![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/05/27/5-4.jpg?itok=5x8GWtPh)
දින කිහිපයක් ගත වුව ද තවමත් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහ කෙරෙන්නේ පසුගිය 09 වැනිදා රට පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගැනය. පසුගිය 09 වැනිදා ගාලු මුවදොර සිදුවීම ඇතුළු රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන තිබෙමින් පවතින අවස්ථාවක විනාශ වූ දේපළ ගැන සොයා බැලීම සඳහා පසුගිය දිනවල දේශපාලනඥයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ විනාශ වූ නිවෙස් වෙත ගොස් තිබුණි.
•ලොකුගේ ගේ ළිඳ ළඟ
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ තම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ විනාශ වූ තම නිවස ඇතුළු ඥාතීන්ගේ නිවාස කිහිපයකට සිදු වූ විනාශය නිරීක්ෂණය කළේය.
මේ අවස්ථාවේ දී ගාමිණී ලොකුගේ බොහෝ හැඟීම්බර වූ අතර ඔහු ප්‍රකාශ කළේ තම නිවස ඇතුළු ඥාතීන්ගේ නිවාස විනාශ කිරීමට පැමිණි පුද්ගලයින් දැඩි ලෙස වෛර සහගතව ක්‍රියාකොට ඇති බවයි.
"මේ මිනිසුන්ගේ වෛරී සහගත බව හරිම පුදුමයි. ගෙවල් දොරවල් සේරම විනාශ කරලා වතුර බොන ළිඳටත් වස දාලා. ඒ විතරක් නෙවෙයි ගෙදර ඉස්සරහ තිබුණා සමාධි පිළිමයක්. මේ සමාධි පිළිමයේ හිස ගලවලා රඔුටන් ගහක දෙබලක ගහලා ගිහිල්ලා තියෙනවා. මේ වගේ දේවල්වලින් මේ විරෝධතා කරපු තරුණ දරුවන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ දරුවන්ගේ අනාගතය මොකද්ද? තමන්ගේ අනාගතය විනාශ කරගන්නා මේ දරුවන් ගැන මවුපියන් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු වෙනවා." යනුවෙන් ගාමිණී ලොකුගේ බොහෝ කම්පා සහගතව ප්‍රකාශ කර තිබුණි.
•සනත් - මිලාන් බන්ධනාගාරයේ බිම නිදන හැටි
මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. "ඔවුන් සමඟ තමයි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඉන්නෙත්. ඔවුන්ගේ මැගසින් බන්ධනාගාර ජීවිතය සම්බන්ධයෙන් වාර්තා වෙන විදිහට නම් ඔවුන් රඳවා සිටින ස්ථානයේ බිම තමයි නිදියන්නෙ. ඔවුන් කියන විදියට නම් දවල්ටයි, රෑටයි දෙකටම මකුණු කකා තමයි ඔවුන්ට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි ගෙදර සාමාජිකයන්ට සහ පවුලේ කිසිම කෙනෙකුට ඔවුන්ව බලන්න එන්න එපා කියලා දැනුම් දැනුම් දීමක් සිදු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා." ඒ ගැන තතු දත් මන්ත්‍රීවරයෙක් කීහ.
"9 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ වුණත් මේ සිද්ධිය වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු පිරිස ඉදිරියට එද්දී ෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරියට යන්න එපා කියලා." ඔහු තවදුරටත් කීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිර දඬුවම් විඳියි. දැන් ඔහුව රඳවා තබා ගෙන ඉන්නේ වැලිකඩ බන්ධනාගාරයේ, රෝහලේ ආරක්ෂිත ස්ථානයකයි. ඔහුට ජනාධිපති සමාව ඉල්ලා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
•ආහාර හා බෙහෙත් ගැන දිනේෂ්ගේ විශේෂ අවධානය
පාර්ලිමේන්තු දිනයක් නොවූවත්, සභානායක දිනේෂ් ගුණවර්ධන, පසුගිය බ්‍රහස්පතින්දා (26) හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණියේ විශේෂ කාර්‍යයක් ඉටුකිරීම සඳහාය.
කතානායකවරයා හමුවූ ඔහු විශේෂ ලියවිල්ලක් භාරදුන්නේය. ඒ, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය සඳහා වන කෙටුම්පතය.
"මම 20 වෙනිදා පාර්ලිමේන්තුවේ විශේෂයෙන් ප්‍රකාශයක් කළා, කෝප්, කෝපා ඇතුළු සියලු කාරක සභාවල බලතල වැඩිකරන්න, ස්ථාවර නියෝගවලට සංශෝධන කඩිනමින් ගේනවා කියලා. ඒ වචනය ඉෂ්ට කරන්නයි ආවෙ" දිනේෂ් නිලධාරීන්ට කීවේය.
"දැන් වෙලා තියෙන්නෙ, කාරක සභා වාර්තා ඉදිරිපත් කළාට, ඉන් එහා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරවාගන්න බලතල නෑ."
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ද වන දිනේෂ් බදාදා (25) රටපුරා සියලු දිසාපතිවරුන්ද ZOOM තාක්ෂණය ඔස්සේ ඇමතීය. ඒ, රට පසුකරමින් සිටින දුෂ්කර කාල පරිච්ඡේදය තුළ, ග්‍රාම සේවා නිලධාරියාගේ සිට ඉහළට ම පැවරී ඇති වගකීම සිහිපත් කර පොදු ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කළ යුතු වැඩ හඳුන්වා දීමටය.
දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව ද පසුගිය බදාදා විශේෂ රැස්වීමක් පැවැත්වීය.
"ඇතිවෙමින් තියෙන ආහාර අර්බුදයට අපි පක්ෂයක් හැටියට රජයේ ඉක්මන් අවධානය යොමුකරවන්න ඕනෙ." ම.එ.පෙ. උප සභාපති, හිටපු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේය.
"ඒකට ආහාර නිෂ්පාදනය වැඩිකරන්න, ගොවියාට සහන දීම වේගවත් කරන්න ඕනෙ." ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන පවසද්දී දිනේෂ් මෙසේ කීය.
"ඒ වගේම අත්‍යවශ්‍ය බෙහෙත් හිඟයකින් තොරව දෙන එකටත් ප්‍රමුඛතාව දෙන්න ඕනෙ."
ඒ අනුව පොදු ජනතාව වෙනුවෙන් ආහාර, බෙහෙත් අර්බුදයට ආණ්ඩුව දෙන විසඳුම් වේගවත් කරවා ගැනීම උදෙසා ම.එ.පෙ. මැදිහත් වීමට තීරණය කෙරිණි.
•අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් මාදිවෙල මිතුරෝ එක්වෙති
පසුගිය 09 වැනිදා විරෝධතාකරුයන්ගේ අමානුෂික පහරීමක් හේතුවෙන් මියගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සිහිකරමින් පසුගිය දා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ දී ධර්ම දේශනාවක් පැවැත්වුණි.
අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ජීවත්ව සිටි නිල නිවසේදී ම මෙම ධර්ම දේශනය පැවැත්වීම විශේෂත්වයකි. එය සංවිධානය කරන ලද්දේ පොහොට්ටු පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රි ඩී. වීරසිංහ විසිනි. පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ සහාය ද ඊට හිමි වී තිබුණි. මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ, රේණුක විදානගමගේ, දිලුම් අමුණුගම, ජානක වක්කුඹුර, විරසුමන වීරසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 කට ඇතුළු පිරිසක් සහභාගී වී තීබීම ද විශේෂත්වයකි.
මාදිවෙල මිතුරෝ නමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක් වී සංවිධානයක් පිහිටුවා ගෙන ඇති අතර එම පිරිස ද අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා සිහිකරමින් පැවති දර්ම දේශනාවට පැමිණ සිටියහ.
•ටෙස්ට් තත්ත්වය ඉහළට
කාලයකට පසු බංගලිදේශය පරාජය කරමින් ටෙස්ට් තරගාවලි ජයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හිමි කර ගැනීම ක්‍රීඩ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට පසුගිය 27 වැනිදා පත්විය.
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් විස්තර විචාරකයන් කිහිප දෙනෙකුම නාමල් රාජපක්ෂට දුරනකථනයෙන් කතා කොට ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම කිසිඳු භේදයකින් තොරව නාමල් රාජපක්ෂ ගත් තීරණය නිසා මේ වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් අතින් ද ඉහළට පැමිණ ඇති බවයි.
•ඩයනා ගැන රාජිත කතා කළේ මොනවාද?
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීම පසුගිය දා පැවැත්වුණි. එහිදී පක්ෂ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හරීන් සහ මනුෂ පක්ෂයෙන් ඉවත් කරන්න යෝජනාවක් ගෙන එන ලදී. "දැන් ඩයනා මන්ත්‍රීතුමිය සම්බන්ධව සිදුකරන විනය පරීක්ෂණයට මොකද වුණේ?" මෙහෙම ප්‍රශ්න කරන්නේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාය. "දැන් බලන්නකෝ ඩයනා මන්ත්‍රීවරිය ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි. ඇයට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තියෙන්නේ. ඉතින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ලියුම එන්නයි තියෙන්නේ. ඒ ලියුම ආවට පස්සෙ ඇයගේ මන්ත්‍රීධූරයත් ඉවරයි. සමහරවිට දැනටම ලියුම ඇවිල්ලා ඇති. ඔය කට්ටිය කවුරුහරි ඒ ගැන හොයලා බැලුවද?" රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙහිදී දිගින් දිගටම ප්‍රශ්න කළේය. "අපේ නීතිඥ කණ්ඩායමට මේක බාර දීලා තියෙන්නේ." රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ ලේකම්වරයාට උත්තර දුන්නේය. "ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ හැමතැනම කියනවා සමගි ජන ජනබලවේගය එයාගෙ. එයාව පක්ෂයෙන් නෙරපා දැම්මොත් එහෙම පක්ෂයේ ඉන්න ඉහළ පෙළේ ලේකම්වරුන් ඇතුළු හැමෝගෙම ඇත්ත නැත්ත එළියට දානවා කියලා. ඇය එහෙම දිගින් දිගටම කියනවා. මේක යට මොකක් හරි ඩීල් එකක් තියෙනව ද දන්නෑ." කියලා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා යළිත් මේ ගැන කීය.
•ආණ්ඩුවක් පිහිටුවන්න සජබත් සූදානම්
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගෙන ඒමට නියමිත සංශෝධනයේ තිබෙන්නා වූ වෙනස්කම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත. "ඒකෙදි 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය වසර 4 ½ කියලා. හැබැයි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අලුතෙන් ගෙන එන යෝජනාවේ තිබෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ කාලය වසර 2 ½ ක් කියලා.
ඒකට බොහොම කැමැත්ත පළ කරලා තිබෙනවා සමගි ජන බලවේගය. ඒ අනුව ලබන පෙබරවාරියේදී මේ යෝජනාව සම්මත කර ගත්තොත් ජනාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමට පුළුවන් කියලා ඔවුන් කියනවා. ඒ වගේම විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගෙන ඒමට නියමිත යෝජනාවේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ කිහිපයක් දැරීමේ හැකියාවක් තියෙනවා කියලා වාර්තා වෙයි. සමගි ජන බලවේගය තවත් සති 04 ක් ඇතුළත ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් වෙයි. මේ අලුත් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ සජිත් ප්‍රේමදාසයි.
•වජිර ඥානක්කාත් පසුකරයි
එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පහුගිය දවසක ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකයින් පිරිසක් මුණ ගැසුණේය. මෙහිදී ඥානක්කා සම්බන්ධයෙන් ද කතාවක් පැමිණ ඇත. මේ රැස්වීමට පැමිණි නියෝජිතයෙක් ඇසුවේ "දැන් මේ ඥානක්කා කියන කාන්තාව ඉන්නවානේ ඇයත් මේ අනාවැකි එහෙම කියන්න බොහෝ දක්ෂයිනේ. හැබැයි දැන්නම් මේ සමාජයේ කතාවක් තියෙන්නෙ ඥානාක්කටත් වඩා ඔබතුමා කියන අනාවැකිය හරි යනවා කියලා. ඒ කියන්නේ එක මන්ත්‍රී ආසනයක් තියාගෙන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙනවා කියලා, ජනාධිපති ධුරයට පත් වෙනවා කියලා ඔන්න ඔබ කිව්වා.
දැන් මේකේ එක අනාවැකියක් නම් ඔන්න හරියමින් තියෙන්නෙ. කොහොමද මේ අනාවැකි කියන්නේ කියලා." යනුවෙනි. "මම ඔය අනාවැකි කියන්නේ මගේ තියෙන දේශපාලන පරිනතභාවය හින්දා. දැන් බලන්නකෝ මේ මගේ තියෙන දේශපාලන දැනුමෙන් මම කියපු අනාවැකි දෙක තුනක් හරි ගියානේ. ඉස්සරහටත් මම කියපු අනාවැකි හරියනකම් පොඩ්ඩක් ඉවසලා බලාගෙන ඉන්න කියලා තමයි කියලා තියෙන්නේ." යනුවෙන් වජිර අබේවර්ධන උත්තර දී ඇත.
•අගමැති රනිල් මුදල් ඇමතිකම බාරගත් හේතුව
ආර්ථික අර්බුදයෙන් රට ගිලී යමින් තිබෙද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයේ වැඩබාර ගත්තේ රටේ ආර්ථික වගකීම් සියල්ල තමන් යටතට පත් කළ යුතුය යන එකඟතාව මතය. එහෙත් මුදල් ඇමතිධූරය රටේ ජනතාව විශ්වාස කරන අයෙකු බාර නොගන්නේ නම් එය තමන් සතු විය යුතු බව ද අගමැති රනිල් ජනාධිපතිවරයාට කියා තිබුණි.
නමුත් එවැනි කිසිවකු මුදල් ඇමතිධූරය බාර ගැනීමට කැමැත්ත පළ නොකළ අතර කිහිප දෙනෙකු ඉටු කළ නොහැකි කොන්දේසි ඉදිරිපත් කළේ මුදල් ඇමතිකම බාර ගැනීම වෙනුවෙනි. අගමැතිවරයා එම කොන්දේසිවලට එකඟ නොවූවේ එය රටේ ආර්ථිකයට වැදගත් කොන්දේසි නොවීම නිසාවෙනි. මුදල් ඇමතිධූරය මෙලෙස දිගින් දිගටම හිස්ව පැවැතීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවන්ට බාධාවක් බැවින් අවසානයේ මුදල් ඇමතිධූරය තමන් යටතට ගැනීමට අග්‍රාමාත්‍යවරයා තීන්දු කළේය.
අගමැති රනිල් මුදල් ඇමතිකම බාර ගැනීමට සුදානම් වන බව දැනගත් වහාම කිහිප දෙනෙකු ඊට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට කරුණු කියමින් සිටින බවට අග්‍රාමාත්‍ය කාර්යාලයට ද වාර්තා වී තිබුණි. එසේම 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ද නොයෙක් කතා වාර්තා වන්නට පටන් ගත්තේ මේ අතරවාරයේය. මෙම කටකතා හේතුවෙන් නායකයාගේ දුරකතනයට විසුමක් නොවූවේ සැවොම කතා කරමින් ඒ ගැන විමසන්නට වූ නිසාය.
•හරීන්ගෙන් අගමැතිට ප්‍රශ්න තුනක්
සමගි ජන බලවේගය නියෝජනය කරමින් සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වූ හරීන් ප්‍රනාන්දු ද කඩිමුඩියේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේ අගමැතිගෙන් මේ ගැන විමසීමටය.
"සර් සමාජයේ කතා වෙනවා 21 වෙනි සංශෝධනයෙන් රට බලාපොරොත්තු වන කාරණා කිහිපයක් ඉටු කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩ දෙන්නේ නෑ කියලා. මොකක්ද අපි කරන්නේ." කියමින් හරීන් කරුණු 3 ක් අගමැතිවරයාට ඉදිරිපත් කළේය.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි වන වගන්තිය, අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට පැවරීමේ වගන්තිය හා ආයතන ප්‍රධානීන් පත් කිරීමේදි අගමැතිවරයාගේ නිර්දේශය මත පත් කිරීමේ වගන්තිය යන කරුණු 3 හරීන් ඉදිරිපත් කළ ඒවා විය.
"බය වෙන්න එපා මම කියපු විදියට වැඩ ටික කරනවා. නැතිනම් යනවා. අධිකරණ ඇමති විජයදාස මේක හදලා ඉවරයි. පක්ෂ නායකයන්ට 21 සංශෝධන කෙටුම්පත දෙන්න කියලා මම කිව්වා. තව සති දෙකක් තියෙනවානේ පාර්ලිමේන්තුව රැස් වෙන්න. පාර්ලිමේන්තුවට මේක ආවට පස්සේ අපි බලමු." අගමැතිවරයා හරීන්ට කීවේය.
•අගමැතිවරයා දිගටම ජාත්‍යන්තර මාධ්‍ය සමඟ
අගමැතිවරයා ඉකුත් සතියේ ද ඉතා කාර්යබහුල වූයේ රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට කැපවී සිටින නිසාවෙනි. අවිවේකි කාලයෙන් විනාඩි කිහිපයක් ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබාදීමට කාලය වෙන් කළේය. එහිදි ලෝක ප්‍රකට ආර්ථික නාළිකාවක් වූ "බ්ලුම්බර්ග්" මාධ්‍ය ආයතනයට ද සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබුණි. සම්මුඛ සාකච්ඡාව අවසානයේ එම නාළිකාවේ නියෝජිතයන් අගමැතිවරයාගේ මාධ්‍ය සම්බන්ධිකාරකයන් වූ දිනුක් කොළඹගේ හා ශානුක කරුණාරත්න හමුවේ කීවේ අගමැතිගේ සම්මුඛ සාකච්ඡා සවස් වරුවේ යොදා නොගන්නා ලෙසටය. දිවා රෑ නොබලා කරන දෛනික රාජකාරී නිසා ඔහු වෙහෙසට පත්ව ඇති බව සවස් වන විට ඉතා හොදින් දර්ශනය වන බව ජාත්‍යන්තර මාධ්‍ය සගයා අගමැති මාධ්‍ය සගයන්ට පෙන්වා දී තිබුනි.
කිසිදු විවේකයකින් තොරව අගමැතිවරයා දෛනිකව කටයුතු කරන බවට විදෙස් මාධ්‍ය සගයා සහතියක් දුන්නේ එසේය. සමුම්ඛ සාකච්ඡාවල දී අගමැති රනිල්ගේ ප්‍රධාන ඉලක්කය වූවේ ආර්ථික අගාධයක සිටින රට ඉන් මුදවා ගැනීමට ජාත්‍යන්තරයේ සහාය ගැනීමේ වටපිටාව සකස් කර ගැනීම ය.
ඉන්දියාවේ ප්‍රධාන නාළිකාවකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අගමැතිවරයා කීවේ චීනය, ජපානය හා ඇමරිකාව අපේ මිතුරන් වුවත් ඉන්දියාව යනු අපගේ ඥාතියකු බවයි. ජාත්‍යන්තර නාළිකා සියල්ලම අගමැතිගේ දැනුම ගැන ප්‍රශංසා කළේ සාකච්ඡාවන් අවසානයේ පැවැති පෞද්ගලික සංවාදයන් හීදීය.
අගහරුවාදා පෙරවරුවේ අගමැතිවරයා කෘෂි හා ආහාර කමිටුව හමුවූවේ ඉදිරියේ දි පැමිණීමට නියමිත ආහාර හිඟය ගැන සාකච්ඡා කිරීමටය. එහිදි වගා සංග්‍රාමයකට යාම ගැන කතා කළ අතර ගම් මට්ටමින් මෙය ඇරඹීමට අවශ්‍ය උපදෙස් අගමැතිවරයා විසින් නිලධාරීන්ට ලබා දුන්නේය. එහි පසුවිපරම් කටයුතු මහින්ද අමරවීර අමාත්‍යවරයාට හා චාමර සම්පත් මන්ත්‍රීවරයා වෙත පැවරූවේය. වජිර අබේවර්ධන හා පාලිත රංගේ බණ්ඩාරට ද ඊට සම්බන්ධ වන ලෙස අගමැතිවරයා උපදෙස් දුන්නේය.
•රුවන් විජයවර්ධනට හරියට වැඩ
අගහරුවාදා සවස අගමැති රනිල් හා මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය සමරතුංග සූම් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක නිරත වූවේය. "අපි දෙගොල්ලන්ට මීට මාස 18 කට කලින් මේ සාකච්ඡාව කරන්න තිබුණා නම් ලංකාවේ අද ආර්ථික අර්බුදයක් නෑ." අගමැති මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාව ආරම්භ කළේ එලෙස කියමිනි. මූල්‍ය අරමුදලේ නිලධාරීන් ද එය ඒකමතිකව අනුමත කළහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට රටේ ඖෂධ තත්ත්වය ගැන හා සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලීමට අගමැතිවරයා පවරා ඇති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්විනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය වන අලාකා සිං ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගී වී සිටියහ.
ඉන් පසුව අග්‍රාමාත්‍යවරයා හා රුවන් විජයවර්ධන දෙපළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට ද සහභාගී වූහ. මෙහිදි අගමැතිවරයා කියා සිටියේ ඖෂධ හිඟය පියවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඉකුත් සතියේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවූවේ රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදි ඉන්දීය ණය පහසුකම යටතේ ඖෂධ ලබා ගැනීම ගැන සාකච්ඡා වූ අතර එහිදි මහකොමසාරිස්වරයා කීවේ ඉකුමණින් එම ඖෂධ ලබා ගන්නා ලෙසය. ඉන්දීය ණය ක්‍රමයට අමතරව පරිත්‍යාග ලෙස ද ඖෂධ ලබා දීමට ඉන්දියාව සුදානම් බව ද මහකොමසාරිස්වරයා රුවන්ට දැනුම් දුන්නේය.
•හර්ෂ ආසයි බයයිද
ඖෂධ ගැටලුව ගැන අගමැතිවරයාට වාර්තා කිරීමට පත් කළ කමිටුවේ ප්‍රධානියා ලෙස රුවන් පත් කිරීමත් සමඟ වෛද්‍යවරුන්ගෙන් ඔහුට දුරකතන ඇමතුම් රැසක් ලැබුණේ පවතින ගැටලු ගැන දැනුම් දීමටය. එහි දිගුවක් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ද රුවන් හමුවේ පවතින ගැටලු හා විසදුම් පෙන්වා දී තිබුණි.
ඔවුන් පෙන්වා දී තිබුණේ අධාර හා පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ හා ශල්‍ය උපකරණ බාර ගැනීමටත් බෙදාහැරීමත් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යාන්ත්‍රණයක් සකස් කරන ලෙසටය. ඊට වෛද්‍යවරුන්ගේ උපරීම සහාය ලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී තිබුණි. අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට වැඩපිළිවෙලක් සකස් කරන බව රුවන් වෛද්‍යවරුන්ට පොරොන්දු වූයේය.
සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වර්තමාන ආණ්ඩුවේ මුදල් අමාත්‍යධූරය භාර ගැනීමට යම් ආසාවක් තිබුණ ද යම් බිය වීමක් හේතුවෙන් එය ඔහුට අහිමි වූ බවට ද දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් පවතී.
මුදල් ඇති ධුරය භාර ගන්න හර්ෂ තුළ යම් කැමැත්තක් තිබුණ ද ඒ සඳහා ආණ්ඩුවේත් විපක්ෂයේත් ඇතැම් පාර්ශ්වවල එකඟතාවක් නොමැති වීමෙන් හර්ෂට මුදල් ඇමතිධූරයේ දිවුරුම් දීමට නොහැකි වූ බවට ද යම් යම් වාර්තා පළ වේ.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජගිරිය ප්‍රදේයේ පිහිටි එක් මන්ත්‍රීවරුයකුගේ නිවසකට රැස්වූහ. මෙහිදී වැඩුපුර කාතබහ කෙරුණේ හර්ෂ ද සිල්වා පිළිබඳවයි.
•අඹ ගහට පොලු ගැසීම
වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පසුගිය දිනක සවස පැවත්වීමට නියමිතව තිබිය දී එදින උදයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විවාදාත්මක ප්‍රකාශයක් කළේය.
"කවුරු මොනාව කිව්වත් මම මේ වඅස්ථාවේ දී ආණ්ඩුවට සහාය දෙනවා." යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය ආණ්ඩුවට එක්වීමට සුදානමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ප්‍රබලයන්ට ප්‍රබල රුකුලක් විය.
ඒ අනුව විරුද්ධ පක්ෂයේ සිට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ ද ආණ්ඩුවට එක්වීමට සිටි මන්ත්‍රීවරුන්ට වෙඩිමුරය පත්තු කරමින් ආරම්භක සංඥාව දුන්නේ චාමර සම්පත් දසනායකයි. "මං තමයි අඹ ගහට පොලු ගැහුවේ.
හැබැයි අඹ අහුල ගත්තේ අපේ නිමල් ලොක්කයි, අමරවීර ලෙක්කයි යනුවෙන් චාමර සම්පත් දසනායක තම හිතවතුන් පිරිසකට ප්‍රකාශ කළේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර වැනි මන්ත්‍රීවරුන්ට ප්‍රබල ඇමතිකම් ලැබී ඇතැයි ප්‍රකාශ කරමිනි.