
වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරි,
ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන්වහන්සේ
(කොළඹගම පොඩිහාමුදුරුවෝ)
සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවම මේ ගෙවමින් සිටින්නේ මහත් පීඩාකාරී කාලයකි. ජනතාව චිත්ත පීඩාවට පත්ව සිටින මේ පීඩාකාරී තත්ත්වයන්ගෙන් වඩාත් සතුටට පත්වන්නේ පහත් පෙළේ අමනුෂ්‍ය බලවේගයන්ය. එම තත්ත්වය ග්‍රහයන්ගේ අනිටු බලපෑම් මත තව තවත් වර්ධනය වේ.
ග්‍රහ දෝෂ ද මේ හා අත්වැල් බැඳගත් පසු සිදුවන විනාශකාරී තත්ත්වයන්ගෙන් මිදීමට ඇති මඟ බුදු,දම්,සඟ සරණ යෑමය. බුද්ධ හාෂිතයෙන් පැවැත එන පරිත්‍රාණ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමය. සිළුමිණ පින්වත් පාඨක ඔබට වෙතට ලබා දෙන්නේ තුන් බිය පලවා හැර ශාන්තිය උදා කිරීම සඳහා අතීත ගුරු දේව නායක ස්වාමීන් වහන්සේලා වෙතින් දැන උගත් සත්‍ය ක්‍රියා බෝධි පූජාවයි. උතුම් ශීලයක පිහිටලා එම ශීලය ආරක්ෂා කරගෙන මේ සත්‍ය ක්‍රියා බෝධි පූජාව පැවැත්වීමෙන් ඔබට, ඔබේ ගමට, රටට සහනය, ශාන්තිය උදාකර ගත හැකිය.
අපේ පුද පූජා වත්පිළිවෙත්වල මුල් තැන ලැබෙන්නේ තුනුරුවන්ටය. තිසරණ සහිත පංච ශීලය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම මේ පුද පූජා වත්පිළිවෙත්වල මුල් සහ වැදගත්ම පියවරයි. ගෞතම බුදු පියාණන්වහන්සේ ලෝක සත්ත්වයාගේ යහපත, සැනසීම, ශාන්තිය පිණිස දේශනා කොට වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අප උත්සාහ කළ යුතුය.
එහි ආරම්භක පියවර තිසරණ සරණ යෑම සහ පංච ශීලය ආරක්ෂා කර ගැනීමයි. ඒ නිසා මේ පුද පූජා කිසිදු හැඟීමකින් තොරව පොත්පත්වල සහ පුවත්පතක පළවී තිබුණු පමණින් කරන්නන් වාලේ පැවැත්වීම නිෂ්ඵලය. ඒ නිසා නිති පන්සිල් රකින පින්වතුන් මේ සියලු පීඩාවන්ගෙන් ආරක්ෂා වේ. මේ බෝධි පූජාව පැවැත්විය යුත්තේ නිතර වන්දනාමානයට පාත්‍ර වන බෝධීන්වහන්සේ නමක් අබියසයි.
මේ සඳහා නිතර දායක කාරකාදීන් පුද පූජා පවත්වන ගමේ පන්සලේ වැඩ සිටින බෝධීන්වහන්සේ සුදුසුය.
පළමුවෙන්ම වෙනත් හිස් කතාබහෙන් තොරව සන්සුන් මනසින් යුතුව බෝමළුව අමදින්න. බෝධි පූජාව පැවැත්වීම සඳහා සිත සන්සුන් කරගන්නා භාවනාව මෙයයි. බෝමළුවේ වැටී ඇති බෝ පත් අතින් අහුලන්න.
පසුව බෝධි පූජා සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර කරගත් පිරිසුදු සුවඳ පැන් කළ තුනක් ගෙන එම සුවඳ පැන් බෝමළුව පුරා ඉසින්න.මල් ආසන පවිත්‍ර කර ගන්න. එම පූජාසනය මත සිසිල් පැන් බඳුනක්, ඖෂධීය ගිලන් පස බඳුනක්, දැහැත් , මල්, ආදී පූජා ද්‍රව්‍ය බුදු ගුණ මෙනෙහි කරමින් ගෞරවයෙන් යුතුව තැන්පත් කරන්න .
දැන් සෘජුවම බෝධින් වහන්සේටම පූජා වේවා යැයි අධිෂ්ඨාන කරගෙන පිරිසුදු එළඟි තෙල් පහන් 07ක් සහ සුවඳැති හඳුන් කූරු 07ක් පහන් සහ හඳුන් කූරු දල්වන ස්ථානයේ දල්වන්න. මල් ආසනයේ තැන්පත් කළ මල්වලට අමතරව නිල් මල් වට්ටි හතක් ද පූජා කරන්න. සුවඳ පැන් කළ හතක් බෝධියට වත්කරන්න.දැන් තිසරණ සහිත පංචශීලය සමාදන් වී තෙරුවන් වන්දනා කරන්න.
මල්, පහන්, සුවඳ දුම්, දැහැත්, ගිලන්පස පූජා කරන ගාථා කියමින් බුද්ධ පූජාව පවත්වන්න.
අනතුරුව පිරිත් පොතේ සෙත් පිරිත් කාණ්ඩයෙහි ඇති මහා ජයමංගල ගාථා 09(බාහුංසහස්ස ආදී කොට ඇති) ගායනා කරන්න. ඉන් අනතුරුව සියලුම ලෝක සත්ත්වයන්ට මෙත් සිත් පෙරදැරිව බුදුපියාණන්වහන්සේ දේශනා කොට වදාළ ලෝක සත්ත්වයාට මෙත් වඩන කරණීය මෙත්ත සූත්‍රය සඡ්ඣායනා කරන්න. ඉන්පසු ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා ප්‍රධාන කොට ගත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. දැන් නැඟී සිට ගෞරවයෙන් බෝධින් වහන්සේ දෙස බලාගෙන පහත සඳහන් මහා බලගතු මන්ත්‍රය 21 වතාවක් කියවන්න.
“ඕම් කුම්භජේ කුම්භජේ ස්වාහ: ”
මෙම පූජාව සවස 6.00 න් පසු පවත්වන්න. විවිධ ග්‍රහ පීඩා භූත, ප්‍රේත පිසාච යක්ෂ ආදී පහත් පෙළේ බලවේගවලින් වන පීඩා, කාය චිත්ත පීඩා සමනයට අතිශයින්ම ප්‍රබල මේ බෝධි පූජාවෙන් බෝවන රෝගවලින් ද ආරක්ෂාවත් ලැබේ.
බෝධිය ඇමදීම ආරම්භයේ සිට අවසන් වන මොහොත දක්වා උස් හඬින් කතා බහ, විහිළු තහළු ආදියෙන් වැළකී අවධානයෙන්, අවබෝධයෙන් ගෞරවයෙන් මේ බෝධි පූජාව පැවැත්විය යුතු බව නැවතත් අවධාරණය කරමි.
•සකස් කළේ, සුනිල් පොරමඬල