![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/06/03/Untitled-96.jpg?itok=sXHnns3K)
අධික වර්ෂාව සමඟ සීතල කාලගුණයක් පැවතුණ ද දේශපාලන ක්ෂේත්‍රයේ නම් හැල හැප්පීම් නිසා පසුගිය සතිය තුළද යම් යම් උණුම්කාරී තත්ත්වයන් ඇතිවිය.
වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යධුර 2ක් නිමල් සිරිපාලද සිල්වා සහ මහින්ද අමරවීර ලබාගත් නිසා ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිධුරවලින් සහ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගත්තේය.
එතකින් නොනැවතී මෛත්‍රීපාල සිරිසේන අනතුරු ඇඟවීමක් සිදුකරමින් කියා සිටියේ ඉදිරියේ දී ආණ්ඩුවට එක්වී තවත් කෙනෙකු අමාත්‍යධුර ලබාගතහොත් ඔවුන්ද පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කරන බවයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය 02 දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. මේකට දයාසිරි ජයසේකර සහභාගී වෙනවා කියලා කලින්ම තහවුරු කරලා තමයි තිබුණේ. දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිස මේකට අැවිල්ලා ඉන්දැද්දි විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා තමන්ගේ කතාව පටන් ගත්තා. ඒ අවස්ථාවේ නැඟී හිටපු සුරේන් රාඝවන් අහනවා මේක මේ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ද නැත්නම් පක්ෂ නායක රැස්වීමක් ද නැත්නම් මොන වගේ රැස්වීමක්ද? කියා. පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගිහිල්ලා සුරේන් රාඝවන්ට හොඳට ඇමතුවා කියලා දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
•21 ගැන කතා කළේ මොනවාද
මෙම රැස්වීම පැවැත්වුණේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමටයි.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පැහැදිලි කිරීමත් සිදු කරන ලදී.
දැන් මේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධන කතාකරමින් ද්විත්ව පුරවැසිභාවය තියෙන දේශපාලඥයන්ට පාර්ලිමේන්තුවට එන්න බැහැ කියල. එතකොට ද්විත්ව පුරවැසිභාවය නියෝජන බොහෝ දෙනෙක් රජය උසස් නිලතල දරනවා. එතකොට ඔවුනට එම තනතුරු දැරීම ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. එහෙම නම් 21 න් ද්විත්ව පුරුවැසිභාවය සඳහා දේශපාලඥයන්ට වගේම රජයේ ඉහළ නිලතල දරන නිලධාරීන්ටත් වැට බඳින්න ඕනෑ යනුවෙන් ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ම පෙන්වා දුන්නා.
“එය සංශෝධනයක් විදිහට ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා.” යනුවෙන් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේය.
•කෑම පාර්සලේ බෝම්බය
ඒ වගේම තමයි මේකෙදී කථානායකවරයා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේ පාර්ලිමේන්තුවේ අාහාර වේල් ගාන සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. දැන් බලන්නකෝ දවසකට පාර්ලිමේන්තුවේ ඉන්න 1500ක් විතර කෑම ගන්නවා. මේක 225 බෙදලා තමයි මේ වියදම රටට කියන්නේ. හැබැයි මන්ත්‍රීවරු ගත්තොත් එහෙම පනහක් හැටක් විතර තමයි පාර්ලිමේන්තුවෙන් කෑම කන්නේ. දැන් අපි ඉන්නේ දූපතකනෙ. ඒ හින්ද හරියට එළියට ගිහිල්ලා කෑම කන්න තැනක් මේකෙ නෑ. හැබැයි දැන් මේ ඇවිල්ලා තියෙන විරෝධතා විවිධ ප්‍රකාශ හින්දා මම තීරණය කරලා තියෙනවා වර්තමානයේ වෙෙළඳෙපාළේ මිලට ගැළපෙන විදිහට පාර්ලිමේන්තුවේ කෑම වේලේ මිල සංශෝධන කරන්න. හැබැයි මේක මන්ත්‍රීවරුන්ට විතරක් නොවෙයි හැමෝටම බලපාන විදිහට තමයි මම මේ මිල සංශෝධනය කරන්න නියමිතව තියෙන්නේ කියලා කථානායකවරයා කියනවා. ඒ වගේම ඔහු අන්තිමට කියනවා හැබැයි කවුරුත් අමතක කරන්න එපා පාර්ලිමේන්තුවට බෝම්බයක් ගෙනාවෙත් කෑම පාර්සලයක හංගලා කියලා.
•ද්විත්ව පුරවැසිභාවය සහිත 09 දෙනෙක්
දැන් ඔය 21 ගෙනාපුවහම ඇමතිවරු පත් කිරීමත් ජනාධිපතිවරයයි අගමැතිවරයයි කතා කරලා තමයි කරන්න ඕනි. ඒ වගේම ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කරන්නට බලතල මේක ඇතුළෙන් හදලා දෙනවදෝ කියන එක සම්බන්ධයෙනුත් මේ වෙද්දී කතාබහක් මතු වෙලා තියෙනවා. දැන් ඔය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවෙනවනේ. මේ දවස්වල ආයෙත් පාරක් 21 වන සංශෝධනයත් එක්ක ඉතින් පාර්ලිමේන්තුව ගත්තොත් එහෙම බැසිල් රාජපක්ෂ, ඩයනා ගමගේ ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්නවා 09 දෙනෙක් ද්විත්ව පුරවැසිභාවය තියෙන. ඔය ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයාත් ද්විත්ව පුරවැසිභාවයක් තියෙන කෙනෙක් කියලයි වාර්තා වෙන්නේ. කොහොම හරි දැන් 21 වන සංශෝධනය අාවොත් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට විතරක් නොවෙයි අනෙක් සියලු දෙනාටමත් එය බලපායි.
පහුගිය දවසක ජනාධිපති මන්දිරයේ තිබුණා ආණ්ඩු පක්ෂ රැස්වීම. මේකට මන්ත්‍රීවරුන් 110 ක් විතර ඇවිල්ලා හිටියා. හැබැයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ඒ ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුන් ඒ පක්ෂ 10 යේ කට්ටිය සහභාගී වෙලා හිටියේ නෑ. හැබැයි අපිට ආරංචි වෙච්ච විදිහට නම් දයාසිරි ජයසේකර ඒ වගේම ලසන්ත අලගියවන්න මේ සාකච්ජාවට සහභාගී වෙලා ඉදලා තියෙනවා.
මේ සාකච්ජාවේ ප්‍රධාන අරමුණ වුණේ 21 වන සංශෝධනය ගැන. 21 වන සංශෝධනය ගැන මේකෙදී හොඳ වගේම නරකත් කතා කළා කියලා තමයි අපට වාර්තා වන්නේ. මේහිදී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා 21 වන සංශෝධන ව්‍යවස්ථාව ගැන කතා කරන්න පටන් ගෙන තියෙනවා.
එහිදී අදහස් දක්වපු මහින්දානන්ද අලුත්ගමගේ සහ තාරක බාලසූරිය මන්ත්‍රීවරුන් කියලා තියෙනවා මේ ගෙනහල්ලා තියෙන එක විතරක් නොවෙයි මේකට තව සංශෝධන ගෙනහල්ලා ඒක සම්මත කළාට ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි චින්තක මායාදුන්නේ, ප්‍රසන්න රණවීර කියන මන්ත්‍රීවරුන් කියලා තියෙනවා කෙළින්ම මේකට විරුද්ධයි කියලා. ඔය අවස්ථාවේදී නැඟී සිටිනවා නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා, ඔහු කියනවා පහුගිය දවසක මේ සිදු වෙච්ච සිදුවීම් මාලාව නිසා අපි බොහොම අන්ත අසරණ වෙලා ඉන්නේ. බොහෝ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ඇඳිවත විතරයි ඉතුරු වුණේ කියලා. මේක අහගෙන හිටපු ජනාධිපතිවරයා කියනවා අපි ඒ ගැන හොයලා බලන්න කොමිෂන් දෙකක් පත් කරලා තියෙන්නේ කියලා. අග්‍රාමාත්‍යවරයාත් උත්තර දෙනවා අපි ජාත්‍යන්තර සංවිධාන දෙකකුත් දැනුවත් කරලා තියෙන්නේ කියලා. ඔන්න ඔය අවස්ථාවේ නැඟී සිටිනවා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය. ඇය කියනවා දැන් 20 ටත් පක්ෂව ඡන්දය දුන්නා. දැන් මන් කොහොමද 21 පක්ෂව ඡන්දෙ දෙන්නේ කියලා. සරත් වීරසේකර මන්ත්‍රීවරයාත් නැගිටිනවා. ඔහු කියනවා මම නම් 20 ටත් විරුද්ධ වුණා. 21 ටත් විරුද්ධ වෙනවා කියලා.
•හරීන් - ඩයනා එකට එක
ඔන්න හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාත් කතා කරන්න පටන් ගන්නවා. දැන් ඔය සමගි ජන බලවේගයේ පක්ෂය ගන්නකෝ ඒක හැදුවෙත් මම ලාංජනය හැදුවෙත් මම ඔහොම කියලා ඉතින් එයාගේ විස්තරේ දිගින් දිගටම කියාගෙන යද්දී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආයෙත් පාරක් කතා කරනවා. දැන් ඔය කවුරු මොනවා කිව්වත් සමගි ජන බලවේගයේ නායිකාව තමයි මම. සමගි ජන බලවේගයේ පක්ෂය අයිති මට තමයි කියලා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේකෙදී කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පසුගිය 02 වැනිදා උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 දී පැවැත්වුණේ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.
ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ වැඩසටහන ගැන මෙහිදී සාකච්ජා වුණි.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, විජිත හේරත් ඇතුළු පිරිසක් මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී වී සිටියහ.
“දිනේෂ් ඇමතිතුමා අපිට මේ කමිටුවල කාරක සභාවල සභාපතිධුර දෙන්න. විරුද්ධ පක්ෂයට මෙම කමිටුවල සභාපතිධුර ලබා දෙන්න” යනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලීමක් කළේය.
දිනේෂ් ගුණවර්ධන කැමති පිළිතුරක් ලබා දේවිද කියා බොහෝ දෙනෙකුගේ අවධානය ඔහු දෙසට යොමු විය.
“දෙන්න තියෙන සේරම දේවල් අපි දීලා තියෙන්නේ. තවත් දෙන්න තියෙන්නේ මොනවාද? අගමැතිකමත් අපි විපක්ෂයට දුන්නා. කමිටුවල ඉන්නෙත් ස්වාධීන වුණු මන්ත්‍රීවරුන්. ඉතින් තවත් මොනවාද දෙන්න තියෙන්නේ.” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මඳක් සිනහ වෙමින් කළ ප්‍රකාශයට අනෙක් අයද සිනාසුණහ.
•විපක්ෂ නායක තෝරන්නත් ක්‍රමයක්
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පැහැදිලි කරගෙන යද්දී මුලසුනේ සිටි සභානායක දිනේෂ් ගුණවර්ධන, අලුත් අදහසක් ඉදිරිපත් කළේය.
" පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා පත් කළ යුත්තේ කෙසේද යන්න වගන්තියක්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි" ඔහු කීය.
" දැනට වෙන්නෙ, විපක්ෂයේ බහුතරයක් ඉන්න පක්ෂයේ නායකයා විපක්ෂ නායක ලෙස කථානායක පිළිගන්න එකයි" මන්ත්‍රීවරයෙක් කියද්දි දිනේෂ් යළි හඬ අවදි කළේය.
" ඒක ව්‍යවස්ථාවෙ තියෙන එකක් නෙමේ, සම්ප්‍රදායක් " එසේ කී දිනේෂ්, තවදුරටත් ඒ ගැන පැහැදිලි කළේය.
" අගමැතිතුමා තෝරගන්න විදිය ව්‍යවස්ථාවෙ තියෙනවා, ඉතිං විපක්ෂ නායකතුමා තෝරගන්න විදියත් ඇතුළත් කරන්න පුළුවන් "
" අපිට මෙහෙම වගන්තියක් දාන්න පුළුවන්. විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත තියෙන මන්ත්‍රීවරයා විපක්ෂ නායක විය යුතුයි කියන විදියට " ආචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා අදහසක් ඉදිරිපත් කළේය.
•විමලවීර අගමැති මෝදිට කිව්වේ මොනවාද?
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක කියා සිටියේ තමාගේ ආරක්ෂාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටින බවයි.
මේ ගැන ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ම විමලවීර දිසානායකගෙන් විමසා සිටියහ.
“එහෙම කියන්න හේතු ගණනාවක්ම තියෙනවා. අපේ ආරක්ෂාව ගැන මේ රටේ කවුරුත් වගකියන්නේ නැහැ වගේ. ඒක නිසා තමයි මං එහෙම කිව්වේ. ගමට යනකොට අපේ ගෙවල් ගිනි තියෙනවා. පාරේ යනකොට අපිට ගහලා මරන්න හදනවා.”
•අරගලකරුවෝ ජනපති හමුවෙති
ගෝල්ෆේස් පිටියේ අරගලයට දැන් මාස 2කට කිට්ටුය. ජවිපය, පෙරටුගාමී පක්ෂය, මුස්ලිම් දේශපාලනඥයන්ගේ කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ඩයස්පොරාවේ කොටස් මෙහි සක්‍රියව නිදහසේ වැඩ කරන බව පැහැදිලිවම පෙනී ගියත් බොහෝ දෙනා හැඳින්වූයේ එය නිර්පාක්ෂික අරගලයක් කියාය. නම කෙසේ වෙතත් ඔවුන්ගේ සටන්කාමිත්වයේ යම් යම් සාධනීය ලක්ෂණ තිබිණි.
පසුගිය දිනවල ඔවුන්ගේ එම හඬට යම්කිසි වටිනාකමක් ලබාදීම සඳහා මේ රටේ පිළිගත් වෘත්තිකයෝ පිරිසක් ඉදිරිපත්ව සිටියහ. මේ ආකාරයෙන් රට ආගාධයට තල්ලු වී යාම වැළැක්වීම සඳහා ගෝල්පේස් අරගලකරුවන් සමඟත් රජය සමඟත් ජනාධිපතිවරයා සමඟත් හොඳ ප්‍රබුද්ධ සංවාදයක් ගොඩනැගීම සඳහා මේ වෘත්තිකයෝ පියවර ගත්තේ ඒ නිසාය. මේ රටට ප්‍රකටම විශේෂඥ වෛද්‍යවරයෙක් වන අසෝක ජයසේන, නීතිවේදි වේරගල ඇතුළු උගතුන් පිරිසක් මෙන්ම ගිහි පැවිදි බුද්ධිමතුන් පිරිසක් ද මෙම පුරෝගාමී මෙහෙවරෙහි යෙදී සිටියහ. ඔවුන් මෙම අරගලයේ ඇතුළාන්තය ගැන හොඳින් අධ්‍යයනය කර හොඳ අවබෝධයක සිටියහ. එමෙන්ම ඔවුන් හා හොඳ සංවාදයක ද නිරතව සිටියහ. අරගලයේ පිරිස ජනාධිපතිතුමා හා සාකච්ඡා මේසයට රැගෙන එන්නට මේ වෘත්තීයවේදීන් ට හැකි වූයේ එම සංවාදය නිසාය.
මේ සංවාදය සිදුවූයේ පසුගිය පළවෙනි බදාදා උදය වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ය. සාකච්ඡාවට අරගලයේ පිරිස එන්නට පෙර වෘත්තීයවේදීන් පිරිස වේලාසනින්ම ජනාධිපති මන්දිරයට පැමිණ සිටියහ. ඔවුන් මෙම උත්සාහය ගැන එතන සිටි නිලධාරීන් හා අදහස් හුවමාරු කරගෙන තිබුණේය.
මේ අතර විටියල කවිධජ හාමුදුරුවෝ හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඥානසාර හිමියෝ සමග අරගලයේ තරුණ පිරිස නිසි වේලාවට ජනාධිපති මන්දිරයට පැමිණියහ.
"ජනාධිපතිවරයා ද ඊට සහභාගි වීමෙන් පසුව සියල්ලටම පෙර කළේ සහභාගිවූවන් තනි තනිව හඳුනා ගැනීමය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මෝස්තර නිරූපිකාවන්, කලාකරුවන්, වෛද්‍යවරුන් ඉංජිනේරුවන්, නීතිඥයන් වැනි වූ විවිධ වෘත්තිකයන් එතන සිටියහ.
අරගල භූමිය තුළ විවිධ අරමුණු තියෙන අය ඉන්නවා. තමන්ගේ කණ්ඩායම තමන්ගේ නායකයා බලයට ගේන්න වැඩ කරන හාමුදුරුවොත් ඉන්නවා. ඒ සියල්ල අතරින් රට වෙනුවෙන් යමක් කරන්න හිතන, උනන්දු වෙන අය තමයි අපි මෙතනට ගේන්න උත්සාහ කළේ. උත්සාහය සාර්ථකයි සාකච්ඡාවත් සාර්ථක කරගමු." වෘත්තිකයෝ පැහැදිලි කළහ.
"ඔබතුමා ඇත්තටම අවංකව වැඩ කළා. විප්ලවයක් වගේ සමහර වෙනස්කම් කළා. සම්ප්‍රදායෙන් බැහැර වෙලා අලුත් දෙවල් නිර්මාණාත්මකව කරන්න හැදුවා. එහෙම අදහස් තියන කෙනෙක් හැටියට ඔබතුමාට මේ තරුණ පිරිසගේ අදහස්වලට ඇහුන්කන් දෙන්න අමාරු වෙන එකක් නෑ. "පාතේගම හිමියෝ කීහ.
"මෙහෙම නෙවෙයි ජනාධිපතිතුමා. හංගල කතා කරන්න දෙයක් අපිට නෑ. අපි විවෘත සංවාදයක් විදිහට මේ අදහස් දැක්වීම කරගෙන යමු... තරුණ නීතිවේදියෙක් කීවේය.
"මේ තරුණ අයගේ අදහස්වලට සවන් දුන්නාම මට හිතෙන දේ තමයි මගේ හිතේ තියෙන දේ ඔයාලා කතා කරනවා කියලා. මම කරන්න ගියෙත් ඔය ටිකම තමයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කරලා මේ රට ණය නොගන්නා රටක් බවට පත් කරන්න මට ඕනේ වුණේ. මම යම් උත්සාහයක් ගත්තා.
යම් යම් තැන්වලදී හිර වුණා. ඒ හිරවුණ තැන් මොනවද කියලා ඔබ බලන්න. අන්න ඒ හිර වුණ තැන් වට කරන්න. ඕගොල්ලො කියනව ණය අරන් වැඩියි කියලා. ඒක ඇත්ත. මමත් පිළිගන්නවා. ඒක නිසා තමයි මම මගේ කාලය තුළ ණය නොගෙන හිටියේ. ඒ වෙලාවේ සමහරු මට දොස් කිව්වේ ‘ඇයි අයි. එම්. එෆ්. ගිහින් ණය ගන්නේ නැත්තෙ කියලා. අන්තිමට බැරිම තැන තමයි මමත් ණය ගන්න තැනට තල්ලු වුණේ. "ජනාධිපතිවරයා මෙසේ සැලකිය යුතු වේලාවක් අදහස් පැහැදිලි කළේය. තරුණ පිරිස සමහරු ජනාධිපතිවරයාගේ අදහස් වලට විරෝධය පළ කරමින් උණුසුම්ව කතා කළ අතර තවත් සමහරු එකඟත්වය පළ කළෝය.
"වැරදිකරුවන්ට දඬුවම් දෙන එක අධිකරණයේ වැඩක්. කිසිම තැනකදී මම අධිකරණයේ වැඩ වලට ඇඟිලි ගහලා නෑ. ඒ වගේම තමයි මම කරන්න හැදූ හරිත කෘෂිකර්මය. මට ඕන වුණේ වසවිසෙන් තොර ආහාර වේලක් රටේ ජනතාවට දෙන්න. රට තුළ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරල පිටරටට ඇදිලා යන මුදල් අඩු කරගන්න. රටට අවශ්‍ය කාබනික කෘෂිකර්මය හඳුන්වලා දීලා තෙල් පොහොර සඳහා පිටරටට ඇදී යන ධනස්කන්ධය නතර කරනවා වගේම මගේ ජනතාවට වස විස කන්න නොදෙන්න. කවුරු හරි කියන්න බලන්න ඒක නරකද? ජනපතිවරයා අරගලකරුවන්ට පෙන්වා දුන්නේය.
මෙහිදී වෛද්‍යවරයෙක් රටේ ස්වයංපෝෂිතව වගා කළ හැකි බෝග වර්ග පිළිබඳ යෝජනා එකොළහක් ඉදිරිපත් කළේය. "ඕකනේ මම කරන්න ගියේ. කහ ඇතුළු බෝග වර්ග 23ක් රටින් ගේන එක නතර කරල මේ රටේ නිෂ්පාදනය කළා. අද ඒවායින් රට ස්වයංපෝෂිතයි. කහ, මුං, කවුපි, උදු ගොවියන්ගෙන් අහලා බලන්න. "
රටේ සම්පත් නාස්ති වෙන විදිය බලන්න ඕනේ නම් යන්න රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවට. ගිහින් ඒවා වටලන්න. මිල අධික ඩීසල් විදුලි බල උත්පාදනය නතර කරල පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්න කියලා මං කවදා ඉදලා ද කියන්නේ.
"අපි ළඟ සැලසුම් තියෙනවා. අපි ළඟ මේ හැම විෂයක් පිළිබඳව දැනුම හා අවබෝධය තියන අය ඉන්නවා. මේ හැම විෂයක් ගැනම අවධානය යොමු කරල මේ දැනුම අවබෝධය හා කැපවීම රටට ලබා දෙන්නෙ කොහොමද කියල අපිට සැලැස්මක් තියනවා..."
"බොහොම හොඳයි . අන්න ඒ සැලසුම් අපට දෙන්න. ඒ අවබෝධය තියන අය ඉදිරිපත් වෙන්න. අපි ඒ අදාළ අමාත්‍යාංශවල උපදේශක කාරක සභාවලට ඒ අය සම්බන්ධ කරන්නම්."
"අපි ඔය අමාත්‍යාංශ වල නිලධාරිවාදයට යටත් වෙන්න කැමති නෑ."
"හරි... එහෙනම් ඕගොල්ලන්ගේ දැනුම හා සැලසුම් රටේ සංවර්ධනයට යොදා ගන්න මාර්ගය ගැන පැහැදිලි සැලැස්මක් වැඩපිළිවෙළක් යෝජනා කරන්න. ඕගොල්ල ළඟ හොඳ අදහස් ඇති. කෘෂිකර්මය ගැන කර්මාන්ත ගැන තාක්ෂණය ගැන නූතන අදහස් තියෙන විද්‍යාඥයෝ රජය තුළත් ඉන්නවා. අපි ඉදිරියේදී ඒ අයත් මේ වගේ සාකච්ඡා වලට යොදා ගමු. ඒ ඒ විෂයට අනුබද්ධව. "
ජනාධිපති මෙහිදී පෙන්නුම් කළ ඉවසීම හා අවධානය ඉතා සුවිශේෂී විය.
"අද අපට මෙතෙන්ට ආවමත් හැමතැනම දක්නට ලැබුණේ සම්පත් නාස්තිය හා දූෂණය. ජනාධිපති මන්දිරයේ හැමතැනම අනවශ්‍ය වියදම්. එක්කෙනකුට මේ තරම් සැපට ඉන්න මහජන මුදල් මේ තරම් නාස්ති කළ යුතු ද රටක්..."
"ජනාධිපති වගේ එක් පුද්ගලයෙක් නඩත්තු කරන්න රටක් මේ වගේ මන්දිරයක් නඩත්තු කරමින් වැය කරන මුදල අපරාධයක් විදිහට දැකපු නිසා තමයි මම මගේ මිරිහානේ පුංචි ගෙදරට වෙලා ජීවත් වුණේ. ගෙදරට මම රටේ මුදල් වියදම් කළේ නෑ. කෝ ඉතින් ඕගොල්ලො මට එතන නිදහසේ සාමකාමීව ඉන්න ඉඩ දුන්නේ නැහැනේ. එතන වට කරලා ගල් ගහලා කුඩු කරලා ගිනි තියලා විනාශයක් කළා. ඒකනෙ මේ ඔක්කොටම මුල "
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමඟ කළ මෙම සාකච්ඡාව පොදුවේ ගත්කල සාර්ථක සාධනීය එකක් විය. සාකච්ඡාව සංවිධානය කළ උගතුන් වියතුන් එමඟින් සතුටට පත් වූවා සේම ජනාධිපතිවරයා ද ඔවුන්ට ස්තූති කළේය.
අවසානයේ මෙම සාකච්ඡාව පිළිබඳ තොරතුරු මාධ්‍යයට හා රටට කියන්නේ කෙසේද කියා ජනාධිපති මාධ්‍ය ඒකකය හා අරගලකරුවන් අතරද පොදු එකඟතාවක් ඇති විය.
•බ්‍රිතාන්‍ය අගමැති රනිල් අතර කතාබහ
අගමැති රනිල් රාජකාරී බාරගත් දින සිට වෙහෙස වන්නේ ඩොලර් අර්බුදය හා ආහාර අර්බුදය විසඳා ගැනීම වෙනුවෙනි. ඔහු නිතරම ජාත්‍යන්තර ප්‍රජාව හා සම්බන්ධ වෙමින් රටේ ඩොලර් අර්බුදය විසදීමට උත්සාහ ගන්නේ දිවා රෑ නොබලමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සේම, අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන හා සාකච්ඡා කරමින් ගැටලුවට විසඳුම් සොයමින් සිටියදී හදිසියේම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අගමැති රනිල්ට දුරකතන ඇමතුමක් දුන්නේය.
"ශ්‍රී ලංකාව පත් වෙලා තියෙන ආර්ථික අර්බුදය ගැන අපට කනගාටුයි. ඔබ මේ අවස්ථාවේ පවතින අභියෝගය බාර ගැනීම හොඳ දෙයක්. ශ්‍රී ලංකාවට උදව් කරන්න අපි කැමතියි." බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහයන්ට කීවේ දුරකතන සංවාදය අතරතුරදීය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාව සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙද්දී අගමැති රනිල් සිටියේ කොටුව ජනාධිපති මන්දිරයේය. ඒ 21 වැනි සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවීමට පැමිණ සිටියදී ය.
එදින 21 වැනි සංශෝධනය හා අග්‍රාමාත්‍යධූරය ගැන ද දීර්ඝ සංවාදයන් ඇතිවිය. අවසානයේ ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේ බ්‍රහස්පතින්දා වන විට මේ ගැන යෝජනා හා අදහස් ලබා දෙන ලෙස ය. ඇමති මණ්ඩල හමුවෙන් පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුව පැවැති අතර ඊට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ද පැමිණ තිබුණි.
•රනිල්ගේ පණිවිඩයක් රැගෙන සාගල රන්ජන් හමු වේ
සාගල රත්නායක හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අගමැති රනිල් හමුවී කීවේ ඔවුන් දෙදෙනා සිරගතව සිටින රන්ජන් රාමනායක මුණ ගැසීමට යන බවය.
"ඔව් රන්ජන්ව බලන්න යන්න. එයාව නිදහස් කරගන්න අපට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා හොයලා බලන්න." අගමැති ඔවුන්ට දුන්නේ එවැනි පණිවුඩයකි.
අගමැතිගේ පණිවුඩයත් රැගෙන ඔවුන් දෙපළ අඟහරුවාදා රන්ජන් රාමනායක මුණ ගැසීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගියහ.
සිරකරුවන් අමුත්තන් මුණ ගැසෙන ස්ථානය වෙත ගොස් සිටියදී ඔවුන් අසලට පැමිණි බන්ධනාගාර නිලධාරියකු කීවේ "සර්ලට ටිකක් වෙලා ඉන්න වෙයි. එතුමා ලැහැස්ති වෙලා එන්න ටික වෙලාවක් ගත වෙනවා." යනුවෙනි. ජනප්‍රිය නළුවකු වන රන්ජන් අග්‍රාමාත්‍ය ලේකම් හා සාගල මුණ ගැසීමට පැමිණියේ ද නළුවකු මෙන් රැවුල කොණ්ඩය බූ ගා පිළිවෙළකට සැරසීය.
"රන්ජන් තාම නළුවා වගේ ඉන්නවා නේද? හිරකාරයෙක් කියලා පේන්නේ නෑ." සාගල කියද්දී රන්ජන් ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
"මම උපාධියට ලැහැස්ති වෙනවා නේ ඇමතිතුමා. මෙයාලා ඒකට මට ලැප්ටොප් එකක් දීලා තිබුණා අධ්‍යයන වැඩවලට කියලා. මම කෝල් ගන්නවා කියලා ඒක නැවත අරගත්තා." රන්ජන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා හමුවේ කීවේය. අග්‍රාමාත්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් දැනුම් දුන්නේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදීමට කටයුතු කරන බවටය. පැය භාගයක පමණ කාලයක් ඔවුන් සුහදව කතා බහ කළ අතර සාගල රන්ජන්ට කීවේ ජනාධිපති සමාව ගැන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවයි.
•21 ගැන වජිරගේ මතය
“මේ මොහොතේ වඩා වැදගත් කුමක්ද? මේ මොහොතේ ඕන 19 ද, 20 ද නැතිනම් 21 ද ? කමක් නෑ 21 ඉදිරිපත් කළාම එදා අර සමගි ජන බලවේගයේ කණ්ඩායම ප්‍රකාශ කළා, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න එපා කියලා.
පසුගිය 27 තිබුණු සාකච්ඡාවේදී අපි දැක්කා ඔවුන් එකඟ වුණා. ඊට පස්සේ ආපහු කිව්වා එකඟ නෑ කියලා. දැන් ආපහු කියනවා EPDP එක එදා සහභාගී වෙලා හිටියේ නෑ, අනිත් ද්‍රවිඩ පක්ෂ TNA එක සහභාගී වෙලා හිටියේ නෑ. ඒ අය සමග සාකච්ඡා කරලා තීරණයකට එනවා කියලා.
මම හිතනවා මේ දේශපාලන සූදුව නැවැත්විය යුතුයි. මේ රටේ ජනතාවට ප්‍රධාන ප්‍රශ්නය මෙය නොවේ. ප්‍රධාන ප්‍රශ්නය ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. දැන් ඒවා ලැබෙනවාද ඔය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්? ඒ නිසා 20 තිබුණත්, 19 තිබුණත්, 21 තිබුණත් ආර්ථිකය හසුරුවන්න පාර්ලිමේන්තුව නොනිදා එක දිගටම පවත්වලා සියලු දේශපාලන පක්ෂ රට ගොඩගැනීම සඳහා තමන්ගේ තිබෙන ලියවිල්ල ඉදිරිපත් කළ යුතුව තිබෙනවා යැයි නිර්මාණාත්මක වෘත්තියවේදීන්ගේ සංගමයේ හමුවකදී හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන 21 වැනි සංශෝධනය ගැන මෙසේ අදහස් බෙදාගත්තේය.