය, දුරකතන අංකය, භාවිත කරන වාහනය සහ එහි ලියාපදිංචි අංකය, එහි චැසි අංකය, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු තොරතුරු අදාළ 'ඇප්' එකට ඇතුළු කිරීමෙන් අනතුරුව ලැබෙන QR කේතය ලබා ගැනීමෙන් ජාතික ඉන්ධන අවසරපත්‍රයක හිමිකරුවකු විය හැකි බවද කියැවිණි. මේ වෙබ් අඩවිය ගැන 16 වැනිදා ප්‍රසිද්ධ කළ මොහොතේ සිට ඊට ඇතුළුවීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකවර උත්සාහ කළහොත් එය බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවූවත් විශාල පිරිසක් ඊට එකවර ප්‍රවිෂ්ට වීම නිසා මුලින් ඊට ප්‍රවිෂ්ටවීමට බරපතළ බාධා ඇතිවුවත් ඉන් අනතුරුව එය යථාවත් කෙරිණි. ඉන් අනතුරුව දැන ගැනීමට ලැබුණේ දිනක් ඇතුළත ඊට දස ලක්ෂයක පමණ පිරිසක් ප්‍රවිෂ්ට වී ඇති බවයි. ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා නිසි පරිදි ලියාපදිංචි වීමෙන් අනතුරුව ලැබෙන QR කේතය ඕනෑම පුද්ගලයකුගේ මීළඟ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා බලපත්‍රයක් වන බවද අවධාරණය කෙරිණි. 21 වැනිදා වන විට QR කේතය ලබා ගැනීමේ අරමුණින් තිස්ලක්ෂයක් දෙනා අදාළ වෙබ් අඩවියට ප්‍රවිෂ්ටව සිටියහ.

මේ ලියාපදිංචියෙන් අනතුරුව තමන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා ලැබෙන දිනය සහ අදාළ ඉන්ධන ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබාදීමට නියමිතය.

මෙසේ ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන අයකුට ස්මාර්ට් දුරකතනයක් හෝ පරිගණකයක් නැත්නම් ළඟම සිටින පුද්ගලයකුගේ ස්මාර්ට් දුරකතනයක් හෝ පරිගණකයක් භාවිත කර ලියාපදිංචි QR කේතය ලබාගත හැකිවීමද සුවිශේෂිය. මෙසේ ලියාපදිංචියේදී ලැබෙන QR කේතයේ මුද්‍රිත පිටපතක් (PRINT OUT) ලබා ගැනීම ද කළ යුතුය.

එක් ජාතික හැඳුනුම්පතකට, එක් ගුවන් ගමන් බලපත්‍රයකට, එක් ව්‍යාපාරික අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් වීමද විශේෂය.

උදාහරණයක් ලෙස තමන්ට එක් වාහනයකට වඩා ඇත්නම් පවුලේ සිටින වෙනත් කෙනෙකුගේ ජාතික හැඳුනුම්පතකට හෝ ගුවන් ගමන් බලපත්‍රයකට ලියාපදිංචි විය හැකිය. නමුත් මේ QR කේතය ලැබෙන්නේ වාහන අංංකය චැසි අංකය සමඟ සැසඳෙන ලෙසය. එක් QR කේතයක් යටතේ වාහන 10ක් පමණ රැගෙන පිරවුම්හල්වලට පැමිණ ඉන්ධන ලබා ගැනීමට මේ ක්‍රමය යටතේ කිසිවකුට ඉඩකඩ නොලැබේ. ජාතික ඉන්ධන අවසරපත්‍රය සඳහා වාහන ඛාණ්ඩ 06ක් මේ වන විට හඳුනාගෙන ඇත. දැනට ලියාපදිංචි කැරෙන්නේ එම වාහන ඛාණ්ඩ 06ට අයත් වාහන පමණි. මේ ක්‍රමවේදය සිදුවන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වාහන දැනට ලියාපදිංචි කර ඇති ඛාණ්ඩ අනුවය. එහි 'කාර්' යැයි සඳහන් කාණ්ඩය යටතේම ජීප් සහ පිකප් රථ ඇතුළත් වී ඇත. ලියාපදිංචි සිදුකරගෙන යද්දී වාහන ලියාපදිංචිය අංකය එකතු කරන ලෙස උපදෙස් ලැබුණු විගස වාහනයේ චැසි අංකය ද ඊට එකතු කිරීම අත්‍යාවශ්‍යය. ඒ අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සමඟ සැසඳුණහොත් පමණක් QR කේතය ලැබේ. ඊට ප්‍රධාන හේතුව මේ පද්ධතිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධව තිබීමය.

මේ ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හඳුන්වා දෙද්දී වාහනයක අග අංකය ගැන ද අවධානය යොමුකර තිබීම සුවිශේෂිය. ඒ අනුව නිශ්චිත වශයෙන් අග අංකය සඳහා සතියකට දින දෙකක් ලබාදීමට යෝජිතය. ඒ අනුව 0, 1, සහ 2 අවසාන අංක සඳහා අඟහරුවාදා, සෙනසුරාදා දිනත් අවසාන අංක 3, 4, 5 බ්‍රහස්පතින්දා, ඉරිදාත් අවසාන අංකය 6, 7, 8, 9 වාහන සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලත් ඉන්ධන ලබා ගැනීමට ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය යටතේ මහජනතාවට අවස්ථාව සැලසෙන අතර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ හෙට (25) සිටය.

මේ අතර ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය අත්හදා බැලීමේ වැඩපිළිවෙළක් ජූලි 21 සිට 24 දක්වා කොළඹ නගරය ආශ්‍රිත ඉන්ධන පිරවුම්හල් කීපයක ක්‍රියාත්මක කෙරිණි.

මෙහිදී යම් ආයතනයක් සතුව වාහන එකකට වඩා ඇත්නම් මෙන්ම එම ආයතනයේ රියැදුරන් කීප දෙනෙකු සිටිනවා නම් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකවලට අදාළ ජාතික ඉන්ධන බලපත්‍රය ලබා ගැනීමට හැකිවීම ද සුවිශේෂිය. මේ අතර ව්‍යාපාර සඳහා ද ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළ සකස් කර තිබේ. කර්මාන්තකරුවන්ගේ විදුලි ජනන යන්ත්‍ර සහ අනෙකුත් කාර්මික යන්ත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන සැපයීම පිණිස දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළත්ව සිදුකරන සැලසුම් සහගත වැඩපිළිවෙළකට රටපුරා සමහර ඉන්ධන පිරවුම්හල් ද සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආරම්භක මොහොතේ ගැටලු ඇතිවිය හැකි වුවත් එම ගැටලුවලට නිශ්චිත විසඳුම් සොයාගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම බලශක්ති අමාත්‍යාංශයේ ඇරමුණයි.

ප්‍රාදේශීය වශයෙන් මේ ගැන බොහෝ ගැටලු පැන නැඟී තිබීම ද සුවිශේෂිය. ප්‍රධාන කාරණය තවම ඉතා විශාල පිරිසකට මේ බලපත්‍රය පුරවා ගැනීමට නොහැකි වීමයි. ඇතැමුන් එය ජාවාරමකට හරවාගෙන ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකතනයක් ඔස්සේ ජාතික ඉන්ධන අවසරපත පුරවාදීම සඳහා රුපියල් 250 සිට ඉහළට මුදල් ලබා ගැනීමත් සමඟය.

අදාළ QR කේතය රටපුරා පිහිටි ඉන්ධනහල් 1150කදී පමණ පරීක්ෂා කරන ආකාරය ගැන මෙතෙක් කිසිම පැහැදිලි කිරීමක ක්‍රමවේදයක් නැතිවීම තවත් ගැටලුවකි.

ජාතික ඉන්ධන අවසරපත්‍රය ලබා ගැනීමේදී බොහෝ දෙනා මේ වනවිට මුහුණදී තිබෙන ගැටලුව වාහනයේ ලියාපදිංචි අංකය සහ චැසි අංකය නොගැළපෙන බව අයැදුම් පත්‍රය පුරවද්දී පෙනෙන්නට තිබීමයි. මේ හේතුව නිසා බොහෝ දෙනෙකුට ජාතික ඉන්ධන අවසරපත්‍ර අයැදුම් පත්‍රය පුරවා QR කේතය ලබා ගැනීමට නොහැකිවී ඇත.

එසේම පැරණි 'ශ්‍රී' අකුර සහිත වාහන සේම පැරණි වාහනවල ලියාපදිංචි අංක ඇතුළත් කළ යුතු ආකාරය ගැන මහජනතාව මෙතෙක් දැනුම්වත් වී නැත. ශ්‍රී අකුර වෙනුවට කෙටි ඉර (-) යොදන ලෙස බලධාරින් පවසතත් එම ක්‍රමය අනුගමනය කළ ද ලියාපදිංචිය සිදු නොවන නිසා බොහෝ දෙනෙකු පසුවන්නේ ඒ ගැන තමන් කළ යුතු දේ නොදන්නා තත්ත්වයකය.

මීට අමතරව අත් ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ඇතුළු කෘෂි වාහන ලියාපදිංචි කරන ආකාරයක් ගැන මෙතෙක් නිශ්චිත සඳහනක් නැත. ධීවර යාත්‍රාවලට ද මේ ක්‍රමය යටතේ ඉන්ධන සපයා ගැනීම ගැන මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුවී නැත. මේ වන විට අනාවරණය වන තවත් කරුණක් නම් වාහනයේ ලියාපදිංචි අංක අංකය සතියේ දින හතට වෙන් කර ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කළද ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවීමට ඉඩකඩ ඇති බවයි. ඊට හේතුව ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල සේවකයන් අඩු පිරිසක් සේවයේ නිරතවීමයි. මෙවැනි තත්ත්වයන් මත පාරිභෝගිකයා ඉදිරිපත් කරන QR කේතය පරික්ෂා කරන්නේ පොම්පකරු ද එසේත් නැත්නම් කේතය පරික්ෂා කරන වෙනත් පුද්ගලයකු ද යන්න පැහැදිලි නැති අතර කේතය පරික්ෂා කරන උපකරණයක් ඉන්ධන පිරවුම්හල්ලට ලබාදී ඇත්ද යන්න මෙතෙක් හෙළිවී නැත.

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයේ වත්මන් තත්වය මෙය වුවත් එය විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීම මඟින් පාරිභෝගික ජනතාවට සාධාරණ ලෙස ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමයක් බවට පත්වනු ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.

 

Comments