
පාතාල අපරාධකරුවෝ වැඩි දෙනෙක් සිය ප්‍රතිවාදීන්ගේ ගොදුරු බවට පත්ව ඇත්තේද අනියම් බිරින්දෑවරු නිසා
රටින් බැහැරව සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන කුඩු පාතාලයේ රජවරු අද එකිනෙකා ඇණ කොටා ගන්නවා වෙනුවට තැන තැන වෙඩි පත්තුකරමින් අභියෝග කරන්නේ පොලීසියටය. ඒ මත්කුඩු ජාවාරමට වැට බදින පොලීසියටත් බුද්ධි අංශවලටත් තොරතුරු දෙන්නන් එක දිගටම මරා දමමනි.
මැයි 30 වෙනිදා කොළඹ බැස්ටියන් මාවතෙන් ඇරඹි පාතාලයේ මේ අලුත්ම රැල්ලේ වෙඩි තැබීම් වැඩි හරියක්ම සිදුවන්නේ බස්නාහිර පළාත ආශ්‍රිතවය. එම ගණන 12කි. දකුණු පළාත ආශ්‍රිතවද ඝාතන දෙකක් සිදුවූවත් එයින් එක් ඝාතනයක් මේ වන විටත් තංගල්ල පොලීසියේ නිලධාරීන් විසින් විසඳා හමාරය.
තංගල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තංගල්ල මොරකැටිආරේ වෙඩික්කරුවූ යුද හමුදා විශේෂ බළකායෙන් පලාවිත් සිටි කුලී ඝාතකයා කොටුකර ගන්නා විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිටින්නේ බැස්ටියන් මාවතේ වෙඩික්කරුවා පස්සේ පන්නමිනි.
එම වෙඩි තැබීම සිදුවන්නේ දෙනෝදහක් බලා සිටියදී මහා දවාලයේය. වෙඩික්කරුවා එන්නේ යතුරුපැදියක නැඟීය. එහි පිටුපස අසුනේ සිටි වෙඩික්කරුවා ටී 56 අවිය මල්ලකින් එකවරම පිටතට ගත්තේය. ඒ යතුරුපැදිය ගමන්කරමින් තිබියදීමය. බැස්ටියන් මාවත බස්නැවතුම් පොළේ රැදී සිටි තරුණයන් තිදෙනෙක් දෙසට එය එල්ලකරමින් කොකා ගස්සන්නේ වෙඩි වරුසාවක් මුදා මුදාහරිමිනි.
වෙඩික්කරුවාගේ ඉලක්කයට ලක්වූ ඔවුන් තිදෙනාම හිටපු කමාන්ඩෝ භටයන්ය. ඔවුන්ට එල්ලවූ එම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙක් එතැනම මරුවැලඳ ගත්තේය.
මෙසේ මේ තිදෙනාව වෙඩික්කරුවාගේ ඉලක්කය බවට පත්වන්නේ ඔවුන් අපරාධකරුවන් හෝ පොලිස් ඔත්තුකරුවන් නිසා හෝ නොව වෙඩික්කරුට ලබාදුන් ඉලක්කයේ තොරතුරු වැරදීයට ලැබීම හේතු විය.
එදා ඒ තැබූ වෙඩිල්ල සටහන් වූයේ බස්නැවතුම් පොළේ රැඳී සිටි සිය ගානකගේ පියවි ඇස්වල පමණක් නොව. ඒ අවට ගොඩනැගිලිවලත් බස්නැවතුම් පොළේත් සවිකර තිබුණු ආරක්ෂක කැමරාවලත් පැහැදිලිවම සියල්ල පටිගතව තිබුණේය. ඒ හැරුණු කොට බැස්ටියන් මාවතේ වෙඩික්කරු හඹායාමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට කිසිදු සාක්ෂියක් නොවීය. ඒ වෙඩික්කරුවා පැමිණි යතුරු පැදියේ සටහන්ව තිබුණු අංකය පවා ව්‍යාජ එකක් වූ බැවිනි.
එබැවින් ඒ තිබූ එකම සාක්ෂිය ඔස්සේ වෙඩිකරුවා හඹායාමේ වගකීම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා විසින් පවරන්නේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇසලම්ද සිල්වා ප්‍රමුඛ සංවිධාත්මක අපරාධ විමර්ශන ඒකකයටය. ඒ විමර්ශන සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම පහසුකම්ද සපයමිනි.
ඒ අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වෙඩික්කරුවා පැමිණි යතුරු පැදියේ ගමන් මඟ ඔස්සේ හඹායන්නට පටන් ගත්තේය. එය හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. වෙහෙසකර වූ සංකීර්ණ විමර්ශනයකි. ඒ සඳහා මඟ දෙපස ගොඩනැගිලිවල ඇති ආරක්ෂක කැමරා දත්ත සිය දහස් ගණනක් නිරීක්ෂණය කරන්නට පවා විමර්ශකයන්ට සිදුවිය. ඒ රැයක් දවාලක් නොමැතිවය.
එම ආරක්ෂක කැමරා දත්ත නිරීක්ෂණයේදී පෙනී යන්නේ වෙඩික්කරුවා රැගත් යතුරු පැදිය බැස්ටියන් මාවතේ දී කළ වෙඩි තැබීමෙන් පසු කෙළින්ම ගමන් ගන්නේ කොළඹ කොටුව සෙරමික් හන්දිය දෙසට බවය. ඒ යන අතරතුර ටී 56 අවිය ගමන් මල්ලට ඔබා ගන්නේ එය පිටතට ගත්තාට වඩා වැඩි වේගයෙනි.
යතුරු පැදිය ලේක්හවුස් වටරවුමට පිවිස විජේරාම පාරට දමා වේගයෙන් ඇදී යන්නේ ගාමිණී හෝල් වටරවුම පැත්තටය. එතැනින් දකුණට හැරවෙන යතුරු පැදිය ශාන්ත ජෝන් විද්‍යාලය පසුකර ඉදිරියට ඇදෙන්නේ කොළඹ නාගරික ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව අසලින් වමට හැරීය. සුදුවැල්ලද පසුකර ඉදිරියටම යන යතුරුපැදිය නොරිස් කැනල් පාරට පිවිසියේය. එතැනින් ඉදිරියට ගමන් ගන්නේ පුංචි බොරැල්ල ද සටය. වෙඩික්කරුවා යතුරුපැදි ගමනට සමුදෙන්නේ පුංචිබොරැල්ල බෝධියත් බන්ධනාගාරයත් පසුකර රජයේ මුද්‍රණාලය අසලට පැමිණි පසුවය. යතුරු පැදියෙන් බසින්නේ ගිනි අවිය දැමූ ගමන් මල්ල මෙන්ම යතුරු පැදි හිස් ආවරණයද පැදිකරු අත තබමිනි.
එතැන් සිට වෙඩික්කරුවාගේ ගමන් සඟයා වන්නේ ත්‍රීරෝද රථයකි. අසල කුලී රථ ගාලෙන් ලබාගත් එම ත්‍රීරෝද රථයේ නැඟුණු වෙඩික්කරුවා බේස්ලයින් පාර ඔස්සේ ඉදිරියට ඇදෙන්නේ නාරාහේන්පිට දෙසටය. කිරුලපනින් හයිලෙවල් මාර්ගයට පිවිසි ත්‍රීරෝද රථය නතරවන්නේ නුගේගොඩ පැත්තේ රෙදි සාප්පුවක් ඉදිරිපිය. එම කුඩා රෙදි සාප්පුවට ගොඩවන ඔහු එම සාප්පුවෙන් ටී ෂර්ට් එකක් මිලදී ගත්තේය. හැද සිටි කළු පැහැයට හුරු ජැකට්ටුව ඉවත්කර එම ටී- ෂර්ට් එක ඇඟලාගත් වෙඩික්කරුවා තවත් සාප්පුවකට ගොඩවී මිලදී ගන්නේ හිස් වැසුමකි. එය හිසේ දමාගනිමින් වෙස් මාරුකරගන්නා වෙඩික්කරු ඊළඟට යන්නේ නුගේගොඩ පොදු වෙෙළඳ සංකීර්ණය වෙතය. ඉන් එහාට ඔහු ආ ගිය අතක් සොයාගන්නට නොවීය.
මෙසේ ආරක්ෂක කැමරාවලට හසුනොවී නුගේගොඩින් පොදු වෙෙළඳ සංකීර්ණයෙන් අතුරුදන්වන වෙඩික්කරුවා වෙන කිසිවකුත් නොව, අපරාධ ලෝකයේ නම කියැවෙන්නෙක් වූ විතානගේ ජෝශප් කුමාර නොහොත් ජෝසාය. විමර්ශකයන් ඔහුව පැහැදිලිවම හඳුනාගන්නේ රෙදි සාප්පුවේ සවිකර තිබුණු කැමරා කෝණයක සටහන්ව තිබුණු පැහැදිලි රූපයකිනි.
ජෝසා හමුදාවේ හිටපු සාමාජිකයෙකි. දක්ෂ වෙඩික්කරුවෙකි. ඒ වගේම පළපුරුදු යතුරුපැදි ධාවකයෙකි. පාතාලයට වැටෙන්නේ හමුදා සේවයේ නිරතව සිටියදී කළ මංකොල්ලයක් පොලීසියට හසුවී බන්ධනාගාර ගතවීමත් සමඟිනි. ඒ 2004 වසරේ අප්‍රේල් මාසයේ දිනයකි. හමුදා සේවයෙන් ඔහුව නෙරපා හරින්නේද ඒ එක්කමය.
බන්ධනාගාරයෙන් ජෝසා එළියට එන්නේ එකල නම කියැවුණු පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙක් සමඟ කිට්ටු සම්බන්ධකම් ගොඩනඟාගෙනය. හමුදා රැකියාව අහිමිවීමත් සමඟ පූර්ණකාලීනව මංකොල්ලකරුවෙක් බවට පත්වන ජෝසා ඒ අතර මත්කුඩු ඡාවාරමටද අත තබන්නේ වෙලේ සුදා සමඟ කිට්ටු සම්බන්ධකම් ගොඩනඟා ගනිමිනි.
ජොසාගේ මුල්ගම් පළාත ලෙස සැලකෙන්නේ ඇල්පිටි පැත්තය. ඒ නිසා ඇල්පිටියේ ජෝසා යැයි කාලයක් ඔහු කුප්‍රකටව සිටියේය. එකල ඔහු ගිනි අවි නිෂ්පාදන කම්හලක් පවත්වාගෙන යමින් පාලයට ගිනි අවි අලෙවි කිරීමේ ජාවාරමක ද නිතරව සිටියේය. ඒ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ගිනි අවි වර්ගය. ඊට අමතරව ටී 56 අවි, පිස්තෝල මෙන්ම රිවෝල්වරද අලුත්වැඩියා කර දුන්නේ ඔහු ඊට දක්ෂයෙක් වූ බැවිනි. පාතාලයේ වැඩ්ඩන්ගේ කැඩුණු ගිනි අවි බොහෝමයකට එකල පණ පෙව්වේ ජෝසාය.
විවහායෙන් පසු ජෝසා විතැන් වන්නේ වැලි පැන්නටය. එකල ඔහු කුප්‍රකට සිටියේ වැලිපැන්නේ ජෝසා ලෙසිනි. වරක් මත්කුඩු ආරවුලක් මුල්කරගෙන ජෝසාගේ බිරිය සහ දරුවන් ජීවත්වූ නිවසට වෙඩි වරුෂාවක් එල්ලවන්නේ පොඩි පැටීගේ කණ්ඩායමෙනි. එහිදී ජෝසාගේ සහෝදරිය වෙඩි උණ්ඩයට බිලිවෙමින් බිරිය සහ දරුවන් තුවාල ලැබීය. ඒ 2016 වසරේ සැත්තැම්බර් මාසයේ දිනකදීය. එම වෙඩි ප්‍රහාරය පොඩ් පැටීගෙන් එල්ලවූවත් ඒ පිටුපස සිටියේ කොස්ගොඩ සුජීය.
ජෝසා පාතාලයේ අතපොත් තබන්නේ වෙලේ සුදාගේ ආශීර්වාදය ඇතිවය. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබ සිටින වෙලේ සුදා අදටත් පකිස්තානුවන් සමඟ සම්බන්ධකම් පවත්වන බව දන්නෝ දනිති. ඒ ඔහුට බන්ධනාගාරයේ සිටියත් එළියේ සිටියත් ජංගම දුරකතනයෙන් හැම දෙයක්ම කරන්නට හැකියාවක් ඇති බැවිනි. බන්ධනාගාරයේ බිත්ති හතරේ කොටුවී සිටියත් පකිස්තානයෙන් මෙරටට මත්කුඩු එන හැම මඟක්ම ඔහු දැන සිටියේය. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වෙලේ සුදාව සිය ඔත්තුකරුවෙක් ලෙසද යොදා ගත්තේ ද එබැවිනි. මහා මුහුදේ දී හෙරොයින් සහ අයිස් මෙරටට රැගෙන එමින් තිබුණු බෝට්ටු රැසක්ම එකදිගට පසුගිය කාලයේ විශේෂ කාර්ය බළකායත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් නාවික හමුදාවත් ඒකාබද්ධ වැටලීම් වලින් අල්ලා ගන්නට හැකියාව ලැබෙන්නේද වෙලේ සුදාට පින්සිදු වන්නටය. හැබැයි ඔහු කළේ සිය ප්‍රතිවාදීන්ගේ මත්කුඩු එසේ අල්ලා දෙමින් තමාගේ මත්කුඩු ජාලය ශක්තිමත්කර ගැනීමක් බව පොලීසියටද වැටහෙන්නේ කාලයක් ගොසිනි.
වෙලේ සුදාගේ මත්කුඩු ජාලය බිඳ දැමීමට කාලයක් තිස්සේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙහසෙක් ගත්තේය. ඒ වෙනුවෙන් මුදල් විශුද්ධිකරණයෙන් ඔහුගේ දේපොල රාජසන්තක කිරීමට මුල්වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතා සේවයේ නිරතව සිටියදීය. වෙලේ සුදාගේ මත්කුඩු ජාලය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව බිඳ දමන විට මත්කුඩු ජාවාරමෙන් උපයාගත් කළු සල්ලිවලින් ගත් දේපොළ මුදල් විශුද්ධිකරණයෙන් රාජසන්තක කිරීමට විමර්ශන මෙහෙයවන්නට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක්ෂ පෙරේරාය. මේ නිසා වෙලේ සුදා මේ තුන්කට්ටුව සමඟ සිටියේ දැඩි වෛරයකිනි. ඒ නිසාම මොවුන් තිදෙනා ඝාතනය කිරීමට වෙඩික්කරුවෙක් යොදවන්නේ ඩුබායි හි සිටය. ඒ ජෝසා හරහාය. වෙඩික්කරුවා එකල රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ මනෝජ් මෙන්ඩිස්ගේ බොඩි ගාඩ්ය.
ඔහුට පෙර ඉස්සර වන්නේ රංගජීවය. ගල්කිස්සේ කුලී නිවසක රැඳී සිටිමින් තමාට ඉව අල්ලමින් සිටි වෙඩික්කරුවාව වෙඩි උණ්ඩයකින්ම නිහඬ කර දැම්මේය. ඒ ඔහුව කොටුකර ගැනීමට ගිය විශේෂ මෙහෙයුමකදීය. එය සිදුවන්නේ 2013 වසරේදීය.
රංගජීව, කුලතිලක හා දිල්රුක්ෂ නිහඩ කිරීමට සූදානමින් සිටි වෙඩික්කරුවා රංගජීව අතින් වෙඩි කා මරුවැලද ගන්නා විට වෙඩික්කරුවාගේ තනි නොතනියට එම නිවසේ රැදී තවත් පාතාලයෙක් පොලිස් ඇසට වැලි ගසා එදා එතැනින් පැන්නේය. ඒ වෙන කිසිවෙක් නොව. ලොකු පැටීය. ඒ ජොසාගේ අඹුදරුවන් රැඳී සිටි වැලිපැන්නේ නිවසට වෙඩි තැබූ පොඩි පැටියාගේ වැඩිමහල් සහෝදරයාය. මාකදුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව 2017 වසරේදී පිළියන්ද පැත්තේදී රංගජීවට වෙඩි තබන්නට වෙඩික්කරුවා එන්නේ ලොකු පැටී පැදවූ යතුරුපැදියේ නැඟීය.
වෙලේ සුදා වැඩි කාලයක් රැඳී සිටියේ ඩුබායි සහ පකිස්තානයේය. එකල ඔහුගෙන් මත්කුඩු කිලෝ 40ක් දෙන්නම් කාසිවලට ගත් හුණුපිටියේ දිලීප මුදල් නොදී පොල්ලක් තැබුවේය. ඊට පාඩමක් ඉගැන්වීම සඳහා දිලීපට වැඩක් දෙන්නට තීරණය කළ වෙලේ සුදා එය භාරදෙන්නේ ජෝසාටය. ඒ 2014 වසරේදීය. ඒ සඳහා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවි දෙකක් ජෝසා අතට වෙලේ සුදා පත්කරන්නේ ඔහුගේ මස්සිනා හරහාය. ගානකුත් අරගෙන වැඩේ බාරගත්තද ජොසා කට්ටි පැන්නේය. ඒ ඔහුට මිනී මරා පුරුද්දක් නොවූ බැවිණි. ඒත් එක්කම වෙලේ සුදාගෙන් කැඩෙන ජෝසා කිට්ටු වන්නේ මිදිගම චින්තක නොහොත් හරක් කටා, අංගොඩ ලොක්කා සහ මාකදුරේ මධුෂ්ටය. මේ අය එකල සිටියේ එක කණ්ඩායමකය. ඒ අතර ඔහු මැගසින් පාරේ තිලාන්ගෙන් හෙරෙයින් ග්‍රෑම් 100ක් ලබාගෙන පොලු තබන්නේ මාකදුරේ මධුෂ්ගේ නම විකුණාය. මාකදුරේ මධුෂ් නොහිටින්න එදා ජෝසා මැරුම්කන්නේ තිලාන්ගෙන්ගෙනි. ජෝසා වටේටම කුඩු පොලු තැබුවෙකි. වරක් මධුෂ්ටද ඔහු කුඩු පොල්ලක් තැබුවේය. ඒ නිසා මධුෂ් අවසාන කාලයේදී ජෝසාව තබා තිබුණේ පැත්තකට කරමිනි.
මාකදුරේ මධුෂ්, අංගොඩ ලොක්කා වැනි පාතාලයේ අපරාධකරුවන් එකා දෙන්නා මියැදෙන විට ජෝසා කිට්ටුවන්නේ වැල්ලේ සාරංගටය. ඔහු මෝදර පැත්තේ කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකි. ජෝසාට මාකිලංගමුවේ සංජීව දැන හඳුනා ගැනීමට ඉඩ ලැබෙන්නේ වැල්ලෙ සාරංග හරහාය. කටින් වැඩ පෙන්වා මාකිලංගමුවේ සංජීවගේද හිත ඔහු දිනාගත්තේය. ඒ අතර ජෝසා පානදුරේ කුඩු සළිඳු සමඟ ද කිට්ටු සම්බන්ධයක් ගොඩ නඟා ගත්තේය. ඒ හැම පැත්තෙන්ම පාතාලයේ අයියලා සමඟ සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට ජෝසාට හැකියාව ලැබෙන්නේ සටකපටකම් වලිණි.
පාතාලයේ කිරුළු පැලැඳි කුඩු රජවරු රැසක් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළත් ජෝසාට සිය අඹුදරුවන්ට වෙඩි තැබූ පොඩි පැටීට අභියෝග කරන්නට තරම් ශක්තියක් නොවීය. ඒ ඔහු කයිවාරුකාරයෙක් මිස සැබෑ වැඩකරුවෙක් ලෙස එකල කරළියට පැමිණ නොතිබුණු බැවිනි. ඔහු දස්කම් දැක්වූයේ කාගෙන් හරි මත්කුඩු ග්‍රෑම් 100ක් 150ක් ණයට ගෙන පොලු තැබීමට පමණි. ඒ අතර පොඩියට මංකොල්කෑම් දෙක තුනක්ද කර ගත්තේය. ඒ මහා ලොකු ඒවා නොවීය. පොලිස් පොත්වල ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇති ලොකුම කොල්ලය වන්නේ පෝද්දලදී රුපියල් 42,000ක මුදල් කොල්ලකෑමකි. ඔහුගේ නම ඉදිරියේ මංකොල්ලකෑම් වැඩිහරියක් ලියැවී ඇත්තේ දකුණු පළාත පැත්තේය.
ජෝසා අවස්ථා රැසකදීම පොලීසියට කොටුවී ඇත්තේය. ඒ මංකොල්ලකෑම් සහ මත්කුඩු ඡාවාරම්වලටය. අන්තිමටම ඔහු කොටුවන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායටය. ඒ 2019 වසරේ මැයි 11 වෙනිදා බේරුවල පැත්තේ ලැඟුම්හලක් ඉදිරිපිටදී හොරොයින් ග්‍රෑම් 20ක් ළග තබාගෙන සිටියදීය. එකල ඔහු කුප්‍රකටව සිටියේ රං මහත්තයා යැයි කියාය.
එදා විශේෂ කාර්ය බළකායට හසුවී බන්ධනාගාරගතවන ජෝසප් ඇප ලබා එළියට ඇවිත් වැඩිකල් මෙරට රැඳී සිටියේ නැත. සිය සහෝදරයාගේ නමින් සකස්කළ විදෙස්ගමන් බලපත්‍රයකින් ඉන්දියාවට පැන ගත්තේය. ඒ ඉන්දියාවේ රැඳී සිටි මෙරට පාතාලයේ ප්‍රබලයින් දෙදෙනෙක් වන පූකුඩිකන්නා සහ බුම්මාගේ සහයෝගය ඇතිවය. මාකිලංගමුවේ සංජීවද ඇප තබා බන්ධනාගාරයෙන් එළිවට ආ සැණින් පැන ගන්නේ ඉන්දියාවටය. ඒ බෝට්ටුවක නැඟීය. ඊට පහසුකම් සපයන්නේද බුම්මාය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවෙක් වූ බුම්මා යුද්ධය නිමාවීමෙන් පසු පූර්ණ කාලීනව දකුණේ පාතාලය හා එක්වූවෙකි. ඒ අභිරහස් වෙඩික්කරුවෙක් ලෙසිනි. දැන් ඔහු පූකුඩිකන්නා නැමැති මෝදර රජකරන පාතාලයේ ප්‍රබලයා සමඟ එක්කව මත්කුඩු ඡාවාරමේ නිරතව සිටින්නේ මහා පරිමාණයෙනි. ඔවුන් සමඟ ටික කලක් ඉන්දියාවේ රැදී සිටි ජෝසා නැවතත් මෙරටට පය තබන්නේ ඉකුත් මාර්තු මාසයේදීය. ඒ පැමිණි ඔහු හොර අඹුවකගේ පහස ලබමින් සැඟවුණු ජීවිතයක් ගතකරන්නට ගත්තේය. ඉන්න හිටින්නට තැනක් වගේම කන්න බොන්නට අතට මුදලත් ජෝසාට ලැබුනේ මාකිලංගමුවේ සංජීවගෙනි. ජෝසාට තිබුණේ ඒ වෙනුවෙන් මාකිලංගමුවේ සංජීවගේ වුවමනා එපාකම් ඉටුකිරීම පමණි. බැස්ටියන් මාවතේදී පත්තුවන වෙඩිල්ල පිටුපස සිටියේ මාකිලංගමුවේ සංජීවයි. එය හරක් කටාගෙන් ඔහුට ලද කොන්ත්‍රාත්තුවකි.
එතෙක් හරිහමන් ගේමකට සම්බන්ධවී නොසිටි කයිවාරුකාරයෙක් වූ ජෝසා පාතාලයේ සැඟවුණු වෙඩිකරුවකුගේ චරිතයට ඒ වන විටත් පණ පොවමින් සිටියේය. මාකිලංගමුවේ සංජීව සැලසුම් කළේ ජෝසාගෙන් හොඳටෝම වැඩ ගන්නටය. ඒ වෙනුවෙන් ජෝසාව එළියට නොදා සඟවාගෙන සිටියේ ඉන්දියානු අංකයක් සිහිත ජංගම දුරකතනයක් ඔහු අත තබාය. එම දුරකතනයෙන් ඔහු ඇමතුම් ගත්තේ අඹු දරුවන්ටය. සමීප මිතුරන්ටය. ඒ හැමෝම සිතුවේ ජෝසා ඉන්දියාවේ සිටින බවකි. එහෙත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශකයන්ට නම් ජෝසා තවදුරටත් ඉන්දියාවේ රැදී සිටින්නෙක් නොවීය. රෙදි සාප්පුවේ ආරක්ෂක කැමරාවේ සටහන් වූ ජෝසාගේ මුහුණ ඔහු මෙරට රැඳී සිටින බව වඩාත් තහවුරු කළේය.
බැස්ටියන් මාවතේ වෙඩික්කරුවා එතරම් පැහැදිලි ලෙස හඳුනා ගත්තද ඔහුව කොටුකර ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ජෝසා පස්සේ පැන්නීමට ඊළඟ හෝඩුවාව විමර්ශකයන්ට ලැබෙන්නේද රෙදි සාප්පුවෙනි. ඒ ඔහු රෙදි සාප්පුවේදී දුරකතන ඇමතුමක් ලබාගන්නා අයුරු ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබීම හේතුවෙනි.
ඉතාමත්ම සංකීර්ණ විමර්ශනයකට මුල පිරෙන්නේ ඒත් සමඟිනි. ඒ එම ඇමතුම ලබාගත් ජෝසාගේ ජංගම දුරකථන අංකය සොයා ය. ඒ සඳහා අදාළ රෙදි සාප්පුව පිහිටි ප්‍රදේශය ආවරණය වන ජංගම දුරකථන කුලුනුවලින් ඒ මොහොතේ හුවමාරුවූ දුරකථන ඇමතුම් දහස් ගණනක් විශ්ලේෂණය කිරීමට විමර්ශකයන්ට පටන් ගත්තේය. එය දවසකින් දෙකකින් නිම කිරීමට තරම් පහසු කටත්තක් නොවීය. විමර්ශකයන්ට සිදුවන්නේ සතියක් හමාරක් ඒ වෙනුවෙන් කැපකිරීමටය.
එම කැපකිරීම කිසිවිටකත් අපතේ ගියේ නැත. ජෝසා ඇමතුම ගත් ජංගම දුරකථන අංකය පමණක් නොව, ඔහු යන එන තැන්, ඇසුරුකරන්නන් ගැනද බොහෝ තොරතුරු ඒ තුළින් මතුකර ගත්තේය. එදා සාප්පුවේදී ජෝසා දුරකතන ඇමතුමක් නොගත්තේනම් විමර්ශකයෝ සිටින්නේ අදටත් ජෝසා පස්සේ පන්නමිනි. එදා ඔහු ඒ ඇමතුම ගෙන තිබුණේ අනියම් බිරියටය. අනියම් බිරියට දුන් ඇමතුම තමාගේ ඉරණම තීන්දුකරතැයි ජෝසා සිහිනෙකින්වත් නොසිතුවේය.
දුරකථන ඇමතුම ඔස්සේ ඉදිරියට ගිය විමර්ශකයන් අවසානයේදී ජෝසාව කොටු කරගත්තේය. ජෝසාගේ ඉරණම තීන්දු වන්නේ පොලිස් වෙඩි උණ්ඩයකිනි. ඒ ඉකුත් 04 වෙනිදා අලුයම් කාලයේදීය.
අනිම් බිරින්දෑලා නිසා කොටුවූ එකම අපරධකරුවා ජෝසා පමණක් නොව. අපේ රටේ බොහෝ අපරාධකරුවෝ පොලීසියට හසුවී ඇත්තේත් පොලීසියෙන් වෙඩිකා ඇත්තේත් අනියම් බිරින්දෑවරුන්ගේ ගුබ්බෑයම්වලට රිංගන්නට ගොසිනි. ඒ හැරුණු කොට පාතාල අපරාධකරුවෝ වැඩි දෙනෙක් සිය ප්‍රතිවාදීන්ගේ ගොදුරු බවට පත්ව ඇත්තේද අනියම් බිරින්දෑවරු නිසාය.
ජෝසාගෙන් මැයි 30 වෙනිදා ආරම්භය සනිටුහන් වූ කුඩු පාතාලයේ ඝාතන රැල්ලේ 05 වැන්න වාර්තා වූයේ තංගල්ල මොරකැටි ආරේ ඝාතකයාවද කොටු වන්නේ අනියම් බිරිඳක් නිසාය. ඒ අනියම් බිරිය මුණගැසීමට ඇගේ නිවසට ඔහු එන යන බව දුරකතන විශ්ලේෂණකින් හෙළිකරගත් හෝඩුවාවක් ඔස්සේ යමිනි.
ඒ අනුව මේ ඝාතන රැල්ලේ ඊළඟ වෙඩික්කරුවෝ හෝ ඊට සම්බන්ධ වූ ප්‍රධාන අපරාධකරුවන් ද අනියම් බිරින්දෑවරුන්ගේ නිවෙස්වට එනයන විට කොටුකරගත්තේ යැයි කීවොත් ඔබ කිසිසේත්ම පුදුම විය යුතු නැත.