බලය පෙන්නා අධි­වේ­ගයේ යකා නැටූ මන්ත්‍රී පුතු සහ ලේලිය | සිළුමිණ

බලය පෙන්නා අධි­වේ­ගයේ යකා නැටූ මන්ත්‍රී පුතු සහ ලේලිය

 

කැබ් රථය සහ යුවළට නවාතැන් දුන් කාන්තාවක් මාතර දී අත්අඩංගුවට

සිදුවීම  දක්ෂිණ  අධිවේගයේ බැදිගම  පිවිසුමේදී

ර්තමානයේ සමාජ මාධ්‍ය ඉතාම ප්‍රබල මාධ්‍ය භාවිතයකි. එය ඕනෑම කෙනකුට ඕනෑම අවස්ථාවක පරිශීලනය කළ හැකි ප්‍රබල සන්නිවේදන අවියක් වී අවසානය. පසුගිය කාලයේ සමාජ මාධ්‍යයන්හි සැරිසරන වීඩියෝ දසුන් ඔස්සේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්ම සමාජයට අනාවරණය විණි. විශේෂයෙන් ම අධිවේගී මාර්ගයේ බොහෝ අකටයුතු ක්‍රියාවන් සමාජ මාධ්‍යයන්ට මුදාහළ වීඩියෝ දසුන් ඔස්සේ නීතිය ඉදිරියටද ගොස් විසඳුණේ බොහෝ දෙනෙකුට ‘පාඩම්‘ කියා දෙමිනි. එවැනි අධිවේගී මාර්ග සිදුවීම් අතර අපරැක්ක අධිවේග පිවිසුම අසලදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු ඒ ස්ථානයේ රාජකාරි සිදුකළ පොලිස් නිලධාරින් අතර වූ බහින්බස් වීම ආන්දෝලනාත්මක සිදුවීමක් දක්වා දුරදිග ගියේය.

 

එසේම ඉකුත් දිනෙක මෝටර් රථයකින් ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමෙන් ඇතුළු වී ගාල්ල දෙසට ගමන් කිරීමට පැමිණි පුද්ගලයකු අධික ලෙස මත්පැන් පානය කර සිටීම නිසා ඒ අවස්ථාවේ එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා සමඟ බහින්බස් වීමක් ඇතිකර ගැනිණි. එම සිදුවීමද සමාජ මාධ්‍යයන්හි සැරිසැරීමත් සමඟ සිදුකළ විමර්ශනයෙන් ඉමදූව පිවිසුමේ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්ද හිමි වූහ. මෙවැනි සිදුවීම් රැසක්ම පසුගිය කාලයේ අධිවේගී මාර්ගය ඇතුළු බොහෝ ස්ථානවලින් වාර්තා විණි.

ඉකුත් බ්‍රහස්පතින්දා දින සමාජ මාධ්‍යයේ සැරිසරන්නට වූ වීඩියෝ පට දෙකක් පිළිබඳ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ අවධානය යොමු විය. පොලිස් නිලධාරින් දෙදෙනෙක් සමඟ තරුණ යුවළක් ගැටුමක් ඇතිකරගන්නා ආකාරය ඉන් පිළිබිඹු විය. එය අධිවේගී මාර්ග පිවිසුමක සිදු වූවක් බව දිස් විණි. නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් දෙදෙනකු සමඟ වූ බහින්බස් වීමේදී එම වීඩියෝවේ දැක්වුණු තරුණයා සහ තරුණිය රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැපව සිටින නිලධාරින් දෙදෙනා හා හැසිරුණේ උන්මත්තකයන් දෙදෙනෙකු විලසිනි.

විශේෂයෙන් අසැබි වදන් කියමින් එම තරුණයාගේ සහ තරුණියගේ හැසිරීම ඔවුනගේ සමාජ මට්ටම් කෙබඳුද යන්න පෙන්නුම් කරද්දී ඔවුන් දෙදෙනාගේ හැසිරීම තරුණකමටත් ගෙන දුන්නේ නිගාවකි.

එම අශෝභන සිදුවීම වී තිබුණේ ඉකුත් ජුනි මස 01 වැනිදා සවස් යාමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් කොළඹ දෙසට ඇතුළුවීමට යාමේදියි.

එකී සිදුවීමට මුල් වූ තරුණයා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා වන රවිඳු වෙදආරච්චි බව පසුව හෙළිදරව් විණි. තරුණිය රවිඳුගේ බිරිය නෙත්මි හරින්දිකා සිල්වා නමැත්තිය බවත් පොලිස් මූලස්ථානයද නිවේදනය කළේය. රවිඳු හිටපු තංගල්ල නගරාධිපතිවරයාද වේ. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තංගල්ල මැදකැටිය කොට්ඨාසය නියෝජනය කරමින් තරග වැදී ජය ලබා තංගල්ල නගර සභාවේ නගරාධිපතිවරයාද විය. ඔහුගේ පියා දිලිප් වෙදආරච්චිද රාජ්‍ය අමාත්‍යවරයකු දක්වා දේශපාලන ගමනක් ඒමට පෙර තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරයකු මෙන්ම නගරාධිපතිවරයාද විය. එසේම දිලිප් වෙදආරච්චිගේ පියා සැමිපාල වෙදආරච්චිද තංගල්ල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබිණි.

රවිඳු සිය බිරිය සමඟ SG PG-4507 දරන සුදු පැහැති කැබ් රථයෙහි පිටුපස ශීතකරණයක් රැගෙන අධිවේගී මඟ ඔස්සේ යාමට තැත් කෙරිණි. ඒ මොහොතේ කැබ් රථයේ පිටුපස කොටසෙහි ශීතකරණය ගෙනැවිත් ඇත්තේ කෙළින් අතට තබාගෙනයි. එය අනාරක්ෂිත ආකාරයෙන් අධිවේගී මඟ ඔස්සේ එවැනි භාණ්ඩයක් රැගෙන යාමක් බව එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරින් දෙදෙනා දුටුවේය. අනතුරුව ඔවුන් දෙදෙනා ඊට විරුද්ධ වීමත් සමඟ රවිඳු සහ ඔහුගේ බිරිය නෙත්මිගේ හැසිරීමේ විලාසය සමාජ මාධ්‍යයන්හි සැරිසැරු වීඩියෝ පටයන්හි මනා ලෙස සටහන් වූහ. එය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් වූ අප්‍රසන්න හැසිරීමකි.

රවිඳු ‘උඹ දන්නව ද? මම කවුද කියා‘ අසමින් පොලිස් නිලධාරින් සමඟ ගැටුමකට පැටළෙන ආකාරය දිස් වූයේ රාජ්‍ය නිලධාරින් සමඟ ගැටුම් ඇති කරගැනීමේ කිනම් ‘හයිය‘කින්ද යන්න අපට තිබෙන ප්‍රශ්නාර්ථයයි. එසේම රවිඳුගේ බිරිය නෙත්මිද සැමියාගේ හැසිරීම් විලාසයද ඉක්මවා යමින් ඒ මොහොතේ හැසිරෙන්නේ සමස්ත කාන්තා පරපුරටම අවමන් සහගත වන ආකාරයෙන් අසැබි වදන්ද පවසමිනි.

එය තරුණියකට මොනතරම් අශෝභන හැසිරිමක්ද යන්න එම වීඩියෝ දසුන දකින ඕනෑම කෙනෙකුට ගම්‍ය වන සත්‍යයයි. එම වීඩියෝ දසුන් දෙකෙන් එක් වීඩියෝවක පොලිස් නිලධාරියෙක් හා රවිඳු අතර සිදුවන අඩදබරයක්ද දිස් විණි.

මෙකී සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,

එම රථයේ අනාරක්ෂිත ලෙස ශීතකරණයක් පිටුපස පටවාගෙන යාම පිළිබඳව එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා විසින් අනාරක්ෂිත බව හා අන්තරාදායක බව පවසා ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව දැනුම් දී ඇති බවයි. ඒ සමඟම එම රථයේ රියැදුරු සහ කාන්තාව ප්‍රකෝප වී සාපරාධි බලහත්කාරය පා පොලිස් සැරයන්වරයාගේ රාජකාරියට බාධා කර පරුෂ වචන කියමින් පහර දීමට තැත්කර ඇති බවයි.

ඒ පිළිබඳව පොලිස් සැරයන්වරයා විසින් වීරකැටිය පොලිසියටද පැමිණිලි කර ඇති බවත් එහි සඳහන් විය. එසේම ඊට අදාළ සැකකරු හා සැකකාරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වීරකැටිය පොලිසියේ 047-2246226 දරන දුරකථනයට හෝ වීරකැටිය පොලිස් ස්ථානාධිපති 0718591493 දරන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසත් සඳහන් කෙරිණි.

එසේම පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවකුට සැඟව සිටීම සඳහා නවාතැන් දීමද අපරාධමය වරදක් බව එම නිවේදනයේ සඳහන් විය.

අනතුරුව සිය පුත්‍රයා සහ ලේලියගේ හැසිරීම සහ ඔවුන් මුහුණදුන් තත්ත්වය පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ද මාධ්‍යයට කීවේ,

“මගේ පුතයි නෝනයි තංගල්ලේ ඇවිත් ෆ්‍රිජ් එකක් කැබ් එකේ පටවගෙන යන්න ගිහින්. බැදිගම පිවිසුමේදී යන්න දෙන්න බැහැ කියලා. පුතා කියලා තෙල් ටික හරි අමාරුවෙන් හොයාගෙන ආවේ. ඊට පස්සෙ උඹයි ගෑනියි දෙන්නා ගිහින් ඕන තැනකින් තෙල් හොයාගෙන පලයන් කියලා පොලිස් නිලධාරින් බැනලා. මගේ පුතාගේ ෂර්ට් එකෙන් ඇදලා ගහලා. පස්සෙ බැදිගමින් යන්න දුන්නෙ නැතිවුණාට බෙලිඅත්තෙන් යන්න දීලා කොට්ටාවෙන් පිටවෙලා තිබුණා.“

මෙකී සිදුවීම සමාජ මාධ්‍යයන්හි සැරිසැරීමත් සමඟ රවිඳු වෙදආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසිනි.

“මමත් මගේ බිරියත් කොළඹ යමින් සිටියදී මගේ නිවසේ තිබූ ශීතකරණයක් මාගේ රථය පිටුපස රඳවා තබා කොළඹ ගෙන යාමේදී එතන සිටින පොලිස් නිලධාරියා විසින් මගෙන් ඒ පිළිබඳව විමසීමේ දී මා ඔහු හට ඉන්ධන නොමැති වීම නිසා එය රැගෙන යන බවත් මා ප්‍රකාශ කර සිටියත් ඔහු විසින් "උඹ උඹේ ගෑනි එක කොහෙන් හරි ඉන්ධන හොයාගෙන කොළඹ පලයන්" ප්‍රකාශ කිරීමත් සමඟ යම්කිසි බහින්බස් වීමක් සිදු වූණි. පසුව මාගේ shirt එකෙන් ඇදගෙන මා හට පහර දීමට තැත් කිරීමට පසු එම කොටස කපා ඉවත් කර සංස්කරණය කරන ලද video පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර මාගේ චරිතය හානි කිරීමට ඔවුන් උත්සාහ දරමින් සිටී.

මම කිසිදු විටෙක මම දිලිප් වෙදාරච්චි මන්ත්‍රීතුමාගේ පුතා බව ප්‍රකාශ නොකළ බව මා වගකීමෙන් පවසමි. මා තංගල්ල නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ සිටම කිසිදු විටෙක දේශපාලන බලය යොදාගෙන පොලිසියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකරන බව තංගල්ල නගරයේ මිනිසුන් දන්නා බව මට විශ්වාසය.

රටේ පවතින තත්ත්වයත් සමඟ ඉන්ධන නොමැති වීම නිසා අහිංසක මිනිසුන් කොච්චර කොපමණ පීඩාවට ලක් වෙනවද? එහෙම අවස්ථාවන්වල මෙහෙම මිනිස්සුන්ට කතා කරන එක මෙහෙම මිනිසුන්ට පහර දෙන එක සාධාරණද. මේ පොලිස් නිලධාරියා සාධාරණද? අයෙක් ළඟ සිංහයෙක් ලෙස හැසිරීමටත් තවකකු ළඟ දණින් වැටීම හරිද...“

මේ පිළිබඳ ඉදිරි විමර්ශනවලදී සත්‍ය අසත්‍ය හෙළිදරව් වනු ඇත. එහෙත් වීඩියෝ දසුන්හි දිස්වන ආකාරයෙන් රවිඳු සහ ඔහුගේ බිරියගේ හැසිරීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි අශෝභන හැසිරීමක් බව සඳහන් කළ යුතුමය.

අධිවේගී මාර්ගයේ යනෙන සියලු දෙනාටම ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩහසර සැලැස්වීම අධිවේගී පිවිසුම්හි රාජකාරි කරන පොලිස් නිලධාරින්ගේ පරම වගකීමකි. සාමාන්‍යයෙන් කැබ් රථයක් හෝ එවැනි රථයක ශීතකරණයක් වැනි යමක් රැගෙන යන්නේ නම් එය ඉතා ආරක්ෂිතව රැගෙන යාමට අදාළ ‘බේල්ට්‘ යොදා ආරක්ෂිතව රැගෙන යා යුතු බව උසස් පොලිස් නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවැසීය.

එසේ නොමැතිව අනාරක්ෂිතව එවැනි දෙයක් රැගෙන යන්නේනම් සිදුවන අනතුරුවලට වග කියන්නෙ කවුරුන්ද යන්න තිබෙන ගැටලුවයි. මේ අතර රවිඳු ශීතකරණය රැගෙන ගිය කැබ් රථය මාතර, මඩිහ ප්‍රදේශයේ විලා හෝටලයක නතර කර තිබියදී ඉකුත් සිකුරාදා දින සොයා ගැනීමට මාතර පොලිස් කණ්ඩායමක් සමත් විය.

එසේම අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි එම යුවළට නවාතැන් සැපයූ මාතර ප්‍රදේශයේ 31 හැවිරිදි කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

දෙදෙනා එම හෝටලයේ රැය පහන් කර මාලබේ ප්‍ර දේශයට ගොස් තිබුණේ විලා හෝටලයේ හිමිකරුට අයත් වාහනයකින් බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

 

Comments