
- මේ තුළින් ධාරණ ශක්තිය වර්ධනය වී ඉගෙන ගැනීමට දැඩි කැමැත්තක්, රුචියක් ඇතිවනවාක් මෙන්ම දරුවන්ගේ සියලු කායික, මානසික පීඩා දුරුවෙයි
- මෙම පූජාවට නිවෙසේ සිටින පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන දූ දරුවන් අනිවාර්යයෙන්ම සහභාගි කරවා ගන්න
රට මුහුණ දුන් කෝවිඩ් වසංගත තත්ත්වය සහ අනතුරුව මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු සහගත තත්ත්වයන් හමුවේ අපේ රටේ පාසල් පද්ධතිය ද බිඳ වැටී ඇත.
වසංගත රෝගී තත්ත්වය සහ ගමනාගමන අපහසුතා මත නිතර පාසල් වසා දැමීම නිසා අසීරුතාවට පත්ව ඇති පාසල් සිසු දරු දැරියන් අතරින් බහුතරය විවිධ කාය චිත්ත පීඩාවන්ට පත්වී සිටිති.
මෙම තත්ත්වය හමුවේ එම දූ පුතුන්ගේ මානසික තත්ත්වය ඉහළ නංවා ත්‍රිවිධරත්නයේ සහ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාධාරය, ආරක්ෂාව, ඇල්ම බැල්ම ආකර්ෂණය ලබා ගත හැකි සරල පූජාවක් මෙවර ඉදිරිපත් කරන්නෙමු.
අප බොහෝ දෙනකු දිනපතා සිදු කරන පරිදි නිවෙසේ බුදු පහන දල්වා කරනු ලබන පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව ඒ ආකාරයටම පවත්වාගෙන යන අතරතුර ගිය සතියේ අප මේ විශේෂාංගය යටතේ ඔබ වෙත ලබා දුන් මහා බලවත් බෝධි පූජාව ගමේ පන්සලේ බෝධීන් වහන්සේ අබියස දී ඉතා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුතුව පවත්වන්න.
මෙම පූජාවට නිවෙසේ සිටින පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන ඔබේ දූ දරුවන් අනිවාර්යයෙන්ම සහභාගි කරවා ගන්න.
බෝධි පූජාව අවසානයේ දෙවියන්ට පින් දීමෙන් අනතුරුව සුදු, කහ හෝ නිල් රෙදි කැබැල්ලක දවටා ගත් සෝදා පිරිසුදු කරගත් කාසියකින් පඬුරක් වෙන්කර ඒ පඬුර දරුවන් අතට දෙන්න.
දැන් ඔබ බෝධීන් වහන්සේ සෙවණේ සිට තම දරුවාගේ, දරුවන්ගේ ග්‍රහ පීඩා, භූත පීඩා, ප්‍රේත, පිසාච ආදී පහත් පෙළේ බලවේගයන්ගෙන් සිදුවන පීඩා කාය චිත්ත පීඩා ආදී කොට ඇති සියලු පීඩා දුරුකොට දී යහපත සහනය ශාන්තිය සලසා දෙන ලෙස ඉල්ලා සිටින්න.
දැන් දරුවන් අත ඇති පඬුරු බෝධීන් වහන්සේට මල් පූජා කරන මල් ආසනය මත තැන්පත් කරන්න
‘‘ආකාසට්ඨා ච ... ගාථාවෙන් දෙවියන්ට පින් දී පඬුරු සුරක්ෂිතව නිවෙසට රැගෙන විත් බුදු පහන තබන ස්ථානයේ තබා දිනපතා බුදු පහන තබන අවස්ථාවේදී බුදුන් වැඳ දෙවියන්ට පින් දීමෙන් අනතුරුව එම පඬුර බාර මතක් කරන්න, අලුත් කරන්න.
ඒ අතරම බුදු පහන තබන ස්ථානයට වඩා පහතින් තැනක ගණ දෙවියන් සහ සරස්වතී දෙවඟන වෙනුවෙන් පහනක් දල්වන්න.
හැකිනම් සහ ඇත්නම් පමණක් ගණ සහ සරස්වතී දේව රූප හෝ පිළිම දෙකක් ද එම ස්ථානයේ තැම්පත් කරන්න. එසේ තැබීම අත්‍යවශ්‍යම නැහැ.
දැන් පහත සඳහන් ගණ දෙවි නාමාවලිය සහ සරස්වතී ස්තෝත්‍රය මිහිරි හඬින් ගායනා කරන්න.
මේ නාමාවලිය සහ ස්තෝත්ර ශ්‍රවණයට එම දෙවිවරුන් ඉතා ප්‍රිය කරයි.
මෙසේ ටික දිනක් මේ ගායනය කරද්දී ඒවා දරුවන්ට කටපාඩම් වේ. එවිට එම ගණ දෙවි නාමාවලිය සහ සරස්වතී ස්තෝත්ර ඒ දරුවන්ට සිද්ධි වේ. එනම්, ප්‍රතිඵලදායක වේ. ඒ තුළින් දරුවන්ගේ ධාරණ ශක්තිය වර්ධනය වී ඉගෙන ගැනීමට දැඩි කැමැත්තක්, රුචියක් ඇති වේ. එමෙන්ම එම දරුවන්ගේ සියලු කායික, මානසික පීඩා දුරුවී ගොස් ඔවුන් සතුටින් සහ බලාපොරොත්තු සහගතව ජීවිතයට මුහුණ දීමට හුරුපුරුදු වේ.
බොහෝ අවස්ථාවන්හිදී අත් දැක ඇති මේ පූජාව ඔබත් ඉතා ගෞරවයෙන්, භක්තියෙන් සහ විශ්වාසයෙන් යුතුව පවත්වා අපමණ පිහිට ලබාගන්න.
ගණපති නාමාවලිය
ගණපති ඕම් ජය ගණපති ඕම්
ගජමුග වයින්ගර ගණපති ඕම්
ගණපති යාම් ශිව ගණපති ඕම්
මූෂික වාහන ගණපති ඕම්
මූලක් ප්‍රාවන ගණපති ඕම්
මාසුර දේසිත ගණපති ඕම්
වල්ලභ මෝහන ගණපති ඕම්
ගණපති ඕම් ජය ගණපති ඕම්
ගජමුග වයින්ගර ගණපති ඕම්
ගණපති යාම් ශිව ගණපති ඕම්
කුණ්ඩලි මණ්ඩල ගණපති ඕම්
සරස්වතී දෙවඟන සඳහා ස්තෝත්‍රය
ඕං සිද්ධි සරස්වතී මා මුඛ තුළ දිෂ්ටි දිව මුල දිෂ්ටි මුඛ බන්ධ ආවේශ පුරිපුරි ස්ව හා
ඕම් සරස්වතී මහා දේවී
වීනා පුස්ථක ධාරිණී
හංසවාහිණී සමායුක්තං
විද්යාංධාන කුරූ මම
ගණ දෙවි නාමාවලිය සහ සරස්වතී පූජා ස්තෝත්ර ගායනා කිරීමෙන් අනතුරුව නැවත දෙවියන්ට පින් දෙන්න.හැකි සෑම විටකම ගණ සහ සරස්වතී දෙවිවරුන් වෙනුවෙන් හොඳින් ඉදී, සුවඳ හමන පලතුරු වර්ග සහ ඉතා පිරිසුදුව පිළියෙල කරගත් කැවිලි වර්ග, හකුරු මිශ්‍ර කිරිබත් පූජා කරන්න.
අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව ඉටු කරගත හැකි චිත්ත ශක්තිය සහ ආත්ම ශක්තිය ඒ මඟින් ඔබේ දරුවන්ට නොඅඩුවම ලැබෙනු නිසැකය.
සකස් කළේ, සුනිල් පොරමඬල