
මෙරට තේ කර්මාන්තයත් කුඩා තේ වතුහිමියන් අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ බැඳියාවකි. ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා කුඩා තේවතු හිමියන්ගෙන් ලැබෙන්නේ සුවිශේෂි දායකත්වයකි. ඇතැම් දිස්ත්‍රික්කවල උපනගර බිහිවී ඇත්තේ ද කුඩා තේ වතුහිමියන් නිසාවෙනි. මෙරට දිස්ත්‍රික්ක 14ක ලක්ෂ 05කට ආසන්න කුඩා තේ වතුහිමියන් සංඛ්‍යාවක් විසිරි සිටිති. මින් වැඩිම කුඩා තේ වතුහිමියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කවලිනි. කුඩා තේ වතුහිමියන්ගෙන් සෘජුවම යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 20කට ආසන්නය. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගණන්හිලව්වලට අනුව කුඩා තේ වතුබිම් ප්‍රමාණය හෙක්ටයාර් 122,900කි. ඉඩම් කැබලි සංඛ්‍යාව 397,223කි. කුඩා තේ වතු අංශයේ වාර්ෂික නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රැම් මිලියන 225,728කි. මෙරට ජාතික තේ නිෂ්පාදනයෙන් සියයට 75.21ක දායකත්වයක් ලබාදෙන්නේ කුඩා තේ වතුහිමියාය.
අනික් කාරණය වන්නේ කුඩා තේ වතු හිමියන්ගෙන් සියයට 75ක් පමණ අක්කර 01ට අඩු කුඩා තේ වතුහිමියන්ය. මොවුන් තම දරුපවුල් නඩත්තු කරන්නේ තේ වගාවෙන් ලැබෙන ආදායමෙනි. මෙරට තේ කර්මාන්තයට වැඩිම දායකත්වයක් ලබාදෙන කොටස්කරුවා වන්නේ කුඩා තේ වතුහිමියාය. කෙසේවුවද මේ වනවිට මැත ඉතිහාසයේ අමු තේ දලු කිලෝවක් සඳහා ඉහළ ම මිලක් කුඩා තේ වතුහිමියන්ට ලැබී ඇත. කුඩා තේ වතුහිමියන්ගේ අතමිට සරුවී ඇත. ඔවුන්ගේ ආදායම ඉහළ ගොස් ඇත. රුපියල් 110ට පමණ තිබූ අමු තේ දලු කිලෝවක් මේ වනවිට රුපියල් 250 දක්වා වැඩිවී තිබේ. රසායනික පොහොර ප්‍රශ්නය හා පොහොර මිල වැඩිවීම හමුවේ අමු තේ දලු කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහළ යෑම කුඩා තේ වතුහිමියන්ට යම් අස්වැසිල්ලකි.
මේ සම්බන්දයෙන් සමස්ත ලංකා කුඩා තේ වතුසමිති සංවිධානයේ සභාපති කේ. එල් ගුණරත්න පැවසුවේ මෙවැන්නකි.
අක්කරයකට අඩු කුඩා තේ වතුහිමියන් තේ වගාවෙන් ලැබෙන ආදායමෙන් තමයි තම දරුපවුල් නඩත්තු කරන්නේ. පොහොර ගැටලුව නිසා යම් ප්‍රමාණයක තේ දලු අස්වැන්නේ අඩුවීමක් තියෙනවා. අමු තේ දලු කිලෝවක මිල සියයට 90කින් විතර වැඩිවෙලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් තේ පොහොර මිල වැඩිවෙලා තියෙනවා. තේ පොහොර කොට්ටයක මිල රුපියල් 18000ක්පමණ වෙනවා. යුරියා කොට්ටයක් රුපියල් 40000ක් විතර වෙනවා. අඒ නිසා තේ දලු මිල වැඩි වීමේ වාසිය ලබා ගන්න බැරිවෙලා.
වසරකට කුඩා තේ වතුහිමියන්ගෙන් කෝටි 400ක් 450ක අතර මුදලක් බදු වශයෙන් අය කර ගන්නවා. ඒ බදු මුදලින් කුඩා තේ වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබාදෙන්න කියලා අපි යෝජනා කළා. වැවිලිකර්මාන්ත ඇමතිතුමා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරලා තියෙනවා. එහි අවසාන ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. අපි තවත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා, පොහොරවල මිල සංශෝධනය වනතෙක් කුඩා තේ වතුහිමියන්ට වාරික තුනකින් ගෙවීමේ පදනම මත පොහොර ලබාදෙන්න කියලා. තේ කම්හල් හිමියන්ටත් ණයට පොහොර දෙන්න බැහැ. ඒ නිසා තේ මණ්ඩලය මේ සඳහා මැදිහත් වෙලා තේ කම්හල්වලට පොලි රහිත ණයක් ලබාදෙන්න කියා අපි ඉල්ලා සිටිනවා.
අතුකොරල තේ සමුහ ව්‍යාපාරයේ සභාපති අනුර අතුකෝරල මෙසේ කිවේය.
අමු තේ දලු කිලෝවකට සදහා මෑත ඉතිහාසයේ කිසිදිනක මෙතරම් මිලක් ලැබුණේ නැහැ. මගේ කර්මාන්තශාලාව මගින් අමු තේ දලු කිලෝවක් මිලදි ගත්තේ රුපියල් 257 යි ශත 53ක මුදලකට. අමු තේ දලුවලට හොඳ මිලක් ලැබිලා නමුත් ලැබෙන ආදායමට සපේක්ෂව වියදමත් වැඩියි. බරපතළම ගැටලුව තමයි අමු තේ දලු නිෂ්පාදනය අඩු වීම.‘
ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂක අඩාරදෙණියවත්ත පුද්ගලික සමාගමේ සභාපති ඩබ්ලිව්. ජිනදාස මෙසේ කිවේය.
තේ අක්කරයකින් අමු තේ දලු කිලෝ 500ක් 600ක් කැඩුවා; නමුත් දැන් තේ දලු කිලෝ 300ක් තමයි කඩන්න පුළුවන්. තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර. නමුත් එකවරම කාබනික පොහොර තේ වගාවට යොදන්න කියලා ගත්තු තීරණය නිසා තේ කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්වුණා. තේ වතුහිමියන් මේ වනවිට තේ වගාව සඳහා පොහොර යොදන්නේ නැහැ.
පුද්ගලික තේ කමහල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හෙරත් කීවේ මෙවැනි කතාවකි.
පහතරට, මැදරට, උඩරට යන කලාප අනුව තේ සඳහා ලැබෙන මිල ගණන් වෙනස් වෙනවා. පහත රට තේ සඳහා තමයි වැඩිම මිලක් ලැබෙන්නේ. රුසියාව සහ මැද පෙරදිග රටවලට වැඩි වශයෙන් යන්නේ පහතරට තේ. තේ දලු කිලෝවක මිල වැඩිවුණත් වියදමේ හැටියට ලැබෙන ආදායම මදි යැයි ද ලයනල් හේරත් කීවේය.