
•ලබන ජූලි 12, ඔක්තෝබර් 23 සහ 2023 ජනවාරි 17 ආශ්‍රිත දිනවලදී වඩාත් පරෙස්සම් වන්න
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා බොහෝ දෙනෙකු විවිධ අසනීපවලින් පෙළෙන අතර ඔවුන්ගෙන් බහුතරයක් මෙම අසනීප මනසට පීඩාවක් කර ගෙන ඇති බව පෙනේ. ඒ නිසාම ඔවුන්ගේ ජීවිතවල සතුට ඉවත්ව ගොස් ඇති බව පෙනේ.
මේ දිනවල පවතින ග්‍රහ ගෝචරයන්ට අනුව 2022 වසරෙහි ජූලි 12 වනදාත් 2023 වසරෙහි ජනවාරි 12 වනදාත් අතර කාල සීමාව තුළ මිථුන ලග්න හිමියන් සහ මකර ලග්න හිමියන් අන් ලග්න හිමියන්ට වඩා හදිසියේ අසනීප වීමට සහ ශල්‍යකර්මවලට ලක්වීමේ වැඩි ඉඩක් නිර්මාණය වෙයි. මෙහිදී මිථුන ලග්න හිමියන්ට අර්ශස් වැනි අසනීප ඇති වන ස්ථාන ආශ්‍රිතව සෙමින් සහ ස්ථාවරව ඇති වන අසනීප වලට වැඩි ඉඩකඩක් තිබුණද සිරුරේ ඕනෑම ස්ථානයක හදිසියේ ඇති වන අසනීපවලට ද ඉඩකඩ ඇත. එමෙන්ම මකර ලග්න හිමියන්ට ද හිස, මුහුණ ආශ්‍රිතව සෙමින් සහ ස්ථාවරව වර්ධනය වන අසනීපවලට වඩාත් ඉහළ ඉඩකඩක් පැවතුණ ද සිරුරේ ඕනෑම ස්ථානයක හදිසියේ මතු වන අසනීපවලටද ඉඩකඩ ඇත. විශේෂයෙන් මිථුන සහ මකර යන ලග්න හිමියන් හෘදය වැනි ඉන්ද්‍රියයන් ආශ්‍රිතව ඇති වන අසනීප පිළිබඳ ද අන් ලග්න හිමියන්ට වඩා උනන්දු විය යුතුය. මිථුන ලග්න හිමියන්ට සහ මකර ලග්න හිමියන්ට පමණම නොවුණද ධනු ලග්න හිමියන්ට සහ කුම්භ ලග්න හිමියන්ට ද 2022 වසරෙහි ජූලි 12 වනදාත්, 2023 වසරෙහි ජනවාරි 17 වනදාත් අතර කාල සීමාව තුළ, අසනීප සෑදීමේ ඉඩකඩ අන් ලග්න හිමියන්ට වඩා ඉහළ යනු ඇත. විශේෂයෙන් ඉහත ලග්න හිමියන් 2022 වසරෙහි ජූලි 12 අවට දිනවල ද, 2022 වසරෙහි ඔක්තෝබර් 23 අවට දිනවල ද, 2023 වසරෙහි ජනවාරි 17 අවට දිනවල ද අසනීප පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. තවද උත්පත්ති කේන්දර සටහන්වලට අනුව අන් ලග්න හිමියන්ට සමහරවිට අසනීප සෑදීමේ ඉඩකඩ ඉහත කී ලග්න හිමියන්ට ද වඩා ඉහළ යෑමට පවා සමහරවිට ඉඩකඩ ඇත.
විශේෂයෙන් ශනි ග්‍රහයාගේ ගෝචරයට අනුව තුලා ලග්න හිමියන්ට 2022 වසරෙහි ජූලි 12 වනදාත්, 2023 වසරෙහි ජනවාරි 17 වනදාත් අතර කාල සීමාව තුළ පෙනහළු, හෘදය, ශ්වසන පද්ධතිය ආශ්‍රිතව සෙමින් සහ ස්ථාවරව වර්ධනය වන අසනීපවලට ඉඩකඩ ඇත. තවද කන්‍යා ලග්න හිමියන්ට 2022 වසරෙහි ජුනි 27 වනදාත්, 2022 වසරෙහි අගෝස්තු 10 වනදාත් අතර කාල සීමාව තුළ ද, තුලා ලග්න හිමියන්ට 2022 වසරෙහි අගෝස්තු 10 වනදාත්, 2022 වසරෙහි ඔක්තෝබර් 17 වනදාත් අතර කාල සීමාව තුළ සහ 2022 වසරෙහි නොවැම්බර් 13 වනදාත්, 2023 වසරෙහි මාර්තු 13 වනදාත් අතරද, වෘශ්චික ලග්න හිමියන්ට 2022 ඔක්තෝබර් 17 ත් 2022 නොවැම්බර් 13ත් අතර කාල සීමාව තුළ ද අසනීප සෑදීමේ ඉඩකඩ අනෙක් කාල සීමාවන්ට වඩා ඉහළ යනු ඇත.
අසනීප වැලඳීම අස්වාභාවික තත්ත්වයක් ලෙස අප සිතා සිටිය ද අසනීප සෑදීම බෙහෙවින් ස්වාභාවික වෙයි. බුදු රජාණන් වහන්සේ නීරෝගීවතුන් අතර අග්‍රශ්‍රාවකයා ලෙස "භක්චුල" මහ රහතන් වහන්සේ නම් කරන්නට ඇත්තේ රහතුන් වහන්සේලා ද අඩු වැඩි වශයෙන් අසනීප වන නිසා විය හැකි අතර බුදුරජාණන් වහන්සේ ද සමහර අවස්ථා වලදී ගිලන් වූ බව අප අසා ඇත. මාර්ගඵලලාභී උතුමන්ලාත් අසනීප වූවා නම් අප ගැන කියනුම කවරේද? මාර්ග ඵල ලාභී උතුමන්ලා අසනීප වුවද උන් වහන්සේලාට අසනීපයේ කායික බලපෑම පමණක් යම් තරමකට පමණක් දැනෙන්නට ඇති අතර එතුමන්ලාට අසනීපයේ මානසික බලපෑම සුළු වශයෙන්වත් නොදැනෙන්නට ඇත. එනම් එතුමන්ලා අසනීප වී සිටියදීත් නිවී සැනසිල්ලේ කාලය ගත කරන්න ඇත.
සැබවින්ම බොහෝ අසනීප නිසා අප පීඩාවට පත් වී ඇත්තේ අසනීපයේ කායික බලපෑමට වඩා අසනීපයේ මානසික බලපෑම නිසාය. අපගේ ආධ්‍යාත්මික තත්ත්වය ඉහළ නංවා ගැනීමට අසනීප වෙස් වළා ගත් ආශිර්වාදයකි. එනම් අසනීප නොවී සිටීමට මෙලොව කිසිම ජගතෙකුට නොහැකි වූවක්, එය ඉර හඳ අල්ලන්නට උත්සාහ කරනවා වැනි නිෂ්ඵල උත්සාහයක් වුවත්, අප උත්සාහ කළහොත් අසනීප වී සිටියදීත් නිවීසැනසිල්ලේ සිටීමේ ක්‍රමය, ක්‍රම ක්‍රමයෙන් සොයා ගත හැකි වනු ඇත. අසනීප වී සිටියදීත් නිවී සැනසිල්ලේ සිටින ක්‍රමය සොයා ගැනීමට නම් අසනීප වී සිටීම අනිවාර්ය වෙයි. "අසනීප" ආධ්‍යාත්මික තත්ත්වය ඉහළ නංවා ගැනීමට වෙස් වලා ගත් ආශිර්වාදයක් යැයි කීවේ ඒ නිසාය.
අපට අසනීප ඇති වන්නේ අපගේ වුවමනාවට නොව ස්වභාවධර්මයේ වුවමනාවටය. එසේ නම් අසනීප ස්වභාවධර්මයට නොඑසේ නම් වෛද්‍යවරයකුට, විශේෂඥ වෛද්‍යවරයකුට හෝ විකල්ප විශේෂඥ වෛද්‍යවරයකුට බාර දී අප අසනීපයේ වගකීමෙන් නිදහස් වී නිවී සැනසිල්ලේ සිටිය යුතුය. අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ඵලදායක කටයුත්තක් වන අතර අසනීප පිළිබඳව කනගාටු වීම ද නිෂ්ඵලය. කෙසේ වෙතත් ගිලනුන්ට උපස්ථාන කිරීම, ආගමික උතුමන්ලාට ඖෂධ පූජාවන් සිදු කිරීම, අසරණයන්ට බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, මවුපියන්ගේ සිත් සතුටු කිරීම ආදිය මඟින් අසනීපවල බලපෑම යම් තරමකට හෝ අවම වී යෑමට ද ඉඩ ඇත.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, පාරින්ද්‍ර සුගතදාස