![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/07/01/Untitled-89.jpg?itok=LemO3o-G)
2022 මැයි 09 වැනි සඳුදා ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ දිනයකි. එදින රට පුරා වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී සිදුවීම්වලින් මැති ඇමතිවරු සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මහජන නියෝජිතයන් 74 දෙනකුගේ නිවෙස් 77ක් විනාශයට පත්වූ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් 9 දෙනකුට ජීවිත අහිමි විය. මැයි 09 වැනිදා රට පුරා ඇවිළී ගිය ගින්නෙන් දේපළ අහිමි වූ මහජන නියෝජිතයන් බොහෝ දෙනකුගේ සිත් තුළ මේ වන විට ඇතිවී ඇත්තේ මෙරට දේශපාලනය පිළිබඳ කලකිරීමකි. ඒ අතර උගත්, බුද්ධිමත් රටට වැඩදායී වෘත්තිකයෝ ද සිටිති.
මැයි 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් දාමය විසින් ගිනි තබා විනාශ කරනු ලැබුවේ හුදෙක් නිවෙස් ඇතුළු අජීවී දේපළ පමණක් නොව එය, මෙරට දේශපාලනයට එක්විය යුත්තේ උගතුන් සහ බුද්ධිමතුන් බවට සමාජය තුළ වර්ධනය වෙමින් තිබූ මතයට ද ගිනි තැබීමක් ලෙසිනි.
"අපට දැනගන්න තිබෙන ආරංචි අනුව ඒ සිදුවීම් පෙළ තෝරාගත් පිරිසක් දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා දේශපාලන වුවමනා මත කරන ලද ඉතාම සංවිධානාත්මක අපරාධයක්. දැන උගත් මිනිස්සු දේශපාලනයට ආ යුතුයි කියලා ජනතාව තුළ මතයක් වර්ධනය වෙමින් තිබුණත් දැන් එවැනි පුද්ගලයෙක් දේශපාලනයට එන්න කැමති වෙන්නෙ නැහැ. හොඳ වැටුපක් ලබාගෙන සැපවත් ජීවිතයක් ගතකරන්න හොඳටම අවස්ථාව තියෙන වෘත්තිකයෙක් ආයේ දේශපාලනයට එන්නේ නැහැ තමන්ගේ ගෙවල්, දේපළ ගිනි තියාගන්න. ඒකෙන් වෙන්නේ මේ රටේ දේශපාලනය අවුරුදු 20කින් ආපස්සට යෑමයි. ඊළඟ පාර්ලිමේන්තුවට තරග කරන්න ඉතිරි වෙන්නේ එවැනි මැර ක්‍රියාවලට ඔරොත්තු දෙන්න පුළුවන්, ඒවත් එක්ක ගැටෙන්න පුළුවන් කණ්ඩායම් පමණයි. ඒවාට මුහුණ දෙන්න බැරි දැනඋගත් වෘත්තිකයන් එයින් ඉවත් වෙනවා. හොරමැරකම් කරන වංචනිකයෝ සහ ත්‍රාඩ පිරිසක් තමයි මේ රටේ දේශපාලනයට ඉතිරි වෙන්නේ."
ඒ හඬ, හිටපු සෞඛ්‍ය ඇමති, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ගේය. ඉකුත් මැයි නවවැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි මහාචාර්යවරයාට අයත් කාර්යාලය ද මුළුමනින් විනාශයට පත්විය. ඇතැම් මාධ්‍ය විසින් එසේ විනාශයට පත්වූයේ ඔහුගේ නිවෙස බව වාර්තා කළද තමා සතුව අනුරාධපුරයේ නිවසෙක් නොමැති බව මහාචාර්යවරයා අවධාරණය කළේය. ඒ අවාසනාවන්ත සිදුවීම ගැන අප ඔහුගේ මතක අවදි කළෙමු.
"මම එදා කොළඹ හිටියේ. හවස හතරට කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණා. ඊට පෙරයි ගෝල්ෆේස් සිද්ධිය පටන් ගත්තේ. අරගලකරුවන්ට පහර දීම ඇතුළු ඒ සිදුවීම් දාමය පිළිබඳ මගේ කිසිදු එකඟතාවක් තිබුණේ නැහැ. ඒ හරහා නුසුදුසු තත්ත්වයක් රට තුළ වර්ධනය වෙමින් තිබුණ නිසා මම එදිනම සවස මම එතෙක් දැරූ සෞඛ්‍යය පිළිබඳ කැබිනට් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිතුමා දැනුම්වත් කළා. ඊට ටික වෙලාවකට පසුව අගමැතිතුමාත් ඉල්ලා අස්වුණු නිසා කැබිනට් මණ්ඩලය නිරායාසයෙන්ම අහෝසි වුණා. ඊට පසුව රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමට පටන් ගත්තා. එදා හවස 6ට පමණ මට දැනගන්න ලැබුණා අනුරාධපුර ප්‍රදේශයෙත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට යම් සූදානමක් තිබෙන බව. මම ඒ මොහොතේම ඒ ගැන ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන් දැනුම්වත් කළා. ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර අරගෙන තිබෙන බවත් යුද හමුදා සාමජිකයන් 40 දෙනකුත් ආරක්ෂාවට යොදවා තිබෙන බවත් ඔවුන් මට පැවසුවා. නමුත් එදා රෑ 8ට විතර මුහුණු ආවරණ කරගත් සහ හෙල්මට් පැලඳි කණ්ඩායමක් ඇවිත් අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි මගේ කාර්යාලයට ප්‍රහාර එල්ල කළා. කාර්යාලයේ සී.සී.ටී.වී මගේ ජංගම දුරකථනයට සම්බන්ධ කර තිබෙන නිසා මම කොළඹ ඉඳන් එහි තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටියා. ඒ දැක්ක දේවල් ගැන මට පුදුමයි. ප්‍රහාරය එල්ල වෙන්න ටික වෙලාවකට කලින් ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා නිලධාරින් ඒ ස්ථානයෙන් පිටතට ගියා. මම අදටත් දන්නෙ නැහැ ප්‍රහාරයක් එල්ල වෙන බව හොඳටම දැන දැනම ඇයි හමුදාව ඒ ස්ථානයෙන් ඉවත් වුණේ කියලා."
මහාචාර්ය චන්න ජයසුමන ඒ පිළිබඳ සිහි කළේ කනගාටුවෙනි. ඔහු පැවසූ පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පළමු ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔහුගේ කාර්යාලයටය. ඉන් අනතුරුව ප්‍රචණ්ඩකාරීන් තවත් ස්ථාන කිහිපයක්ම ගිනි තිබා විනාශ කර තිබිණ.
"මගේ කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරය වළක්වා ගත්තා නම් අනිත් ස්ථානවලට එල්ල වුණු ප්‍රහාර වළක්වා ගන්න තිබුණා. අවාසනාවකට ආරක්ෂක අංශ ප්‍රචණ්ඩකාරීන් පාලනය කිරීමට එක කඳුළු ගෑස් එකක්වත් ගැහුවේ නැහැ, අඩුම තරමේ අහසට වෙඩි තැබීමක්වත් කළේ නැහැ. අනිත් කාරණය, මෙය එදා ගෝල්ෆේස් පිටියේදී ඇතිවුණු සිද්ධිය නිසා හදිසි කෝපය නිසා සිදුවූවක් කියලා මම හිතන්නෙ නැහැ. අප්‍රේල් මාසේ පළමුවැනිදාත් එවැනිම සිදුවීමක් වුණා. එදත් ආවේ ඔය කණ්ඩායම්. එදා ගිනි තිබ්බෙ නැහැ. නමුත් ගල් ගහලා ගියා."
ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනිබත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමනගේ කාර්යාලීය ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එහි තිබූ බඩුබාහිරායදිය මුළුමනින් විනාශ වී ඇත. සිදුවී ඇති පාඩුව තවමත් තක්සේරු කරමින් පවතී. ගොඩනැඟිල්ලට සිදුවූ අලාභයටත් වඩා මහාචාර්යවරයා පසුතැවෙන්නේ ඔහු විසින් සිදුකරගෙන ගිය සමාජ සත්කාරක වැඩසටහනට සිදුවූ හානිය පිළිබඳවයි.
"අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිහිටි ජනතාවගේ ඇස් පරීක්ෂා කරලා නොමිලේ ඇස් කන්නාඩි ලබාදීමේ වැඩසටහනක් මා විසින් පවත්වාගෙන ගියා. ඒ සඳහා මට උපකාර කළේ වෛද්‍යපීඨයේ මගේ සමකාලීන වෛද්‍යවරුන්, මගෙන් ඉගෙන ගත් 1,500ක් පමණ වන වෛද්‍යවරු සහ විදේශ රටවල ජීවත් වෙන මගේ මිතුරන්. ඉකුත් මැයි 9 වැනිදා වන විට ඒ වැඩසටහන යටතේ 18,000කට ආසන්න පිරිසකට ඇස් කන්නාඩි ලබාදී තියෙනවා. තවත් විශාල පිරිසකගේ ඇස් පරීක්ෂා කරලා කන්නාඩි ලබාදීමට නියමිතව තිබුණා. ඒ සඳහා ඇස් කන්නාඩි 7,000ක් පමණ කාර්යාලයේ තිබුණා. ගින්නෙත් ඒ සියල්ලම විනාශ වෙලා තිබුණා. ඒ ඇස් කන්නාඩිවල වටිනාකම පමණක් රුපියල් මිලියන 4කට ආසන්නයි. ඒක ඉතාම පහත් නින්දිත ක්‍රියාවක්. අහිංසක ජනතාවට ලබාදෙන්න තිබුණු කන්නාඩියි ඔවුන් ඒ විදිහට විනාශ කළේ."
මහාචාර්ය චන්න ජයසුමනගේ සිත එකී සිදුවීමෙන් වඩාත් කම්පාවට පත්ව ඇත්තේ ඔහු වෛද්‍යවරයකු නිසාය. දරු දැරියන් පස්දෙනකුගෙන් යුතු පවුලක තුන්වැන්නා ලෙස උපන් මහාචාර්ය චන්න ජයසුමන අධ්‍යාපනය ලැබුවේ කළුතර විද්‍යාලයෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සමත්ව නාවලපිටිය රෝහලේ සීමාවාසික පුහුණුව ලබන ඔහු, රජරට විශ්විද්‍යාලයේ ආරම්භයේදීම ආධුකික කථිකාචාර්යවරයකු ලෙස ඊට සම්බන්ධ වෙන්නේ 2008 වසරේදීය. 2016 වසරේදී ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත් විය. රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගන්නා ඔහු එහි විදෙස් පුහුණුව ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙනි. විශ්වවිද්‍යාල සිසුවකු ලෙස සිටියදී දේශපාලන කටයුතුවල නියැළුණු චන්න ජයසුමන තරුණයා 2020 මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ දැනුමින් උගත්කමින් සහ අත්දැකීම්වලින් සන්නද්ධ මහාචාර්යවරයකු ලෙසටය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු මනාප ඡන්ද 134,000ක ජයග්‍රහණයක් සමඟ පාර්ලිමේන්තුවට තෝරාපත්කර එවන්නට අනුරාධපුර ජනතාව කෘතවේදී වන්නේ ඒ නිසා විය යුතුය. පාර්ලිමේන්තුවට පත්වූ පළමු අවස්ථාවේදීම සෞඛ්‍ය රාජ්‍ය ඇමති ධුරය ලැබූ මහාචාර්ය චන්න ජයසුමන පසුව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද දැරුවේය. දේශපාලනය ජයසුමන පවුල සමඟ පාරම්පරිකව බද්ධ වී තිබුණු එකක් වන අතර, චන්න ජයසුමන ඊට අහසින් කඩා වැටුණු අයකු නොවේ. මේ ඒ පිළිබඳ ඔහුගේ මතක ආවර්ජනයයි.
"දේශපාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත්ව කටයුතු කරන පිරිසක් විදිහට අපේ පවුල ගම් ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙලා තිබුණා. මගේ සීයා, ටී. ජයසුමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරම්භක සාමාජිකයෙක්. මගේ තාත්තා විමලසිරි ජයසුමන රජයේ සේවකයෙක්. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වගේම 1980 ගණන්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම පුවත්පත වූ දිනකර පුවත්පතේ කතුවරයෙක් විදිහටත් කටයුතු කළා. ඒ ආභාසය සහ පවුල් පසුබිම නිසා කුඩා වියේ සිටම මටත් දේශපාලනය ගැන කැමැත්තක් උනන්දුවක් ඇතිවුණා."
මහාචාර්ය චන්න ජයසුමනගේ පියා සේම වෘත්තියෙන් ගුරුවරියක වූ මව, යසවතී ජයසුමන ද දැන් ජීවතුන් අතර නැත. ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන අතර එක් නැඟණියක් ගණකාධිකාරීවරියක් ලෙසත් අනෙක් නැඟණිය උසස්පෙළ වාණිජ ගුරුවරියක ලෙසත් කටයුතු කරන්නීය. වැඩිමහල් සහෝදරිය ගෘහිණියකි. රුචි ජයසුමන මහාචාර්ය චන්න ජයසුමනගේ බිරියයි. කුඩා දරුවන් තිදනකුගේ පියකු වන මහාචාර්ය චන්න ජයසුමන මැයි 9 වැනිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තවමත් පසුවන්නේ කනගාටුවෙන් සහ කලකිරීමෙනි.
"ඒ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් සහ කණ්ඩායම් කිහිපයක් අපට හඳුනා ගැනීමට හැකි වුණා. ජනතා විමුක්ති පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධ කිහිදෙනෙක්, පෙරටුගාමී පක්ෂය සමඟ කටයුතු කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් සහ නගරයේ මැරකම් කරන, මත්ද්‍රව්‍ය පාවිච්ච කරන කිහිප දෙනෙකුත් ඒ කණ්ඩායමට ඇතුළත්. විශේෂයෙන්ම රජරට සහ භික්ෂු විශ්වවිද්‍යාලයට සම්බන්ධ තරුණ භික්ෂුන් පස් දෙනෙක් සහ කතෝලික පූජකයකුත් මේ ප්‍රහාරයට සම්බන්ධ බව සීසීටීවී දර්ශනවලින් හඳුනාගන්න හැකි වුණා.
මේ ප්‍රහාර පිටුපස සිටින්නේ මාක්ස්වාදී දේශපාලන මත දරන කණ්ඩායම්. ලෝකයේ හැමතැනම මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර අවසන් වෙලා තියෙන්නේ ජීවිත හානියකින් හෝ දේපළ හානියකින්. ඒක ඒ දර්ශනයේ තිබෙන අඩුපාඩුකම් නිසාම සිදුවූ දෙයක්. ලෝක ඉතිහාසයේ අවසන් වසර 150 දෙස බැලුවාම ඒ බව පැහැදිලියි. ලෝක ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් මියගිහින් තියෙන්නෙත් ඝාතනය කර තිබෙන්නෙත් මාක්ස්වාදය නමින්. මාක්ස්වාදය නමින් මියගිය සංඛ්‍යාව පළවැනි සහ දෙවැනි ලෝක යුද්ධවලින් මියගිය සංඛ්‍යාවට වඩා වැඩිියි. ඒක ලංකාවට විතරක් වෙනස් වෙන්නෙ නැහැ. 79-80 කාලෙත් අපේ රටේ සිද්ධ වුණේ ඒකයි. මැයි 9 වැනිදත් එහි දිගුවක් තමයි සිදු වුණේ. තව ඉදිරියට ගියත් ඒ විනාශයමයි සිදු වන්නේ. මේක අවසන් වෙන්න නම් මාක්ස්වාදී ව්‍යාපාරය ගුරුකොට ගත් අය තමන් ගැනම ස්වයං විවේචනයක් කරලා ඒ හැව අතෑරලා දාන්න ඕනේ. මාක්ස්වාදී දර්ශනය එක්ක ඉදිරියට යන්න යන්න සිද්ධ වෙන්නේ ව්‍යසනයක්ම තමයි. ඒක හොඳටම පැහැදිලි වෙනවා අවිහිංසාව, මෙත්තා, මුදිතා කරුණා ගුණය ප්‍රගුණ කළ යුතු ස්වාමීන්වහන්සේලා ගෙවල් ගිනි තියන තත්ත්වයට පත්කරලා තියෙන්නේ ඒ මිත්‍යාදෘෂ්ටික දර්ශනයෙන්. මේ රටින් ඒ දර්ශනය අතුගාලා දාන්න සියලු දෙනා එකතු විය යුතුයි. ධර්මසංඝායනාවක් පවත්වලා එවැනි අදහස් දරන ස්වාමීන්වහන්සේලා ශාසනයෙන් ඉවත් කරන්න කටයුතු කළ යුතුයි."
මහාචාර්ය චන්න ජයසුමන එසේ පැවසුවේ මෙවැනි ව්‍යසන වළක්වා ගැනීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරමිනි. විශ්වවිද්‍යාල සිසුවකු සහ ආචාර්යවරයකු ලෙස බොහෝ අත්දැකීම් ඇති තරුණ බුද්ධිමතකු වන ඔහුට මේ රටේ තරුණ පරපුරට කියන්නට කතාවක් ඇත.
"අවුරුදු 6කට ආසන්න කාලයක් වෛද්‍ය පීඨයේත් අවුරුදු 12ක් වෛද්‍ය පීඨ ආචාර්යවරයෙක් විදිහටත් කටයුතු කිරීමෙන් ශිෂ්‍යයෙක් සහ ගුරුවරයෙක් විදිහට ලැබූ අත්දැකීම් මත මම තරුණ පරපුරට, විශේෂයෙන් විශ්වවිද්‍යාවලට යන්න ඉන්න දරුවන්ට කියන්නේ, ඔබ මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වෙන්න එපා. ඒකෙන් සිදුවන්නේ මිනිස් සහ දේපළ විනාශයක් පමණයි. එය තමාට උපතින් ලැබුණු බුද්ධිය පවා විනාශ කරන භයානක මෘග දර්ශනයක්. මිනිස් වර්ගයාගේ කිසිම ප්‍රශ්නයකට විසඳුම් දිය නොහැකි විනාශය පමණක්ම ළඟාකරන්නක්. ඒ දර්ශනය මත කටයුතු කළ හැමෝම තමනුත් ෆේල් වෙලා රටත් ෆේල් කළා."
මුහුණ දීමට සිදුවූ අනපේක්ෂිත සිදුවීම් නිසා මහාචාර්ය චන්න ජයසුමන ගේ ඉදිරි දේශපාලන ගමන් මඟ සහ ඒ පිළිබඳ ස්ථාවරය කුමක්දැයි අප ඔහු විමසුවෙමු.
"මම ඉන්නේ කලකිරීමකින්. දැනට මගේ ස්ථාවරය, මේ තිබෙන ක්‍රියාදාමයත් එක්ක තවදුරටත් අපි වගේ අයට මේ රටේ දේශපාලනය කරන්න බැහැ කියන අදහස. ගෞරවනීය ලෙස වෘත්තියක නියැළුණු අපි වැනි වෘත්තිකයන් ඒ වෘත්තිය කරගෙන ඉන්නවා මිසක් මේ ක්‍රමය තුළ දේශපාලනය කළ නොහැකි බව මම වගේම මාත් එක්ක පාර්ලිමේන්තුවට ආව වෘත්තිකයන් කණ්ඩායමේ සාමුහික අදහස බවට පත්වී තිබෙනවා. මගේ පවුලේ අය කියන්නේ ඇමති ධුරයෙන් ඉවත් වුණා වගේ දැනට දරන මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙනුත් ඉවත් වෙන්න කියලයි. ඉදිරියේදී දේශපාලනය කළත් නොකළත් මගේ දැනුමින් බුද්ධියෙන් රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටීම සහ කටයුතු කිරීම අතහරින්නේ නැහැ."