මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව ඉහළින් ම බැබළෙයි | Page 2 | සිළුමිණ

මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව ඉහළින් ම බැබළෙයි

වසන් විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දි ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන් දැක්වූ පෙරළිකාර දස්කම් වලින් පසු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්වන දස්කම් දෙස අවධානය යොමු කරන විට ඔස්ට්‍රේලියාවේ මෙවර පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළියක් සිදුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මහේල ජයවර්ධන පවසයි 

අවසන් වු 2021 විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ මූලික වටයෙහි දැක්වූ දස්කම් වලින් අනතුරුව දෙවැනි වටයේ දී බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති තරගවල දී ප්‍රබල අභියෝගයක් ඔවුන්ට ලබාදීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

එකී තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට හැකි වූ අතර කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ නැවත පැමිණීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් එල්ල කිරීමට හැකිවෙතැයි තමන් විශ්වාස කරන බව ද මහේල ජයවර්ධන කියයි.

මට හිතෙන විදියට ගිය අවුරුද්දේ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළා.ඒ වගේම ඔවුන් ඉතාමත් හොඳින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කළා. ඒ කාලයේ තහනමකට ලක්ව සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම සංචිතයට ඇතුළත් වෙයි.

මේ අය අතරින් බානුක රාජපක්ෂ ඉහළම සිටිනවා. පැතුම් නිශ්ශංක හොඳ ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කළා. ඒ වගේම චරිත් අසලංකත්. මම හිතන්නේ අපිට හොඳ ප්‍රහාරාත්මක පිතිකරණ ලැයිස්තුවක් තියෙනවා.

බොහෝ තරුණ ක්‍රීඩකයින් තමන්ගේ දෙවැනි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට සිටින වැදගත් ක්‍රීඩකයන් වෙන්නේ. අපි ඉක්මණින්ම වර්ධනය වෙනවා කියලා මම හිතනවා.

මෙවරත් ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වන පෙරළිකාර දස්කම් පිළිබඳ දැඩි අවධානයකින් පසුවෙයි. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින සහ විස්සයි20 කණ්ඩායම් වලට ඇතුළත් වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග දෙවැනි වරටත් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දක්වන අතර වාරයේ බානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර ද මෙවර කැපී පෙනෙන ආකාරයෙන් දස්කම් දක්වමින් සිටිති.

වනිඳු තමයි අපේ ප්‍රධාන තුරුම්පුව වෙන්නේ. ඔහු දැනට ලෝකයේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්.

ඒ වගේම දුෂ්මන්ත චමීරත් ලොකු දුරක් ඇවිත් තියෙනවා. මේ තමයි දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම දේ පන්දු යැවීමේ බලඇණිය.වනිඳු සහ චමීර කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු වෙද්දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වන මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සම්පතක්. ඔවුන් එම තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පන්දු යවන්නන් වෙයි.

සමස්තයක් විදියට ගත්ත ම තවත් ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳින් ක්‍රීඩා කරනවා. ඒ හැමදේම නිරීක්ෂණය කරද්දී අපට අත්දැකීම් සහිත කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට යවන්න පුළුවන් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරගාවලියක් සඳහා පසුගිය පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ අතර එහි දී එක් තරගයක් ජයගනිමින් තවත් තරගයක් සුපිරි පන්දුවාරයක් දක්වා ගෙන ඒමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකාව පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවේ දී විස්සයි20 තරග කිහිපයක් ක්‍රීඩා කළා. එහි දී ඔවුන් වගකීම් සහගත දස්කම් දක්වනවා දැකගන්න ලැබුණා. මම හිතන්නේ ඔවුන් තරග කිරීමට සම්පූර්ණයි.ඒ වගේ ම ඔවුන්ට විශේෂ දස්කම් තියෙනවා.

මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කරන්නේ

ඒක ඉතාම අමාරු එකක්. එක හා සමාන දස්කම් දක්වන කණ්ඩායම් හය හතක් සිටිනවා. ඒක අපි අන්තිම ලෝක කුසලානයේ දීත් දැක්කා.

ඔබට වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ මව්බිමේ දී ක්‍රීඩා කරද්දී ඔවුන් ගැන කියන්න අමාරුයි. ඔවුන් තමන්ගේ තණතීරු සහ ක්‍රීඩාංගණයන් පිළිබඳ හොඳින්ම දන්නවා. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව නවසීලන්තය, සහ පාකිස්තානය යන කණ්ඩායම් ඉහළ මට්ටමින් තරග කරයි. යැයි මහේල ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Comments