පිරිමි ආසියානු කුසලාන හොකී සුදුසුකම් ලැබීමේ තරගාවලිය මැයි 6 වැනිදා තායිලන්තයේ බැංකොක්හිදී ආරම්භ වු අතර සුදුසුකම් ලැබීමේ තරගාවලිය මැයි 15 දින අවසන් වේ. ආසියාව පුරා කණ්ඩායම් 9ක් තරගාවලියට සහභාගී වන අතර ඉන් කණ්ඩායම් 6ක් 2022 ආසියානු තරගාවලිය සඳහා සුදුසුකම් ලබයි. සහභාගී වන කණ්ඩායම් නවය වන්නේ ඕමානය, බංග්ලාදේශය, තායිලන්තය, ශ්‍රී ලංකාව, හොංකොං, ඉන්දුනීසියාව. උස්බෙකිස්තානය, සිංගප්පූරුව සහ කසකස්තානයයි.
ඕමානය,තායිලන්තය,හොංකොං, උස්බෙකිස්තානය, කසකස්තානය ඒ කාණ්ඩයෙන් තරග කරන අතර,බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව බී කාණ්ඩයෙන් තරග කරයි.
ආසියානු කුසලාන හොකී තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීම සඳහා වන තරගාවලියේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගනියි.
මෙකී තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව 1974ට පසු 2014දී සුදුසුකම් ලබා ගත්තේ වසර 38කට පසුව ය.බංග්ලාදේශයේ පැවැති එකී තරගාවලියේ සිංගප්පුරුව අතින් ශ්‍රී ලංකාව ගෝල 3/2කින් පරාජය වී තෙවැනි ස්ථානය දිනා ගෙන තිබේ.2018දී ඕමානයේ පැවැති තරගාවලියේ දී බංග්ලාදේශයේ අතින් ගෝල 2/1ක් ලෙස පරාජය වි අත්කර ගෙන ඇත්තේ ද තෙවැනි ස්ථානයයි.
වෙනත් රටවල ක්‍රීඩකයන් මාසයකට ලක්ෂ 7-8 වැටුප් ලබා ගනිද්දී, ශ්‍රී ලංකා කණ්ඩායමට අතින් වියදම් කර ගෙන යන තරමට ම ලාංකේය හොකී ක්‍රිඩා දියුණුය.විදේශීය කණ්ඩායම් තරගාවලියකට පෙර සාමාන්‍යයෙන් තරග 10-15ක් ක්‍රිීඩා කරද්දී පසුගිය කාල වකවානුවල පවා පුහුණු තරගාවලියකටවත් කණ්ඩායමක් මෙරටට පැමිණ නැත.2017 මැලේසියාවේ පැවැති ආසියානු තරගාවලියට කණ්ඩායම් 12ක් පැමිණ ඇති අතර එහිදී ශ්‍රී ලංකාව 8වැනි ස්ථානය දිනා ගෙන තිබේ.එකී තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගාවලියකට ක්‍රීඩා කර තිබේ.
ලාංකේය ක්‍රීඩාවේ අවාසනාවක මහත වන්නේ ආසියාවෙන් පවා ඉදිරියට යා හැකි හොකී ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව ආසියානු තරගාවලියෙන් පවා මෙරට සහභාගිත්වය ඉවත් කර තිබීම ය.නමුත් ආසියානු මට්ටමින් සටනක්වත් දිය නොහැකි ක්‍රීඩාවලට පවා ආසියානු තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබා දී තිබේ. මෙකී තරගාවලියට එක් වු ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු හොකී සම්මේලනය ගුවන් ප්‍රවේශ පත් 15ක් ලබා දී ඇති අතර,තරගාවලියට එක්වන ක්රීඩකයකුට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 4-5ක් පමණ වියදම් වුවද, එකී වියදම් පවා ක්‍රීඩකයන්ට දරා ගැනිමට සිදුවීම ලාංකේය ක්‍රීඩාවේ අවාසනාව මොනවට පැහැදිළි කරයි.
ශ්‍රී ලංකාව මෙකී තරගාවලියේ එක් වු පළමු තරගය ඊයේ (7වැනිදා) සිංගප්පුරුවට එරෙහිව තරග කළ අතර දෙවැනි තරගය 10වැනිදා බංග්ලාදේශයට එරෙහිව සහ තෙවැනි තරගය 12වැනිදා ඉන්දුනීසියාව සමඟ තරග කරයි.
තරංග ඉරෝෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස තරිඳු කුමාර කටයුතු කරයි. ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත මේ කණ්ඩායමට ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් එක්ව ඇති සංඛ්‍යාව 16කි. ශ්‍රී ලංකා පොලිසීය හා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනකු එක්ව සිටිති.
මෙකී ජාතික කණ්ඩායමට අංකුර ක්‍රීඩකයන් ලෙස බෝධික ඩයස්, සමීර වීරසූරිය, චතුරංග චන්ද්‍රසේන, ලක්ෂාන් සඳරුවන් සහ භාතිය ද අල්විස් එක්ව තිබේ.
ශ්‍රී ලංකා හොකී සංචිතය - තරංග ඉරෝෂ් ගුණවර්ධන (නායක), තරිඳු කුමාර (උප නායක), කුසල් හේෂාන් තිලකසිරි, සඳරුවන් ප්රියලංකා, ඩේමියන් නලන්ත ද සිල්වා, ධම්මික ප්‍රභාත් රණසිංහ, රජිත ඩිලාන් කුලතුංග, අනුරාධ සුරේෂ්, ශමින්ද කොස්තා, ශෙරාන් නිමංක ප්‍රනාන්දු, චමල්ක රුක්ෂාන් ප්‍රනාන්දු, ප්‍රමෝද උදයශාන් ප්‍රනාන්දු, විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු, භාතිය ද අල්විස්, ලක්ෂාන් සඳරුවන්, බෝධික ඩයස්, සමීර වීරසූරිය සහ චතුරංග චන්ද්‍රසේන, ගෙන් සමන්විත ය.
අපේ කැප කිරීම් සුළුපටු නෑ
- ඉරෝෂ් ගුණවර්ධන
අපි කොරියානු පුහුණුකරුවෙකු යටතේ හුඟක් මහන්සියෙන් පුහුණුවීම් කරනවා.ටොරින්ටං ග්‍රවුන්ඩ් එක හොඳටෝම අබලන් වෙලා තියෙන්නේ.කොටින් ම කල් ඉකුත් වෙලා.
අපි පුහුණුවීම් කරන්නේ කොළ පාට ග්‍රවුන්ඩ් එකක. ඒ වුණාට හුඟක් රටවල තරගාවලි තියෙන්නේ නිල් ග්‍රවුන්ඩ්වල.ඒ වගේ ම තරග තියෙන්නේ රෑට, අපිට විදුලි ආලෝකයෙන් තරග කරන්න අත්දැකිම් නෑ.අපිට විදුලි ආලෝකය යටතේ තරග කරලා හුරු නෑ. මෙහේ තියෙන විදුලිය තරග කරන්න තරම් සුදුසු මට්ටමකත් නෑ. අඩු ආලෝකයක් තියෙන්නේ.
අපි අප්‍රේල් 12වැනිදා සංචිතගත කරලා තමයි මේ තරගාවලියට යන්නේ. අපි තරගාවලියක් ඉවර වෙලා ගෙදර එනකොට වෙන රටවල් එක්කෝ තවත් තරගාවලියකට යනවා . නැත්නම් ඔවුන් වෙනත් රටවල් සමඟ පුහුණු තරගවලට යනවා.
අපි මේ තරගාවලියේ 2014 සහ 2018 අවුරුදුවල තුන්වැනි ස්ථාන දිනා ගෙන තියෙනවා.දැන් අපිට ඕනෑ මෙතැනින් තව ඉදිරියට එන්න.
අපි අන්තිමේට ගිය ආසියානු කුසලාන සම්මේලන තරගාවලියේ ඕමානයට පැරදිලා ලෝකඩ පදක්කම දිනා ගත්තා.ඒ තරගාවලියට යනකොට ආසියානු ශ්‍රේණීගත කිරීම්වල 38ට හිටපු අපි තරගාවලිය අවසානයේ 34 වැනි ස්ථානයට ආවා.