මාධ්‍යවේදී චමින්ද මුණසිංහ මා සමඟ පැවැත්වූ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක්, ' ඇති තතු ' යනුවෙන් 2016 ජනවාරි 06 වැනි බදාදා ජාතික පුවත්පතක පළවිය.
2016 වර්ෂය සදහා වන අයවැය ලේඛනය එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කළ අතර, එවකට විපක්ෂය නියෝජනය කළ අපි, මෙකී අයවැය ලේඛනය මගින් පාර්ලිමේන්තුව මුළුමනින්ම නොමඟ යවා ඇති බව සංඛ්‍යා දත්ත සහිතව ඔප්පු කොට පෙන්වූයෙමු.
එයින් නොනැවතී, මෙකී මහා ආර්ථික ව්‍යසනය පිළිබඳ එවකට ගරු කථානායක කරු ජයසූරිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, එතුමා විසින් එම පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණයක් ද කළේය.
'2016 සල්ලි වැස්සක් ' යන උද්ධෘතය යටතේ පළ වූ ලිපියෙහි අග කොටස හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා පහත දක්වමි.
අකාර්යක්ෂම, අතාර්කික,රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි දරාගත නොහැකි අවසාන ප්‍රතිඵලය වන්නේ අද දවසේ ඇතිවී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයයි.
මේ අභ්‍යන්තරික සාධකවලට අමතරව මේ වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම අර්බුදය වන්නේ ගෙවුම් ශේෂ අර්බුදයයි.
අපනයන ඉපැයුම් පහත වැටෙද්දී ආනයන ගෙවීම් ඉහළ යාම සහ කෙටි කාලයකට ලබාගත් විදේශ ණය සඳහා පොලී ගෙවීම් හේතුවෙන් ගෙවුම් ශේෂය මත අධික පීඩනයක් පැටවෙන වසර ලෙස මේ වසර ඉතිහාසයට එක්වනු ඇත.
රට සතු විදේශ වත්කම් ඛාදනය වළක්වාගත හැක්කේ දැවැන්ත පරිමාණයේ විදේශ ආයෝජන හා විදේශ විනිමය තොගයක් රට තුළට ගලා ආවොත් පමණි.
එහෙත් පසුගිය වසරේ ඇතිවී තිබෙන දේශපාලන ආර්ථික හා මූල්‍ය අස්ථාවරත්වය යටතේ තීක්ෂණ ආයෝජන දැක්මක් ඇති ව්‍යවසායකයන් ලංකාව ආයෝජන ක්ෂේම භූමියක් ලෙස සලකන්නේ නැත. අනෙක් අතට මේ මස පවත්වන ආර්ථික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වී ඇත්තේ තායිලන්තය සහ මැලේසියාවේ ආර්ථිකය බිඳ වැට්ටු ජෝර්ජ් සෝරෝස් ඇතුළු කුප්‍රකට ඉතිහාසයක් ඇති නඩයයි.
ඒ නිසා සෝරෝස් න්‍යායෙන් මෙරට ආර්ථික තත්ත්වය නිවැරදි කිරීමට උත්සාහ දැරීම සමස්ථ ආර්ථිකය බිඳ දැමීමට මඟ සාදන්නකි. මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට දැනට ඇත්තේ එක් විකල්පයකි.
මේ අයහපත් ගෙවුම් ශේෂ ප්රශ්නය නිවැරදි කර ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක වත් සමීපස්ථ ණය ගිවිසුමක් ඇතිකර ගැනීමෙන් පමණි. එහෙත් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසි රාශියකට යටත්වන්නට සිදුවීම දේශපාලන වාසි තකා ආර්ථික සාධක හසුරුවන්නට ගිය අයට කිසිසේත්ම දරා ගැනීමට නොහැකි වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිත ආයතනය සමග දැනටමත් ආරාවුල්ය.
මේ නිසා මෙරට ආර්ථික අර්බුදය පිළිබඳ මූල්‍ය අරමුදල ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා අරඹා තිබේ. ඒ නිසා නව වසර සුබ නව වසරක් වීමට නම් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා පාර්ලිමේන්තුවේ බරපතළ මැදිහත්වීමක් අවශ්‍යය.
එහෙත් හීලෑ කළ විපක්ෂයේ ප්රශස්ති හා පිට කසා ගැනීම් සහ රාජපක්ෂ රෙජිමයට දිගින් දිගටම පහරදීමෙන් ආර්ථික අර්බුදයේ යථාර්ථයට මුහුණදීම අසීරු වනු ඇත. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ ගැඹුරු රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ශාස්ත්‍රීය සංවාදයක් මතු කර ගැනීමට වෙහෙසවීම නිරෝගී ප්රජාතන්ත්ර වාදයක් අගයන සියලු දෙනාගේ වගකීමකි.
නැතහොත් සිදුවන්නේ 1980 ගණන්වල මෙන් පාර්ලිමේන්තුවෙන් පිටත ප්රචණ්ඩත්වයේ පිළිකුල් කළ යුතු මාවතක් නිර්මාණය වීමය.