කොරේ පිටට මරේ | සිළුමිණ

කොරේ පිටට මරේ

‘ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වාගේ, නැතහොත් කොරේ පිටට මරේ කීවා සේ ආර්ථික අර්බුදයෙන් බලවත් සේ පීඩාවට පත්ව සිටින ජනතාවට දැන් සැලසුමක් හෝ ඉලක්කයක් නැති අවස්ථාවාදී හා අන්තවාදී දේශපාලන බලඅරගලයෙන් පමණක් නොව හර්තාල් වැඩවර්ජන රැල්ලකින් ද බැටකෑමට සිදුව තිබේ. පසුගිය 05 වැනි දින සවස් භාගය වන විට රජයේ කාර්යාල අසල පමණක් නොව පොදු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන සෑම ස්ථානයකදීම පාහේ ඊනියා වැඩවර්ජන නැතහොත් අලුතින්ම එක්ව ඇති හර්තාලයට එරෙහි දැඩි විවේචනයක් දක්නට ලැබුණේය.

‘උන්ට නම් වැඩට ආවත් නාවත් පඩි ලැබෙනවා. අපි තමයි මේ හැම දේකින්ම බැට කන්නේ‘ ස්වයං රැකියාවක් කරන කාන්තාවක් තමා ද ඇතුළු සමස්ත පොදු ජනතාව නියෝජනය කරන අදහස කැටිකොට කීවාය.

මේ අතර පසුගිය, එනම් සිකුරාදා පැවැත්වීමට නියමිත හර්තාලය නිසා කාර්යාල කටයුතු අඩාළ විය හැකි නිසා ඇතැම් දුර බැහැර රජයේ සේවකයන් එදින දහවල් කාලයේ සිට ගම්බිම් බලා යාමට බඩුපොදි බදිමින් සිටියහ. ඔවුන් තුළ දැකගත හැකි වුණේ ඉහත සදහන් කළ කාන්තාව කී ආකාරයේ ස්වභාවයකි.

‘වැඩ කළත් නැතත් අපිට පඩි ලැබෙනවා‘ ඒ මුහුණුවල පැහැදිලිව ලියා තිබුණා සේය.

රාජ්‍ය සේවක හෘදය සාක්ෂිය

මේ අනුව අපට පැහැදිලිව පෙනී ගියේ හර්තාලයට ඍජුව සහභාගීත්වය ලබා දෙන කිහිප දෙනා හැරුණ විට ඇතැම් දහස් සංඛ්‍යාත රාජ්‍ය සේවකයන් පිරිසකට හර්තාලය පමණක් නොව හර්තාලයට පෙර දිනය පවා තවත් එක් අසිරිමත් නිවාඩුවක් පමණක් වූ බවය. එහි අදහස වන්නේ ‘රාජකාරී කිසිවක් නොකර, බස් ගාස්තු ආදි කිසිවක් වැය නොකර තවත් පඩි දිනයක් ගෙවා දැමිය හැකි බව මිස අන් කවරක් නොවේ.

අබ ඇටයක පමණ හෝ හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ට මෙවැනි තත්ත්වයක් තව දුරටත් දරාගත හැකි ද ?

ගෙවුම් ශේෂය අර්බුදයෙන් ආරම්භ වූ, වඩාත් සරල ආකාරයෙන් පැවසුවහොත් අප විසින් සිදුකළ අපනයන ආදායම්වලට වඩා සිදුකළ ආනයන වියදම් හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා නිර්මාණය වූ ගෙවුම් ශේෂ හිඟය, නැතහොත් ආනයන සිදු කිරීමට අවශ්‍ය ඩොලර් නොමැති වීම වත්මන් ආණ්ඩුවට, විශේෂයෙන් ජනපතිවරයාට පවරා තම අත පිසදා ගැනීමට දේශපාලනඥයන්, වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් පමණක් නොව පොදු ජනතාව පවා සූදානම්ය. එකී මානසිකත්වය අනුව ඔවුන් කටයුතු කරන්නේ, රජය විවේචනය කරන්නේ ‘මං සුදනා‘ මානසිකත්වයෙනි.

‘අපි කිසිම දෙයක් නිකං ගත්තේ නැහැ, ණයට ගත්තේ නැහැ‘ මේ ඔවුන් පොදුවේ දෙන පිළිතුරය. එහි සරල අදහස වන්නේ ‘අපි කාටවත් ණය නෑ‘ යන්නය.

එහෙත් මේ ආකාරයෙන් කියා අතපිසදා ගත හැකි වන්නේ කීයෙන් කී දෙනාටද ? විශේෂයෙන් පොදු ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන බව කියන රජයේ සේවකයන් අතරින් කී දෙනාටද ?

13 ලක්ෂයට අධික බව කියන රාජ්‍ය සේවකයන්ට වැටුප් හා සියලු පහසුකම් (දුරකථන, විදුලිය, ජලය පමණක් නොව වැසිකිලිය පිරිසිදු කිරීම පවා) සපයන්නේ රජය විසින් ජනතාවගෙන් ඍජු හා වක්‍ර බදු අය කිරීමෙන් ලබා ගන්නා මුදලින්ය. ඒ අතර රජයේ සේවයේ යෙදී සිට විශ්‍රාම ගිය ලක්ෂ පහකට අධික පිරිසකට මාසිකව විශ්‍රාම වැටුප් ගෙවීමට ද අවශ්‍යය. මේ සියලු කටයුතු සදහා වාර්ෂිකව රජයට තම ආදායමෙන් අඩකට වඩා වැය කිරීමට සිදුවන අතර එයින් යළි ආර්ථික ප්‍රතිලාභ වශයෙන් ලැබෙන්නේ අවමයක් බව නිල වශයෙන් තහවුරු වී ඇත.

වත්මන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලේ ගාමක බලවේගයක් වන්නේ රජයේ ගුරුවරුන්, සරසවි ඇදුරන් හා සෞඛ්‍ය සේවකයන්ය. ඔවුන් දීර්ඝ කාලයක් පුරා තම සේවා අගය හෝ බලය අවියක් කොට ගනිමින් වැටුප් වැඩිකර ගැනීම ඇතුළු විවිධ වරදාන ලබාගත් රජයේ සේවකයන්ය. එහෙත් රජයේ පාසල්වල අධ්‍යාපන තත්ත්වය, එයින් බිහිවන දරුවන්ගේ තත්ත්වය ගැන මේ ගුරුවරුන්ට ලබාදිය හැකි සහතිකය කුමක් ද ? ‘අපි අපි ගන්න පඩියට ණය නෑ‘ යැයි පැවසිය හැක්කේ කීයෙන් කී දෙනාටද ? එසේ කිව හැකි නම් බාලාංශයේ සිට උසස් පෙළ දක්වා වන අති බහුතරක් පාසල් සිසුන්ට හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් කඩවල, ගුරුවරුන්ගේ - ගුරුවරියන්ගේ නිවාසවල අගුපිල්වල ලැගීමට සිදුවන්නේ නැත.

‘ටියුෂන්’ ගුරුවරුන්ට කෝටි 20,000ක්

මෑතකදී සිදුකළ ස්වාධීන සමීක්ෂණයක් අනුව ලංකාවේ උපකාරක පන්තිවල ආර්ථික වටිනාකම, නැතහොත් උපකාරක පන්ති සදහා ලක්ෂ 40කට අධික පාසල් සිසුන් විසින් දරන වාර්ෂික වියදම රුපියල් කෝටි 20,000කට අධිකය ! මෙය රජය වාර්ෂිකව අධ්‍යාපනයට දරන වියදම ඉක්මවා ගිය විශාල අගයකි. ඒ අතර මෙම උපකාරක පන්ති ගුරුවරුන් අතරින් ආදායම් බදු ගෙවන පිරිස කොපමණ ද ? කෝටි 20,000ක් උපයන, ඉතා පැහැදිලිව දැකගත හැකි දැවැන්ත ආර්ථික කටයුත්තකින්, ව්‍යාපාරයකින් රජයට අදායම් බදු ලෙස සොච්චමක් වත් නොලැබෙන බව නම් සහතිකය.

මේ අතර වෛද්‍යවරුන්ට, සරසවි ඇදුරන්ට ද තම හෘදය සක්ෂිය අනුව තම සේවය ගැන අබමල් රේණුවක තරම් හෝ සහතිකයක් ලබාදිය හැකිද ?

වාර්ෂිකව මිලියන ගණනින් වැටුප් හා නානාවිධ වරදාන ලබමින් රජයේ පඩිකන සරසවි ඇදුරන්ට හෘද සාක්ෂියක් ඇතිව වත්මන් ආර්ථික අර්බුදයට ‘එකම වග උත්තරකරු රජය‘ බවට චෝදනා කළ හැකිද ?

වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, පරිපාලන නිලධාරීන් ඇතුළු පිරිස ගැන අකුරක්වත් ලිවීමට අවශ්‍ය නැත්තේ ඔවුන්ගේ පැටිකිරිය ගැන හා හෘද සාක්ෂිය ගැන සමාජය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දන්නා නිසාය.

ලොකු ආදායම් ගන්න ආදායම් බදු නොගෙවන අය

‘‘ආණ්ඩුව අද මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට, දුෂ්කරතාවලට වගකීමක් හා වගවීමක් නැති රජයේ සේවකයන් ඍජුව වගකිව යුතුයි. මොකද රජයේ සේවකයන් තමන් වැටුප් ලබන්නේ ජනතාවගේ බදුවලින් කීවාට ඒක අර්ධ සත්‍යයක් පමණක්. ඇත්තටම ආණ්ඩුව පසුගිය දීර්ඝ කාලයක් පුරා අයවැය මගින් සිදුකළ වැය ශීර්ෂවලින් බහුතරයක් පියවා ගත්තේ විදේශ ණය ගැනීම්වලින්. ඒක බොහෝ දෙනෙක් නොදන්න හෝ වටහා ගෙන නැති තත්ත්වයක්. බදුවලින් ලැබුණ මුදලට වඩා විශාල මුදලක් ආණ්ඩුවට වැය කරන්න සිදු වුණා. ඒ නිසා රටේ සියලුම සංවර්ධන වැඩ සිදු වුණේ විදේශ ණයමත. සංවර්ධන කටයුතු වෙනුවෙන් ගත් ඒ විදේශ ණය සහ අයවැය හිගය පියවන්න ගත් විවිධාකාර ණය තමයි අද මේ ආකාරයට පැටව් ගහලා තියෙන්නේ‘ මේ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයකුගේ අදහසය.

‘රජයේ සේවකයෙක් වැටුප් ලෙස ගත්ත සෑම රුපියලකම වැඩි අගයක් තියෙන්නේ ජනතාවගේ බදුවලින් උපයා ගත් මුදල් නොව ආණ්ඩුව විදේශවලින් ගත් ණය බව මම වගකීමෙන් කියනවා‘ ඔහු යළි අවධාරණය කළේය. මේ කතාව වටහා ගැනීම අපට කිසිසේත් දුෂ්කර හෝ අභියෝගාත්මක නොවේ. එනිසා ආණ්ඩුව පළවා හැරීමට යැයි කියමින් වැඩවර්ජනවල, හර්තාල්වල යෙදෙන රජයේ සේවකයින් මොහොතකට හෝ තම හෘද සාක්ෂිය විවර කළ යුතුය. ‘මෙම අර්බුදයට මම පෞද්ගලිකව වගකිව යුතුයි නේද ? කියා තමාගෙන්ම විමසිය යුතුය.

මේ අතර වත්මන් උද්ඝෝෂකයන් අතර වීරයින් වී සිටින ප්‍රමුඛ කණ්ඩායමක් වන නීතිඥයින් හා වෛද්‍ය වෘත්තිකයන් වත්මන් අර්බුදයට දක්වන ලද ඍජු දායකත්වය ගැන ද සටහන් කළම යුතුය. මන්ද ‘පවුකාරයින්ට ගල් ගැසීමට‘ පාරට පැමිණ සිටින පිරිස අතර ඔවුන් ද කැපී පෙනෙන භූමිකාවක් නිරෑපණය කරන නිසාය. ඒ සමග වත්මන් ආර්ථික අර්බුදයේ මුල් අතර ‘බදු කපා හැරීම ගැන‘ ද ප්‍රමුඛ චෝදනාවක් ඇති නිසාය.

දස දහස් ගණනින් හා ඇතැම් විට දස ලක්ෂ ගණනින් දෛනිකව ආදායම් ලබන වෛද්‍යවරුන්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයන් නිසි පරිදි හෝ ප්‍රමාණවත් තරම් ආදායම් බදු නොගෙවන බව පොදු චෝදනාවකි. ඔවුන් තමන් උපයන ආදායමින් සාධාරණ ලෙස රජයට ආදායම් බදු ගෙව්වා නම් ලංකාවේ ආර්ථිකය හා රාජ්‍ය ආදායම අද මෙවැනි අන්ත අසරණ තත්ත්වයකට පත් නොවන බව අප කාටත් පැහැදිලිය.

අන්තරේ වැඩ ගැන සැලකිලිමත් වෙමු

නාගරික මධ්‍යම පාන්තික තරුණ තරුණියන් ආණ්ඩුව පළවා හැරීමේ මුවාවෙන් ගාලු මුවදොර පිටියේ ආරම්භ ඕපපාතික ‘කානිවල් වසන්තය‘ එකතැන පල් වෙමින් අරාජිකත්වය කරා ගමන් කරන අතරතුර ආණ්ඩු විරෝධයේ ධජය අතට ගැනීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙර පැමිණ ඇති ආකාරයක් මේ වන විට දැකගත හැකිය.

අන්තරේ ක්‍රියාකාරීත්වය හා වත්මන් උද්ඝෝෂණ රැල්ලට මුවා වී ඔවුන් පෙරට පැමිණීම කිසිසේත් සුභවාදී හෝ ධනාත්මක තත්ත්වක් නොවන්නේ 1971 සන්නද්ධ අරගලයට, 1988-89 භීෂණ යුගයට මෙම පක්ෂ හා ඔවුන්ගේ පිටු බලය ලද කල්ලි හා කණ්ඩායම් ඍජු දායකත්වයක් ලබා දුන් නිසාය.

ඊට පසුව ද අද දක්වා සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය එකම අවුල් ජාලයක් බවට පත් කර සරසවි සිසුන් දේශපාලන ඉත්තන්, මිනිස් පළිහ ලෙස යොදා ගෙන තම අන්තවාදී දේශපාලන අරමුණ ඉටුකර ගැනීමට මෙම පක්ෂ සහ ව්‍යාපාර පියවර ගත් නිසාය.

‘මේක ඇත්තටම අපි අපේක්ෂා නෙකළ දෙයක්. ගාලු මුවදොර උද්ඝෝෂණය බෙලහීන වෙන කොට, ඒකට ඇති සමාජ - දේශපාලන අවධානය දුර්වල වෙන කොට අන්තරේ තමන්ගේ පුරුදු දේශපාලන න්‍යාය පත්‍රය කරට අරන් තියෙනවා. සරසවි වල සිට වෘත්තීය දේශපාලනය කරන, පක්ෂ කාඩාර්වරු තමයි දැන් අරගලයේ ගමන්මග තීරණය කරන්න හදන්නේ. මේක ජවිපෙට, සමග ජනබල වේගයට පමණක් නොවෙයි ආණ්ඩුවට අභියෝග කරන සියලු පක්ෂ හා කණ්ඩායම්වලට අභියෝගයක් වගේම තර්ජනයක්. මේ අන්තවාදය යම් බිහිසුණු ක්‍රියාවකට පෙළඹීමක් ඇති කළොත් එහි ප්‍රතිඵලය අතිෂය බියකරු විය හැකියි. ඔවුන්ට එවැනි දෙයක් ගැන දෙවරක් කල්පනා කිරීමට අවශ්‍ය නැහැ.

ඒක මේ සංවිධානවල න්‍යාය පත්‍රය තුළම තිබෙනවා. ඒ නිසා අපි සරසවි සිසු සිසුවියන්ගේ දෙමවුපියන්ට වගේම දේශපාලන නායකත්වයෙන් ද මේ ගැන සංවේදී වෙන ලෙස ඉල්ලා සිටිනවා‘ අරගලයේ කොඩිය අන්තරේ කොඩිය අතට ගැනීම ගැන තිගැස්මට පත්ව සිටින වත්මන් අරගලයේ හිටපු න්‍යායාචාර්යවරයෙක් තම භීතිය ද පළ කරමින් චානක්‍ය සමඟ කීවේය.

‘අන්තරේ ආ නිසා අරගලයට නව පණක් ලැබුණා!‘ යැයි වහසිබස් දොඩන, අලුත් ආණ්ඩුවක් ගැන දවස් සිහින දකින සියලු දෙනා මේ අනතුරු ඇගයීම ගැන සංවේදී විය යුතු බව චානක්‍යගේද අදහසය.

සිරිමාවෝ දුන් ආදර්ශය

‘පවුකාරයන්ට ගල් ගැසීම‘ ගැන අප කවුරුත් දන්නා කියන කතාවකි. බොහෝ අවස්ථාවල පහසුවෙන් උපුටා දැක්වීමට ද සූදානම් කතාවකි. වත්මන් දේශපාලන අර්බුදය ගැන සියුම්ව නිරීක්ෂණය කරන විට අපට දැකගත හැකි වන්නේ තමන් මේ අර්බුදයට කිසිම ආකාරයකින් දායක නොවූ බව සිතන, තමන් පවුකාරයන් නොවන බව තරයේ විශ්වාස කරන සියලු දෙනාම ගල් නොව කඳු පිටින් අතින් කරින් ගෙන ආණ්ඩුවට දමා ගසමින් සිටින බවය.

මෙය උදාහරණයක් වශයෙන් මෙසේ පැහැදිලි කළ හැකිය. වත්මන් භාණ්ඩ හිඟය ගැන චෝදනා මුඛයෙන් කතා කරන බොහෝ දෙනා කියන්නේ 1970 -77 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය තවත් දශකයක් හෝ ඉදිරියට ගියා නම් අද රටට මෙවැනි වින්නැහියක් උදා නොවන බවය.

කතාව තර්කානුකූලව නොව ඓතිහාසිකව ද නිවැරදිය. 70 – 80 දශකවල අර්ථික වශයෙන් කැපකිරීම්වල මහජන චීනය, ඉන්දියාව, වියට්නාමය, සිංගප්පූරුව පමණක් නොව තායිලන්තය, දකුණු කොරියාව වැනි රටවල් අද ඒ කැපකිරීම්වල ප්‍රතිලාභවලට හිමිකම් කියන්නේය.

එහෙත් 1970 දී ප්‍රගතිශීලී සමගි පෙරමුණු රජයට එරෙහිව අතාර්කික හා අදේශපාලනික සන්නද්ධ අරගලයක් කර ආරම්භයේදීම ආණ්ඩුවේ ගමන්මග කඩාකප්පල් කර වනසා දැම්මේ ජනතා විමුක්ති පෙරමුණය. 1977 දී එජාපයට හයෙන් පහක දැවැන්ත ජනවරමක් හිමිවීමට 71 කැරැල්ල මර්දනය කළ ආකාරය ද ප්‍රධාන හේතුවක් විය.

ජේ.ආර්. ගේ ආර්ථිකය

එදා ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා රට ගිය ගමන ආරම්භයේම කඩාකප්පල් කර ජේ. ආර්. ජනපති 1977 දී විවෘත ආර්ථිකයට රට විවර කළ වත්මන් අර්බුදයේ බීජය නිර්මාණය කළ එජාපයට බලය අත්පත් කර ගැනීමට පාර කපා දුන් පක්ෂයක් අද ආර්ථික ස්වාධීනත්වයක් ගැන පුරසාරම් දොඩන්නේ කෙසේද? ඔවුන්ගේ ඉදිරි පැවැත්ම ගැන ජනතාව විශ්වාස කරන්නේ කෙසේද?

එසේම වත්මන් විපක්ෂ කණ්ඩායම් ගැන ද කිව යුත්තේ ඕපපාතික ජනතා විරෝධතා හමුවේ ආණ්ඩුව හකුලා ගෙන යන ලෙස බල කිරීමට ඔවුන්ට ඇති සුජාත අයිතිය කුමක්ද යන්නය. 1980 දී සමස්ත රාජ්‍ය සේවයම අඩපණ කරමින් සිදු වූ ඓතිහාසික ‘ජූලි වර්ජනය‘ හමුවේ එවකට පැවැති එජාප ආණ්ඩුව හෝ එහි නායකත්වය ඉල්ලා අස්වූයේ නැත. ඒ වෙනුවට ක්‍රියාත්මක වූයේ තිරස්චීන මර්දනයක් පමණකි. වර්ජනයට සහභාගී වූවන් රැකියාවලින් ඉවත් කරමින් එදා ආණ්ඩුව ක්‍රියාවට නැංවූ මර්දනයේ ඍජු ගොදුරු, වින්දිතයෝ අද ද දහසකුත් එකක් දුක් විඳිති.

රටම අඩපණ කළ 1980 ජූලි වර්ජනය හමුවේ එජාප ආණ්ඩුව ගෙදර ගියේ නැත. ජනාධිපතිවරයා ගෙදර ගියේත් නැත !

1987 ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින් මුළු රටම පාරට බැස්සේය. වර්ජන ක්‍රියාත්මක කළේය. මුළු රටම එක හඩින් ආණ්ඩුවට ගෙදර යන ලෙස, ගිවිසුම අත්සන් නොකරන ලෙස බල කළේය.

එදා ද ආණ්ඩුව ගෙදර ගියේ හෝ ජනපති ඉල්ලා අස් වුණේ නැත !

රණසිංහ ප්‍රේමදාස 89 කළ දේ

1988-89 ජවිපෙ සන්නද්ධ අරගලය මර්දනය කළ කුරිරු ආකාරය හමුවේ හා ආණ්ඩුව ගෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය හමුවේ ආණ්ඩුවට හා ජනපතිවරයාට ඉල්ලා අස්වන ලෙස මුළු ජනතාවම එක හඩින් ඉල්ලා සිටියේය.

එදා රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා ජනමතයට හිස නමා ගෙදර ගියේ නැත ! 

2001 දෙසැම්බර් 05 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එජාප ආණ්ඩුව ගෙන ගිය අදූරදර්ශී පාලන හමුවේ, 2002 පෙබරවාරී 22 අත්සන් කළ සටන් විරාම ගිවිසුමට විරෝධය පළ කරමින් මුළු රටම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කළේය.

එහෙත් 2004 දී එවකට ජනපතිනිය ආණ්ඩුව විසුරුවා හරින තෙක් එජාප ආණ්ඩුව ඉල්ලා අස් වුණේ නැත!

2015 ජනවාරී 09 වැනිදා බලයට පත් යහපාලන ආණ්ඩුව ගෙන ගිය අදූරදර්ශී පාලනයට විරෝධය පළ කරමින් 2017 දී පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජනතාව එජාපය කුජීත කරමින් නිසි තීන්දුවක් දුන්නේය. එහෙත් නියමිත කාලය අවසන් වන තෙක් ජනමතයට හිස නමා ගෙදර ගියේ නැත !

ඉතින් වත්මන් ආණ්ඩුවට හෝ ජනපතිවරයාට ගෙදර යන ලෙස බල කිරීමට හෝ මේ අර්බුදයට තමන් වගකිව යුතු නැති බව කීමට විපක්ෂයට අයිතියක් හෝ හයියක් තිබේ ද ?

අති සුඛෝපභෝගී ආනයනික භාණ්ඩ හිතු සේ පරිභෝජනය කරමින්, කෝටි ගණනින් උපයා ගත් ධනයට අදායම් බදු නොගෙවූ වෘත්තිකයන්ට හා තම වැටුපට සරලන සේවයක් නොකරන රජයේ සේවකයන්ට එවැනි අයිතියක් තිබේද ? මේවා හෘද සාක්ෂිය සමග කළ යුතු ගනුදෙනුය !

Comments