සංචාරක සමාගම දණ ගස්වා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට සාධාරණය ඉටු කළ | සිළුමිණ

සංචාරක සමාගම දණ ගස්වා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට සාධාරණය ඉටු කළ

සිදුවීම සිදුවූ බෙන්තොට මුහුදු තීරය

ඇය බ්‍රිතාන්‍ය ජාතිකයකු බවත්, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි ජීවත්වන බවත් ප්‍රථමයෙන්ම කිය යුතුව ඇත.එහෙත් ඇය තම නම හෙළිකිරීමට අකමැත්තක් දක්වන්නීය. තම අනන්‍යතාව ලොවට හෙළි කිරීමෙන් තමා තවදුරටත් පීඩාවට පත්වීම මිස අනෙකක් සිදු නොවන බව ඇයගේ විශ්වාසයයි. එබැවින්ම ඇය අඳුරේ සිටිමින් තමාට සාධාරණය ඉටු කර ගනු වස් සටන් කළාය. අවසානයේ වසර එකොළහකට පසුව ඇයට සතූටු විය හැකි තීන්දුවක් ග්ලස්ගෝ අධිකරණය ලබා දුන්නේය. ඒ කතාවේ කොටසක ශ්‍රී ලංකාවද ගෑවී ඇත්තේ කනගාටුදායක අන්දමිනි. කෙසේ වුවද එම කතාව පැවසිය යුතු වන්නේ කාටකාටත් පාඩමක් ඉගෙන ගත හැකි වන පරිද්දෙනි.

අදින් වසර එකොළහකට පෙර සිදුවන එම සිදුවීමේ ආරම්භය සටහන් වන්නේ ඇය තම සැමියාද සමඟ බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ නගරයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමත් සමඟිනි. ඔවුන් දින 15ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ බෙන්තොට ප්‍රදේශයේ සුපිරි සංචාරක හෝටලයක් තෝරා ගන්නේ ගුවන් ගමනද, මඟ පෙන්වීමද, නවාතැන්, ආහාරපාන යනාදී සියල්ල ඇතුළත් ‘පැකේජයක්’ සඳහා මුදල් ගෙවමිනි. ඒ පැකේජය ඔවුන් ලබා ගත්තේ බ්‍රිතාන්‍යයේ සංචාරක කර්මාන්තයට අදාළ සමාගමකිනි.

ශ්‍රී ලංකාව නම් වන මේ සංචාරක පාරාදීසය පිළිබඳව ඔවුන් දක්වන්නේ අති විශාල කැමැත්තකි. එහි සුන්දරත්වය විඳීමට ඔවුන් දක්වන්නේ අති මහත් ආශාවකි. සැබිවන්ම මේ දින 15ක සංචාරය ඔවුන්ගේ සිහිනයක් සැබෑවීමක්ම විය. ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් බෙන්තොට අදාළ හෝටලයේ ලැගුම් ගන්නේ අති සුන්දර මුහුදු වෙරළේ සුන්දරත්වය නොඅඩුව විඳිමිනි. දින පහළවක ඔවුන්ගේ සංචාරයෙන් දින තුනක් ගත වී යන විට දිනක්ඇය කිසියම් කටයුත්තක් සඳහා හුදකලාව හෝටල් කාමරයෙන් පිටතට පැමිණියාය. හෝටලයේ තම කාමරය පිහිටා තිබූ කොරිඩෝව ඔස්සේ පැමිණි ඇයට හෝටලයේ ප්‍රධාන ලොබිය කරා යන ගමනේදී මුණ ගැසුණේ විදුලි කාර්මිකයන් අඳින ‘කාර්මික ශිල්පී නිල ඇඳුමකින්’ සැරසුණු හෝටලයේ සේවක කාර්මික ශිල්පියෙකි.

සිදුවීමට මුහුණ දුන් කාන්තාව ජීවත් වන ග්ලාස්ගෝ නගරය

ඇය සමඟ සුහදව කතා කරමින් ඔහු විමසා සිටියේ කොහේ යන්නේද යන්නයි. තම හෝටල් කාමරයේ අංකය පැවසූ ඇය තමා එහි සිට හෝටලයේ ප්‍රධාන ලොබිය කරා ගමන් කරමින් සිටින බව සුහදව ඔහු හා පැවසුවාය.

එවිට මේ හෝටල් කාර්මික ශිල්පියා පවසා සිටියේ ඇය යා යුතු ස්ථානය වෙත ගමන් ගන්නා කෙටි මගක් තමන් දන්නා බැවින් තමාට ඇයට එම කෙටි මාර්ගය පෙන්විය හැකි බවයි. ඇයද එයට එකඟ වූ අතර ඇය තමන්ට පුරුදු මාර්ගය ඔස්සේ නොව ඔහු පෙන්වූ මාර්ගය ඔස්සේ ඔහු සමඟ ගමන් කළාය. හෝටලයේ ඔහු ගමන් ගත් කොරිඩෝ තරමක් පාළු ගතියකින් යුක්ත වූ අතර එක්වරම ඔහු කොරිඩෝවේ කිසිවකු නොවූ එක් අඳුරු මුල්ලක් අසල වූ එක් ඉංජිනේරු කාමරයකට ඇය ඇද දමා ඇයට ලිංගික අතවර සහ අඬන්තේට්ටම් කළේය. ඇයට දැනුණේ තමා විනාශ වූවාක් මෙනි. ඇයට සියල්ල එපා විය. ඇය යළි ප්‍රකෘති මානසිකත්වයට ගැනීමට ඇයගේ සැමියා කෙතරම් උත්සාහ දැරූවද ඇය කිසිදා යළි පෙර පැවති සාමාන්‍ය මානසිකත්වය නොපැමිණියාය. වෛද්‍ය නිර්දේශය වූයේ ඇය පශ්චාත් ක්ෂතිමය ආතතීය රෝග ලක්ෂණවලින් පෙළෙන බවයි. ඇය සිදුවීම රහසක්සේ සඟවාගෙන සිටීමට උපරිම උත්සාහ දැරුවාය. එහෙත් ඉන් ඇය දරමින් සිටි පීඩනය වැඩිවූවා මිස අඩුවූයේ නැත. තමාට සාධාරණය ඉටුවිය යුතු බව ඇය තීරණය කර සිටියේ ඒ අනුවය.

තමා අතවරයට පත්වූයේ තමා සංචාරයේ නිතර කරවීමේ වගකීම බාර ගත් අදාළ පැකේජය අලෙවි කළ පුද්ගලයන්ගේ එනම් අදාළ සංචාරක සමාගමේ වරදින් බව ඇයගේ අදහස වූ අතර තමාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ඇය ග්ලාස්ගෝ උසාවියට නඩුවක් ගොනු කළාය. ඇයට ප්‍රති උත්තර බැඳීමට අදාළ සමාගම නීතිඥයන් ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ගේ තර්කය වූයේ ඇයට නවාතැන් ආහාරපාන, ගමන් පහසුකම් සැපයීම මිස ආරක්ෂාව සැපයීම සම්බන්ධව තමන් කිසිඳු වගකීමක් නොදරන බවයි. එහෙත් ඇයගේ නීතිඥයන්ගේ තර්කය වූයේ සමාගම ඉදිරිපත් කරන පැකේජය මිලදී ගන්නා සංචාරකයා තමන්ගේ ආරක්ෂාවද අදාළ සමාගම විසින් සලසනු ඇති බවට එකඟතාවකට පත් වන බවත්, එබැවින් අදාළ පහසුකම් අතරට ආරක්ෂාවද ඇතුළත් වන බවත්ය.

මේ හතරපද පෙරැළි තර්ක විසඳීමට ග්ලාස්ගෝ උසාවියට වසර එකොළහක් ගත විය. ඒ අතරතුර ඇයට සිදුවූයේ සාමාන්‍යයෙන් ස්ත්‍රී දූෂණ නඩුවක් ගොනු කරන කාන්තාවකට මුහුණ දිමට සිදුවන සියලු නින්දා, අපහාසවලටද මුහුණ දීමටය. වරක් ඇයගේ මානසිකත්වය පරීක්ෂා කර බැලීම සඳහාද ඉල්ලීමක් සමාගමේ නීතිඥයන් විසින් සිදු කරණු ලැබූයෙන් ඇයට වෛද්‍ය පරීක්ෂණවලටද පෙනී සිටීමට සිදුවිය.

මේ කිසිවකින් හෝ තමාට යුක්තිය ඉටුවිය යුතු බවට ඇය තුළ වූ අධිෂ්ඨානය මැකී ගියේ නැත. ඒ වෙනුවට ඇය වඩවඩාත් ශක්තිමත් වූවාය. දශකයටත් වඩා කාලයක් ඉක්ම යමින් තිබිණි. එහෙත් ඇයගේ අධිෂ්ඨානය සහ ඉවසීම කල්ඉකුත් වූයේ නැත.

අවසානයේ ඇය ගොනු කළ නඩුවේ තීන්දුව දීමට ග්ලාස්ගෝ උසාවිය කටයුතු කළේය. නඩු තීන්දුව ඇසූ ඇයට සිතුනේ තමන් දැරූ සියලු වේදනාවන්ට යුක්තිය ඉටු වූ බවයි.

සැබවින්ම ඇයට සාධාරණ නඩු තීන්දුවක් ලබා දීමට උසාවිය කටයුතු කර තිබිණි. අදාළ සමාගමේ බලධාරින් මේ නඩු තීන්දුව තමන්ට ක්ෂතිමය අත්දැකීමක් බව පවසන විට ඇය වයස අවුරුදු 40ක කාන්තාවක් ලෙස තමන්ට යුක්තිය ඉටුවීම සම්බන්ධව නීවී සැනසුනාය.

 

 

Comments