
රටේ ආහාර අර්බුදයක් ඉදිරි මාස කිහිපය තුළ ඇතිවිය හැකි බවට මේ වනවිට සමාජ කතිකාවක් ගොඩනැඟී ඇත. පසුගිය කාලයේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් තීන්දු අනුව මේ වනවිට කෘෂිකර්මාන්තය පිළිබඳ නැවත කියවා බැලීමක් කළ යුතු කාලය එලඹ ඇත. මේ සම්බන්ධයෙන් කම්පා වීමට හෝ කල්මරමින් සිටීමට වඩා මේ අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතුයි. වාණිජ ගොවිතැන ආරක්ෂා කරන අතරම රටේ ආහාර සුරක්ෂිතතාවයට රැකගැනීමට සුළු පමණ හෝ දායකත්වයක් දැක්වීම ජාතික මෙහෙවරකි. ඉදිරියට ඇත්වුවහොත් එය ආහාර හිඟයක් මිස සාගතයක් නොවන බව අප වටහාගත යුතුය.
එසේම මේ අර්බුදය නිර්මාණය වූයේ ස්වභාව ධර්මයේ දේශගුණික හෝ කාලගුණික සාධයන් නිසා නොවෙයි. රටක කෘෂිකර්ම ප්‍රතිපත්ති ක්ෂණිකව වෙනස් කිරීම අතිශයින් භයානක තත්ත්වයකි. කෘෂිකර්මය පිළිබඳව මේ අවස්ථාවේ නොගත යුතු ප්‍රතිපත්තියක් ගැනීම අර්බුදය වඩාත් උග්‍ර වීමට හේතු විය.
1948 වසරේ නිදහසින් පසුව මෙරට විද්‍යාඥයන් වී අස්වැන්න වැඩි කර ගැනීමට නොයෙක් ක්‍රමෝපායන් දියත් කරන ලදී. 1940 දශකයේදී අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 650කි. වැඩිවන ජනගහනයට සාපේක්ෂව එම අස්වැන්න ප්‍රමාණවත් නොවන බව කෘෂි විද්‍යාඥයෝ සහ ගොවියෝ හඳුනා ගත්හ. මේ නිසා කෘෂිවිද්‍යාඥයින් විසින් පර්යේෂණ කර නව ප්‍රභේදයන් සකස් කරමින් වැඩි අස්වැන්නක් සඳහා පසුබිම සකස් කරන ලදී. නව වැඩි දියුණු කළ වීප්‍රභේද නිසා නිදහස ලබා දශක හතක් ගතවූ පසුව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4800ක වී ප්‍රමාණයකට ලබා ගැනීමට හැකි විය. 2008 පසුව මෙරටට අවශ්‍ය සහල් අවශ්‍යතාව සම්පුර්ණයෙන් සපුරා ගැනීමට හැකියාවක් ලැබුණි. අපි නිෂ්පාදනය කරන වී මඟින් රටට අවශ්‍ය වීසැපයීමට හැකි විය. ආනයනය කළද ඒ ආනයන කරනු ලැබුයේ ඉල්ලුමක් ඇති දේශීයව වගා නොකර සහල් ප්‍රභේද කිහිපයක් පමණි.
මෑතකාලීන ආනයනයන් දෙස බැලීමේදී 2019වසරේදී සහල් මෙට්‍රික් ටොන් 20000ද 2020දී මෙට්‍රික්ටොන් 14000ක්ද වෙයි. පසු ගිය වසරේ මැයි 6වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් පසුව මෙරටට ආනයනික යෙදවුම් රසායනික පළිබෝධනාශක සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු විය. ප්‍රධාන කෘෂිකාර්මික යෙදවුම් දෙකක් වන රසායනික පොහොර සහ පළිබෝධනාශක වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය, 1948 දී නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අදාළව බරපතළම අර්බුදය නිර්මාණය කරන ලදී.
මෙම තීරණය නිසා මහ කන්නයේ වී අස්වැන්න 50% කින්ද බඩ ඉරිඟු අස්වැන්න 65% ත් 70% ත් අතර ප්‍රතිශතයකින් අඩු විය. එසේම මෙරටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන බෝගය වන තේ කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල විය. ඒ අනුව 2022 වසරේ මුල් කාර්තුවේ තේ අපනයනයෙන් ලැබුණු ආදායම, පසුගිය වර්ෂයේ සමාන්තර කාලයේ ලද ආදායම සමඟ සැසඳීමේ දී ඩොලර් මිලියන 52 ක අඩුවීමක් දක්නට ලැබෙයි. මාසිකව මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසූ පන්දහසත්, එක් ලක්ෂ අනූ පන්දහසත් අතර ප්‍රමාණයක් වෙයි. වර්ෂයකට ටොන් ලක්ෂ 23 ක් හෝ 24 ක් අවශ්‍යය. මේ පරිභෝජන රටාව අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් අපේ සහල් අවශ්‍යතාව අප නිපදවන වී වලින් සපුරා ගත නොහැකි තත්ත්වයකට පත්වෙයි.
එසේම යල කන්නයට අවශ්‍ය යෙදවුම් සැපයිය හැකි රසායනික පොහොර සහ ශාක ආරක්ෂණය තහවුරු කළ හැකි පළිබෝධනාශක අවශ්‍ය ප්‍රමාණය අප සතුව නැත. පවතින විදේශ විනිමය අර්බුදය, රසායනික පොහොර මිල ගණන් ඉහළ ගොස් තිබීම නිසා නිසා ලෝක වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාවක් ද අදවන විට නැත. යල කන්නය මාර්තු මාසයෙන් ආරම්භ වී සැප්තැම්බර් මාසයෙන් අවසන් වේ. මේ කාලයේදී ලංකාවේ වී වගාව සිදු කෙරෙන භූමි ප්‍රමාණය හෙක්ටයාර් හාර ලක්ෂයක් හාර ලක්ෂ පනස් දහසක් පමණවෙයි. මහ කන්නය ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වී මාර්තු මස මැදභාගයෙන් අවසන් වේ. මෙරට මහ කන්නය හෙක්ටයාර් අට ලක්ෂයේ සිට අට ලක්ෂ පනස් දහස පමණ භූමි ප්‍රමාණයක වී වගාව සිදු කරයි.
කෙසේ වෙතත් මේ යල කන්නයේ දී පැළ සිටුවීම හෙක්ටරයාර හාර ලක්ෂ පනස් දහක් පමණ වගා කිරීමට අපේක්ෂවෙන් සිටියද මේ මොහොත වන විටත් 25400 ප්‍රමාණයක් පමණ වගා කර ඇති අතර තවත් හෙක්ටරයාර 75000 ක ආසන්න ප්‍රමාණයක් බිම් සකස් කර ඇත. දැනට බිම් සකසා ඇති ප්‍රමාණයත් වී වපුරා හෝ පැළ සිටුවා හෝ ඇති ප්‍රමාණය හෙක්ටයාර තුන් ලක්ෂ පහළොස්දහසක පමණ භූමි ප්‍රමාණයකි. යෙදවුම් වල ඇති හිඟතාවය නිසා ඇතැම් ගොවීන් මෙවර වි වගාවෙන් ඉවත් වි ඇත. විද්‍යාත්මක පර්යේෂණ පුරෝකථනවලට අනුව යල කන්නයත් අවම වශයෛන් සියයට පනහක් පමණ අස්වැන්න අඩුවෙතැයි අනුමාන කළ හැකියි. මෙය කෘෂිකර්මයට අදාළ ගණනය කිරීම්වලට අනුව ආහාර අර්බුදයක් ඇති විය හැකි බවට වන පෙර නිමිති පහළ වීමක් විය හැකියි. විශේෂයෙන් පසුගිය මහකන්නයේ අප්‍රියෙල් රසායනික පොහොර සහ පළිබෝධ කෘමිනාෂක තහනම කළද ගොවින්ට අවශ්‍ය කරන යෙදවුම් යම් ප්‍රමාණයක් තිබුණි. ඒ තත්ත්වය මේ වසරේ ගොවියාට නොමැති වීම යම් අර්බුද කාරී තත්ත්වයක් මතු වීමට හේතුවක් බව පෙනෙයි.
අපි විද්‍යාත්මක පදනම ගැන සවිස්තරව පැහැදිලි කළද කෘෂී විද්‍යාව සම්බන්ධයෙන් කිසිදු දැනුම්වත් වීමක් නැති විද්‍යාඥයෝ යැයි කියා ගන්නා පිරිස මෙවැනි අර්බුදයක් නිර්මාණය නොවන බව පැවැසුවත් කෘෂි විද්‍යාඥයන් වන අපි විසින් රටේ ආර්ථිකය සේම කෘෂී ආර්ථිකයත් කඩා වැටෙන බව සඳහන් කර තිබිණි. මතවාද දක්වන එම පිරිස මේ බරපතළ තත්ත්වය පිළිබඳව දැනුම්වත් වී සිටි බව ඉතා පැහැදිලි වන්නේ 2021වසරේ අවසානයේදී ආනයනකරුවන්ට සහල් ගෙන්වීමට අවසර ලබා දීමෙනි. 2021 අන්තිම වනවිට මෙට්‍රික්ටොන් එක්ලක්ෂ හතළිස් හත් දහසක් ලංකාවට අපනයන කරන ලදී. මේ වසරේ මුල් කාර්තුවේ පමණක් සහල් මෙට්‍රික් ටොන් 30,000 ආනයනය කර ඇත.
මේ අවදානම ගැන අප යම් පමණකට බිය විය යුතු වුවත් එයින් යම් පමණකට හෝ ගොඩ ඒමට අවශ්‍ය විභවතාව ද අප සතුව තිබීම භාග්‍යයක් කොට සැලකිය යුතුයි. ඊට අදාළ ක්‍රම වේද පවතින අතර ඒවා සම්බන්ධයෙන් අපි රජය දැනුම්වත් කිරීමත් උනන්දු කරවීමත් කළ යුතුයි. අපි උත්සාහ කළ යුතු වන්නේ පරිභෝජනය සඳහා හැකි පමණින් රටේ නිෂ්පාදනය කර ගැනීමටය. විශේෂයෙන් විදෙස් විනිමය දුෂ්කර අවස්ථාවක සහල් ආනයනය කිරිම අතිදුෂ්කර කාර්යයක් වෙයි. සහල් ආනයනය මඟින් හිඟ ප්‍රමාණය ආවරණය කර ගැනීමට හැකිවුවත් ඊට අවශ්‍ය විදේශ විනිමය අප සතුව නැත
ආනයනය සීමා කර ඇති අවස්ථාවක පරිභෝජන රටාව යම් වෙනසක් කර ගැනීමට සිදු වේ. එසේම හැකි පමණින් ආහාර වගා කර ගැනීමට යොමු වීම ද සිදු කළ යුතුය. ඉදිරි මාස තුන හතරක කාලයේ කෙටිකාලීනව අස්වැන්නක් ලබා ගත හැකි භෝග වගාවට යොමු වීම අවශ්‍යය. එමෙන්ම තමන්ගේ බත් පතින් ඉවත දමනු ලබන ප්‍රමාණය අඩුකර ගැනීම වැදගත් වෙයි. පරිභෝජනය අඩු කළහොත් යම් ප්‍රමාණයක හිඟතාව බරපතළ බව අඩු කර ගත හැකියි. මහ කන්නය සාර්ථක කන්නයක් නොවුණහොත් ඔක්තෝම්බර් මාසයෙන් පසුව සහල් හිඟතාවයක් ඇති විය හැකිය. මේ අර්බුදයේ දරුණු බව අපිට දැක ගත හැකිවන්නේ යල කන්නයේ වගාකර ඇති ප්‍රමාණය සිමිත වීම සහ අඩුවන අස්වැන්නත් සමඟය.
කෘෂිකර්මය යනු පද්ධතියකි; ඒ සඳහා පොහොරෙ සහ අනෙකුත් යෙදවුම් අවශ්‍යවෙයි. රසායනිකද කාබනිකද පොහොරද යන කාරණා නොව වගාවන් සඳහා අවශ්‍ය යෙදවුම් පූර්ණය කළ යුතුය. කෘෂිකර්මාන්තයට පොහොර මෙන්ම අනෙකුත් යෙදවුම් අවශ්‍ය වෙයි. ගොවින් සහ විද්‍යාඥයන් විසින් කාලන්තරයක් පුරා පර්යේෂණය කරමින් සකස් කළ මේ ක්‍රමවේදයන් එක්වර වෙනස් කිරීම කිසිසේත් කළ නොහැකිය. ඉදිරියේදී අපි අත්විඳීමට සුදානම් වන්නේ වැරදි උපදෙස් වල අනිසි ප්‍රතිඵලයයි. එසේම මෙමඟින් ඉරිගු සහ අපනයන බෝගයක් වන තේ කර්මාන්තයට ඍජුවම බලපෑම් එල්ල වී ඇත. එක් ප්‍රධාන යෙදවුමක් නැති වුනොත් අනෙක් යෙදවුම් කොතෙක් තිබුණත් ඵලදාවේ යම් අඩුවක් සිදු වනු ඇත.
අද දවසේ සමස්ත සමාජයේම වගකීමක් ලෙස රට වෙනුවෙන් කරන යුතුකමක් සේ සලකමින් ඊට යොමු වීම අවශ්‍යය. මිලියන 22 ක් වන ජනතාව උන්නදු කළ යුත්තේ මේ සඳහාය. කෘෂිකර්ම දේපාර්තමේන්තුව නොමිලේ බීජ සහ පැළ ලබා දෙන තුරු බලා නොසිට අදම එය ආරම්භ කළ යුතුය. යල කන්නයේ වගා කෙරෙන මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර හැත්තෑ පන්දහසත් ලක්ෂයත් අතර භූමි ප්‍රමාණයක වගා කටයුතු සිදු කර නොමැත. එවැනි වගා නොකළ කුඹුරු ඉඩම්වල ජලයෙන් යට නොවන තැන් තෝරා ගෙන සහ රටට අවශ්‍ය වන ප්‍රමාණය හොඳින් ගණනය කර යෙදවුම් අවම වශයෙන් අවශ්‍ය වන යම් භෝගයක් වගා කළ හැකියි.
ලබන මහ කන්නය අවශ්‍ය පොහොර සහ පළිබෝධ නාශක විදේශ ණය හෝ ආධාර හෝ මඟින් ගෙන්වීම යම් ආයෝජනයකි. එම කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 8 ක භූමි ප්‍රමාණයක් අස්වැද්දීමට අපේක්ෂා කරන්නේ නම්, බිත්තර වි අපේ රට තුළින් ම නිෂ්පාදනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මක්නිසාද යත් සහල් ආනයනය කිරීමට සුදුසු වුවත් බිත්තර වි ආනයනය කිරීම අතිශයන්ම භයානකය. ඒ මඟින් ලෙඩ රෝග ව්‍යාප්ත වීමට ඇති හැකියාව වැඩිවෙයි. ලංකාවේ වී වගාව සුරක්ෂිත වී පවතින්නේද මෙරට අවශ්‍ය බිත්තර වී නිපදවා ගැනීම සිදු කරන එහෙයිනි. ඉදිරියේදී බිත්තර වී ටොන් අසූ දහසක් පමණ අවශ්‍ය වනු ඇත. එම ප්‍රමාණය මේ කන්නයේ දී නිපදවා ගත යුතුය. බිත්තර වී රට පුරා ව්‍යප්ත කර බෙදා දීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මහ කන්නයට අවශ්‍ය ප්‍රමාණය අදවන රඳවා ගැනීමට කටයුතු කළයුතුයි
විද්‍යාත්මක පදනමකින් යුත් නව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙය හොඳම අවස්ථාවයි. මේ කෘෂිකර්ම අර්බුදය හමුවේ ගොවීන් මුහුණ පා සිටින ප්‍රශ්න කෙරෙහි වඩා අවධානය යොමු වීම ද වැදගත්ය. ගොවියා රැක ගැනීමට අවැසි ප්‍රතිපත්තිමය කාරණා පිළිබද වඩා සැලකිලිමත් විය යුතුය. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තීරණය කිරීමේ දී ඒ සඳහා ගොවීන්ගේ අදහස් ද ලබා ගත යුතුයි.
එළඹෙන මහකන්නයේ සිට හොඳ අස්වැන්නක් ලැබිය හැකි වුවහොත් එම වී අස්වැන්න වෙළෙඳපොළට නිකුත් කරන තෙක් අරපරිස්සමක් අපි ඉදිරියට මුහුණ දිය යුතුය. අර්බුදයට මුහුණ දිමට නම් හැකි තරම් වගා කළ යුතුවන්නේ ඒ හෙයිනි. වගා කළ හැකි වුවත් වගා නොකර අත හැර දමන ලද ඉඩම් ඇති ජනතාව විසින් සුළුවෙන් හෝ තමන් කැමැති දෙයක් වගා කළහොත් එය මේ මොහොතේ වැදගත් වෙයි.
අපේ බත් පතෙන් වන නාස්තිය අවම කර ගත යුතුය. එසේ කිරීමෙන් හිඟ වන සහල් අවශ්‍යතාවෙන් යම් ප්‍රමාණයක් ආවරණය කරගත හැකිය. ආහාර සුරක්ෂිතතාවය යනු කුමක්ද යන්න අපි උගත යුතු කරුනු කිහිපයක් වෙයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ අාහාර සුරක්ෂිකතාව යනුවෙන් පුළුල් අදහසක් දක්වයි. එනම් ඕනෑම පුද්ගලයෙක්ට ඕනෑම වෙලාවක තමන්ට කැමැති ආහාර සුලබ ව තිබේ නම් ඒ සඳහා ළඟා විය හැකි නම්, පහසු මිලට ගත හැකිනම් සෞඛ්‍ය ආරක්ෂිතව තිබේ; නම් අවශ්‍ය පෝෂණ ගුණයක් තිබේ නම් සැමවිටම ස්ථායීව ලබාගැනීමට හැකි නම් යන මේ කාරණා සම්පූර්ණ කර ගැනීමට හැකිනම් ආහාර සුරක්ෂිතතාවක් ලෙස හැදින්විය හැකියි. සෑමවිටම වඩා විද්‍යාත්මක පුරෝකතනයක් වන්නේ මෙහිදි සුලභතාව ළඟාවීම සහ ළඟා කරගත හැකිවිමයි. ඇතැම් ආහාර සාමාන්‍ය ජනතාවට ළඟා වෙන්න බැරි තත්ත්වයකට පත් වීම වර්තමානයේ අත්විඳින කරුණකි. මේ සංකලනයේ සමස්තය සිතිය යුතුයි. එය නොසිතා මේ යන ක්‍රමවේදයන් වෙනස් කිරීම එකවර කළ හැකි දෙයක් නොවෙයි.
කෙසේ වෙතත් ඉදිරි මහ කන්නය තීර්ණාත්මක වෙයි. රජය මැදිහත් ගොවිජන දෙපාර්තමේන්තුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිජන සංවර්ධන දෙපාර්ථමේන්තුව මහවැලි සංවර්ධන දෙපාර්ථමේන්තුව මේ සියලු ආයතන දෙපාර්තමේන්තු ඒකරාශි වෙමින් කටයුතු කළ යුතුයි. ගොවියා අනාගතයේදී ගොවිතැන් කරන්නේ ද නැති ද යන්න තීරණය වන්නේ ද යන කාරණාව එළඹෙන කන්නයේදී තීරණය වෙයි.
අප ස්වභාවික පරිසර පද්ධතිය ආරක්ෂා කර ගනිමින් වගා කළ යුතුයි. සියලු දෙනාගේ මේ මොහොතේ ජාතික වගකීමක් වෙයි.
මේ අර්බුදය දරුණුවට කතා නොකර සිටීමට නොහැකියි. මේ යථාර්ථය අපි තේරුම් ගත යුතුයි. අවශ්‍ය ආහාර අවශ්‍ය ප්‍රමාණයෙන් යුතුව ලබා ගැනීමට උත්සහා කිරීම ජාතියේ වගකීමකි. ජනතාවට මිලදී ගතහැකි මිල ස්ථායිතාවයෙන් යුතු ආහාර සුරක්ෂිතතාවක් තබාගත හැකි විය යුතුයි.
ආහාර සුරක්ෂිතතාව යනු ජාතික ආරක්ෂාවකි. ගෝලීය යුද්ධමය තත්ත්වයන් වැඩි වශයෙන් නිර්මාණය වී ඇත්තේද ආහාර අර්බුදයන් සමඟයි. රසායනික පොහොර සඳහා පමණක් ලඝු නොකොට වැරදි තාක්ෂණය භාවිතය ගැන නැවත සිතිය යුතුය. වැරදි ලෙස භාවිත වන ඕනෑම තාක්ෂණයක් හානිදායක වෙයි. තාක්ෂණය වැරදි ලෙස යොදාගෙන තාක්ෂණයට වැරදි පැටවීම අඥාන කමකි. අපි රටේ ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීමට දායකත්වයක් ලබාදිය යුතුයි. අතීතයේ සිදුවූ වැරදි නැවත කියවා බැලිය යුතු සේම ඒවා නිවැරදි කරගැනීමේ හොඳම අවස්ථාව උදාවී ඇති බව වටහා ගත යුතුය.