දුප්පතාගේ හිතවතාට සරු කලදසාවක් | සිළුමිණ

දුප්පතාගේ හිතවතාට සරු කලදසාවක්

 

කාබනික විනාශයකට ලක්වෙමින් තිබෙන ලෝකයට හොඳම විසඳුම පා පැදියයි

 

යතුරුපැදිවලට තිබුණු ඉල්ලුමත් එක්ක පා පැදියට තිබුණු ඉල්ලුම අඩු වුණත් දැඩි ඉන්ධන අර්බුදයත් එක්ක මිනිස්සු නැවත පා පැදියට යොමු වෙලා

 

පා පැදි අමතර කොටස් ඇතැම් වෙළෙන්දන් දැන් හිතු හිතූ මිලට විකුණනවා

 

ශරීර සෞඛ්‍යයට වගේම පරිසරයට හිතකාමී පා පැදිය ප්‍රවර්ධනය කරන්න රජයේ සහාය අවශ්‍යයි

 

දුප්පතාගේ හිතවතකු ලෙස හැඳින්වූ ‘පා පැදිය’ උපතේ සිට අද දක්වාම මූලික අංග වෙනස් නොවුණු එකම වාහනය ලෙස සැලකිය හැකියි. 1830 දී ජර්මනියේ බර්න් කල් විසින් පා පැදිය නිපදවා ඇතැයි සැලකුවද , 16 සහ 17 සියවස්වලදී ද පා පැදි භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වේ. පා පැදිය පරිසර හිතකාමී වාහනයක් ලෙස සැලකෙන අතර, ලොව පුරා කෝටි 50කට අධික ජනතාවක් පා පැදිය ගමන් පහසුව සඳහා භාවිත කරති. එසේ වුවත් අද මෙරට පා පැදි අලුත්වැඩියා කරන ස්ථාන ඇත්තේ අතළොස්සකි. වර්තමානයේ රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පා පැදි අලුත්වැඩියා කරන ස්වල්පය ද කාර්යබහුල තත්ත්වයට පත්ව ඇත. එම අලුත්වැඩියා කරන ස්ථාන වින්කලය නමින් හඳුන්වන අතර, එවැනි වින්කල්වල අද තත්ත්වය සොයා ගිය ගමනක තතු මෙසේය.

කිලෝ මීටර් දෙක තුනක් ඇතුළත වාහන සහ යතුරුපැදි අලුත්වැඩියා කරන ආයතන කිහිපයක් තිබුණද , පා පැදි අලුත්වැඩියා කරන ස්ථාන කිලෝමීටර් 25 කට එකක්වත් නොතිබීමෙන්ම රට තුළ පා පැදි භාවිත කිරීම පිළිබඳ අවබෝධ කරගත හැකිය.

කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ වසර 20 ක පමණ කාලයක සිට පවත්වාගෙන යන ප්‍රේමසිරි බයිසිකල් වැඩපොළේ හිමිකරු ප්‍රේමසිරි අප සමඟ කතාබහට එක් වූයේ මෙලෙසිනි.

" ඉන්ධන මිල ඉහළ යාම නිසා ගොඩාක් අය බයිසිකල් පදින්න අරන්. ඒ හින්දා අපිට ටිකක් වැඩියෙන් වැඩ එනවා. ඉස්සර අලුතින් බයිසිකල් ගත්තාම ඒවා ෆිට් කරගන්න වැඩ තමයි වැඩිපුර ආවේ. ඒ අතරත් වැඩිපුරම පුංචි ළමයින්ගෙ බයිසිකල් තමයි වැඩිපුරම හැදුවේ. ඒත් දැන් දැන් මළකඩ කාලා පදින්න බැරි තත්ත්වයේ භාවිතයෙන් ඉවත් කරපු බයිසිකල් අපි ළඟට අරගෙන එනවා. අලුත්වැඩියා කරන්න බැරි තත්වයේ ඒවාට අලුතින් අමතර කොටස් දැමිය යුතුයි. ඒත් බයිසිකල්වල අමතර කොටස් ඉතාමත් මිල අධිකයි. රුපියල් 1,200 ට තිබුණු ටයරයක් දැන් 2,400ක් විතර වෙනවා. රුපියල් 300 ට, 400 ට තිබුණු ටියුබ් එකක් දැන් රුපියල් 750ක්, 800ක් විතර වෙනවා. මේ වෙලාවේ අමතර කොටස්වල මිල අඩු වුණා නම්, ඒක මිනිසුන්ට ලොකු සහනයක් වෙනවා . "

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බක්මීගොල්ල ප්‍රදේශයේ වින්කලයක් පවත්වාගෙන යන මොහොමඩ් අමීන් අදහස් දැක්වූයේ රජයට යෝජනාවක් ද ගෙන එමිනි.

" මම වින්කල් රස්සාව කරන්න අරගෙන අවුරුදු 24 ක් වෙනවා. මේ රස්සාවට මම හරිම ආදරෙයි. ගමන් පහසුකම් අවශ්‍ය අයට ඒ සේවාව ලබාදෙන්න මම යොමුවුණේ උසස් පෙළ කළාට පස්සෙයි. අපේ මව්ලවිලා හතර දෙනෙක් මේ රැකියාවේ වටිනාකම පහදලා දුන්නා. දෙයියො දුන්නු මේ රස්සාව ගොඩක් සාධාරණව මම කරගෙන යනවා. මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ දවල් එක වෙනකල් විතරයි. ඒත් මේ දවස්වල හවස පහ, හය වෙනකල් වැඩ කරනවා. එහෙම කළත් ඉවර කරන්න බැරි තරම් වැඩ ගොඩාක් දැන් එනවා. මේ වෙලාවේ ආර්ථික වශයෙන් මුළු රටම කඩාවැටිලා තියෙන මොහොතක මිනිස්සු ගොඩක් අසරණ වෙලයි ඉන්නේ.

තෙල් ප්‍රශ්නය විතරක් නෙවෙයි හැම භාණ්ඩයකම මිල ඉහළ යෑමත් එක්ක මිනිසුන්ට ගමන් පහසුකම් සලසගන්න ගොඩාක් අමාරුයි. තෙල්වලට ලොකු වියදමක් දරන්න බැරි හින්දා ගොඩක් මිනිස්සු බයිසිකලේ යන්න පුරුදු වෙලා .

නිවෙස්වල භාවිතා කළ සයිකල් යකඩ බඩුවලට විකුණලා. එහෙම විකුණපු බයිසිකල් හොයාගෙන අපි ළඟට හදන්න ගේනවා. ඒ සයිකල් හදන්න අමතර කොටස් ගන්න ගියාම ඒ මිනිස්සුන්ව නැවත වෙළෙඳසැල් හිමියන් විසින් සූරා කෑමට ලක් කරනවා.

රුපියල් 10 ට, 20 ට තිබුණු අමතර කොටස් රුපියල් 50ට,60 ට විකුණනවා. මේ අමතර කොටස් ඊයේ පෙරේදා ආව අමතර කොටස් නෙවෙයි. මීට අවුරුදු ගණනකට පෙර ආව අමතර කොටස්.

ඒ වුණත් ඒවා ඉතාමත් ඉහළ මිලකට වෙළෙන්දන් අලෙවි කරනවා. මේක ලොකු අපරාධයක්. කඩ හිමියන් හිතූ හිතූ ගණන් කියනවා. සමහර නිෂ්පාදන අපේ රටේ නිෂ්පාදන. ඒවත් වැඩි මුදලට විකුණනවා. මීට අවුරුද්දකට දෙකකට ඉහතදී නිෂ්පාදනය කළ ටියුබ් එක වුණත් දැන් අලෙවි කරන්නේ රුපියල් හත්සීයකට අටසීයකට වගේ. මේ වගේ අසාධාරණකම් කරන්න හොඳ නෑ. මිනිස්සු ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මම ඉතාමත් සුළු මුදලක් අරගෙන මිනිසුන්ට සයිකල් හදලා දෙනවා.

රටම ලොකු ආර්ථික අපහසුතාවක ඉන්නේ, වැඩ කරන මිනිස්සුන්ට ගමන් පහසුව සලසා ගන්න අමාරුයි. මම යෝජනාවක් විදියට කරනවා මේ වෙලාවේ රජය මැදිහත් වෙලා , රජයේ සේවකයන්ට බයිසිකල් ටිකවත් ලබාදෙනවා නම්, අඩු මුදලකට අමතර කොටස් ටිකවත් ලබා දෙනවා නම්, ඒක ලොකු සහනයක් වෙයි කියලා. ඒ විතරක් නෙවෙයි අමතර කොටස් අඩු මිලට ගෙන්වා දෙනවා නම්, ඒක තෙල් ගෙන එනවට වඩා ලාභයි. මං එහෙම කියන්නෙ ගොඩක් රජයේ සේවකයෝ පරණ බයිසිකල් මගෙ ළඟට ගෙනැවිත් හදාගෙන යන නිසයි .

මේ රුපියල් 5ට,10ට තිබුණු පුංචි නට් එකක් වුණත් දැන් කඩවල විකිණෙන්නේ රුපියල් 40, 50, 60 වගේ වෙළෙන්ඳන්ට හිතු හිතු ගණන්වලට. මේවා නවතින්න ඕනේ. මොකද මෙහෙම අසාධාරණයට බඩු විකුණන්න හොඳ නෑ. අසරණ මනුස්සයෙක් කෑලි කෑලි අරගෙන බයිසිකලයක් හදාගන්නෙ කොහොමද? ඉස්කෝලේ යන ළමයෙක් මා ළගට ආවොත් මම බයිසිකලේ හදන්න මුදල් ගන්නෙත් නෑ. අපි හොඳක් කරද්දි අපිට දෙවියොත් සලකනවා. ඒ වගේම මේ වගේ රස්සා සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා . අද කාර්මික ආයතනවලත් හෝටල්වලත් රෙදි නවන හැටි, පිඟන් හෝදන හැටි කියලා දෙනවා. ඊට වඩා මේ වගේ කර්මාන්තයක් කියල දුන්න නම්, කාට හරි ගොඩ යන්න පුළුවන්. " ඒ ඔහුගේ අදහසයි .

යකල්ල ප්‍රදේශයෙ පදිංචි ඩී . එම් කරුණාරත්න රජයේ සේවකයෙකි. භාවිතයෙන් ඉවත දැමූ පරණ පා පැදියක් අලුත්වැඩියා කර ගැනීමට වින්කලය ට රැගෙන ආ අවස්ථාවේ අප සමඟ කතාබහට එක්විය.

" මම මෙච්චර කල් වැඩට ගියේ ත්‍රීවිල් එකෙන් . දැන් ත්‍රීවිල් එකෙන් යන්න බැහැ වියදම වැඩියි . ගන්න පඩිය මදි තෙල් ගහන්න . ඒ හින්දා ගෙදර අයින් කරලා තිබුණු බයිසිකලය අරගෙන ආවා හදාගන්න. මේ වගේ බයිසිකල් දෙකක් තිබිලා මම යකඩවලට වික්කා . දැන් තමයි ඒකෙ වටිනාකම තේරෙන්න ."

පා පැදි අලුත්වැඩියා කරන ස්ථානවල කාර්යබහුලත්වය සහ පා පැදියට තිබෙන ඉල්ලුම පිළිබඳ අපි විමසුවේ, වයඹ පළාත තුළ ප්‍රථම වතාවට පා පැදි පමණක් අලෙවිකරණ අලෙවිසැලක් ආරම්භ කළ ව්‍යාපාරිකයකු සමඟයි. නමින් ඔහු, කුරුණෑගල නගරයේ රත්නාලෝක එන්ටප්‍රයිසස් ආයතනයේ හිමිකරු වන සරත් රත්නායක ය..

" ලෝකයේ රටවල් ගත්තාම ඉතාමත් පහසුවෙන් පා පැදියෙන් ගමන් යා හැකි එකම රට අපේ රට කියලයි මට හිතෙන්නේ. මොකද ජපානය වගේ රටවල්වල වසරකට මාස කිහිපයක් හිම වැටෙන නිසා බයිසිකල් පදින්න බෑ . මැදපෙරදිග වගේ රටවල්වල බයිසිකලෙන් යන්න බැහැ අධික රස්නය. ඒත් අපේ රටේ එහෙම එකක් නෑ. මේක තමයි පරිසර හිතකාමී එකම වාහනය. අද ලෝකය පරිසරය කාබනික විනාශයකට ලක්වෙමින් තිබෙනවා. ඒකට හොඳම විසඳුම තමයි පා පැදිය. අධික කාබන් බහුල පරිසරයක් සහිත රට ලෙස සැලකෙන මහජන සමූහ චීනය ඒකට විසඳුමක් ලෙස දැන් පා පැදිය භාවිත කරනවා. ඒ විතරක් නෙවෙයි ජපානය, චීනය වගේ රටවල්වල දරුවන් අනිවාර්යයෙන්ම පාසල් යා යුත්තේ පා පැදියෙන්. විශේෂයෙන්ම හොන්ඩා කොම්පැණියේ ළමයත්, යමහා කම්පැනියෙ ළමයත්, සෝනි කම්පැනිය ළමයත්, ඉස්කෝලේ යන්නේ පා පැදියෙන්. ඒත් ජනගණත්වයත් එක්ක සලකා බැලුවාම ඉතාමත් අඩුවෙන්ම පා පැදිය භාවිත කරන රට අපේ රට තමයි. බයිසිකලයේ ඉතිහාසය ගත්තාම ආරම්භක බයිසිකලේ මූලික අංග අදටවත් වෙනස් වෙලා නෑ. විශේෂයෙන්ම පැඩ්ල් දෙකයි, හැන්ඩ්ල් එකයි, රෝද දෙකයි ඒ අංග තුන මූලික කරගෙන තමයි බයිසිකලේ නිර්මාණය වෙලා තියෙන්නේ. මුල් කාලේ අපි බයිසිකලයක් ගත්තාම ඒක මුළු ජීවිත කාලෙටම පාවිච්චි කළා. ඒ වගේම තමයි ඉස්සර බයිසිකලෙත් තිබුණේ හොඳ වත්පොහොසත් නිවෙසක විතරයි. ඒක තමයි ලොකු පොඩි හැමෝම පැද්දේ. ඒත් අද ගත්තහම පොඩි ළමයෙක් ළමා කාලේ ඉඳලා අඩුම තරමින් එක්කෙනෙක් බයිසිකල් විස්සක්වත් පාවිච්චි කරනවා. ඒකට හේතුව ඒ ඒ වයස් කාණ්ඩවලට අනුව බයිසිකලේ නිර්මාණය වෙලා තියෙන නිසයි. එහෙම කරලත් අද බයිසිකලේ පදින්නේ නැති තැනට පත්වුණා.

පහුගිය කාලේ පා පැදිවලට වැඩි යතුරුපැදිවලට වැඩි ඉල්ලුමක් තිබුණා. ඒකත් එක්ක බයිසිකලේට තිබුණු ඉල්ලුම අඩු වෙලා ගියා. ඒත් මේ වනවිට රට තුළ පවතින දැඩි ඉන්ධන අර්බුදයත් එක්ක මිනිස්සු නැවත පා පැදිය වෙත යොමු වෙලා තියෙනවා .

මම ව්‍යාපාරිකයෙක් විදිහට නෙවෙයි මේ රටට ආදරය කරන කෙනෙක් හැටියට කැමතියි, බයිසිකලේ වටිනාකම රජයේ මැදිහත්වීමෙන් මිනිසුන්ට පහදලා දෙනවා නම්. මට මතකයි, එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල රජය විසින් මිනිසුන්ට බයිසිකලේ හඳුන්වලා දුන්නා. ශරීර සෞඛ්‍යයට වගේම පරිසරයට හිතකාමී වාහනයක් ලෙස පා පැදිය නැවත භාවිත කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ.”

 

 කුමාරි දිසානායක, ඉබ්බාගමුව සමූහ

Comments