![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/07/01/Untitled-20.jpg?itok=S9MbV4ht)
ඔබගේ දේශපාලන ආගමනය ආරාධනාවක්ද? නැතිනම් මේ ඉල්ලා පැමිණි ගමනක්ද?
එය ආරාධනාවක් අනුව සිදු වූ දෙයක්. මම ඉල්ලා පැමිණි ගමනක් නෙමෙයි. මාස දෙකක කාලක සිට මට භාණ්ඩාගාර ලේකම් තනතුරට පැමිණීමට ආරාධනා කළා. පසුව අමාත්‍යාශයක ඇමැතිවරයෙක් ලෙස පැමිණෙන්න කිව්වා. වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයෙන් අනිවාර්යයෙන්ම රට ගොඩ ගත යුතුයි. එය අරමුණු කරගෙනයි මම මෙතැනට එන්නේ. රට ගොඩ ගන්න බැරිනම් මම කිසිසේත් එන්නේ නැහැ.
ඔබට පැමිණීමට ආරාධනා ලැබුණේ මේ අර්බුදය මතුවීමට පෙර සිටද?
අර්බුදය පටන් ගත්තට පසුවයි, මට ආරාධනාව ලැබුණේ. ජනාධිපතිතුමාගෙන්මයි ඒ ආරාධනාව ලැබුණේ.
කවුරුත් ගිලෙන නැවකට ගොඩ වෙන්න කැමැති නැහැ. ඒත් ඔබ ස්ව කැමැත්තෙන්ම ගිලෙන නැවකට ගොඩ වුණා. ඔබ ගොඩ නඟාගත් පෞරුෂයට මෙය අවදානමක් විය නොහැකිද..?
අපි නැව් අයිතිකාරයෝ. නැව් අයිතිකාරයෝ නැවක් ගිලෙනවා නම් කැප්ටන්ලාට නැවෙන් එළියට යන්න කියනවා. ඒ නිසා අපි දන්නවා, සුළි සුළං තියෙන කාලෙට නැව් වේගයෙන් පැද්දෙන බව. ඒ වගේ වෙලාවකට අපි ප්‍රධාන කාර්යාලයේ සිට පළපුරුදු වෙන කැප්ටන් කෙනෙකුට දෙනවා, පැද්දෙන නැවේ කැප්ටන්ට සහය ලබා දෙන්න. නැව් අයිති නිසා අපිට ඒ අත්දැකීම් තියෙනවා.
ඔබ කියන්නේ මේ ගිලෙන නැවක් නෙමේ; පැද්දෙන නැවක් කියලද?
පැද්දෙන නැවෙත් අවදානමක් තියෙනවා. ගිලෙන නැවක් නම් එය සම්පූර්ණයෙන්ම ගිලෙනවා, ගොඩ ගැනීමට බැහැ. පැද්දෙන නැව හරියට පැදගෙන ගියේ නැතිනම් එයත් පෙරෙළෙනවා. ඒ පෙරළෙන තත්ත්වය නැති කරන්න තමයි මම ඉදිරිපත් වුණේ.
මේ පැද්දෙන නැව ගෙනියන්න දක්ෂ කැප්ටන්ලා සිටිනවාද?
දැන් එක කැප්ටන් කෙනෙක් ඇවිත් ඉන්නවා. ඉදිරියේදි තවත් කැප්ටන්ලා එන්න පුළුවන්.
පසුගිය කාලයේ අධ්‍යාපන නාළිකාවක් අරඹා බොහෝ දෙනකුට ඔබ සමීප වුණා. මෙහි අරමුණ වුණේ අනාගත දේශපාලනයට ප්‍රවිෂ්ටයක් සපයා ගැනීමද?
කිසිසේත් නැහැ. මෙය ආරම්භ කළේ 2016 දී. මුලින්ම අපේ පර්යේෂණය පොඩි දරුවන්ට ප්‍රාථමික පාසල් 1000 ක් ඇති කිරීම. ඉන්පසුවයි DP Education ආරම්භ කළේ. මෙය මගේ බිරිඳගේ අදහසක්. ඇයගේ බලාපොරොත්තුව වුණේ ළමයින්ට ගණිතය ඉගැන්වීම. ඒ හරහා තමයි අපි දෙදෙනාගේ නම්වල මුල් අකුරු යොදා ගෙන DP Education නමින් බ්‍රෑන්ඩ් එකක් ආරම්භ කළේ. අධ්‍යාපන අමාත්‍යාංශය මුලින් එයට කැමැති වුණේ නැහැ. කැමැති වුණා නම් එහි වැඩ සටහනක් විදියටයි ගෙනියන්න තිබුණේ. මේ වන විට අපි ළඟ ළමයින් ලක්ෂ 11 ක් ඉගෙන ගන්නවා. අධ්‍යාපනය ලබන ළමයින්ගෙන් 25% ඉන්නේ DP Education යටතේ. රටේ ප්‍රසිද්ධ පාසල් හා ටියුෂන් ගුරුවරු 72 ක් මීට සම්බන්ධයි.
මේ සඳහා ඔබ කොපමණ මුදලක් යට කළාද?
රුපියල් බිලියනයක් මේ වන විට මේ සඳහා වියදම් කර තියෙනවා.
ඒ ආරම්භක කාලයේ දේශපාලනයට එමේ යටි අදහසක් තිබුණාද?
එහෙම අදහසක් තිබුණේ නැහැ. නමුත් මට සිහිනයක් තිබුණා, මේ රටේ මිනිසුන් පොහොසත් කරන්න. එසේ නම් එය කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි. ඒ නිසා DP Education හරහා මිස එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න බැහැ.
ඔබ කියන්නේ සෑම ප්‍රශ්නයකටම විසදුම අධ්‍යාපනය හරහා සිදුවිය යුතු බවද?
ඔව්. දියුණු සෑම රටක්ම අධ්‍යාපනයෙනුයි රට දියුණු වෙන්නේ. අපේ අඩුපාඩු තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ නොවෙයි. අපි පාසල් 1500 කට ඩිජිටල් පන්ති කාමර ලබා දෙනවා. මෙ වන විට එහි 500 ක් සවිකර අවසන්.
මහින්දෝදය විද්‍යාගාරවල ආරම්භය පිටුපස සිටින්නේ ඔබ යැයි පැවැසුවොත් එය නිවැරදිද?
ඔව්. එහි පළමු විද්‍යාගාරය රත්මලානේ කොතලාවල මහා විදුහලෙන් හදලා ආණ්ඩුවට තෑගි කළේ මම. මගේ නමවත් එහි සඳහන් කළේ නැහැ. මම ආණ්ඩුවේ නම ගහලා තෑගි කළා. මම ඒ සංකල්පය ලබා දීලා පසු ආණ්ඩුවට කියලා ඒවායෙන් 400 ක් හැදෙව්වා.
ඔබ ප්‍රකට දක්ෂ ව්‍යාපාරිකයකු ලෙසටයි. ඇමැති තනතුර ඔබේ සිහිනය සැබෑවීමක් යැයි මම පැවැසුවොත්?
මගේ ව්‍යාපාර සමඟ ගත් විට මේ ඇමැතිකම පොඩි තනතුරක්. පොඩි තනතුරකට යන්න මිනිස්සු ප්ලෑන් ගහන්නේ නැහැනේ. ඒත් රට අමාරුවේ වැටුණු විට පොඩි තනතුරක් හෝ අරගෙන රට බේරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
ඒ කියන්නේ ඔබගේ එකම අපේක්ෂාව රට වැටුණු තැනින් පොඩ්ඩක් හෝ ගොඩ ගෙන ඒමද?
පොඩ්ඩක් නෙමේ. රට බේරගන්නයි ඕනේ.
කොහොමද ඔබ රට යළි ගොඩගන්නේ? මොනවද තියෙන ප්ලෑන් ?
මම 2019 පොතක් ලිව්වා. එහි ගොඩ ගන්න ක්‍රමය සඳහන් කළා. මේ ඩොලර් අර්බුදය ගැන කලින්ම කිව්වා.
ඔබ කියන්නේ කලින්ම අනාවැකි පළ කළ බවද?
ඔව්. 2010 සිටමයි මම මේ දේ දැක්කේ. අපේ ව්‍යාපාරවලට අපි අනතුරු ඇඟෙව්වා. ආනයනය කරන හැම ඩොලර් එකකටම අපනයනය කළ යුතු බව දැනුම් දුන්නා. එයින් පසුවයි අපේ හැම කොම්පැනියක්ම වැඩිපුර අපනයනය කරන්න පටන් ගත්තේ.
දේශපාලන බලධාරීන්ව දැනුම්වත් කළේ නැද්ද?
අපි දැනුම්වත් කළා. අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටි කාලයේ පැය 24න් ආයෝජන සඳහා අනුමැතිය දුන්නා. පසුව එය නැවතුණා. ඒ නිසා රටට කොම්පැනි ආවේ නැහැ. ඒ හේතුව නිසා රටට ඩොලර් ඒම අඩුවී ගියා.
ඔබගේ දේශපාලන ආගමනය කලින් සිදුවුණා නම් මීට වඩා හොඳයි නේද?
හිතුවට වැඩක් නැහැ. එන්න ආරාධනයක් ලැබෙන්න ඕනනෙ. මම හැම වෙලාවෙම හිතන්නේ මම ආවේ හොඳම වෙලාවට කියලයි.
මසකට රුපියල් මිලියන 50 ක් හෝ දැමීමේ බලාපොරොත්තුවෙන් ඔබ මේ පුටුවේ වාඩි වූ බව පවසනවා. ඔබගේ පුද්ගලික ධනයෙන් රට ගොඩ දාන්නද අපේක්ෂාව....?
මගේ පුද්ගලික ධනයෙන් තමයි මම රුපියල් මිලියන 50 ක් දාන්නේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න ගියොත් අඩුම තරමින් මාස 6 ක් වත් යනවා. ඒ මාස 6 යනකම් ධම්මික පෙරේරාට බලාගෙන ඉන්න බැහැ. මොකද මම උදේ තීන්දුවක් ගත්තොත් හවස් වෙනකොට ක්‍රියාත්මක විය යුතුයි. මේ තරම් ඉක්මනට ආණ්ඩුවෙන් සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඒ නිසයි මම මගේ පුද්ගලික මුදල් අරගෙන ආවේ.
ව්‍යාපාරිකයෝ පවා අසරණ වූ මේ අවස්ථාවේ ඔබට ඔබේ පෞද්ගලික ධනය රට වෙනුවෙන් පුදන්න යම් හේතුවක් ඇති?
අපි ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන ව්‍යාපාර හැදුවේ. ඒ නිසා ඒ ව්‍යාපාරත් අනිත් ව්‍යාපාරත් අතර ලොකු වෙනසක් තියෙනවා.
පසුගිය කාලයේ කඩා වැටුණු ව්‍යාපාර ඔබ ලාබ ලබන තත්ත්වයට පත් කළා...?
අපි එක්කෝ කඩා වැටුණු ව්‍යාපාර ගන්නවා. එහෙම නැතිනම් අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නවා. මේ දෙකම අපි එක විදියටම කළා.
නමුත් ජනතාව බලාපොරොත්තු වුණේ බංකොලොත් වූ ආර්ථිකයට ඔබ ඩොලර් එක් කරාවි කියා....?
මාව එහෙම ක්ෂණික විසඳුමක් හැටියට ගන්න හොඳ නැහැ. මේ වගේ ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති නොවන්නට මම වැඩ කරනවා කියලා හිතාගත්තොත් ඇති. මමත් හදන්නේ කොහොම හරි රට බේර ගන්න. කඩාගෙන වැටුණු ප්‍රමාණයක් තියෙනවා. ජනතාවට පෙට්රල්, ගෑස්, ඩීසල්, බෙහෙත් වගේම පොහොර ප්‍රශ්නෙත් වැඩිපුර තියෙනවා. ඩොලර් අගය වැඩි වීම නිසා කෑම බීම ප්‍රශ්නය තියෙනවා. අද ජනතාව පරිභෝජනය අඩු කරලා බඩගින්නේ ඉන්නේ.
පෞද්ගලික ධනය ලබාදීමට ඔබේ බිරියගෙ, දරුවන්ගේ විරුද්ධත්වයක් නැද්ද?
දරුවෝයි බිරියයි දන් දෙනවට කැමැති නිසයිනේ ස්වාමි පුරුෂයා දන් දෙන්නෙ.
මේ මොහොතේ රට බරපතළ අඩියකට පත්ව තිබෙන බව ඔබ පිළිගන්නවාද?
මම පිළිගන්නවා. සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගත්තේ නැතිනම්, විදේශ ශ්‍රමිකයන්ට යන්න ලැබුණේ නැතිනම් මේ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා.
මේ අර්බුදයේ නිර්මාණය කොතැනද? ඔබේ දැනුම අනුව ඊට වගකිව යුත්තෝ කවරහුද?
මට අද කියන්න බැහැ. ඒත් හැරවුම් ලක්ෂ්‍යය යළිත් අනිත් පැත්තට හැරවීමට මට ඕන දින 90 යි. මම ගොඩගන්න හැටි දින 90 කින් මිනිසුන්ට පෙනෙයි.
අද වන විට රැකියා පවා සීග්‍රයෙන් අහිමි වෙමින් යනවා. එවැනි තත්ත්වයක් තුළ රැකියා ලක්ෂයක් ඔබ ප්‍රදානය කරන්නේ කෙසේද?
ඔව්. මම සති දෙකක් ඇතුළත රැකියා බැංකුවක් සාදනවා. සමහර තැන්වල රැකියා තියෙනවා. රැකියා නැතිවන අයට තියෙන තැන්වලින් ලබා දෙනවා. විදේශ රැකියාත් මේ දත්ත බැංකුවට ඇතුළත් කරනවා. ජනතාවට වෙබ් අඩවිය හරහා තොරතුරු දැන ගන්න පුළුවන්. ඒ වගේම තමන් පදිංචියට ආසන්න රැකියා ඔවුන්ටම දැනගත හැකි පරිදි යැවීමේ ක්‍රමයක් හදනවා.
ඒ රැකියා ඔබේම ආයතන වල ඒවාද?
මට කොටස් තිබුණට දැන් මම ඒ තැන්වල නැහැ.මෙයත් හරියට ආණ්ඩුව වගේමයි. දැන් මට ඒවායේ කළමණාකාරිත්වයේ බලයක් නැති නිසා ඒවාට අත දාන්න බලයක් මට නැහැ. තොරතුරු තාක්ෂණය තමයි ආදායම ගැනීමේ හොඳම මඟ. අපි dp education මොරටුව විශ්වවිද්‍යලය සමඟ එකතු වි open.uom.lk ගියොත් සාමාන්‍ය පෙළ ළමයෙකුට තොරතුරු තාක්ෂණය ඉගෙන ගෙන රුපියල් 60,000 කට වැඩි මුදලක් ගත හැකි රැකියාවකට යා හැකියි. අපි මාස 4 යි පටන් ගෙන. අද වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ ළමයින් ලක්ෂයක් ඉගෙන ගන්නවා. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නවානම් dpielts.com යන්න පුළුවන්.
ඔබ මේ තනතුරට පත් වී ගෙවී ඇත්තේ සතියක කාලයක්. මොනවද මේ වන විට කර ඇත්තේ...?
මේ වන විට BOI ආයෝජන අයැදුම්පත් එක් පිටුවකට බවට පත්කර තියෙනවා. ඕනෑම කෙනෙකුට පැය 24 න් ආයෝජන ආරම්භයට අනුමැතිය දෙනවා. විදේශිකයන්ට වීසා කාලය අවුරුදු 5 දක්වා දිගු කර තියෙනවා. පාස්පෝට් පෝලීම විදේශ රටකට යාම ලියකියවිලි තිබේනම් ඒ සඳහා වෙනමම කවුන්ටරයක් හැර තියෙනවා, එක් දිනෙන් ලබා ගැනීමට. මාතර, නුවර, වවුනියාව යන තැන්වලින් එක්දිනෙන් පාස්පෝට් ගත හැකියි. ලංකාවේ අය විදේශිකයකු හා විවාහ වී ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ වීසා කාලය අවුරුදු 5 දක්වා දිගු කළා.
පාස්පෝට් මිල ගණන් නැවත සංශෝධනයට ලක් කරනවාද?
නැහැ. මේ අවස්ථාවේ කරන්නේ නැහැ.
ඔබ පවසා සිටියා මේ තත්ත්වයෙන් මිඳෙන්න අපි වැඩ කළ යුතු බව. මෙහි අපි යනුවෙන් ඔබ අදහස් කළේ ජනතාවද? නැතිනම් පාලකයෝද?
දෙගොල්ලෝම වැඩ කළ යුතුයි. නිකම් සිට මුදල් ලැබෙන්නේ නැහැ. සමහරු විවේචනය කරමින් ඉන්නවා. සමහරු ආණ්ඩුවට උපදෙස් දිදී ඉන්නවා. මේ අය ගාව කිසිදු ලියකියවිල්ලක් නැහැ. වැඩ කරන්න ඉන්නේ සුළු කොටසක්. තමන් ඩොලර් කීයක් හම්බ කරනවද යන්න සිතා බලන්න. අපි ඩොලර් වලඳන ජාතියක්. ඒ නිසා සෑහෙන්න වැඩ කළ යුතුයි.
ඔබ කියන්නේ අපි අරගල නොකර වැඩ කරමු කියලද?
මමත් අරගල කරලා මෙතනට ආපු කෙනෙක්. ඒ ළමයින්ගේ ඔළුව ගිනිගත් ප්‍රශ්න මමත් දන්නවා. මමත් ඔය වයසේ ඔළුව ගිනි අරගෙන අරගල කෙරුවා. මම හම්බ කරන ගමන් පැය දෙකක් අරගල කළා. අරගලය ජීවිතයේ කොටසක් බවට පත් කර ගත යුතුයි
බලාපොරොත්තු වූ වෙනසක් සිදු කළ නොහැකි වුණොත් ඔබ නැවත ගෙදර යාමට සුදානම්ද?
මාස 6 ක් තමයි, මට ගෙදරින් අවසර දුන්නේ. ඒ කියන්නේ මට ඇත්තේ තව පැය 960 යි. මාස 6 කිනුත් මම වගේ කෙනෙකුට විසදුම් දෙන්න බැරිනම් මගේ දරුවෝ ගේ ඉස්සරහට ඇවිත් ‘තාත්තා කම් හෝම්‘ කියලා බෝඩ් උස්සන පොරොන්දුවෙන් තමයි මම ආවේ.
ජනතාව ‘ධම්මික ගෝ හෝම්‘ කියයි ද? ‘ස්ටේ ධම්මික‘ කියයිද?
හරියට කළොත් හැමෝම ඉන්න කියයි. කරගන්න බැරි නම් ජනතාව කියන්න කලින් දරුවෝ ඇවිත් තාත්තව ගෙදර එක්කගෙන යයි. මට ලොකු විශ්වාසයක් තියෙන නිසයි මම ආවේ.
යම් හෙයකින් 2025 රටේ නායකත්වය ලැබුණොත්? ඔබ සුදානම්ද එය බාර ගැනීමට ?
මට හීන නැහැ. ලකුණු සියය ගහන්න කලින් පළමුවැනි ලකුණ ගහන හැටියි, මම කල්පනා කරන්නේ. සමහරුන්ට ඒ වගේ සිහින තියෙනවා. නමුත් මම ප්‍රායෝගිකව දන්නවා, මේ හීන වැඩ කරන්නේ නැති බව. ඒ නිසා අර්ථික ප්‍රශ්ය ගොඩ දැමුමෝත් ඕනතරම් අවස්ථා තියෙනවා. නැතිනම් ඒ කිසිම අවස්ථාවක් නැහැ. මම උතුම්ම දානය වන ධර්මදානය දුන්නු කෙනෙක්.
සේයාරූ - විමල් කරුණාතිලක