![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/06/10/Untitled-95.jpg?itok=IYHZYWpQ)
ආර්ථික අර්බුදය සමඟ හටගෙන ඇති දේශපාලන අර්බුදය තවමත් පවතිද්දී දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ සිදුවීම් කිහිපයක්ම පසුගිය සතියේදී සිදුවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම, සමඟි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.
අගමැති, මාධ්‍ය ප්‍රධානීන්ට කී දේ
මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ විදුලිබල පනතයි. විදුලි බල පනතත් සමඟ මතු වී ඇති කාරණය තමයි ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවේ අදානි සමාගමට දීමේ සූදානමක් තියෙනවා කියන කාරණය. මේ වගේ කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ඉංජිනේරු සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙක් පසුගිය 09 වැනිදා පැය කිහිපයක වැඩ වර්ජනයකුත් දියත් කළහ. මේ අතරේ විශේෂ සාකච්ජාවක් අග්‍රාමාත්‍යවරයා සහ විද්යුත් මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනෙකු අතර පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලංකාවේ පාඩු ලබමින් ඇති ආයතන රැසක් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කළ යුතුය කියායි. ඒ සඳහා මේ වෙද්දී කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් ඒ ආයතන අතරට ශ්‍රී ලංකන් ගුවන් සමාගමද අයත් බවත් අගමැතිවරයා ප්‍රකාශ කොට තිබේ.
“විවිධ දේවල් ගත්තත් අපිට පේන්නේ එක පැත්තක් විතරයි. අපිට පේන්නේ නැති තවත් බොහොමයක් පැති තියෙනවා අපිට බලන්න. විශේෂයෙන්ම ඉන්දියාව ගත්තොත්, ඉන්දියාව තමයි මේ වෙලාවෙ අපිට ඉන්න උදව්වක් ගන්න තියෙන අසල්වාසී රට... ඩොලර් ටිකක් ඉල්ල ගන්න තිබ්බත්, ආයෝජකයන් ගෙන්න ගන්න ඕන වුණත්, සංචාරකයන් ගෙන්න ගන්න වුණත් ඉස්සෙල්ලාම අපිට දොර අරින්න වෙන්නේ ඉන්දියාවට. ඒ නිසා ඉන්දියාවත් එක්ක අපි මේ කරන ගනුදෙනුව බොහොම පරිස්සමින් වගේම බොහොම සුහදශීලිව කරන්න ඕනි. ඒ නිසා ඉන්දියාව තරහ කරගෙන මේ වැඩේ කරන්න බැහැ“ යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මොකද වුණේ?
පසුගිය 06 වැනිදා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැස්වීමට සහභාගී වූහ.
රැස්වීමේදී කංචන විජේසේකර අමාත්‍යවරයා වත්මන් විදුලි අර්බුදය සම්බන්ධයෙන් සහ වත්මන් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සිදු කළේය. ඒ වගේම වර්තමාන කෘෂිකර්මාන්තයේ තිබෙන්නා වූ අර්බුදය සම්බන්ධයෙන් දැනුවත්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරයි. මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපතිවරයා වගේම විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වගේම නිලධාරීන් රැසක් සහභාගී වී ඇත.
මෙහිදී අදහස් දක්වපු අග්‍රාමාත්‍යවරයා රටේ වර්තමාන ආර්ථීක තත්ත්වය, IMF එකෙන් ණය ලබාගැනීමේ හැකියාව පිළිබඳව, රටට මුදල් ලැබෙන්න තියෙන ක්‍රම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා එළඹෙන ආහාර අර්බුදයට විසඳුමක් විදිහට රජය සතු කෘෂිකාර්මික ඉඩම් වගා කරන්න කැමති පිරිස් වෙත ලබාදීමට හැකි වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන්න කියලත් එහිදී උපදෙස් ලබාදී ඇත.
ආහාර අර්බුදය දරුණු නොවන ලකුණු
මේකෙදී ආහාර අර්බුදය ගැන චරිත හේරත් මන්ත්‍රීවරයා අදහස් පළකර තිබේ. අපි හිතන තරම් ඔය ආහාර අර්බුදය දරුණු වෙන එකක් නෑ කියලා තමයි මන් හිතන්නේ. මේ වෙද්දී යල කන්නයේ වී නිෂ්පාදනය හොඳ අතට හැරෙමින් තිබෙන්නේ. යල කන්නයේ වගා බිම්වලින් 52%ක් විතර මේ වෙද්දී වගා කරලා තියෙනවා. කියන විදිහට දරුණු ආහාර හිඟයක් මතුවෙන එකක් නෑ. විශේෂයෙන්ම වීවලින්. අපිට ප්‍රශ්නයක් මතු වුණොත් ප්‍රශ්නයක් මතුවන්නේ ආනයනික ආහාර ද්‍රව්‍ය සහ ඒ භාණ්ඩ සම්බන්ධයෙන්. අපිට ඒක වෙද්දී දේශීයව නිෂ්පාදනය කරන අල, බතල එළවළු වගේ දේවල්වලින් ඒ අඩුව පුරවගන්න හැකියාවක් ලැබෙයි කියලා චරිත හේරත් මන්ත්‍රීවරයා දිගින් දිගටම ප්‍රකාශ කර ඇත.
“හැබැයි ඉතින් තව අපිට හාල් මෙට්‍රික් ටොන් 6ක් විතර ඕන වෙනවා.”යනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.
මේ අතර හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාත් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරිමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. මේකට හමුදාවේ හිටපු නිලධාරීනුත් සම්බන්ධ වෙන්න නියමිත බව ද තොරතුරු වාර්තා වේ. පාඨලී චම්පික රණවක පක්ෂය හැර යන විට ෆොන්සේකාද සජිත් හැර යාමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වූ නිසා සමඟි ජනබලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පාඨලී හා ෆොන්සේකා වෙත වෙනම හමුවී සාකච්ජා කිරීමේ සූදානමක්ද ඇත.
මෛත්‍රීගෙන් නිමල්ට ආරාධනාවක්
පසුගිය දවසක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එන්න කියලා තියෙනවා අමාත්‍ය ධුර ලබාගත්තු නිමල් සිරිපාලද සිල්වාට. එහිදී අමාත්‍යවරයාට කියලා තියෙනවා “මම ඔයාටයි අමරවීරටයි එරෙහිව පියවර ගන්නේ නැහැ“ කියලා.“ හරි ඔබතුමා වචනයෙන් කිව්වට වැඩක් නැහැ; ඕක අපිට ලිඛිතව දැනුම් දෙන්න“ කියලා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා තිබේ. කොහොමහරි මේ සාකච්ජාවට පක්ෂයේ මහ ලේකම්වරයා වන දයාසිරි ජයසේකර සහභාගී වී නැත.
මේ අතර මේ ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට සැලවූ සැණින් හිතවාදීන් කිහිපදෙනෙකු සමඟ ප්‍රකාශ කොට ඇත්තේ “ඉල්ලන වෙලාවට ලියුම් ලබාදීමට තමා බැඳී නැති බවයි. දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා කියන්නේ... එහෙම ලියුමක් දෙන්න නම් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් ඕනි. එහෙම අනික ලියුමක් දෙනව නම් දෙන්න පුළුවන් පක්ෂයේ නායකයාට නැත්නම් පක්ෂයේ සභාපතිවරයාට”යනුවෙන්ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කොට තිබේ.
බැසිල් කැමතිම රිගින් ටෝන් එක
“කපුටු කාක් කාක් කාක්... බැසිල්... බැසිල්... බැසිල්... කියන එක රිගින් ටෝන් එකක් වගේ මාත් ඒකට හරි ආසයි” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ තමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොහොට්ටුවේ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
රාජ්‍ය පාලනයට සමු දුන්නත් තමන් දේශපාලනයෙන් ඉවත් නොවන බවත් ජනතාව වෙනුවෙන් ඉදිරියේදී සේවය කරන බවත් බැසිල් රාජපක්ෂ පැවසුවේය.
පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පැමිණියේ මැයි 09 වැනිදා ඝාතනය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහාය.
මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කාර්යාලයේ සිටින විට මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කළේය.
මේ ගැන අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා එතන සිටි ජගත් කුමාර සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක ඇතුළු පිරිසකට කීවේ “බැසිල්ට තිබුණේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමටයි. මාධ්‍ය හමුවක් තියලා ඉල්ලා අස්වීම කිව්වට කමක් නැහැ. නමුත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් සිදුකරලා ඉල්ලා අස්වීම සිදු කළා නම් එම ප්‍රකාශය ගැන හැන්සාඩ් ගත වෙනවා.” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.
බැසිල්ට හා ධම්මිකට ඇමතුම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වී එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් කිහිපදෙනෙකු දුරකථනයෙන් කතා කොට බැසිල් රාජපක්ෂට සුබ පැතීය.
“ඔබතුමා මේ අවස්ථාවේදී රට වෙනුවෙන් හොඳ කැපවීමක් කරමින් යහපත් ආදර්ශයක් ලබා දුන්නා. හුඟදෙනෙක් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයකදී දක්ෂ ව්‍යාපාරිකයකුට පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටේ ආර්ථීකය ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලබාදීම යහපත් දෙයක්” වශයෙන් ඔවුහු බැසිල් රාජපක්ෂට ප්‍රකාශ කළාහ.
මේ අතර තම හිතවත් ව්‍යාපාරිකයන් හා ප්‍රකට සමාගම් රැසකම නියෝජිතයන් ධම්මික පෙරේරාට සුබ පතමින් ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදී යම් අභියෝගයක් බාර ගනිමින් පාර්ලිමේන්තුවට යාමට තීරණය කිරීම ඉතා යහපත් දෙයක් බවයි.
මේ අතර විදුලිබල සංශෝධන පනත සම්බන්ධයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් එම පනත් සංශෝධනය ගැන බොහෝ විමසීම් සිදු කෙරිණි.
“අගමැතිතුමන් මේ පනත් ගැන, ගිවිසුම් ගැන බොහොම අවධානයෙන් තමයි කටයුතු කරන්න ඕන. මොකද 2002 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානයත් සමඟ එවකට පැවතුණු රජය සටන් විරාම ගිවිසුමක් අත්සන් කළාද කියලා අපි පාර්ලිමේන්තුවේදී ඇහුවා. එතකොට එවකට හිටපු සභානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර කිව්වා වගේ ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. එහෙම ගිවිසුමක් එතුමා දැකලවත් නැහැ කියලා. නමුත් එහෙම ගිවිසුමක් පාර්ලිමේන්තුවටවත් නොදන්වා අත්සන් කළාද” යනුවෙන් විමල් වීරවංශ ප්‍රකාශ කළේය.
“ඒ ගිවිසුම ග්‍රාෆ්ට් කරපු එක නෝර්වේජියන් ඇම්බර්සඩර් ජොන් වෙස්බෝරිග් අත යැව්වේ ප්‍රභාකරන්ට බලන්න. එතකොට ග්‍රාෆ්ට් එකට තමයි ප්‍රභාකරන් අත්සන් කරලා තියෙන්නේ. නැත්නම් අත්සන් කරන්න කලින් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබුණා.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ දේශපාලන පක්ෂ 12 නායකයන්ගේ හා නියෝජිතයන්ගේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 08 දී පැවැත්විණි. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු එම පක්ෂවල නායකයෝ සහ නියෝජිතයෝ මෙම රැස්වීමට එක්ව සිටියහ.
මෙම රැස්වීමට පැමිණි මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් විමසා සිටියේ තමාට නිරීක්ෂණ මට්ටමින් මෙම රැස්වීමට සහභාගීවීමටද හැකිද කියාය.
“සාමාන්‍යයෙන් මේ වගේ සාකච්ජාවක තොරතුරු හොයන්න එවන්නේ රහස් පොලීසියෙන්. දැන් මෙරට පොලීසිය බාර ඇමතිතුමාම ඔත්තු බලන්න ඇවිල්ලා” යනුවෙන් ගෙවිඳු කුමාරතුංග කරපු කතාවට සියල්ලෝම සිනහ වූහ.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය වසර 2 ½ සිට වසර 4 ½ දක්වා වැඩි කරන ලෙසට සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
මේ ගැන සාකච්ජාවක් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී පැවැත්විණි.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සම්පත් අතුකෝරළ, මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සහන් ප්‍රදීප්, ජානක තිස්සකුට්ටිආරච්චි, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ද සොයිසා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණා වගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට තිබෙන බලය වසර 4 ½ දක්වා වැඩි කරන ලෙසට සංශෝධිත ඉදිරිපත් කළ යුතුයි. දැන් තියෙන්නේ ඒ කාලය වසර 2 ½ යි. මේක රටකට ගැළපෙන්නේ නැහැ. ජනතා ඡන්දයෙන් තේරී පත්වන ඕනෑම ආණ්ඩුවකට ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා වසර 5ක කාලයක් අවශ්‍යයි. වසර 2 ½ න් ඡන්ද තියන්න ගියොත් එවැනි ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්නවත් බැහැ. වසර 2 ½ න් ඡන්ද තියන්න ගිහිල්ලා විශාල වියදමක් අතිරේකව යනවා. හැම තිස්සේම ඡන්ද තියන්න ගියාම ඒක සමාජයේ සාමාන්‍ය පැවැත්මටත් බාධා එල්ල වෙනවා” යනුවෙන් කිහිපදෙනෙක්ම පෙන්වා දුන්හ.
මේ සංශෝධනය ඉක්මනටම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට ඉදිරිපත් කරන්න ඕනෑ” යනුවෙන් මධුර විතානගේ ප්‍රකාශ කළේය.
අමරකීර්තිට ශෝක පළකිරීම් රැසක්
පසුගිය මැයි 09 වැනිදා කුරිරු ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ශෝක ප්‍රකාශ යෝජනාව පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී සාකච්ජාවට ලක්කෙරිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ රැසක් ශෝක පළ කළහ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයාට දොස් පවසන්නට වූයේය.
මැයි 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අනුමත කරමින් රාසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ කථා ගැන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රශ්න කරන ලදී.
“අමරකීර්ති මන්ත්‍රීවරයාගේ ඝාතනය රාසමානික්කම් මන්ත්‍රීතුමා අනුමත කරනවාද? කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට පහරදීම රාසමානික්කම් මන්ත්‍රීතුමා අනුමත කරනවාද? ඒක නිසා ලබන පාර්ලිමේන්තු සතියේදී මේ කරනු ලබන ප්‍රකාශ රාසමානික්කම් මන්ත්‍රීතුමා ඉල්ලා අස්කරන්නේ නැත්නම් මේ ගැන විභාගයක් කරන්න කියලා කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර ජනාධිපතිවරයා පසුගිය නවවැනිදා උදේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කැඳෙව්වේ ප්‍රගති සමාලෝචනය සඳහාම පමණක් නොව, වර්තමානයේ මතු වී ඇති වෙනත් ප්‍රශ්න කිහිපයකටද විසඳුම් සෙවීම සඳහාය. ඒ වනවිට නතර කරවාගෙන සිටි රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය ද ඒ අතර විය. බොහෝ දෙනකු අර්ථ දක්වා තිබුණේ ‘මෙය අහක යන කුණු ගොඩක් ඇඟේ දමා ගැනීමක්‘ හැටියටය. එහෙත් එය අහක යන කුණු ගොඩක් නොව, රජය අපහසුතාවයට හෙළීමේ තවත් එක් කුමන්ත්‍රණයක පැතිකඩක් ලෙස මේ සිදුවීම නිරීක්ෂණය කරන පිරිසක් ද සිටියහ.
උදේ දහයට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම රැස්වීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම්, වරාය සභාපති ආචාර්ය ප්‍රසන්න, ගුවන් තොටුපළ හා සිවිල් ගුවන් සේවා ආයතනයේ සභාපති විශ්‍රාමලත් හමුදා ජනරාල් වී. ඒ. චන්ද්‍රසිරි ඇතුළු අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ. මෙහිදී මුලින්ම අරමුණු පැහැදිලි කළේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ය.
"පහුගිය නම වෙනිදා අරගලකරුවන්ගේ සහයෝගයට වරාය කම්කරුවෝත් එකතුවෙලා වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. වරායේ බඩු බාන්න ආපු නෞකා විශාල ප්‍රමාණයක් හරවලා ඇරියා. එකෙන් දැනට ගණන් බලපු විදිහට අපිට සිද්ධ වුණු සිදුවූ පාඩුව ඇමරිකන් ඩොලර් මිලියන 1.2 ක් විතර. සාමාන්‍යයෙන් ලොකු නැව්වල කන්ටේනර් හා බඩු ගෙනත් ඒවා පොඩි පොඩි නැව්වලට පටවලා ඉන්දියාවට පකිස්ථානෙ වැනි අවට රටවලට යවන්නෙ කොළඹ වරායෙන්. ඒක අපිට තියෙන ලොකු ආදායමක්. එදා සිද්ධ වෙච්ච ඒ කලබගෑනිය නිසා දැන් සමහර නැව් ලංකාවට එන්නත් බෑ කියනවා. එහෙම කළාම නැති වෙන්නේ ලංකාවට ඩොලර් වශයෙන් එන්න තියන මුදල්" ඇමති නිමල් කීවේය.
"රටට ඩොලර් එන එක නවත්තන්න ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා" නිලධාරිහු කීහ.
බන්දුලගෙන් තල්ලුවක්
ඉන්පසුව හවස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඇමති බන්දුල පැමිණීමට තරමක් ප්‍රමාද වූ බැවින් රැස්වීම පටන්ගත්තේ තරමක් ප්‍රමාද වී හයයි තිහට පමණ ය.
"ලංගමය මේ වෙලාවේ ලොකු සේවයක් කරනවා. නමුත් එතන වැටුප් විෂමතාවක් තියෙනවා. 2018 හිටපු ආණ්ඩුවෙන් සේවකයන් පිරිසගේ පඩි වැඩි කළා. තවත් පිරිසකට ඒ වැඩිවීම ලැබුණේ නැහැ. දැන් ඒ අය ඒක ඉල්ලනවා. මේක සාධාරණ ඉල්ලීමක්." ඇමති බන්දුල කියද්දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ සාධාරණ ඉල්ලීමක් නමුත් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනවිත් එය ඉටු කර දීම යුතුකමක් බවයි.
ඉන්පසුව සාකච්ඡාව ඇතිවූයේ පුද්ගලිකව ගමන් බිමන් මේ අවස්ථාවේ දුෂ්කරව ඇති බැවින් පොදු ප්‍රවාහන සේවාවන් දියුණු කිරීමේ ඇති වැදගත්කම ගැනය. ඇමතිවරයා මේ ගැන යෝජනා කරද්දී ජනාධිපති කතා කළේය. "ඕක මම හැමදාම කියනවා. ඕනම දියුණු රටක පොදු ප්‍රවාහනය තමයි දියුණු. ඕක අපි කියවලා වැඩක් නෑ; පොදු ප්‍රවාහන සේවාවන් දියුණු කරන්නෙ නැතුව. මිනිස්සුන්ට තමන්ගේ පුද්ගලික රථය පාක් එකක දාලා නගරයට ඇවිල්ල රස්සාව කරන්න පොදු ප්‍රවාහන පද්ධතියක් හැදෙන්න ඕන. පාක් ඇන්ඩ් ඩ්‍රයිව් හඳුන්වලා දෙන කොට අපි ඒක හැමෝටම ගැළපෙන විදිහට කරන්න ඕනේ. තමන්ගෙ කාරෙක මාකුඹුරේ හරි කොහේහරි දාලා බස් එකේ හරි කෝච්චියෙ හරි නැගලා හිරවෙලා ඇවිල්ලා දාඩිය පෙරාගෙන රස්තියාදු වෙලා කාර්‍යාලයට එන්න කවුරුවත් කැමති නෑ. ඒකට අපි පහසුකම් පද්ධතිය දියුණු කරන්න ඕන."ජනාධිපති උදාහරණ දක්වමින් ලොකු විස්තරයක් කළේය.
කොට්ටාවේ මාකුඹුරේ තියෙන තැන වුණත් පාර්කින් චාර්ජස් වැඩියි. රුපියල් 400ට තියන ටිකට් එක රුපියල් 100ට ගන්න ඕන. එතකොටයි මිනිස්සු පෙලඹෙන්නේ. " බන්දුල කීවේය. කඩවත හා රත්මලාන තවත් මධ්‍යස්ථාන බිහිකරන්නට කතාබහ විය. ඒ අතර දුම්රිය ප්‍රවාහනය සඳහා ඇති වී තිබෙන දැඩි ඉල්ලුම ගැන ද සාකච්ඡා විය.
මෙහිදී දුම්රිය සාමාන්‍යාධිකාරවරයා දුම්රිය සම්බන්ධයෙන් තිබෙන අඩුපාඩු හා දුෂ්කරතා පෙන්වා දුන්නේය. පාසල් ළමුන් ප්‍රවාහනයට ඇති දුෂ්කරතා ගැන ද සාකච්ඡාවක් ඇති විය.
ප්‍රසන්නට ජනපතිගෙන් ඇමතුමක්
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගට පසුගිය සඳුදා කොළඹ මහාධිකරණයෙන් අත්හිටවූ සිර දඬුවම් හිමි විය. ඒ යහපාලන ආණ්ඩුව සමයේ පැවරූ නඩුවක තීන්දුවට අනුවය. මහාධිකරණය හමුවේ ඇමතිවරයාට චෝදනා 15ක් යටතේ නඩු පවරා තිබූ අතර ඉන් 14කින් ම ඔහු නිදොස් කොට නිදහස් කෙරිණ. ඇමතිවරයා වරදකරු වූයේ 13 චෝදනාවට පමණි.
සඳුදා සවස තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට මහින්දානන්ද, නිමල් ලාන්සා, නලින් ප්‍රනාන්දු, සහන් ප්‍රදීප් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පැමිණ සිටියහ. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි ප්‍රසන්නට මුල්ම ඇමතුම ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙනි. නඩු තීන්දුව පැහැදිලි කළ ප්‍රසන්න තමන් එදින කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව කීවේය.
"සර් මම තාම ඇපීල් කළේ නෑ. ඇපීල් කරනකල් මම කැබිනට් රැස්වීමට එන එක සදාචාර සම්පන්න නෑ. ඒ නිසා අද කැබිනට් රැස්වීමට මම එන්නෙ නෑ..." ප්‍රසන්න කීවේය.
"ඔව් ඒක හොඳයි ප්‍රසන්න" ජනාධිපතිවරයා උත්තර දුන්නේය.
මේ අතර ප්‍රසන්නගේ තීන්දුව පිළිබඳව රට තුළ විවිධ අර්ථකථන මතු කරන්නට විපක්ෂය කටයුතු කරමින් සිටියේය. ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කීවේ ප්‍රසන්න ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවය. පැෆරල් සංවිධානයත් මාර්තු 12 ව්‍යාපාරයත් වෙනුවෙන් රෝහණ හෙට්ටිආරච්චි ද මේ බව ප්‍රකාශ කර තිබිණි.
මෙය දැනගත් ප්‍රසන්න ද මේ පිළිබඳව නීතිමය තත්ත්වය පැහැදිලි කර ගන්නට කටයුතු කළේය. ඇමතිවරයාට හිතවත් නීතීවේදියකු මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ද විමසුවේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කීවේ නඩු තීන්දුව හේතුවෙන් ප්‍රසන්නගේ මන්ත්‍රී ධූරය අහෝසි නොවන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තිය අනුව මාස 6ක කාලයක් බන්ධනාගාර ගත වූවොත් පමණක් මන්ත්‍රී ධුරය අහෝසි වන බව මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළේය.
කැබිනට් රැස්වීමට සහභාගි නොවුණ ද ප්‍රසන්න සඳුදා සවස ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේය. රැස්වීමට ගිය ප්‍රසන්න වටකර ගත් මන්ත්‍රීවරු නඩු තීන්දුව ගැන ඇසුවේය. ප්‍රසන්න කීවේ නඩු තීන්දුවට එරෙහිව පසුදින අභියාචනයක් ඉදිරිපත් කරන බවය.
ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තම බිරියට ලැබිය යුතු මුදලක් ලබා ගැනීම සඳහා ස්වාමිපුරුෂයා ලෙස මැදිහත්වීම පමණක් තමන් සිදුකළ බව මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළ ප්‍රසන්න ව්‍යාපාරිකයාගෙන් කප්පමක් ගත් බවට නැඟෙන චෝදනා වැරදි බව ද කීවේය. මේ වන විට තවදුරටත් අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බැවින් තමන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු නොකරන බවද කීවේය.
පසුගිය සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී රැකියා සඳහා විදේශගත වීමේ වයස අවුරුදු 25 සිට 18 දක්වා අඩු කිරීමට යෝජනාවක් ඉදිරිපත් විය. එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරය. එහෙත් ඇමති දිනේෂ් ගුණවර්ධන ඊට එරෙහි විය.
"අපේ රටේ ළමයි පාසල් ජීවිතය හමාර කරන්නේ අවුරුදු 18න්. මේ නිසා මේ ළමයි වගේම විශේෂයෙන් ගැහැනු ළමයි ඒ වගේ වයසකදී විදේශ රැකියා සඳහා යැවිය යුතු නෑ" දිනේෂ් එසේ කියද්දී අගමැති රනිල් වික්‍රමසිංහද අදහස් දැක්වීය.
"ඒක හරි... අවුරුදු 18 කියන්නේ ළමා වයස අවසන් වුණා විතරයි. කමිටුවක් දාලා අපි ඒ ගැන තව සොයා බලමු...''
දිනේෂ් යළි කතා කළේය."ළමාරක්ෂක පනත අනුව තියෙන ළමයින් සඳහා නිර්වචනයත් අපි සලකා බලන්න ඕනේ...“
ආර්ථීක අර්බුදයෙන් වඩාත් පීඩාවට පත්ව සිටින දුෂ්කර ප්‍රදේශවල පවුල් සඳහා ආධාර සිදුකිරීමට, භාණ්ඩ බෙදාදීමට නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි ඔහුගේ හිතවතුන් කණ්ඩායම් වැඩසටහන් කිහිපයක්ම දියත් කර තිබේ. මෙම පවුල්වල අසරණයට පත් පිරිස් ගැන පෞද්ගලිකවම සොයා බලන ලෙසද නාමල් රාජපක්ෂ ඔහුගේ හිතවත් කණ්ඩායම් වෙත උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ ද්විත්ව අර්බුදය සම්බන්ධව නිර්මාණාත්මක වෘත්තීයවේදීන්ගේ සංගමය සහ ‘රකිමු ජයතු ලංකා‘ සංවිධානය විසින් සංවිධානය කරන ලද ප්‍රථම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම සමුළුවට රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතීඥයන්, ගණකාධිකාරීන්, ගුවන් නියමුවන්, පරිපාලන නිලධාරීන් ඇතුළු සියලු අංශවල ප්‍රධානීන් රැසක් එක්ව සිටීම සමුළුවේ විශේෂත්වයක් විය.