රටවල් 107ක් ලංකාවේ අඩි පාරේ | Page 12 | සිළුමිණ

රටවල් 107ක් ලංකාවේ අඩි පාරේ

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය මාර්තු මාසයේදී විශේෂ නිරීක්ෂණයකින් පසුව වාර්තාවක් නිකුත් කර සිටියේය. එමගින් ප්‍රකාශ කර සිටියේ සමස්ත ලෝක වාසීන්ගේ ඇඟ හිරිවැටෙන කතාවකි. එම වාර්තාවෙන් පැවසුණේ ඉදිරි කාලයේදී සමස්ත ලෝක ජනගහනයෙන් පහෙන් එකක ප්‍රමාණයක් දුගී බවේ අගාධයටම වැටෙනු ඇති බවය. මෙසේ වීමට හේතුව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ වාර්තාව දක්වා තිබුණේ ලෝකයේ රටවල් රාශියක්ම ලබාගෙන තිබෙන ඔරොත්තු නොදෙන ණය කන්දරාව බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එළි දක්වනු ලැබූ වාර්තාවේ විශේෂ ස්ථානයක් ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් පවතින ආර්ථික අර්බුදය ගැන කරුණු දැක්වීමට වෙන් කර තිබූ අතර, එහි තවදුරටත් විශේෂයෙන් සඳහන් කර තිබුණේ ඉදිරියේදී තවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් 107ක් ශ්‍රී ලංකාවේ අඩිපාරේ ගමන් ගනිමින් සිටින බවයි.

මේ අනුව ලෝකයේ රටවල් 107ක ආර්ථිකයන් කිසියම් හෝ අන්දමකින් අර්බුදකාරී වාතාවරණයන්ට මුහුණ දෙමින් සිටින අතර එම රටවල සමස්ත ජනගහනය බිලියන 1.7ක් වන බවයි. ඒ අනුව සමස්ත ලෝක ජනගහනයෙන් පහෙන් එකක් ඉදිරියේදී කිසියම් හෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට නියමිත බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය කරුණු දක්වා තිබේ.

මේ රටවල් 107ක ආර්ථික අර්බුදය කරුණු තුනක් ඔස්සේ ඇති විය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ. එම කරුණු අතරින් අංක එක වන්නේ ආහාර අර්බුදයයි. ඒ යටතේ ආහාර මිල ඉහළ යෑම හෝ ආහාර හිගවීම දැක්විය හැකිය. දෙවැනි කරුණ වන්නේ බලශක්ති මිල ඉහළ යෑමයි. තුන්වැනි කරුණ වන්නේ උද්දමනය වැනි වූ මූල්‍ය අර්බුද ඇති වීමයි.

වඩා කනගාටුදායක කරුණ වන්නේ මේ වන විටත් ලෝකයේ රටවල් 69ක් ඉහත කී අර්බුද තුනටම මුහුණ දෙමින් සිටීමයි. ඒ අනුව ලෝකයේ රටවල් 69ක ජනතාව ශ්‍රී ලංකාවේ මෙන්ම ආහාර අර්බුදයට, බලශක්ති අර්බූදයට මෙන්ම මුල්‍ය අර්බූදයට ද මුහුණ දෙමින් සිටී.

මේ අටවල් 69 සරලව මෙසේ හඳුනාගත හැකිය. ඒ අතරින් රටවල් 25ක් අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති අතර කොංගෝව, චැඩ්, දකුණු අප්‍රිකාව සහ කෙන්යාව ඒ අතර සිටී. තවත් රටවල් 25ක් පිහිටා ඇත්තේ ආසියා පැසිපික් කලාපයේය. ඒ අතර මේ අර්බුදයේ ආරම්භක සාමාජිකයන් වන ලෙබනනය මෙන්ම ටියුනීසියාව ද සිටී. තවත් රටවල් 19ක් පිහිටා ඇත්තේ දකුණු ඇමරිකානු කලාපයේය. පාපන්දු ක්‍රීඩාවෙන් ලෝක පුජිත වූ සුන්දර ආර්ජන්ටිනාව ද ඒ අතර වීම කනගාටුවට කරුණක් වී තිබේ.

සැබවින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ තත්ත්වය හඳුන්වන්නේ ලෝක ආර්ථික අර්බුදයක් වශයෙනි. මෙවැනි ලෝක ආර්ථීක අර්බුදයක් උද්ගත වීමට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් ලබා ගෙන ඇති අධික ණය කන්දරාවයි. යුක්රේන - රුසියා යුද්ධය සිදු කර ඇත්තේ මේ අධික ණය කන්දට යට වූ රටවල් මතට තවදුරටත් පීඩනය එල්ල කිරිමයි. එබැවින්ම මේ තත්ත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා ඇත්තේ ණය සුළි කුණාටුවක් වශයෙනි.

මේ වන විටත් මේ ණය සුළි කුණාටුවෙන් වැඩිම ප්‍රහාරට ලක් වන්නේ ශ්‍රී ලංකාව බව අවිවාදිතය. එහෙත් ශ්‍රී ලංකාව තරමටම නොමැති වුවද තවත් රටවල් රාශියක්ම ඒ ආසන්න තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටී. එම රටවල් කිහිපයක ආසන්න තත්ත්වයන් මෙසේය.

ඊජිප්තුව යනු අතීත පාරාවෝ රාජධානියයි. මේ පාරාවෝ රාජධානියේ ජනතාව වීට් ඉතා විශාල ලෙස පරිභෝජනය කරන අතර ඔවුන්ගේ ප්‍රධානම වීට සැපයුම්කරුවන් වන්නේ යුක්රේනය සහ රුසියාවයි. එහෙත් යුක්රේන රුසියා යුද්ධයත් සමඟ ඔවුන්ට වීට් සැපයීම අඩාළ වූ අතර මේ වන විට ඊජිප්තුව විශාල ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ඔවුන් සතුව වීට් සංචිත පවතින්නේ මාස 3කට අඩු කාලයකට බව ප්‍රකාශිතය.

ටියුනීසියාව ද එවැනිම ගැටලුවලට මුහුණ පා සිටින්නේ ආර්ථීක අර්බුදයට අමතරව යුක්රේන රුසියා යුද්ධය ද හේතුවෙනි. මේ වන විට ටියුනීසියාවේ උද්ධමනය සියයට 7කින් ඉහළ ගොස් ඇති අතර දරුණු මුල්‍ය අර්බුදයකට ද මුහුණ දෙමින් සිටී. රට තුළ බලශක්ති මිල ද වේගයෙන් ඉහළ යමින් තිබේ. විශේෂයෙන්ම ඉන්ධන මිල මේ අතරට ඇතුළත්ය. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ලෙස ඊජිප්තුව තුළ මෙන්ම ටියුනීසියාව තුළ ද ජනතා උද්ඝෝෂණ ඇති විය හැකි බවට අනාවැකි පළ වී තිබේ.

ලෙබනනය ද සැලකිය යුතු කලක් හෙමින් සීරුවේ ආර්ථික අර්බුදය වෙත ගමන් කළ රටකි. එරට ආර්ථිකය ක්‍රමයෙන් කඩා වැටෙමින් පැවතියද 2020 වසරේදී බීරූට් වරායේදී සිදුවූ මහා පිපිරුම ද ආර්ථීකට බිංදුවටම ඇද දැමීමට හේතුවක් විය. මේ වන විට ලෙබනනයේ ආහාර මිල පැවති ප්‍රමාණයට වඩා සියයට 11කින් ඉහළ ගොස් ඇති අතර දළ ජාතික නිෂ්පාදිතය ද වේගයෙන් පහළ යමින් තිබේ. ඒක පුද්ගල ආදායම ද ඒ අතරට ඇතුළත් වී තිබෙන්නේ නිරායාසයෙනි. යුක්රේන යුද්ධය තත්ත්වය වඩාත් අයහපත් කර තිබේ. මේ සියල්ල මත ලෙබනන මුදල් ඒකකය පැවති තත්ත්වයට වඩා සියයට 90කින් අවප්‍රමාණය වී ඇතැයි පැවසේ. යුක්රේනයෙන් වීට් ආනයනය කරන රටවල් අතරට ලෙබනනය ද අයත් වන අතර ඒ හේතුවෙන්ම ආහාර හිඟයක් ද රට තුළ නිර්මාණය වී තිබේ. ආහාර මිල ද ඉහළ යමින් තිබේ. පාන්වල දැඩි හිඟයක් මතුව ඇති අතර එරට ජනතාවට ආහාර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය සුරියකාන්ත තෙල් ද හිඟවීමෙන් ජනතාව දැඩි සේ අපහසුතාවන්ට පත්ව ඇතැයි පැවසේ. මේ තත්ත්වය මත ලෙබනන බලධාරින් කටයුතු කරමින් සිටින්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් පමණක් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමටය.

මේ රටවල් අතරට එක්ව සිටින ආර්ජන්ටිනාවේ ආර්ථිකය ද උද්දමනය හේතුවෙන් දැඩි සේ පීඩාවට පත්ව තිබේ. විදේශ විනිමය ගැටලුවක් ද උද්ගත වී ඇති අතර ණය පොලිය මෙන්ම වාරික ද ගෙවා ගැනීමට ආර්ජන්ටිනාවට නොහැකි වී ඇත. මේ සියල්ලට පිළියම් ලෙස ආර්ජන්ටිනා බලධාරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පතා තිබේ. මේ තත්ත්වය පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කරන විශේෂඥයන් පවසා ඇත්තේ බුවනෝස් අයර්ස් නගරයට ඉදිරියට එළඹෙන්නේ දරුණු කටුක ශිත කාලයක් බවයි. මීට අමතරව ලතින් ඇමරිකානු කලාපයේ එල්සැල්වදෝරය මෙන්ම පිරූ යන රටවල් ද මේ වන විටත් ආර්ථික අර්බුදයේ ලකුණු පහළ කර අවසන්ය.

අප්‍රිකානු කලාපය සලකන විට රටවල් කිහිපයක්ම දැඩි ආාහර අර්බුදයකට මෙන්ම විනිමය හිඟයකට ද, ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට ද පත්ව ඇති බව පැහැදිලිව පෙනේ. ඝානාව, ඉතියෝපියාව, කෙන්යාව මෙන්ම දකුණු අප්‍රිකාව ද ඒ අතර පෙරමුණේ සිටී. මේ රටවල් අතරින් අර්බුදයෙන් මිදීමට දරන උත්සාහයක් ලෙස කෙන්යාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 244ක ණය මුදලක් ලබා ගෙන තිබේ. එහෙත් සැබවින්ම අර්බුදයෙන් ගොඩඒමට ඔවුන්ට හැකියාව ලැබේද යන්න සැක සහිතය. දකුණු අප්‍රිකාව ද විනිමය සංචිත ගැටලුවකට මුහුණ පා සිටින අතර පසුගිය 2021 වසරේදී එරට පුරා දැවැන්ත ජනතා විරෝධතා පැතිර යෑමෙන් ආර්ථිකයට තවත් හානි සිදුවිය.

තුර්කිය මධ්‍යම ආසියානු කලාපයේ යෙහෙන් වැජඹුණු රටක් වුවද මේ වන විට ආර්ථීක අර්බුදය නැමැති දිය සුළිය වෙත වේගයෙන් ඇදී යමින් තිබෙන රටක් බවට පත්වී තිබේ. විචාරකයන් පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේකෂ්ව තුර්කියේ උද්දමනය සියයට 70කින් ඉහළ ගොස් ඇති බවයි. සියයට 3.3කින් දළ දේශීය නිෂ්පාදිතය පහළ ගොස් ඇති අතර ආර්ථිකය වේගයෙන් ගැටලු සහගත තත්ත්වයක් කරා ගමන් ගනිමින් තිබේ.

ආසියාවේ අර්බුදකාරී ආර්ථික තත්ත්වයන් සහිත පකිස්තානය, නේපාලය අතරට බංග්ලාදේශය ද පැමිණෙමින් තිබෙන බවට ඉඟි ලැබී තිබේ. වඩාත් භයානක කරුණ වන්නේ ඉන්දියාවේ ආර්ථීකය සම්බන්ධයෙන්ද මේ වන විට භයානක ඉඟි ලැබෙමින් පැවතීමය. මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම ණය ගෙවා ගත නොහැකි තත්ත්වයන් වාර්තා වෙමින් තිබේ. පන්ජාබ් ප්‍රාන්තය, බටහිර බෙංගාලය, බිහාර මෙන්ම අන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්තවලට තමන් ලබා ගෙන ඇති ණය ගෙවීමේ අපහසුතා වාර්තා වී තිබේ. ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඉන්දියාවේ මේ ප්‍රාන්ත ශ්‍රී ලංකාවේ මග යමින් සිටින බවයි. එය එසේ නම් ඉන්දියාවේ අනාගතය සුභ නැත.

ලෝක බැංකුව මේ සමස්ත තත්ත්වය නිරීක්ෂණය කරමින් දක්වා ඇත්තේ ඉදිරි මාස 12ක කාලය තුළ අවම වශයෙන් රටවල් 12ක් තමන්ට ගෙවීමට ඇති ණය වාරික ගෙවා ගත නොහැකි බව ප්‍රකාශ කරනු ඇති බවයි. මේ තත්ත්වයට පිළියම් ලෙස බොහෝ රටවල් තම වියදම් කපා හරිමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගනිමින් සිටියද සමස්ත ලෝකයම මහා ණය සුළි කුණාටුවක් වෙත ගමන් කරමින් සිටීම වළක්වා ගත නොහැකි තත්ත්වයක් බවට පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ආවසනාවන්ත තත්ත්වය හඳුන්වා ඇත්තේ මේ පරපුරේ විශාලතම ආර්ථික අර්බුදය වශයෙනි. එය මේ වන විටත් සමස්ත ලෝක ජනගහනයෙන් පහෙන් එකකට බලපෑම් කර අවසන්ය. ඉදිරියේදී එය කිනම් දිශාවක් කරා ගමන් කරනු ඇතිද යන්න විමසිල්ලෙන් පසුවීම සෑම රටකටම හිතකර වනු නොඅනුමානය.

ආර්ථික අර්බුදයට හසුව ඇති රටවල්

ලෙබනනය

ආර්ජන්ටිනාව

ඊජිප්තුව

ටියුනීසියාව

තුර්කිය

එල්සැල්වදෝර්

පිරූ

පකිස්තානය

ඉන්දියාව

නේපාලය

බංග්ලාදේශය

කෙන්යාව

ඉතියෝපියාව

දකුණු අප්‍රිකාව

ඝානාව

මලාවි

චැඩ්

Comments