මම ජීවිතය පටන් ගත්තේ බිල් ලියන්නෙක් හැටියටයි | සිළුමිණ

මම ජීවිතය පටන් ගත්තේ බිල් ලියන්නෙක් හැටියටයි

දීපාල් සූරියආරච්චි විකුණුම් අලෙවි ක්ෂේත්‍රය, වෙළෙඳපොළ ප්‍රචාරණය මෙන්ම මානව සම්පත් කළමනාකරණ සංවර්ධනය පිළිබඳව දශක තුනකට අධික අධික අත්දැකීම් ඇත්තෙකි. බිල් ලියන්නෙක් ලෙස සිය ජීවිතය අරඹන ඔහු සිය වෘත්තිය ජීවිතයේ විවිධ කඩඉම් පසු කරන්නේ වෘත්තියවේදියකුට ලැබිය හැකි ඉහළ ම තනතුරු සියල්ල හොඹවමිනි. ලේඛකයෙක් ලෙස අලෙවිකරණය සම්බන්ධ පොත් පහළොවක් පමණ ලියන ඔහු තම දියුණුවේ රහස මේ සාකච්ඡාව ඔස්සේ ජනගත කරන්නේ ය. ඒ තමා නිරත කුමන රැකියාවක දී වුව එකී ක්ෂේත්‍රය පරතෙරට හැදෑරීම හා තමා වැඩ කරන ආයතනයේ දියුණුව සම්බන්ධයෙන් නිරන්තර සිහින මැවීමයි.

- අවුරුදු 13 දී මම වත්ත පහළ පොඩි ලියැද්දක් කුඹුරක් විදියට අස්වැද්දුවා
- මම තමයි ලංකාවේ පොලිතීන් විකුණපු පළවෙනි වෑන් සේල්ස් රෙප්
- පළවැනි පාර මගේ උසස් පෙළ ප්‍රතිඵලය F 4යි
- මම හිතුවෙ ලෝකෙ තියෙන හොඳ ම රැකියාව මේක කියලා. ඒක තමයි මගේ දියුණුවේ රහස
- මාසයක් බිල් ලිව්වම ලැබුණෙ රුපියල් තුන්සිය අසූපහයි. දැන්වීම් ආයතනයේ එක දැන්වීමට හෙඩ් ලයින් එක ලිව්වම රුපියල් දාහක් ලැබෙනවා

මොකද්ද සම්පූර්ණ නම

දීපාල් සූරියආරච්චි

කවදද උපන්දිනේ

1960 පෙබරවාරි 28 වැනිදා

අම්මා තාත්තා මොනවද කළේ. ඔවුන්ගේ නම් එහෙම මොනවද?

මගේ තාත්තා රජයේ සේවකයෙක්. එස්. පී. සූරියආරච්චි තමයි එතුමාගේ නම. ඒවගේම ප්‍රසිද්ධ සමාජ සේවකයෙක්. ඔහු තමයි ඉංගිරිය ජාතික විද්‍යාලය එහෙම ආරම්භ කරන්නෙ.

මගේ අම්මා තමයි මගේ පළමු ගුරුතුමිය. ඇගේ නම ඩී. බී. ඇතුළත්මුදලි. වයස 95ක් වෙනවා දැන් ඇයට. මම පවුලේ වැඩිමලා. මට නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්නවා.

කොහේද ගම් පළාත, ඒ වගේ ම පාසල් අධ්‍යාපන තොරතුරු

හොරණ ප්‍රදේශයේ තමයි මම උපදින්නේ. මුලින් ම මම ගමේ පාසලට යන්නෙ. හොරණ ලබුගම විද්‍යාලයට. එතැනින් මම හොරණ ශ්‍රීපාලියට ගියා. ඊටත් පස්සෙ කොළඹ ආනන්දෙට ආවා

ඔබ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ වයස අවුරුදු 13 දී. කොහොමද එහෙම වෙන්නෙ

මගේ අම්මා එක්ක තමයි මම පාසලට යන්නෙ. ඇය ගුරුවරියක්. ඇය මාව ඇගේ පන්තියට තමයි ඇතුළත් කර ගන්නෙ. ඒ කියන්නෙ දෙකේ පන්තියට. අම්මට මාව ගෙදර තියලා යන්න බැරි නිසයි එහෙම වුණේ. නැතිව අතිදක්ෂ ළමයෙක් නිසා නම් නොවෙයි.

හොරණ ශ්‍රීපාලියෙන් කොළඹ ආනන්දෙට එන්න පාර කැපෙන්නෙ කොහොමද

මම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිසා තමයි උසස් පෙළ කරන්න ආනන්දෙට එන්නෙ.

සාමාන්‍යයෙන් පාසල් කාලේ බාහිර වැඩ කළා ද?

ඇත්තට ම මම වැඩිපුර කළේ බාහිර වැඩ. වෙනත් පාසලකින් උසස්පෙළ කරන්න ඇවිත් ශිෂ්‍ය නායකයකු වුණු එක ම කෙනා මම. සමිති සමාගම් රාශියක මම විවිධ තනතුරු දරමින් ක්‍රියාකාරී ව හිටියා. පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමෙත් මම හිටියා. 71 කැරැල්ලෙන් පස්සෙ හදපු දෙයක් තමයි මේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම්.

කොහොමද උසස්පෙළ කඩඉමේ ප්‍රතිඵල

මම උසස්පෙළ ට කළේ විද්‍යා විෂයයන්. බාහිර වැඩ ගොඩක් කිරීමේ ප්‍රතිඵලය විදියට මට F 4ක් තමයි ලැබෙන්නෙ. දෙවැනි වතාවේ තමයි විභාගය ගොඩ දා ගන්නේ.

එතැනින් පස්සෙ වෘත්තිය ජීවිතය පටන් ගන්නවද; නැත්නම් තවදුරටත් අධ්‍යාපන කටයුතු කරනවද?

මුලින් ම මම කරන්නේ මගේ ම උනන්දුවෙන් රස්සාවක් සොයා ගන්න එක. මුසාජි පුත්‍රයෝ කියන ආයතනයේ බිල් ලියන ලිපිකරුවකු හැටියට මම මගේ වෘත්තිය ජීවිතය පටන් ගන්නවා. ඒ කාලෙ අතින් තමයි බිල් ලියන්නෙ. 80 අප්‍රේල් මට රස්සාව ලැබෙනවා. 80 අගෝස්තු මාසෙ තාත්තා නැති වෙනවා

ඔබේ ජීවිතය ගොඩනඟන්න තාත්තා ප්‍රදීපස්ථම්භයක් වූ බව මා අසා තිබෙනවා

ඔව්, ඒක ඇත්ත. තාත්තා අපිට පුංචි කාලෙ ඉදල ම වගකීම් ගන්න ඉගැන්වුවා. අපි පොඩි කාලෙම කුඹුරු වැඩ කළා. තාත්තා ඒ කාලෙම නාස්ති නොකර ජීවත්වෙන්නෙ කොහොමද; අවශ්‍ය දේවල් පිළි­ෙවළකට එකතු කරගන්නෙ කොහොමද කියලා අපිට කියලා දුන්නා. ඇණ, බෝල්ට් වගේ දේවල් එකතු කරන්න වෙනම භාජන අපට දීලා තිබුණා. දවසේ කාලසටහනක් තාත්තා මට හදලා දුන්නා. මම යෞවනයෙක් වෙනකොට තාත්තා මාත් එක්ක කතා කළේ සමාජ, දේශපාලන ප්‍රශ්න ගැන. සම වයසේ කෙනෙක් එක්ක දේවල් බෙදා ගන්නවා වගේ තමයි මම තාත්තා ව ඇසුරු කළේ.

තාත්තා සමඟ ක්‍රිෂ්ණමූර්ති දර්ශනය ගැන ඔබ කතා කරන්නේ ළමා වියේදී...

තාත්තා මට ජේ. ක්‍රිෂ්ණමූර්තිතුමන් ගැන කියලා දෙද්දි මට අවුරුදු 10 යි. ක්‍රිෂ්ණමූර්ති තුමන් ලංකාවට ආව වෙලාවක නව නගර ශාලාවේ තමයි දේශන කරලා තියෙන්නෙ. තාත්තා නැති වුණු 80 අවුරුද්දෙ නොවැම්බර් තමයි ක්‍රිෂ්ණමූර්තිතුමා අවසන් වතාවට ලංකාවට එන්නේ. තාත්තාගේ තුන්මාසෙ දානෙ තිබුණෙ ඒ දවස්වලමයි. මම දානෙ දවස වෙනස් කළා ඒ දේශනේ අහන්න යන්න ඕන නිසා. මට එතකොට අවුරුදු 20 යි. අවුරුදු 20 මට ක්‍රිෂ්ණමූර්ති දේශනයක් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් දැනුමක් හැදුවෙ තාත්තා.

ඒ කියන්නෙ තාත්තා ඔබේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක්

ඔව්. පැහැදිලි ව ම. පොඩි කාලෙ ඉඳන් ජීවිතේ සකස් කරගන්න ආකාරය ගැන තාත්තා තමයි කියලා දුන්නෙ. ඒක තාත්තා කළේ ආදර්ශයෙන්. වගකීම් ගන්න හැටිත් මට තාත්තා කියලා දුන්නෙ වගකීම් පවරමින්. අවුරුදු 13 දී මම වත්ත පහළ පොඩි ලියැද්දක් කුඹුරක් විදියට අස්වැද්දුවා. තාත්තා තමයි මට කියලා දුන්නෙ.

ඔබ පැවසුවා මම ස්වෝත්සාහයෙන් රැකියාවක් සොයා ගත්තා කියලා. තාත්තා ඒ සම්බන්ධයෙන් උදව් කළේ නැද්ද?

මගේ තාත්තා ගොඩක් අයට රැකියා හොයලා දුන්නු කෙනෙක්. මම උසස්පෙළ කරලා ඉවර වුණා ම හිතුවා මට නම් ප්‍රශ්නයක් නෑ, තාත්තා රැකියාවක් සොයලා දෙයි කියලා. තාත්තා ඒත් ඒක ගැන කිසිම උනන්දුවක් දැක්වුවෙ නෑ. මම ඒ කාලෙ නැවතිලා හිටියා හේරත් කියලා මහත්තයෙක්ගෙ ගෙදර. එයා මට කිව්වා ඩේලිනිවුස් පත්තරේ තියෙන හැම දැන්වීමක් ම බලලා, ඒවට අයැඳුම් කරන්න කියලා. එහෙම තමයි මට බිල් ලියන රැකියාව ලැබුණෙ. එදා තාත්තා එයාගෙ දිනපොතේ ලියලා තිබුණා ලොකු පුතා තමන්ගෙ උත්සාහයෙන් රැකියාවක් සොයා ගත්තා, ඒනිසා මම දන්නවා ලොකු පුතා එයාගෙ ගමන තනියෙන් යයි කියලා. ඒ නිසා තමයි මට තාත්තා උදව් නොකළේ

එතැනින් කොතැනට ද යන්නෙ.

මම එතැන වැඩ කරගෙන ඉන්න කොට එක කළමනාකාරවරයෙක්ට තේරුණා මට හොඳට සිංහල පුළුවන් කියලා. එයා මට දැන්වීමක් පෙන්නලා ඇහුවා සූරියආරච්චි මේක කොහොමද කියලා. මම ඒක බලලා කිව්වා සර් මේක මීට වඩා හොඳට ලියන්න පුළුවන්නෙ කියලා. මම අලුත් හෙඩ්ලයින් එකක් ලියලා දුන්නා. ඒක දැකපු වෙළෙඳ දැන්වීම් ආයතනය මට අවස්ථාවක් දුන්නා අමතර රැකියාවක් විදියට දැන්වීම් ලියන්න. මම ඒක කළේ බිල් ලියනවාට අමතර ව. ආයතනයේ මාසයක් බිල් ලිව්වම ලැබුණෙ රුපියල් තුන්සිය අසූපහයි. දැන්වීම් ආයතනයේ එක දැන්වීමට හෙඩ් ලයින් එක ලිව්වම රුපියල් දාහක් ලැබෙනවා.

මේ ගමනෙ රහස් මොනවද

තමන්ට ලැබෙන අවස්ථා මඟ හැර ගන්න හොඳ නැහැ. ඒක තමයි අංක එක. අනික තමන් කරන රැකියාව ගැන උපරිම උනන්දුවක් තියෙන්න ඕන. ඒ අදාළ ක්ෂේත්‍රය මොකක් වුණත් ඒ විෂයය හදාරන්න ඕන. තමන් වැඩ කරන ආයතනය දියුණු කරන්නෙ කොහොමද කියලා තමන්ගෙ හිතේ සැලැස්මක් තියෙන්න ඕන. ඒකට වැඩ කරන්න ඕන

දියුණු කරන්න හදන මේ ආයතන අනුන්ගෙ කියලා ඔබට හිතුණෙ නැද්ද?

නෑ, මට කවදාවත් එහෙම හිතුණෙ නෑ. අපේ වුණත්, අනුන්ගෙ වුණත් තමන් වැඩ කරන ආයතනය දියුණු කරන්න වැඩ කරන එක ඒ ආයතනය වගේම තමන්ගෙ දියුණුවත් සැලසෙන ක්‍රියාවක්. ඒනිසා ඒ ගැන දෙවරක් හිතන්න එපා.

ඉහළට යන්න පාර කැපෙන්න බලපාපු සාධක මොනවද?

මම කල්පනා කරනකොට මට පේනවා අපට වඩා කළමනාකරුවන්ට හොඳ තැනක් තියෙනවා කියලා. පස්සෙ මම අපේ කළමනාකරුවෙක් හිටියා ගාමිණී රණසිංහ කියලා; එයාගෙන් ඇහුවා සර්, මැනේජර් කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕන කියලා. එයා කිව්ව දේ තමයි මැනේජර් කෙනෙක් වගේ හිතන්න පටන් ගන්න, එතකොට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. මේක මගේ ජීවිතේට හම්බ වුණු වටිනා ම අවවාදයක්.

මේකත් හැරවුම් ලක්ෂ්‍යයක්

ඔව්, ඇත්තට ම. අපි අපේ බලාපොරොත්තු සහ සිහින ගැන හිතන්න ඕන. ඒ වගේම ඒ අදාළ තනතුරට ගැළපෙන විදියට හිතන්න අවශ්‍යයයි.

මොනවද ජීවිතේ වෙනස් කළ තවත් තැන්...

ඒ කාලෙ තිබුණෙ නැහැ, කඩෙන් කඩේට ගිහින් බඩු විකුණන සංස්කෘතියක්. හැබැයි මගෙන් ආයතනයෙන් වරක් අහනවා පොලිතීන් විකුණනන්න රටේ තැනින් තැන කඩවලට යන්න පුළුවන්ද කියලා. මම හරිම සතුටෙන් වැඩේ බාර ගත්තා. මම දැක්කෙ ඒක නිසා රට පුරා යන්න මට අවස්ථාව ලැබෙනවානෙ කියලා. මම තමයි ලංකාවේ පොලිතීන් විකුණපු පළවෙනි වෑන් සේල්ස් රෙප්. වර්තමානයේ අපි පාවිච්චි කරන කෑම ඔතන කොළයේ සංකල්පීය වර්ධනයක් කරලා නූතන භාවිතයට සරිලන පරිදි සකස් කරන්නෙත් මම. මගේ සාර්ථකත්වය තියෙන්නෙ මම කරන හැදෑරීම නිසා. ලැබෙන අභියෝග අභියෝගයක් කරගෙන වැඩ කිරීම තමයි සාර්ථකත්වයේ රහස.

බිල් ලියන්නෙක් හැටියට පටන් ගත්ත ඔබේ වෘත්තිය ජීවිතේ කොහොමද එතැනින් ඉදිරියට යන්නෙ

මම කවදාවත් හිතුවෙ නැහැ, මේක පොඩි රැකියාවක් කියලා. මම හිතුවෙ ලෝකෙ තියෙන හොඳ ම රැකියාව මේක කියලා. ඒක තමයි මගේ දියුණුවේ රහස. මම කරන දේ හරියට ම ආසාවෙන් හා ආදරෙන් කරනවා.

කාලයත් එක්ක එතැනින් තවත් තැනකට ඔබ සම්බන්ධ වෙනවා.

වුඩ් ෆ්ලෙක්ස් කියන ආයතනයෙන් මට ඒ ආයතනයට සම්බන්ධ වෙන්න කියලා ආරාධනයක් ආවා. මම රැකියාවකට කියලා අයදුම් කරලා ගිහින් තියෙන්නෙ පළවැනි රැකියාවට විතරයි. අනෙක් ඒවා ඔක්කොම මට කතා කරලා දුන්නු ඒවා. කාලයක් එතැන වැඩ කරමින් ඉද්දි මට හිතුණා මගේ මාසික වේතනයට ලැබෙන මුදලට තරම් වැඩක් මගෙන් වෙන්නෙ නෑ කියලා. මම ගිහින් ඒක බොස්ට කිව්වා. මම කවදාවත් ඔයාට එහෙම කියලා නෑනෙ කියලා බොස් කිව්වා. මට එතකොට වයස 24 යි.

ඔබ වඩාත් කැමැති වෙළෙඳ දැන්වීම්කරණයට. ඒ පැත්තෙන් ඉදිරියට යන්න මොනවද කළේ

ඇඩ්වර්ටයිසින් කියන්නෙ මගේ ලිවීමේ හැකියාව පාවිච්චි කරන්න පුළුවන් තැනක්. මම ගොඩක් සාර්ථකත්වයට පත්වෙන්නෙ ඒ ඔස්සේ. ඒ ක්ෂේත්‍රයේ හැම පැත්තක්ම මම ආවරණය කළා. විද්යුත්, මුද්‍රිත, නව මාධ්‍ය මේ සියල්ලට ම මම වැඩ කළා. මම පුදුමාකාර විදියට මේවට බැහැලා වැඩ කළා.

මේ සියල්ල අතරේ ග්‍රන්ථ කතුවරයෙක් එහෙමත් නැත්නම් ලේඛකයෙක් විදියට ඔබ මතු වෙනවා.

ඇත්තටම මම ගොඩක් ආස වුණේ සින්දු කියන්න. හැබැයි සේසිරි විජේරත්න සර් මට කියනවා, ඔයා සින්දු කියන්න කලින් මේ අය සින්දු කියන හැටි අහන් ඉන්න කියලා. මම සංගීත පන්තියට දිගටම ගියා. මේක බේර ගන්න බැරිම තැන සර් මගෙන් ඇහුවා ඔයා විද්‍යා විෂයයන් ද කරන්නෙ කලා විෂයයන් ද කියලා. මම කිව්වා විද්‍යා විෂයයන් කියලා. එයා කිව්වා ඔයා වඩාත් ගැළපෙන්නෙ කලා පන්තියට කියලා, මාව දැම්මා චිත්‍ර ගුරුවරයා ළඟට. එතනදි මම මුලින් ම ඇන්දෙ අලියෙක් ගහක් පෙරළනවා. හැබැයි මට හොඳට ම අඳින්න තේරෙන්නෙ නෑ කියලා සර් තේරුම් ගත්තා. රසවාහිනී සඟරාවට මම උනන්දුවෙන් ලිව්වා. ඒක දැකපු සර් මගේ හැකියාව තේරුම් අරන් මාව දිරිමත් කළා. සිංහලෙන් අලෙවිකරණය පිළිබඳ ලිපි මාලාවක් මම ලිව්වා. එතැනින් පටන් ගත්ත මං පොත් පහළොවකට වඩා ලිව්වා. මම ලේඛකයෙක් වෙන්න පාර කැපෙන්නෙ එහෙම.

රැකියා අවස්ථා ගොඩක් සඳහා ඔබට ආරාධනා ලැබෙනවා. මේ අතරෙන් ගැළපෙන ම රැකියාව සොයා ගන්නෙ කොහොමද?

එක වෙලාවක මට රැකියා 7ක් සඳහා එකවර ආරාධනා ලැබෙනවා. මට මේක තනියම තෝර ගන්න බෑ. මම යනවා ඩී. බී. නිහාල්සිංහයන් හමු වෙන්න. ඔහු දෙනවා මට හොඳ අවවාදයක්. එයා කිව්වා එක කවුරුහරි ඔබට දේශීය වෙළෙඳපොළ දැකල නම් ආරාධනා කරන්නෙ එයා ඔයාව හරියටම කියවලා නෑ, දෙක ඔයාට කවුරුහරි එන්න කියනවා නම් දැන් ඔයාගෙ තියෙන කුසලතාවෙන් එයාලට ප්‍රයෝජන ගන්න ඒකත් සුදුසු නෑ. හැබැයි යම් කිසි ආයතනයක් ඔයාට එන්න කියනවා නම් ඔයාගෙ හැකියාව, කුසලතාව ප්‍රයෝජනයට ගන්න ගමන් ඔයා වෙනුවෙනුත් ලොකු ආයෝජනයක් කරන්න පුළුවන් නම් අන්න ඒ ආයතනය තෝරා ගන්න කියලා. හතරවෙනුව බොස් එක්ක ඔයාගෙ අදහස් පෑහෙනවා නම්, ගැළපෙනවා නම් අන්න ඒ තැනට යන්න කියලා. මේ නිර්ණායක ටික අරන් මම තීරණය කළා ඊගල් එකට යන්න. සහය කළමනාකරුවෙක්ගෙ තැනට තමයි මම යන්නෙ. එතනදිත් මම හිතුවෙ මේ සමාගම දියුණු කරන්නෙ කොහොමද කියලා. මම කවදහරි එතැන කළමනාකරණ අධ්‍යක්ෂ වෙනවා කියලා සිහිනයක් නම් මට තිබුණෙ නෑ. හැබැයි අවුරුද්දේ කාර්යඵල සමාලෝචනයේදී මට හැමදාම විශිෂ්ට කියන සහතිකය ලැබුණා. මම කැපවීමෙන් වැඩ කළා.

විවාහය කොහොමද සිදු වෙන්නෙ 

ඇය සුනේත්‍රා සූරියආරච්චි. ඇය මගේ සියලු දේට බෙහෙවින් සහයෝගය දෙනවා. ඒ සහයෝගය තමයි මාව මේ තත්ත්වයට එන්න බලපෑම් කරන්නෙ.

පොත් ලියන කෙනෙක් පොත් කියවන්නත් කැමැති ඇතිනෙ. සාමාන්‍යයෙන් ඔබ මොන ප්‍රවර්ගයේ පොත් ද කියවන්නෙ

මම ගෙදරට සීනි ඔතාගෙන ආව කොළෙත් කියවපු කෙනෙක්. ඒත් මම වැඩියෙන් කැමැතියි දාර්ශනික අදහස් සහිත පොත් කියවන්න. ක්‍රිෂ්ණමූර්ති, ඕෂෝ වගේ ලේඛකයන්ගෙ පොත් මම නිතර කියවනවා. මට ගොඩක් බලපෑවෙ ක්‍රිෂ්ණමූර්ති දර්ශනය.

විවේක වෙලාවට මොකද කරන්නෙ

විවේක වෙලාවට නම් විවේකී ව ම ඉන්න තමයි කැමැතියි.

සාමාන්‍යයෙන් ඇවිදින්න කැමැති කොහේද?

මට ජීවිතයේ ලැබුණු හොඳ ම දෙයක් තමයි නිතර ම රට පුරා වගේම ලෝකෙ පුරා ඇවිදින්න ලැබුණු එක. දැන් මම කැමැතියි නුවර සහ අනුරාධපුරය වගේ පළාත්වලට යන්න.

බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ

මම හිතන්නෙ මම බ්‍රෑන්ඩ් එකක්. ඒක තමයි අමාරු ම දේ. මම මල්ටි නැෂනල් කොම්පැනියක ප්‍රධාන විධායක නිලධාරියා වෙලා හිටිය කෙනෙක්නෙ. මට ඕන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් වුණාට මම හිතන්නෙ පාවිච්චි කරන්න පහසු බ්‍රෑන්ඩ් එක තමයි හොඳ ම බ්‍රෑන්ඩ් එක

හෙට දවස ගැන මොකද හිතන්නෙ

කිසිවක් ප්‍රාර්ථනා නොකර සැහැල්ලුවෙන් හෙට දවසේ ඉන්න ලැබීම තමයි හොඳ ම දේ

Comments