ලාභයි! සම්මාන ලාභයි! | සිළුමිණ

ලාභයි! සම්මාන ලාභයි!

ටට ජනතාවට ඵලදායී සේවාවක් සිදු කරන්නා වූ හා සමාජ සේවාවේ නියැළෙන්නා වූ පුද්ගලයන්ගේ එම සේවාව අගයා උපහාර හා සම්මාන නම්බු නාම පිදීම ඇරැඹුණේ රජ කාලයේ සිටය. අතීතයේ රජතුමා විසින් ලබා දුන් නම්බු නාමවලට අමතරව ගම්වර තෑගි ලබාදීම පවා සිදු විය.

මේ ගෞරව නම්බු නාම ලබා දුන්නේ ස්වේච්ඡාවෙන් සිදු කරන ලද සේවාවන් උදෙසාය. එයින් ඒ තැනැත්තන්ට නිරාමිස මානසික ප්‍රීතියක් ලැබුණි. එය එම සමාජ සේවාවන්ට තවත් ධෛර්යයක් විය. රජ කාලයෙන් පසුව බ්‍රිතාන්‍ය ජාතිකයන්ද එවන් නම්බු නාම පදවි තානාත්තර ලබා දෙන ලදී. ඒ තමන්ට පක්ෂපාතීව කටයුතු කළ අයටය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් වූ පසුව මේ සම්මාන උපහාර පිදීම රාජ අනුග්‍රහයෙන් ලබා දීම සිදු විය. එයට අමතරව සිවිල් සමාජ ක්‍රියාකාරී ආයතන හා සමාජ සංවිධාන කිහිපයකට පමණක් එවන් උපහාර සම්මාන ලබා දීමට අවසර ලැබුණි.

ඊටත් අමතරව එවන් උපහාර හා සම්මාන ලබාදීමට හැකියාව ඇත්තේ විශ්වවිද්‍යාලයන්ට හා ත්‍රෛනිකායික මහ නාහිමි හා අනු නාහිමිවරුන්ට පමණි. අදාළ උපහාරයේ සම්මානයේ ගෞරවය වැදගත්කම රැඳුණේ එවන් වැදගත්කමක් එහි රැඳී පැවතුණු නිසාය.

එහෙත් මෑතකාලීනව කිසිදු ආක­ාරයක අනුමැතියක් පවා නොමැති සමිති සමාගම් අටවාගෙන ඒවා ස්වේච්ඡා සමිති හා සමාගම් බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඒ හරහා හොර රහසේ සම්මාන උපහාර පිදීමේ ක්‍රමවේදයන් ගැන අපට වාර්තා විය. එසේ සම්මාන පිදීම සිදු කෙරුණේ බොහෝ විටම සමාජ සේවකයන්ටත් වඩා ඇති හැකි අයටය. ඒ තම සංවිධානයේ ක්‍රියාකාරීත්වය හා සමිතියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ පුද්ගලයන්ගෙන් යම් ආකාරයක දායකත්වයක් අනුග්‍රහයක් ලබා ගැනීම පිණිසය.

ඒ කෙසේ හෝ මේ උපහාර සම්මාන සියල්ල සම්මානලාභියා වෙත පිරිනැමුණේ කිසිදු ආකාරයක ගාස්තුවකින් තොරවය.

එහෙත් මේ වන විට රට පුරා විවිධ සංවිධාන සමිති විසින් කිසිදු අනුමැතියකින් තොරව මුදල් අය කරමින් මහාපරිමාණ සම්මාන සහතික පිදීමේ මහා ජාවාරම් කිහිපයක් ආරම්භ කර තිබේ. ඒ හරහා වංචනිකව මුදල් උපයා ගැනීමක් සිදු කෙරේ.

එයින් ඇතැමුන් සිදු කරන්නේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් හරහා දායක සභාවේ සිටින ඇති හැකි අය හා සමාජයේ යම් ඉහළ රැකියාවන් කරනු ලබන අය තෝරාගෙන ඔවුන්ට ලිපි මඟින් දැනුම්වත් කර සම්මාන ලැබීමට සුදුසු බවට නිර්දේශ කර ඇතැයි දැනුම්වත් කිරීමයි. මේ අටවා ගත් සමිති සමාගම්හි පුද්ගලයන් පුදුමාකාර සුක්ෂ්මය. කපටින්ගෙත් කපටින්ය. ඔවුන් සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී ග්‍රාම නිලධාරීන් වෙත ගොස් ඔහු හමුවී විහාරස්ථානයෙන් හෝ වෙනත් අයුරකින් තොරතුරු ලබා ගත් තැනැත්තා පිළිබඳව පෙර විපරම් වාර්තාවක් (අදාළ පුද්ගලයාගේ චරිතය පිළිබඳව විමසයි) ලබා ගනී. අදාළ පුද්ගලයාට ගෞරව උපහාර පිදිය යුතු බවට ප්‍රදේශවාසීන් තම සංවිධානයට නිර්දේශ කර ඇති බැවින් අදාළ තැනැත්තාගේ චර්යාව ගැන පමණක් දැන ගන්නට අවශ්‍ය බවක් එහිදී පැවසේ. උපහාර පිදීමට පෙර සත්‍ය වශයෙන්ම අදාළ පුද්ගලයා ඊට සුදුසුද යන්න සොයා බලන බවට ඒත්තු ගන්වයි. එය එක්තරා ආකාරයක ප්‍රෝඩාවකි. එමෙන්ම අදාළ පුද්ගලයා සිටින ප්‍රදේශයට සතියේ දින දහවල් 12.00ට පෙර ගොස් එහි ඇති වෙළෙඳසල්වලින්ද අදාළ පුද්ගලයා පිළිබඳව තොරතුරු විමසා සිටී. ඔහු කිනම් චරිතයක් ඇත්තෙක්ද? මත්පැන් පානය කරන්නෙක්ද? යනාදී වශයෙන් ග්‍රාම නිලධාරි මහතා හෝ මහත්මියගෙන් විමසූ ලෙසින්ම තොරතුරු විමසයි. ඒ හරහා අදාළ පුද්ගලයාට තොරතුරු ලැබෙන්නට සලස්වන්නේ පිරි නැමීමට යන්නේ මැනවින් සොයා බලා ලබා දෙන විශිෂ්ට ගණයේ සම්මානයක් බවයි. අදාළ සමිතිය හෝ සංවිධානය කෙරෙහි සම්මානය ලබන්නාගේ විශ්වසනීයත්වය වැඩි කරවා ගැනීම එයින් අදහස් කෙරේ.

පසුව අදාළ පුද්ගලයාට ලිපියක් යවමින් දන්වන්නේ සමාජයට වැඩදායි පුද්ගලයකු නිසා ඔහුට සම්මානයක් පිදීමට අදාළ විධායක සභාව හෝ සම්මේලනය විසින් අනුමත කර ඇති බවයි. ඒ සඳහා සංගමයේ හෝ සමිතියේ හෝ යාවජීව සාමාජිකත්වය ලබා ගන්නා ලෙසද දන්වයි. යාවජීව සාමාජිකත්වය ලබා ගන්නේ නම් විදේශ සංචාර පවා හිමිවන බවද දන්වයි.

සාමාජිකත්වය පිණිස රුපියල් 800 ක පමණ මුදලක් හෝ යාවජීව සාමාජිකත්වය පිණිස රුපියල් 3,000ක මුදලක් හෝ දන්වා සිටී.

එමෙන්ම සම්මාන පුදන දිනය හා සම්මානයේ වර්ගයද මහා ඉහළ මට්ටමින් දන්වයි‘. එය මනරංජන - ජනරංජන - ශ්‍රී විභූති වැනි වචන එක්කර මහා ප්‍රාඥයකුට පුදන සම්මානයක් ලෙස හුවා දක්වයි.

අදාළ සම්මානය වෙනුවෙන් අත්සන් කරන්නේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකි. බොහෝ විට යම් නායක ධුරයක් ඇති ස්වාමීන් වහන්සේ නමක් තෝරා ගනිති. බොහෝ විට උන් වහන්සේ මේ ගරානා ව්‍යාපාරය නොදනිති. සමිතියෙන් හෝ සංවිධානයෙන් රටට වැඩදායක අයට උපහාර පුදනු ලබන්නා විට උන් වහන්සේගේ අත්සන භාවිත කිරීම මේ අයගේ සිරිතය.

සියල්ල සූදානම් කර අවසානයේ උපහාරයට පෙර ලිපියකින් දක්වන්නේ සම්මාන උපහාර පුදනු ලබන දිනයේදී රුපියල් 3,000ක් සමිතියෙන් හෝ සංවිධානයෙන් සිදු කරනු ලබන විහාරස්ථානයේ යම්කිසි කාර්යයක් වෙනුවෙන් හෝ දුරබැහැර විහාරස්ථානයක සිදු කරන්නා වූ යම් කාර්යයක් වෙනුවෙන් හෝ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දූ දරුවන්ගේ පාසල් අවශ්‍යතා සපුරා ලීමට ලබා දෙන ලෙසය.

බොහෝ විටම උපහාර සම්මාන පිණිස ලැබෙන්නේ සහතිකයක් හා කුඩා තහඩුවක් හෝ ප්ලාස්ටික් කැබැල්ලක ‘...........‘ උපහාර යනුවෙන් මුද්‍රණය කරන ලද්දකි. සහතිකයේ කිසිදු වටිනාකමක් නැත. එය පිළිගත් සහතිකයක් නොවේ. ඒ සඳහා වැය වන මුදල උපරිම වශයෙන් රුපියල් 250ත් 300ත් අතර වේ. එවිට ලාභය රුපියල් 5,500 ඉක්මවයි. පුද්ගලයන් 100කට මෙලෙසින් ලබා දුනහොත් ලාභය ලක්ෂ පහමාර ඉක්මවනු ඇත.

වසරකට දෙතුන් වරක් මේ ලෙසින් ලක්ෂ 16කට අධික වටිනාකමක් උපයා ගත හැකිය. එය හොඳ ව්‍යාපාරයකි. ඇතැම් විට මේ ප්‍රෝඩාවට අනුශාසක හෝ උපදේශක යනුවෙන් පිළිගත් අයද සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන්ද මුදලක් කඩා ගනිති. එවිට ලාභය තවත් වැඩි වේ.

මේ වංචාවේ අලුත්ම සෙල්ලම දැන් එළියට පැමිණ ඇත. එය පෙරටත් වඩා පහසුය. ඒ ජාතික පුවත්පතක දැන්වීමක් පළ කරමින් සමාජයේ ජනතා සේවයට කැප වූවන්ට උපහාර සම්මාන පිදීම යනුවෙන් පළ කර ජනතාව මුළා කිරීමෙනි. ඒ සඳහා සම්මාන අවශ්‍ය අයට විස්තර එවන ලෙස දන්වා සිටී. එවන් කූට ව්‍යාපාරයක් ගැන අපට වාර්තා වූයේ වේයන්ගොඩ ප්‍රදේශයෙනි. ජාතික පුවත්පතක තිබු දැන්වීමට අප දන්නා අයෙක් විසින් පිළිතුරු සපයා ඇත. එයට පිළිතුරු ලෙසින් ඔහුට ලිපියක් ලැබී ඇත්තේ ඔහුට ‘ශ්‍රී විශ්ව කීර්ති දේශපුත්‍ර විශාරද‘ සම්මානයක් ලබා දීමට තෝරාගෙන ඇති බවයි.

එමෙන්ම එහි දක්වා ඇත්තේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිනමක් හා සුවිශේෂ පරිවේණාධිපති හිමිනමක් සමඟ මහාචාර්යවරු තුන් නමක් මෙන්ම සභාපති යන උතුමන්ගේ අත්සනින් බල පිහිට වූ මෙම සම්මානය ඔබගේ දෑතට පත් කර ගැනීම සඳහා පහත දැක්වෙන පිරිවැය දැරීමට සිදුවන බව සලකන්න යනුවෙනි.

ඒ යටතේ මසකට රුපියල් 300 බැගින් අවුරුද්දක තාවකාලික සාමාජික ගාස්තු වශයෙන් 3600කි. සහතික නිර්මාණයට රුපියල් 2500කි. සම්මානය වෙනුවෙන් ආයතනයේ ලියාපදිංචි ගාස්තුව 850කි. සම්මානය තැපෑලෙන් එවීමේදී යොදා ගන්නා ආරක්ෂිත ආවරණයට සඳහා රුපියල් 650කි බර අනුව තැපැල් ගාස්තුව රුපියල් 300කි.

ඒ අනුව අභිමානය වෙනුවෙන් රුපියල් 7900ක් ගෙවන ලෙසත් එය මහජන බැංකුවේ ගිණුම් අංක 079 1001 2002 0471 ට ගෙවා අදාළ රිසිට්පත ලියාපදිංචි තැපෑලෙන් පුරවැසි ලංකා පදනම ගුවන් තොටුපොළ පාර වේයන්ගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන ලෙසයි.

ඒ සමඟ ලිපිනය ලියන ලද රුපියල් 45ක මුද්දර ගැසූ ලියුම් කවරයක් ද එවන ලෙස දන්වා තිබේ.

ඡායාපිටපතක් මඟින් එවන ලද මෙය කිසිදු ස්ථානයක ලියාපදිංචි ආයතනයක් නොවන බව බැලූ බැල්මට පෙනී යයි. එම නිසා එය වංචනික ක්‍රියාවක්ද නොඑසේ නම් යම් ආකාරයක සේවාවක් සිදු කරන්නේද යන්න ගැන එහි සඳහන් දුරකථන අංක 0114572325ට අමතන ලදී. ඇමතුම ලබා ගත් කාන්තාව විසින් පැවසුවේ ලේකම්වරයා එම අවස්ථාවේදී රැස්වීමකට ගොස් ඇති බවකි. පසුදින දුරකථනයෙන් කතා කළ විට ලේකම් යැයි කියා ගන්නා ලද අයෙක් පැවසුවේ ආයතනය ගැන දැන ගන්නට ඕනෑ යමක් වේ නම් ලිඛිතව විමසන ලෙසයි. ආයතනය කුමන ස්ථානයක ලියාපදිංචි දැයි විමසූ විට එයට පිළිතුරු ලබා නොදුන් ඔහු පැවසුවේ ලිඛිතවම විමසන ලෙසයි.

පුරවැසි ලංකා පදනම, ගුවන් තොටුපොළ පාර වේයන්ගොඩ ලිපිනය සඳහන්ව ඇති නිසා අපි මේ සම්බන්ධයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාරගෙන් විමසුවෙමු.

ඔහු පැවසුවේ එවන් ආයතනයක් පවත්වා ගෙන යාමට තම බල ප්‍රදේශයේ එවන් ආයතනයකට අවසර ලබා දී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන බවයි.

එමෙන්ම අපි මේ සම්බන්ධයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධනගෙන්ද විමසුවෙමු. ඔහු පැවසුවේද ව්‍යාපාර ලියාපදිංචිය මෙන්ම විවිධ සමිති ලියාපදිංචි කර ඇතත් පුවත්පත් දැන්වීම් පළ කර ජනතාවගෙන් මුදල් අය කර සම්මාන ලබාදීමට ආයතනයක් ලියාපදිංචි කර නොමැති බවයි. එවැන්නකට අවසර නොමැති බවද ඔහු පැවසුවේය. එමෙන්ම එය පොලිසියට වාර්තා කර අවශ්‍ය පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සිළුමිණ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් විමර්ශනයේ යෙදුණි. එවිට දැනගන්නට හැකි වූයේ වේයන්ගොඩ ලිපිනය ලබා දී තිබුණද මහජන බැංකුවේ ගිණුම් ආරම්භ කිරීමට ලබා දී ඇත්තේ අංක 51/4, වල්පිටමුල්ල, දෙවලපොළ ලිපිනය බවයි.

එය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයට අයත් නිසා අපි මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්ලිව්.ටී. යූ. රාජකරුණාගෙන් විමසුවෙමු. ඇය පැවසුවේද එවන් ආයතනයක් ගැන නොදන්නා බවත් ලියාපදිංචි සමිතියකට වුවද එවැනි ලෙසින් මුදල් එකතු කිරීමේ බලයක් හෝ විශ්ව කීර්ති දේශපුත්‍ර සම්මාන ලබා දීමට හැකියාවක් නොමැති බවයි. ඒ ගැන ග්‍රාම නිලධාරි හරහා සොයා බලන බවත් ඇය කීවාය.

පුරවැසි ලංකා පදනම නමින් ගිණුම් අරඹා ඇත්තේ ජේ. උඩගෙදර, කුමාර ප්‍රදීප්, ලීලරාණි, සීනිපල්ලගේ යන සිවු දෙනා විසිනි.

පුරවැසි පදනම පිහිටුවීමේ අරමුණ කුමක්ද? එමෙන්ම දෙවලපොළ පිහිටුවා ඇති පදනමක් විසින් වේයන්ගොඩ ලිපිනයක් ලබා දී ඇත්තේ ඇයි? ඔවුන්ට කිසිදු ලෙසකින් මුදල් එකතු කිරීමේ බලයක් නැත. ඕනෑම සමිතියක නැත්නම් අවමංගල්‍යාධාර සමිතියක ලොතරැයි පත් පවා ආධාර පිණිස අලෙවි කරන්නේ ‘මිතුරන් අතරේ පමණයි‘ යනුවෙන් සම්‍යප්‍රයෝගයක් යොදමිනි. එය අවම වශයෙන් එම සමිති සමාගම්වල දියුණුව පිණිසය.

ගමක සමිතියකට පවා ලොතරැයි පවා නිකුත් කිරීමට හැකියාවක් නොමැති විට පුවත්පත් දැන්වීම් දමා මෙලෙසින් සම්මාන උපහාර ලබා දෙන බව පවසා මුදල් එකතු කිරීමේ බලයක් කිසිවකුට නැත.

මෙලෙසින් ලබා දෙන්නට යෝජිත සහතිකයේ වටිනාකම රුපියල් 400කට නොවැඩි වනු ඇත. ඒ අනුව එක් අයකුගෙන් රුපියල් 7500.00ක ශුද්ධ ලාභයක් මේ අය විසින් ලබා ගන්නවා ඇත. මෙලෙසින් 200 දෙනකුගෙන් පමණක් උපයා ගත හැකි ආදායම රුපියල් ලක්ෂ 15 ඉක්මවා යනු ඇත.

මෙවන් සමාජ විරෝධී ක්‍රියාවන් තව දුරටත් සිදු වීම වැළැක්විය යුතුය. ඒ වෙනුවෙන් වහාම පියවර ගත යුතුය. එමෙන්ම මේ සඳහා මුල් වී කටයුතු කළ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ මෙවන් වංචාවන් ඉදිරියට නොකිරීමට සෙසු අයටද පාඩමක් වන ලෙසය.

Comments