
ආර්ථික අහේනියේ පතුලටම කිඳා බැස ඇති අසරණ පවුලකට සිදු වූ ඛේදවාචකයක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ රත්නපුර වැලිගෙපොල පොලිස් බල ප්‍රදේශයෙනි. තමන්ගේම අයියාගේ ඉඩමේ පිහිටි දෙල් ගසකින් දෙල් ගෙඩියක් කඩාගත්තා යැයි උරණ ව සිය නැඟණිය ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සිදුව ඇත්තේ පරගහමඩිත්ත ගම්මානයේ ය.
හතළිස් තුන් හැවිරිදි සිවුදරු මවක් වන ඇය මුහුණ දුන් සිදුවීම විස්තර කළේ මෙලෙසිනි. මගේ පවුලේ සහෝදර සහෝදරියන් දහ දෙනෙක් සිටිනවා. මේ වන විට මගේ සැමියා ද මා හැර ගොස් මාස දහයක් විතර වෙනවා. සැමියා නිතරම මත්ද්‍රව්‍ය පාවිච්චි කරල ඇවිත් නිතරම රණ්ඩු සරුවල් වෙන නිසා මම තීරණය කළා, දරුවොත් හදාගෙන තනිවම හරි ජීවත්වෙන්න. මගේ දරුවන් සිවුදෙනාගෙන් එක් අයෙක් විවාහ වෙලා. අනිත් තුන් දෙනාගෙන් අවුරුදු හතක් වයසැති දියණිය බරපතළ රෝගී තත්ත්වයකින් පෙළෙනවා. මම එදිනෙදා කුලී වැඩක් කරල තමයි මේ ජීවිත සටන ගෙනියන්නෙ. ඉන්න නිවසත් තාම අනාරක්ෂිතයි. දොරවල් වත් දාලා නෑ. වැඩිපුර ම සහනයක් වෙලා තියෙන්නෙ සමෘද්ධි සහනාධාරයයි.
මම පසුගිය දිනක මගේ ම අයියාගේ ඉඩමේ දෙල් ගහේ දෙල් ගෙඩියක් කැඩුවෙ ඇත්තටම වෙන කරන්නම දෙයක් නැති තැනයි. එදා ගෙදර හරියෙ හාල් ඇටයක්වත් තිබුණෙ නෑ. අසනීප වෙලා ඉන්න දරුවට කන්න දෙන්න ඕන නිසා අර කඩපු දෙල් ගෙඩිය රුපියල් සීයකට විකුණලා හාල් කිලෝ බාගයක් ගෙනත් දරුවන් ට කන්න උයලා දුන්නා. මේක දැනගෙන අයියා ඇවිත් මට හොඳටම පහර දුන්නා.
මට හිතා ගන්න බැරිවුණා මොකක්ද කරන්නෙ කියලා. මම වැලිගෙපොල පොලීසිය ට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ඊට පස්සෙ අයියවත් ගෙන්නලා පැමිණිල්ල විභාග කළා. මීට පස්සේ මේ වගේ කැත වැඩ කරන්න එපා කියලා ඕඅයිසී මහත්තයා කිව්වා. ඒත් එදා ගෙදර ඇවිල්ලත් මාත් එක්ක රණ්ඩු කළා.මට දැන් හිතාගන්න බෑ මේ දරුවන් හදාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්නෙ කොහොමද කියලා.
ඇයගේ මේ අනුවේදනීය වචන ටික එක හුස්ම ට කියවාගෙන යද්දී ඇගේ දෙනෙතින් වැටුණු කඳුළු ජීවිතය තුළ ඇය මුහුණ දෙන තත්ත්වය පෙන්නුම් කළේය.
මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කළේ වැලිගෙපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස්ලි හෙට්ටිආරච්චි අප සමඟ පැවසුවේ මෙවැන්නකි.
එදා ගම්වල මිනිස්සු තමන්ට යමක් තියෙනව නම් ඒවා නැති බැරි මිනිස්සුත් එක්ක බෙදාහදාගෙන කාලා සතුටින් හිටියා. ඒ මානව බැඳීම් සමාජය පොහොසත් කළා. දුක සැප එකට බෙදාගත් පවුල්වල අන්‍යෝන්‍ය බැඳීම් අද ගොඩක් පළුදු වෙලා. අගහිඟකම්වලින් මිරිකිලා ඉන්න මෙවැනි ඉතාම දුෂ්කර කාලයක තමන්ගේ වත්තෙ දෙල් ගෙඩියකින් කුසගින්න නිවා ගන්නවා නම් කොච්චර සතුටු වෙන්න ඕනද. දෙල් ගෙඩියක් කියන්නෙ මහා ලොකු දෙයක් ද.
වැලිගෙපොල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති එම්. නිර්මලා ද සිද්ධියේ බරපතළකම පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර දැඩිව අවවාද කර ඇත.
සිය පණනල ගැට ගසා ගැනීමේ දැවැන්ත සටනක නියැළෙන මෙවැනි පවුල් සිය දහස් ගණනක් අද ලංකාව පුරා ජීවත් වෙති. ඔවුන් රැකබලා ගැනීමට රජයේ නිලධාරීන් මෙන් ම යමක් කමක් තිබෙන පුද්ගලයන්ගේද සමාජ වගකීමකි.ඉදිරියේදී පැමිණෙතැයි අපේක්ෂා කරන ආහාර අර්බුදය හමුවේ මෙවැනි අසරණ පවුල් රැක බලා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු කරුණක් නොවන්නේද.