අග­මැති පුටු­වට පැමිණි ප්‍රති­පත්ති පාවා නොදුන් වම් ඉවුරේ නාය­කයා දිනේෂ් ගුණ­ව­ර්ධන | සිළුමිණ

අග­මැති පුටු­වට පැමිණි ප්‍රති­පත්ති පාවා නොදුන් වම් ඉවුරේ නාය­කයා දිනේෂ් ගුණ­ව­ර්ධන

දිනේෂ් ගුණවර්ධන යනු ලාංකේය ප්‍රගතිශීලී ව්‍යාපාරයේ අයෝමය හස්තයකි. වසර 1977දී දේශපාලනයට පැමිණි දිනේෂ් සිය දේශපාලන දිවියේ දශක 5කට ආසන්න කාලයක් නිරතව ඇත. ඔහුගේ දේශපාලන දිවිය නොකැළැල්ය. කිසිදා දූෂිතයකු ලෙස කිසිවකු විසින් එම දේශපාලන චරිතය හඳුන්වා නොමැත.

ශ්‍රී ලාංකේය වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ඇරඹෙන්නේ 1930 දශකයේ ආරම්භයත් සමඟය. දිනේෂ් ගුණවර්ධනගේ පියා වූයේ ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධනයන්ය. වමේ ව්‍යාපාරයේ සංවිධානාත්මක පක්ෂයක් ලෙස 1937 දෙසැම්බර් 18වැනිදා ආරම්භ වූ ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියාද වූයේ පිලිප් ගුණවර්ධනය.

වැඩ කරන ජනතාවට, වම් ඉවුරේ ජනතාවට ශක්තියක් සහ ආශිර්වාදයක් සපයමින් එජාප පාලන කාලයන්හි ජනතා විරෝධී ක්‍රියාකාරකම්වලට අභියෝගයක් වීමට පසු කලෙක දිනේෂ් ගුණවර්ධනයන්ට හැකි විය. ශ්‍රීලනිපය ශක්තිමත් කළ පසුව පොදුජන එක්සත් පෙරමුණටද යෝධ වෘක්ෂයක් වූයේ දිනේෂ් නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණය.

 

 

ව අග්‍රාමාත්‍ය දිනේෂ්චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන අගමැති උපත ලැබුවේ 1949 මාර්තු මස 2 වැනිදාය. ඔහු මෙරට සමාජවාදී දේශපාලන වාතාවරණය ශ්‍රී ලංකා ද්වීපයේ සමස්ත ජනතාවට හඳුන්වා දීමේ නියමුවා ලෙස පොදු මහජනතාවගේ සම්මානයෙන් 'බොරළුගොඩ සිංහයා' යනුවෙන් අභිෂේක ලැබූ දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධනගේ කනිටු පුත්‍රයාය. වැඩිමහල් පුතු ඉන්දික ගුණවර්ධන උපත ලැබුවේ ඉන්දියානු ජාතික සටනට දිවි පරදුවා මෙහෙවරක යෙදෙමින් කටුක ජීවිතයක් ගත කළ පිලිප් සහ කුසුමසිරි ගුණවර්ධන දෙමහල්ලන්ගේ පුතකු ලෙසය.

 

ඇත්ත වශයෙන්ම දිනේෂ් ගුණවර්ධන මවු කුස සිටියදීම සමාජවාදය පිළිබඳ දැනුවත්ව සිටියාදෝ යන්න අපට තේරුම් ගත හැකිය. කුඩා කාලයේ පිලිප් ගුණවර්ධන පවුල පදිංචිව සිටියේ කොළඹ රීඩ් මාවත කෙළවරේ අදටත් ජන වහරේ ඇති තුන්මුල්ල හන්දිය අසල සුවිසල් නිවසකය. එහි සිට කොළඹ රාජකීය ප්‍රාථමික පාසලින් සහ කොළඹ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය සඳහා ගමන් ගත්තේ පා ගමනින් මෙන්ම බයිසිකලයක නැඟගෙනය. මෙකල රාජකීය විදුහල අසල සිය නිවසේ දෙමාපියන් සමඟ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සිටි හෙයින් මේ දෙදෙනා අතර තිබූ මිත්‍රත්වය ඉතා දුර දිග කාලයක සිට තිබූවකි. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය නිමාකර දිනේෂ් ගුණවර්ධන හයවන පන්තියෙන් සමත් වූ පසු විදේශ අධ්‍යාපනය සඳහා යොමු කිරීමට දෙමහල්ලෝ තීරණය කළහ. ඒ අනුව නෙදර්ලන්ත ව්‍යාපාර පාසලේ (NYENRODE BUSINESS UNIVERSITY) අධ්‍යාපනය හැදෑරීය. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සමඟින් වසර තුනකදී උපාධිය ලබාගත් දිනේෂ් ගුණවර්ධන ඉන්පසු "ඔරිගන්" විශ්වවිද්‍යාලයට බැඳී B.B.A. ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධිය ලබාගති. අමරිකා එක්සත් ජනපදයේ සිටියදී වියට්නාම් යුද්ධ විරෝධී උද්ඝෝෂණවලට සහභාගිවෙමින් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයට එක්විය.

දිනේෂ් ගුණවර්ධනයන් විවාහ දිවියට ඇතුළත් වෙන්නේ කීර්තිමත් කොතලාවල පරපුරේ රමණි වත්සලා කොතලාවල සමඟය. ඔවුනට යදාමිණි සහ සංඛ්‍යපාලී නමින් දියණියන් දෙදෙනෙකි. ඔහුගේ බිරිය රමණි එක්දහස් නමසිය අසු ගණන්වල මැද භාගයේදී හඳුනා නොගත් හෙපටයිටස් රෝගය නිසා මිය ගියාය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු දිනේෂ් ගුණවර්ධන නිව්යෝර්ක් නගරයේ සේවය කළ නමුත් 1972 වර්ෂයේදී පිලිප් ගුණවර්ධනයන්ගේ අභාවයෙන් පසු නැවත ලංකාවට පැමිණියේය. 1973 අගෝස්තු මාසයේදී මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත් කරන ලද අතර 1974 වසරේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් විය.

1977 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවිස්සාවෙල්ල ආසනයේ මහජන එක්සත් පෙරමුණ අපේක්ෂක ලෙස ඉදිරිපත් වුවද තේරී පත්වීමට අසමත් විය. එහෙත් 1983 වර්ෂයේදී පැවති අතුරු මැතිවරණයෙන් මහරගම ආසනය සඳහා ඉදිරිපත් වී පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේය. 1989 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව කොළඹ දිස්ත්‍රික්කයේ මහජන එක්සත් පෙරමුණ අපේක්ෂකයකු ලෙස තරග කර නැවතත් පාර්ලිමේන්තුවට ඇතුළු විය.

වර්ෂ 1997 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට මහජන එක්සත් පෙරමුණද පොදු ජන එක්සත් පෙරමුණ සමඟ සන්ධානගත වූයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොදු පෙරමුණ අපේක්ෂකයකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පිවිසි දිනේෂ් ගුණවර්ධන ප්‍රවාහන ඇමති ලෙස මුල්වරට කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දෙයි. 2001 වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රවාහන ඇමති තනතුරට අතිරේකව ඔහුට පරිසර අමාත්‍යංශය ද පවරා දුන්නේය. 2001 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූ දිනේෂ් ගුණවර්ධන 2004 ජනවාරි 20 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටු වූයෙන් 2004 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයකු ලෙසය. මෙම සන්ධානයේ නියෝජිතයකු ලෙස තේරී පත් වූ පසු නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය. 2007 ජනවාරි මාසයේ ඔහුගේ කැබිනට් ඇමති ධුරය නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන වශයෙන් වෙනස් විය. 2008 ජුනි මාසයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් විය.

දිනේෂ් ගුණවර්ධන 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත තේරී පත්විය. එහිදී ජල සම්පාදන හා ජලප්‍රවාහන ඇමති ලෙස ඔහු පත්විය. 2015 ජනාධිපතිවරණයෙන් පසු ඔහුට කැබිනට් මණ්ඩලය අහිමි වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමි විය. 2015 වසරේදි පැවති මැතිවරණයෙන් නැවතත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2020 සිට දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු රැසක් හොබවා කටයුතු කර ඇත.

 

Comments