අම්පාරේ ගජමුතු හොරා ඇල්ලූ විශේෂ කාර්ය බලකා මෙහෙයුම | සිළුමිණ

අම්පාරේ ගජමුතු හොරා ඇල්ලූ විශේෂ කාර්ය බලකා මෙහෙයුම

 

 ගජමුතු ගැන විටින් විට විවිධ කතා අසන්නට ලැබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් පසුගිය මාස කිහිපය තුළ අම්පාර දිස්ත්‍රික්කයෙන් ගජමුතු 22ක් සොයාගෙන සැකකරුවන් දහතුන් දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණ. ඒ එක් කතාවකි.

අම්පාර දිස්ත්‍රික්කය ද තහනම් ගජමුතු අලෙවිය පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි. ඒ අනුව පසුගිය කාලය තුළ ගජමුතු අලෙවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 06ක් පමණ වාර්තා විය. පිට පළාත්වල පුද්ගලයන් ද අම්පාරට පැමිණ ගජමුතු අලෙවි කරන්නට වෙළෙඳපොළක් නිර්මාණය කරගෙන ඇති බව එම සිදුවීම් විමර්ශනයේදී හෙළි වී ඇත. එම නිසාම ගජමුතු අලෙවිය පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි අවධානයකින් කටයුතු කරයි. මෙරට එකම ස්ථානයකින් සොයා ගනු ලැබු වැඩිම ගජමුතු ප්‍රමාණය 76ක් වන අතර, ඒවා සොයාගනු ලැබුවේ අම්පාර ඉගිණියාගල දේවාලහිද ප්‍රදේශයේ නිවෙසකිනි.

ගජමුතු හතක් ගැන ගනුදෙනුව දින කිපයක් තිස්සේ කතා කර ගත් උපාය දුත ව්‍යාපාරිකයා, විශ්‍රාමික වනජිවි නිලධාරියා හමුවීමට ඔහුගේ ඉගිණියාගල දේවාලහිද පිහිටි නිවෙසටම ගොස් ඇති අතර, තමන් පැමිණි කාරණය පැහැදිලි කර මුදල් පිළිබඳව ද කතිකා කර ගන්නා ලදී.

විශ්‍රාමික වනජීවි නිලධාරියා පළමුව ගජමුතු දෙකක් පමණක් ගනුදෙනුව සඳහා ඉදිරිපත් කර ඇත. එහෙත් උපාය දුත ව්‍යාපාරිකයා, තමා විදේශිකයන් සමඟ කරන ගනුදෙනුව සඳහා පෙර කතිකා කරගත් පරිදි ගජමුතු හතක්ම වුවමනා බවත් එසේ නොමැති වුවහොත් තමන්ට ගැටලුවක් බවත් පැවසීය.

ඉන් අනතුරුව පැය භාගයකට වැඩි කාලයක් ගනුදෙනුව පිළිබඳ කතා කිරිමෙන් අනතුරුව ව්‍යාපාරිකයා පිළිබඳ සැක හැරගත් වන ජීවි නිලධාරියා, රෙදිකඩකින් ඔතන ලද ගජමතු 62ක් ව්‍යාපාරිකයා හමුවට ඉදිපත් කළේය. ඒ ව්‍යාපාරිකයා පිළිබඳ ඇති වූ දැඩි විශ්වාසය මතය.

ගනුදෙනුව අවසන් අවස්ථාවට පැමිණි මොහොතේ ව්‍යාපාරිකයා ලෙස පැමිණ සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා, අනෙක් නිලධාරින් සමඟ කඩිනමින් එම ස්ථානයට පැමිණෙන ලෙස තම සහායකයාට ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩයක් යැව්වේ වනජීවි නිලධාරියාට කිසිදු සැකයක් නොසිතෙන ලෙසටය.

වැඩි වේලාවක් ගතවීමට පෙර විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමින් සැරසුණු නිලධාරින් කිහිප දෙනකු විශ්‍රාමික වනජීවි නිලධාරියා ඉදිරිපිට පෙනී සිටි අතර, එම අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට පත්විය.

ඉන් නොනැවතුණු පැමිණ සිටි විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීම ආරම්භ කරන ලද්දේ නිවෙසේ තවත් ගජමුතු තිබිය හැකිය යන සැකය මතය.

ඔවුන්ගේ සැකය යථාර්ථයක් බවට පත්කරමින් අල්මාරියක සඟවා තිබූ තවත් ගජමුතු 14ක් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව විශ්‍රාමික වන ජීවි නිලධාරියා සතුව තිබු ගජමුතු 76ක් සොයාගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් විය. තමා වසර ගණනක් සඟවා ගෙන සිටි ගජමුතු පිළිබඳ විශ්‍රාමික වනජීවි නිලධාරියා නොයෙක් කරුණු ඉදිරිපත් කරන්නට විය.

මීට පෙර අවස්ථාවක ගජමුතු පිළිබඳ අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් තමන් හට පැරණි සන්නසක් මඟින් පාරම්පරිකව ලැබුණු බව පවසා තිබු ලිපියක් ද ඔහු විසින් ඉදිරිපත් කර තිබිණ. එහි ගජමුතු දෙකක් වැනි ප්‍රමාණයක් පිළිබඳ පැරණි සටහනක් තිබිණ. ගජමුතු හැත්තෑහයක් වැනි ප්‍රමාණයක් පිළිබඳ එහි සටහන් නොවිය.

විශේෂ කාර්ය බළකායේ නිලධාරින් හට ඉන් වෙනස් අදහසක් ඇතිවිය. එම පැරණි ලිපිය අනුව ඔහු ජාවාරමක් සිදු කර ඇති බවයි. මෙම ගනුදෙනුවේදී ද විශ්‍රාමික වනජීවි නිලධාරියා මුලින්ම ඉදිපත් කරනු ලබන්නේ ගජමුතු දෙකක් පමණි.

මේ අනුව ඉගිණියාගල පොලිස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක යු.කේ.බර්ටි උඩුකුඹුර විසින් අදාළ සැකකරු ගජමුතු 76 සමඟ අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. ග්‍රෑම් පන්සිය අසුවක බරින් යුතු එම ගජමුතු පවතින වෙළෙඳපොළ වටිනාකම අනුව රුපියල් ලක්ෂ හැටපහක් පමණ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු පැවසූහ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර, අම්පාර විශේෂ කාර්ය බළකායේ කලාප භාර අණ දෙන නිලධාරි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීර, අම්පාර ප්‍රාදේශීය අණදෙන නිලධාරි නලින් පෙරේරා යන නිලධාරින්ගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.සී.කේ.පියසේන, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ.මනෝහර, උප

පොලිස් පරීක්ෂක එම්.ජී.ඒ.කේ.ජයසිරි, උප පොලිස් පරික්ෂක ඊ.එම්. විමලසේන, විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරුන් වන 70820 ජයසිංහ, 69208 රත්නායක, 82868 ජයසේකර,

87810 යසරත්න, 25132 ගුණරත්න, ඉගිණියාගල පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් 71828 බණ්ඩාර, කාන්තා පොලිස් සැරයන් වරුන් වන 7022 නිලුෂානි, 7052 චන්දිමා යන නිලධාරින් මෙම වැටලීම සඳහා එක්වූහ.

 

චන්දන ලියනආරච්ච්, දිගාමඩුල්ල සමුහ

 

Comments