![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/05/27/5-2.jpg?itok=gTJjbwRW)
- ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු දොර වැසේ
- ස්වාධින කොමිසම් සභා බලාත්මකයි
- අගමැති ඉවත් කිරීමට ක්‍රමවේද 3ක්
- විස්වාසභංගයකින් ජනාධිපති ඉවත් කිරීමේ හැකියාව
- කෙටුම්පතේ අඩුපාඩු තියෙනවා - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
- මේක ජනමතය නෙමේ - සජබ
ජනාධිපතිවරයා සතු අසීමිත විධායක බලතල සීමා කෙරෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනාව පසුගියදා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳ වූ ආන්දෝලනාත්මක කතිකාවත් පසුගිය සතිය දේශපාලන වේදිකාව උණුසුම් කරන්නට සමත් විය.
21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුවද, ඒ පිළිබඳ අවසන් තීන්දුවකට නොපැමිණියේ ගෙවී ගිය සිකුරාදා පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එය ඉදිරිපත් කර සංශෝධන සහිතව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අරමුණිනි. කෙසේ වෙතත් ගෙවී ගිය සතියේ රජයට එකතු වූ කැබිනට් ඇමැතිකමක් දරන ඇමැති හරීන් ප්‍රනාන්දු පවා රජයට යම් ආකාරයක තර්ජනාත්මක බලපෑමක් කළේ මෙම යෝජනාව ගෙවුණු සතියේ ඉදිරිපත් නොකළේ නම් තමන් ඉල්ලා අස්වන බව පවසමිනි. එසේම ජන අරගලයේ ඉල්ලීම් අතරට ජනපති අගමැති ඉවත්වීම ඇතුළු තවත් ප්‍රධානම ඉල්ලීමක් වූයේ මෙම 20 ඉවත් කොට 21 ගෙන ඒමය. මේ වන විට පෞද්ගලික මන්ත්‍රි යෝජනා දෙකක් වශයෙන් සමගි ජන බලවෙගයෙන් හා ඇමැති විජයදාස රාජපක්ෂයන් විසින් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලි දෙකක් ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් සති අන්තය වන විට ඇමති විජයදාස රාජපක්ෂගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉවත් කරගෙන තිබුණි. ඔහු සිළුමිණට පවසා සිටියේ අධිකරණ ඇමැති ලෙස ආණ්ඩුවේ යෝජනාව තමන් ඉදිරිපත් කිරීම නිසා මෙය ඉවත් කරගත් බවකි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත බලතල පසුගිය කාලයේ බොහෝ විවේචනයට බඳුන් වූවකි. පසුගිය කාලයේ බොහෝ ආන්දෝලනයන්ට තුඩු දුන් ද්විත්ව පුරවැසි බව සම්බන්ධ නීති 21 හරහා ගෙන ඒමට සූදානම් වන බව වාර්තා වෙයි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 91(1)(xiii)වන අප ඡේදය හරහා ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජිතයකු ලෙස පත් කිරීම නුසුදුසු වගන්තිය ඇතුළත් කොට ඇත. ජනාධිපති විධායක බලතල යළි පාර්ලිමේන්තුව වෙත ලබාගැනීම සහ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම 21 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කරන තවත් සාධනීය පියවරකි. 19 වැනි සංශෝධන ආකෘතිය හරහා ස්වාධින කොමිසම් සභාවලට යළි ස්වාධින වීමේ අවස්ථාව මින් සැලසෙයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අක්‍රීය කර තිබූ ප්‍රසම්පාදන හා විගණන කොමිසම් සභා යළි ක්‍රියාත්මක කිරීමටත්, එමඟින් අල්ලසට දුෂණයට වැට බැඳීමටත් අපේක්ෂිතය. රාජ්‍ය සේවා, මැතිවරණ, පොලිස්, අල්ලස් විගණන කොමිසම් බලාත්මක කෙරෙන සංශෝධනද 21 වැනි ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත්ය. 20 වැනි ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට හිමිව තිබූ අති විශාල බලතලවලින් විශාල ප්‍රමාණයක් මේ හරහා ස්වාධින කොමිසම් සභාවලටත්, ව්‍යවස්ථාදායක සභාවට මෙන්ම කැබිනට් මණ්ඩලයටත් හිමිවිමට නියමිතය. ජනාධිපතිවරයාගේ මෙතෙක් පැවැති විධායක බලතල අඩු කරමින් නව ව්‍යවස්ථා සංශෝධනය හරහා කැබිනට් ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පමණක් නොව අගමැතිවරයාගේ උපදෙස් පරිදීද සිදුවිය යුතු බවට නව සංශෝධන ඇතුළත් වෙයි. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මහ බැංකු අධිපති පත් කිරීමේදි ජනාධිපතිවරයාට තිබූ තනි බලය ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකට යටත් වීමට නියමිතය. එසේම මුල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන්ද එවැනිම තත්වයකට යටත් කිරීමට අපේක්ෂිතය. එසේම නව සංශෝධනයෙන් පසු විදෙස් තානාතිපතිවරු පත් කිරීමේදී දැනට පාර්ලිමේන්තු ස්ථාවර කමිටුව හරහා සිදුවන අධීක්ෂණ කටයුත්ත ජනාධිපතිගේ තීරණය මත පමණක් නොව අගමැතිවරයාගේ උපදෙස් මතද සිදුකළ යුතුය යන ස්ථාවරයට පැමිණීමට නියමිතය. එසේම ජනාධිපති සමාව දීමේ කටයුත්ත පිළිගත් ක්‍රමවේදයකට අනුව පාට පක්ෂ භේදයෙන් තොරව සිදුකිරීමේ ක්‍රමෝපායක් ප්‍රකාශයට පත් කෙරේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව යළි පිහිටුවීමද 21 හරහා සිදු කිරීමට අපේක්ෂිත අතර එහි සාමාජිකයන් වශයෙන් අගමැති කථානායක විපක්ෂ නායක හා ඔවුන් විසින් නම් කරන හා ජනාධිවරයා විසින් පත්කරන ලබන පස් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පත් කරන අතර ඔවුන්ගේ ධූර කාලය වසර තුනකි. නිතිපති, මහ බැංකු අධිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස්, පාර්ලිමේන්තු මහ ලේකම් යන තනතුරු පත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසින් වුවද එය ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත සිදුවිය යුතුය. එසේම අගමැතිවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා අස් වන්නේ නම් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉවත් වන්නේ නම් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ඇමැති මණ්ඩලය ක්‍රියාත්මක වන කාලය පුරාවටම අගමැතිවරයාට දිගටම ධූරයේ කටයුතු කළ හැකි බවට වූ වගන්තියක්ද නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.
“ මේ වන විට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ටම ලබා දී සාකච්ඡා කර එය කැබිනට් මණ්ඩලයට වාර්තා කරනවා. මේ වන විට එහි පිටපත පක්ෂ නායකයන්ට ලබා දී පසුගිය සිකුරාදා පක්ෂ නායක රැස්වීමක් කැඳවා එහි අදහස් ලබා ගැනීමක් සිදු කළා. එළඹෙන සඳුදා එහි සම්පූර්ණ වාර්තාව කැබිනට් මණ්ඩලයට යළි දැමීමක් සිදු කෙරෙනවා. ඉතා ඉක්මනින් මෙම සංශෝධන ගැසට් පත්‍රයේ පළ කෙරෙන අතර පසුව අවශ්‍යනම් අවශ්‍ය අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අවස්ථාව ලබා දී සියලු දෙනාගේම සහය ඇති මෙය සම්මත කෙරෙනවා.“ අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටින්නේ එළඹෙන සඳුදා මෙය පක්ෂ නායක අදහස් සමඟින් යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවකි.
මේ වන විට මෙම ඉදිරිපත් වූ කෙටුම්පත් පිළිබඳ දේශපාලන විශාරදයන් දක්වන්නේ මෙවන් අදහසකි.
“1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කළ විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට එම බලතල ලබාදීම, එසේම ජනාධිපතිට හිමිවූ ව්‍යවස්ථාදායක බලතල වන පාර්ලිමේන්තුව කැඳවීම, විසිරවීම, වාර අවසාන කිරීම සීමා කිරීමෙන් හා එමඟින් ජනාධිපති ගෞරවනීය පුද්ගලයකු බවට පත් කිරීම, ආණ්ඩුකරණ ක්‍රියාවලියේදි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට වැඩි බලතල පවරා දීම මෙන්ම ව්‍යවස්ථාදායකයේ රාජ්‍ය නිලධාරීන්ට ද්විත්ව පුරවැසිබව නුසුදුසුකමක් වීම, 19 වැනි ව්‍යවස්ථාවෙන් පිහිට වූ ස්වාධින කොමිසම් සභා සක්‍රිය හා බලවත් වීම මේ හරහා සිදු කිරීමට අපේක්ෂිතයි. සජබයෙන් හා ඇමැති විජයදාස රාජපක්ෂගේ යොජනාවලි දෙකේම ආණ්ඩුකරණ ක්‍රියාවලියේදි රාජ්‍ය නිලධාරින් පත් කිරීමේ බලය ව්‍යවස්ථාදායකයට පැවැරීම, අගමැතිගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කිරීම මෙන්ම ඉවත් කිරීම සිදු කළ යුතු බවට වූ කාරණ ඇතුළත්. නමුත් සජබය විශේෂ අදහසක් ඉදිරිපත් කරමින් යෝජනා කරනවා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඡන්දයකින් පත්විය යුතු බවත්, විස්වාස භංගයකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකි වීමත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ජනාධිපති බලය අඩු කිරීමත් නැත.
ඔවුන් පවසා සිටින්නේ බහුතර ඡන්දයෙන් පසු පාර්ලිමේන්තුව විසිරවීමට හැකි විය යුතු බවයි. නමුත් අනිත් යෝජනාවේ එය සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිවරයාට අවුරුදු දෙකහමාරකින් පසුව සිදුකළ හැකිබවයි. මෙම යෝජනාවලි දෙකෙම අගමැති ඉවත් කිරීම ගැන සංශෝධනද ඉදිරිපත් කර තියෙනවා. එනම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46-2 හා 48 වගන්ති සංශෝධනය කරමින් අගමැතිවරයකු මරණයට පත්වීම, ඉල්ලා අස්වීම මෙන්ම අයවැය පරාජය කිරීම හරහා අගමැති ඉවත්විය යුතු ආකාර සංශෝධනයට ලක් කෙරෙනවා. එසේම මේ යෝජනාවලි දෙකෙන්ම ව්‍යවස්ථාදායක සභාව, විගණන හා ප්‍රසම්පාදන කොමිසම් සභා අතිශයින් ශක්තිමත් කිරීමට යෝජිතයි. තවමත් 21 සංශෝධන ඇත්තේ කෙටුම්පත් අවස්ථාවේ. ඒ නිසා ඉදිරියේදි සිදුවිය හැකි දේ පැවැසීමට අපහසුයි. “ ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය චාමින්ද අබේසිංහය.
දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට කරුණු 13ක් ඇතුළත් යෝජනාවලියක් පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් රජයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන් සඳහන් කරන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිස්ථාපනය කරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම හඳුන්වාදිය යුතු බවකි. එහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව සියලු අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කළ යුතු බවද, අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනිකුත් සියලුම ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කරන ලෙසද එම යෝජනාවලිය මඟින් ඔවුහු පෙන්වා දී තිබුණි.
පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසන්නේ එම 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු ඇති බවත්, එය නිවැරදි විය යුත්තේ කෙසේද යන්නත් තම සංගමය අවධාරණය කර ඇති බවයි. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පවසා සිටියේ ජනාධිපතිට අමාත්‍යාංශ දැරීමට, විෂයයන් තමන්ට පැවැරීමට, තමන්ට අවශ්‍ය අය ලේකම්වරුන් ලෙස පත් කිරීමට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ඕනැම කෙනෙකුට සමාව දීම වැනි අසීමිත බලතල බොහෝමයක් නව සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තබා ගැනීමට ඉඩ ලැබෙන බවකි.
සජබය චෝදනා කරන්නේ ජන මතයට පටහැනි තවත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන බවකි.
“වර්තමාන ආණ්ඩුව ජනමතයට පටහැනිව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තමන්ට රිසි සේ ගෙන එන්නට කටයුතු කරමින් සිටිනවා. නීතීඥ සංගමය පැහැදිලිව කියලා තිබෙනවා මේ ගෙන එන්නට හදන ව්‍යවස්ථා සංශෝධනය දෝෂ සහිත බව. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි කියනවා, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 20 ඉවත්කොට 19 අංග සම්පූර්ණව ගෙන එන්නටත්, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණවලට යොමු වන්නටත් කටයුතු කළයුතු බව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමයි මහපොළවේ මතය, රටේ මතය. ” ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.
ඔවුන් ඉල්ලා සිටින්නේ මහ පොළොවේ මතය ක්‍රියාත්මක විය යුතු බවකි.
“ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ ප්‍රධානම කරුණ තමයි, විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම. නමුත් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවලියේ එවන් දෙයක් නැහැ. මේ නිසා අපි තරයේ බල කර සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන 21 ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බවයි.“ පාර්ලිමේන්තු මන්ත්‍රි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලේය.
අපි මෙතැනදි කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට කැමතියි. ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු වුවත් මේ ඊට කාලයද යන්න? මේ වන විට රටේ භීෂණය මතු වෙලා, අභ්‍යන්තර ගැටුම් ඇති වෙලා. යම් යම් දේ ගැන කරුණු දැක්වීමට මිනිසුන් බයයි. ඒ නිසා රටේ උත්තරීතර නීතිය සංශෝධනය කිරීමට මේ සුදුසු පසුබිමක් නොවෙයි. ඊට පෙර රටේ ප්‍රශ්න විසඳිය යුතු වෙනවා. දෙවැන්න මේ සංශෝධන එන්නේ පෞද්ගලික මන්ත්‍රි යෝජනා ලෙසයි. මේවා කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමේදි කෙටුම්පතේ නොමැති ඇතැම් කරුණු හොරෙන් ඊට ඇතුළත් කිරීමට හැකියි. මෙය භයානක තත්ත්වයක්. කෙටුම්පතේ නොමැති දේ කාරක සභා අවස්ථාවේ ඇතුළත් නොකරන බවට පොරොන්දුවක් දිය යුතුයි. එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් ජනමත විචාරණයක් තිබිය යුතුයි. අපි ඒ පිළිබඳ අධිකරණයට ගියා. අධිකරණය ඉදිරියේදි කුමන තීන්දුවක් ලබා දෙයිද කියා අපි බලා සිටිනවා.“
ඒ දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරය.