ඔබ ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු ලෙසටයි. මේ වන විට රට පත්ව ඇති ආර්ථික අර්බුදය ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද?
දේශපාලඥයෙකු වශයෙන් මේ අනතුරු වැඩියෙන්ම දැකලා, හදාරලා, කතා කරලා තියෙන්නේ මම. 1989 මාර්තු 20 වැනිදා මගේ පාර්ලිමේන්තු මංගල කතාවේදිම රට මේ තැනට පත්වන බව කිව්වා. පසුව මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදීත් දිගින් දිගටම කිව්වා. නිදහසින් පසු රාජ්‍ය ආදායම වැඩි වේගයකින් පහතට වැටුණා. දැවැන්ත අයවැය හිඟයක් හා රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ඇතිවුණා. නිර්යාත ආදායම වැඩිවන වේගයට වඩා වේගයෙන් ආයාත වියදම් වැඩිවුණා. රට සල්ලි හිඟය හා ගෙවුම් ශේෂ අර්බුද මතුවුණා. මේ තත්ත්වය 1977න් පසුව ලෝක වෙළෙඳපොළ ආර්ථිකයත් සමඟ අසාමාන්‍ය ලෙස වර්ධනය වුණා. නමුත් කනගාටුවට කරුණ තමයි, මේ තත්ත්වය සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි, පාර්ලිමේන්තුවේ අති මහත් බහුතරයටත් අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම. මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට. ඒ නිසා මේ අර්බුදය වළක්වා ගත හැකිව තිබුණේ පාර්ලිමේන්තුවට. නමුත් ප්‍රමාණවත් දායකත්වයක් පාර්ලිමේන්තුව ලබා දුන්නේ නැහැ.
ඔබ පවසන්නේ ආර්ථික අර්බුදය ගැන ඔබ කලින් අනතුරු අැඟවීම් කළ බවද?
මම පොත්ම 22 ක්ම මේ ගැන ලියලා තියෙනවා. මම දන්න ශාස්ත්‍රයට අනුව මේ දේ කිව්වට අනිකුත් බොහෝ අයට මේ දේවල් තේරුණේ නැහැ.
කොවිඩ් වසංගතය පමණක්ම මේ අර්බුදයට හේතු වුණේ නැහැ නේද?
කොවිඩ්, රුසියානු යුක්රේන අර්බුදය මීට ආසන්නතම හේතුවයි. නමුත් ඇත්ත හේතුව මේ අර්බුදය වර්ධනය වීම උත්සන්න වුණේ 1977 න් පසුවයි.
පසුගිය රජයේ නොහැකියාව, මහා පරිමාණයෙන් ගසා කෑම, රසායනික පොහොර අර්බුදය මේ ප්‍රශ්නයට හේතුව බව චෝදනා මතු වුණා. ඔබත් ඒ චෝදනා එලෙසම පිළිගන්නවාද?
ඒ හුදු නොදැනුම්වත්කමින් කරන චෝදනා. 2020 වර්ෂයේදි ආණ්ඩුව බදුවලින් ලබා ගන්නා මුළු ආදායමින් 86% රාජ්‍ය සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙව්වා. ඒ වසරේ ගත්ත ණය වලට පොලී ගෙවන්න රුපියල් බිලියන 900 ක් යනවා. ආර්ථික විද්‍යාත්මක දත්ත අනුව ලංකා ඉතිහාසයේ සෑම වර්ෂයකම රාජ්‍ය අයවැය ලේඛනයේ වර්තන ගිණුමේ ඇත්තේ හිඟයක්. ඒ නිසා කුමන රජයක් හෝ හොරකම් කළා යැයි කියන්න බැහැ. හොරකම් කොමිස් ගැහුවා යැයි කියන්නේ යම් කිසි වංචා දුෂණ අක්‍රමිකතා සිදුවන්න ඇති. ඒත් ඒවා අංශුමාත්‍රයක් පමණයි. අරගලකරුවෝ මේ ගැන කෑ ගැහුවට ඒ අයට ඇත්ත අර්බුදය තේරූම් ගැනීමට තරම් හැදෑරීමක් ඔවුන් කර නැහැ.
නමුත් ඔබ කිව්වට සාමාන්‍ය ජනතාව දකින මේ අර්බුදය මෑත කාලයේ උග්‍ර වූවක් විදියටයි?
ඒ ප්‍රකාශ කරන ජනතාවගේ නොදැනුවක්කම. ඊට වග උත්තරකරුවෝ අපි නෙමේ. පොතක් ලිව්වට පොත කියවන්නේ නැතිනම්, පාර්ලිමේන්තුවේ කිව්වට එය අහන්නේ නැතිනම් කාට කියන්නද?
ඔබ කියන දේ බලධාරීන් අහන්නේ නැතුවද? නැතිනම් ඒ අයගේ නොතේරුම් කමද ඊට හේතුව වී ඇත්තේ...?
අම්මා කෙනෙකුට ගිහින් කිව්වොත් විදේශ සංචිත අඩුවෙලා; ඒ නිසා ගෑස් ගේන්න විදියක් නැහැ කියලා. ඒක අම්මට තේරෙන්නේ නැහැනේ. මේකත් අන්න ඒ වගේ දෙයක්.
1989 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ආර්ථිකය සම්බන්ධ ඇමැති තනතුරු ගණනාවක් ඉසිලූ ඔබටත් බැරි වුණාද මේ ආර්ථික අර්බුදය බලධාරින්ට තේරුම් කරන්න යම් ක්‍රමවේදයක් ගොඩනඟන්න ?
විකල්පයක් තිබුණේ නැහැ. උදාහරණයක් ලෙස අයවැය ඉවර වෙලා එළියට එන හැම වතාවකම මාධ්‍ය පවා අපේ ඉදිරියට ඇවිත් ඇහුවේ මොනවද මේ වතාවේ ලැබෙන සහන කියලා. ඊට වඩා වෙනස් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. සහන දෙන්න නම් ජනතාවගෙන් ගන්න ඕන. වැඩි ගානකට අරගෙන අඩු ගණනකට දෙන්න ඕන. එවිට රටත් බංකොළොත් වෙනවා. ණය ගන්න වෙනවා. එවිට ගත්තු ණය ගෙවා ගන්න බැරි ව මෙවැනි තත්ත්ව ඇති වෙනවා.
මේ තත්ත්වයෙන් යළි ගොඩ ඒමට කොපමණ කලක් යාවිද?
මේ තත්ත්වයෙන් ගොඩ ඒමට දේශපාලඥයෝ ගාව කිසි පිළිතුරක් නැහැ. ජනතාව පත් වූ පීඩාවට තියෙන්නේ විසඳුම් හතර යි. එක රජයේ වියදම් කපා හැරීම හෝ වියදම අඩු කිරීම. දෙක රජයේ ආදායම් හැකිතාක් වැඩි කර ගැනීම. තුන රට තුළට ගලා එන විදේශ විනිමය වැඩි කර ගැනීම හා හතර රටින් පිටව යන විදේශ විනිමය අඩු කර ගැනීම. අනිත් අදහස් සියල්ල තම තම නැණ පමණින් තමන්ට හිතෙන බහුබූත.
රජය දැනටමත් මේ සඳහා අවතීර්ණ වෙලාද?
තවම අවතීර්ණ වී නැහැ. අවතීර්ණ වෙමින් යනවා. හෙට ලංකාවේ කවුරුන් හෝ ආණ්ඩුව කරන්න ගත්තත් මේ අර්බුදයට දශමයකින් හෝ විසඳුමක් සොයන්න බැහැ. එහෙම තේරුමක් තියෙන කෙනෙක් රට තුළ ඇත්තෙත් නැහැ. කැබිනට් මණ්ඩලය තීරණය කළා ප්‍රංශයේ හා තවත් විදේශ සමාගමකින් මුදල් ගෙවා මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමේ උපදෙස් ගැනීමට. මෙයින්ම අර්බුදයේ ස්වභාවය පෙනෙනවා නේද?. මෙවැනි තත්ත්වයකට රටක් පත්වූ විට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන ආර්ථික මුල්‍ය විශේෂඥ උපදෙස් ගත යුතුයි. ඒ නිසා දැනටමත් අපි ඩොලර් ගෙවලා මේ සම්බන්ධ උපදෙස් ලබා ගනිමිනුයි පවතින්නේ.
වත්මන් අගමැතිවරයා බලයට පත් වූ පසු බොහෝ දෙනෙක් විශ්වාස කළා ඔහුට මේ ආර්ථික අර්බුදය ජය ගන්නට හැකිවෙයි කියා?
මෙය රට තුළ ප්‍රශ්නයක් නෙමෙයි. ජාත්‍යන්තර ප්‍රශ්නයක්. අපි විදේශ රටවලින් ගත් ණය ගෙවන්න බැහැ කිව්වහම ඒ අය නිකම් බලා සිටින්නේ නැහැනේ. දැනට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලඥයන් අතරින් ජාත්‍යන්තරය සමඟ මේ ගැන ගනුදෙනු කිරීමට වැඩිම හැකියාවක් ඇත්තේ අගමැතිවරයාට. විදේශ රටවලින් භාණ්ඩ ගේන්න ණයවර ලිපි නිකුත් කළ යුතුයි. ඒ ණයවර ලිපි ලොව පිළිගත්තේ නැතිනම් ඉදිරියේදි තෙල්, ගෑස්, බෙහෙත් හිඟවීම නෙමෙයි, කඳුළක්වක් නැති තත්ත්වයකටයි පත්වන්නේ. දේශපාලඥයන්ට බැහැ ගණන්කාර කතා කියලා මේවා ජාත්‍යන්තරයෙන් ඉල්ලන්න. මෙය මහ පොළොවේ ප්‍රශ්නයක්.
ඔබ කියන්නේ සියල්ලටම පෙර කළ යුත්තේ ප්‍රශ්නය හොඳින් අවබෝධ කර ගැනීමද?
අවබෝධ කර ගැනීමට තිබුණේ මීට අවුරුදු 10-20 කට පෙරයි. දැන් ඊට පමා වැඩියි. දැන් කළ යුත්තේ වැටුණු තැනින් ගොඩ ඒමයි.
මීට විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නැද්ද?
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පසුගිය රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක සංවර්ධන බැඳුම්කර විකුණා තියෙනවා. ඒවා සමරහක් කල් පිරෙන්නේ 2029 දි. මේවා ගෙවන්නත් බැරිනම් බිලියන 12.5 ක් දුන් මිනිසුන් නිකම් ඉඳියිද?
රට දරුණු ආකාරයෙන් ආර්ථික අර්බුදයකට වැටෙද්දී විවිධ බදු වැඩි කිරීම මත අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අසීමිතව ඉහළ දැම්මා. රජයක විදියට මේ පියවර ගැනීම කිසිසේත් සාධාරණ නැහැ නේද?
ඒවාට කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නයට පිළිතුරු හතරක් තියෙන බව මම මුලින් කිව්වා. ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගන්නේ නැතුව කොහෙන්ද වැටුප් ගෙවන්නේ. රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් සඳහා 86% ක් ගෙවිය යුුතුයි. එය ප්‍රශ්නයක්. මෙහෙම රාජ්‍ය සේවයක් ලොව කොහේවත් නැහැ. ලොව රාජ්‍ය සේවකයෝ වැඩියෙන්ම ඉන්න රට මේකයි.
වගා සංග්‍රාමයක් සඳහා කතා කළත් වගා කිරීමට පොහොර නැහැ නේද?
හොඳ චේතනාවෙන් තමයි ජනාධිපතිවරයා කාබනික පොහොර වලට මාරු වෙන්න කටයුතු කළේ. නමුත් එකවර ක්‍රියාත්මක කිරිමෙන් අර්බුද මතුවුණා. මේ ආහාර ප්‍රශ්නය පොහොර නිසාම වූ දෙයක් නෙමෙයි. කොවිඩ් වලින් අනතුරුව මුළු ලෝකයේම ආහාර අර්බුදයක් මතුවෙලා. සෑම රටකම ආහාර මිල රොකට් වේගයෙන් ඉහළ ගියා. ඉතා විශාල ලෙස වෙනත් කන්නවලට වඩා මෙවර වගා කරන ප්‍රමාණය වැඩි වූ බව කාෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලබන සතියේ මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා, දුම්රියේ සියලු ඉඩම්වල, රක්ෂිතවල කෙටිකාලීන බෝග වගා කිරීමට අක්කර 14,000 ක් ගොවි සමිතිවලට බද්දට ලබා දීමට. පාසල්වල දැන් වගා කටයුතු ආරම්භ කර තියෙනවා. සෑම පන්සලකම වගා ආරම්භ කර තියෙනවා. ඒ නිසා ලංකාවට කන්න නැතුව මැරෙන තත්ත්වයක් ඇති නොවන බව කිව යුතුයි.
මෙවන් තත්ත්වයක් මීට පෙර ඇතිවී තියෙනවද?
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවත් මෙවැනි තත්ත්වයක් ලොව ඇතිවුණා. එදා ලොව ආර්ථක විශේෂඥයෝ ‘බ්‍රෙටර්න්වුඩ්ස්‘ වල එකතු වී විශාල ආර්ථික සමුළුවක් පැවැත්වුවා. එදා කේන් හා වයිට් සැලැස්මවල් ඉදිරිපත් වී ඇති වූ සංවාදයේදි අවසානයේ තීරණය වුණේ මේ කඩා වැටීම නැවැත්වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව නමින් අලුත් ආයතන දෙකක් ඇති කිරීම. අදටත් තිබිය යුත්තේ එවැනි සමුළුවක්. ගෙවල් ගිනිතියලා, ආණ්ඩු වෙනස් කරලා මීට විසඳුම් සොයන්න බැහැ.
සැප්තැම්බර් වන විට IMF සහය ගත හැකි බවට විශ්වාස තබා ගත හැකිද?
IMF සහය අවශ්‍යයෙන්ම ලැබිය යුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටක්. ඒ නිසා ඔවුන්ගේ නිත්‍ය නියෝජිතයකු මෙහි ඉන්නවා. ඒ අය ජාත්‍යන්තර ගිණුම්කරණය සම්බන්ධව ඇතිවී ඇති ගැටලුව විසඳීමට අනිවාර්යයෙන්ම සහය දිය යුතුයි. මොවුන්ගේ සාමාජික රටක් කඩා වැටීම මුළු ලෝකයටම බලපානවා. අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙනවා. ඒ 16 වතාවෙම අපි දිපු කොන්දේසි අනුව කටයුතු කර නැහැ. ඒ නිසා දශකයෙන් දශකය ප්‍රශ්නය උග්‍ර වුණා. ඒ නිසා ලංකාවේ මූල්‍ය කළමනාකරණයේ විනය හදන්න ඔවුන් දැඩි කොන්දේසි දමාවි.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් මේ වන විට කල් මරමින් පසුවෙනවා. ඒ ඇයි?
විවිධ දේශපාලන පක්ෂ අතර තියෙන්නේ විවිධ මත. මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම බාර දීලා තියෙන්නේ. හැකි ඉක්මනින් මේ සංශෝධන ගෙන එයි.
වත්මන් ජනපති, අගමැති ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට යායුතුයැයි බොහෝ දෙනා පවසනවා?
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුණා කියා ගෑස්වත්, තෙල්වත් හම්බ වෙන්නෙ නැහැ. මේවා දේශපාලන කතන්දරයි. ආර්ථික අර්බුදයට ආර්ථික විසඳුමක් මිස දේශපාලන විසඳුමක් අවශ්‍ය නැහැ.
ඉන්ධන නොමැති වීම නිසා ප්‍රවාහන ප්‍රශ්නය උග්‍රයි. ඉදිරියේදි අත්‍යාවශ්‍ය සේවා හෝ පවත්වා ගැනීමට ප්‍රවාහනය සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත්?
පුද්ගලික ප්‍රවාහනයටයි අපි පුරුදු වුණේ. ලොව දියුණු රටවල පොදු ප්‍රවාහනය ජනප්‍රියයි. දැන් පුද්ගලික ප්‍රවාහනය දරා ගැන්න බැරිවෙලා. පාක් ඇන්ඩ් රයිඩ් බස් සේවාව ආරම්භ කර තියෙනවා. ඉදිරියේදි දුම්රිය ප්‍රවාහනය වැඩි කරන්න විශාල උත්සාහයක් ගන්නවා. වග සිට කොළඹට, කොළඹ සිට මහනුවරට මෙන්ම රාත්‍රී යාපනයට දුම්රිය ආරම්භ කරනවා. කැලණි මිටියාවත දුම්රිය මාර්ගය විදුලි දුම්රිය මාර්ගයක් කිරීමටත් අවධානය යොමු වී තියෙනාව. කොළඹට තදාසන්න ප්‍රදේශවල විදුලි දුම්රිය මාර්ග බවට පත් කිරීමට සංඥා ක්‍රම සකස් කළ යුතුයි. සියල්ලම ඩොලර් මත හිරවෙලා.
පාසල් ප්‍රවාහනය සම්බන්ධයෙන් කතා කළොත්?
පාසල් ප්‍රවාහනයට බස් රථ අලුතින් 21 ක් වැඩි කළා. දෙමවුපිය ගුරු ඉල්ලීම මත වෑන් රථවල යන විශාල වියදම පියවා ගැනීමට මෙම සාමාන්‍ය බස්රථ සාමාන්‍ය ගාස්තු යටතේ ආරම්භ කළා.
ඔබ ජනමාධ්‍ය ඇමැති වූ පසු රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධාන පුටු සියල්ල මාරු වුණා. පුටු මාරුවෙන් අපේක්ෂා කළේ කුමක්ද?
රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැටුප් ගෙවීම ප්‍රශ්නයක්. ඉතාම ඉක්මනින් පත්වූ නිලධාරීන් රජයෙන් ආධාර නොලබා පවත්වා ගෙන යාමේ ප්‍රමාණාත්මක, ගුණාත්මක හා ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කළ යුතුයි. මාස 6 ක් තුළ කළ නොහැකි නම් සියල්ල එකතු වී ආයතනය ගොඩ ගැනීමේ සැලැස්මක් සැකසිය යුතුයි.
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඉවත් වීම හා ධම්මික පෙරේරා ප්‍රවේශය ඔබ දකින්නේ කෙසේද?
බැසිල් රාජපක්ෂ තීරණය කළේ ඇති වූ වටපිටාව අනුව පත්කළ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට. ඒ වෙනුවට පක්ෂය ධම්ම්ක පෙරේරා නම් කළා. ජනාධිපති ඊට අනුමැතිය ලබා දී තියෙනවා. ඔහු සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කර තියෙනවා. රාජ්‍ය හා පුද්ගලික අංශ අත්දැකීම් හා පසුගිය කාලය තුළ මාධ්‍ය ආයතන හරහා මේ ප්‍රශ්නයට දුන් විසඳුම් අනුව බලයක් ලබා දුන්නා, රට වැටුණු තැනින් ගොඩ ගැනීමට.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු