විප්ලවීය වෙනසකට නොගියොත් හෙටක් නැහැ | සිළුමිණ

විප්ලවීය වෙනසකට නොගියොත් හෙටක් නැහැ

 

ලාංකේය මලල ක්‍රීඩාව සිය ශත සංවත්සරය මෙකී වසරේ සමරන්නේ ඉමහත් අභිමානයෙනි. බණ්ඩාරවෙල ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ද්විතීයීක අධ්‍යාපනය හදාරා සිය මුල් පත්වීම 1988 දී ලබා ගෙන 1990 වර්ෂයේ වලල ඒ. රත්නායක විද්‍යාලයයට පැමිණ ක්‍රීඩාවට අත්පොත් තබපු මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් තමයි සුසන්ත කියන්නේ. පාසල් වියේදි ක්‍රිකට් ක්‍රීඩාව ට දස්කම් පෑවත් වලල ඒ. රත්නායක විද්‍යාලයේ දී සුසන්ත තෝරා ගනු ලබන්නේ මලල ක්‍රීඩාව යි.

1990 දී වලල ඒ. රත්නායක විද්‍යාලයෙන් ඇරැඹී දුෂ්කර ගමන් ම‍ග විවිධ හැල හැප්පීම් බාධක මැද ජයග්‍රා‍හි දසක තුනකට අධික කාලයක් සැපිරූ සුසන්ත ලාංකේය පාසලකට කිසිදා ළඟාවිය නොහැකි වාර්තා රැසක් අත්පත් කරගත් පුහුණුකරුවෙක්.

සුසන්ත වලල ඒ. රත්නායක විද්‍යාලයේ, මලල ක්‍රීඩා නෞකාවේ රුවල වුව ද ලාංකේය මලල ක්‍රීඩාවේ බලධාරින් තවමත් ඔහුගෙන් හරි හමන් වැඩක් නොගෙන තිබීම කනගාටුවට කරුණක්.

අටුවා ටීකා තවත් ඇවැසි නැත. මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස ලාංකේය මලල ක්‍රීඩා පිටියේ දශක තුනකට අධික ඉතිහාසයකට උරුමකම් කියන වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ සුසන්ත ප්‍රනාන්දු හා කතාබහකට මේ ඉඩකඩ වෙන් කළෙමු.


ළමුන්ගේ කුඩා කාලයේ මලල ක්‍රීඩාව ගැන මොන වාගේ අදහසක්ද තිබෙන්නේ ?


පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වයස අවුරුදු 12 දක්වා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ආයතනයෙන් ඉදිරිපත්කර ඇති ළමා ක්‍රීඩා (kids Athletics) වැඩ සටහනට අදාළව ඇතුළත් කර ඇති ක්‍රියාකාරකම්වල යෙදවීම තමයි ඉතාමත්ම සුදුසුම දේ. මෙම ක්‍රියාකාරකම්වල නිවැරැදිව යොදවන්නේ නම් දරුවන්ගේ සුවිශේෂී කුසලතාවයන් පිළිබද පූර්ව ලක්ෂණ දැක ගැනීමට හැකි වෙනවා.මේ වන විටත් ළමා ක්‍රීඩා වැඩ සටහන දිවයිනේ පාසල්වල ක්‍රියාත්මකයි. හැබැයි මේ දේ තවදුරටත් විධිමත් කළ යුතුයි. අවුරුදු 12න් පහළ වයස් සීමාව සඳහා මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීම සුදුසු නෑ කියන එක තමයි මගේ අදහස. ඉන්දියාව ඇතුළත්ව ලෝකයේ බොහෝ රටවල් අවුරුදු 12න් පහළ වයස් සීමාව සඳහා මලල ක්‍රීඩා ඉසව් ඇතුළත් කිරීමට කටයුතු කරලා නැහැ.

එහෙනම් සුදුසු ම වයස ?

අවුරුදු 14න් පහළ වයස් සීමාව ඉතාමත් තීරණාත්මක වයස් සීමාවක් වෙනවා. සෑම රටක්ම මෙම වයස් සීමාව සඳහා මලල ක්‍රීඩා ඉසව් ඇතුළත් කිරීමේ දී නිවැරදි ම තීන්දු තීරණ ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් ලෙසයි මා දකින්නේ.

වයස අවුරුදු 12න් පසු වූ විට දරුවකුගේ ශරීරය තුළ වේගය සහ දැරීමේ හැකියාව යන යෝග්‍යතා වර්ධනයට අදාළව දොරගුලු විවෘත වීමක් සිදු වෙනවා.එනිසා වේගය සහ දැරීමේ හැකියාව යන යෝග්‍යතා වර්ධනයට අදාළව වයස් සීමාවට උචිත පරිදි යම් යම් ක්‍රියාකාරකම් කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ නිසා සෑම රටකම පාහේ අවුරුදු 14න් පහළ වයස් සීමාව සඳහා ජවන ඉසව් වල කෙටි දුර සහ මැදි දුර /දුර දිවීම ඉසව්වල සහජ දක්ෂතා හඳුනා ගැනීම සදහා ජවන ඉසව් දෙකක් විතර ඇතුළත් කරනවා.

තව ටිකක් විස්තර කළොත්?

සමහර රටවල් මීටර් 60 සහ මීටර් 800 ඇතුළත් කරනවා. සමහර රටවල් මීටර් 60 මීටර් 600 ඇතුළත් කරනවා. සමහර රටවල් කෙටිදුර සහ මැදි දුර ඉසව් කිහිපයක් ඇතුළත් කරනවා. අවුරුදු 13, අවුරුදු 14 ඉඳලා සීමාවේ පසුවන යුරෝපා රටවල දරුවන්ට සාපේක්ෂව දකුණු ආසියානු රටවල්වල දරුවන්ගේ ශරීර වර්ධනය පැහැදිලි ලෙස අඩුවීමක් තියෙනවා. එනිසා දකුණු ආසියානු රටවල්වල මෙම වයස් සීමාවේ පසුවන දරුවන් සඳහා අදාළ ඉසව් දෙකක් පමණක් ඇතුළත් කිරීම සුදුසුයි කියලයි මාගේ විශ්වාසය.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක් වූ මා යටතේ පුහුණුව ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේම පුහුණු කටයුතු මා ආරම්භ කරනු ලැබුවේ අවුරුදු 13,අවුරුදු 14 සිටය‍. ඔවුන්ගේ සහජ දක්ෂතා හදුනා ගැනීම සඳහා මා උපයෝගී කරගනු ලැබුවේ මීටර් 60 සහ මීටර් 800 ඉසව් දෙක. මේ නිසා කෙටි දුර,මැදි දුර සහ දුර දිවීම ඉසව් වලට සහජ හැකියාවක් දක්වන දරුවන් මූලික වශයෙන් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. අවුරුදු 14න් පහළ වයස් සීමාවට අදාළ සියලුම ඉසව් තරගකාරී මට්ටමෙන් තොරව පරිසාධන මට්ටම අනුව පැවැත්වීම ඉතා සුදුසු බව මගේ විශ්වාසයයි. පසුගිය කාලසීමාව තුල අප රටේ ජාතික මලල ක්‍රීඩා සංචිතයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ අධ්‍යනයක යෙදී හෙළි වූ කරුණක් වූණේ එම සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම පාහේ අවුරුදු 14න් පහළ වයස් සීමාවේ දී සමස්ත ලංකා පාසල් මට්ටමේ ජයග්‍රහණ ලබා නොමැති බවයි.ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ ලබා ගැනීම ආරම්භ කර ඇත්තේ අවුරුදු 16න් පහළ වයස් සීමාවේ සිටයි. අවුරුදු 14න් පහළ වයස් සීමාව සඳහා දුර,උස සහ යගුලිය දැමීම ඉසව් ඇතුලත් කිරීම සුදුසු වුවත් විසිකිරීම් ඉසව් ඇතුළත් කිරීම සුදුසු නොවන බව ජාත්‍යන්තරව කළ පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මේ නිසා බොහෝ රටවල් විසි කිරීම් ඉසව් වෙනුවට ඇතුළත් කරලා තියෙන්නේ පන්දුව විසි කිරීම වැනි ඉසව්.

අධ්‍යාපන අමාත්‍යාංශය අවුරුදු 14න් පහළ වයස් සීමාවට ජවන ඉසව් සඳහා ඇතුළත් කර ඇත්තේ මීටර් 80 සහ මීටර් 100 ඉසව් දෙකයි.

රටක සංවර්ධනයට ක්‍රීඩාවත් ප්‍රධාන නිර්ණායකයක් වන පසුබිමක අපි කොතන ද පය ගහලා ඉන්නේ?

රටක සංවර්ධනයට ක්‍රීඩාව ප්‍රධාන නිර්නායකයක්.නිරෝගී ක්‍රියාශීලී නිර්මාණශීලී අභියෝග වලට මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් හෙබි සිසු පරපුරක් සමාජයට දායාද කරදීම පාසලක ප්‍රධාන කාර්යයභාරයක්. මේ සඳහා ක්‍රීඩාවෙන් ඉටුවන මෙහෙය විධිමත් ලෙස ක්‍රීඩා පුහුණුවෙන් නිරත වන දරුවන් තරගවලින් ජයග්‍රහණය කලත් නොකලත් ඔවුන් නිරෝගී ක්‍රියාශීලී අභියෝග වලට සාර්ථකව මුහුණ දියහැකි දරුවන් වනු නියතයි.එහෙම වුණත් වර්තමානය වන විට අප රටේ පාසල් වයසේ පසුවන දරුවන් බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබීම ඛේදජනක සිදුවීමක් ලෙසයි මා දකින්නේ. බෝ නොවන රෝගවලට ගොදුරුවන පාසල් දරුවන් සමාජගත වූවාට පසු රටේ සංවර්ධනය උදෙසා කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.මෙය රටක මතු දියුණුවට ප්‍රබල ලෙසම බලපාන කරුණක් ලෙස සඳහන් කළ යුතුයි. මෙම කාරණා හේතුකොට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සෑම දරුවෙකුම කුමන හෝ ක්‍රීඩාවක නිරත කරවීම උදෙසා මූලික කටයුතු ආරම්භ කරලා තියෙනවා. මෙම කටයුත්ත ඉතා කඩිනමින් හා විධිමත්ව කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි.

පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවුරුදු 20න් පහළ වයස් සීමාව වන විට දක්ෂතාවල අඩුවීමක් සිදුවන බව චෝදනා එල්ල වෙනවා. මෙය පාසල් පුහුණුකරුවන්ගේ වරදින් සිදුවන දෙයක් ද?

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරග සහ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරග වල අවු. 20න් පහල වයස් සීමාවේ දක්ෂතා අධ්‍යයනය කර බැලූවිට සමස්තයක් ලෙස දක්ෂතාවල අඩුවීමක් ඇති වී ඇති බව පෙනෙන්නට තිබෙන සත්‍ය කරුණක්. මේ සඳහා බලපා ඇති හේතු සාධක වී ඇත්තේ එම වයස් සීමාවේ පසුවන දරුවන් අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාසයකටත් වඩා අඩු කාලයක් තුල අඩු පුහුණු කාලයක් තුල ඔවුන්ට සුපුරුදු දක්ෂතා වලට එන්න අමාරුයි. ඒ.් සුවිශේෂී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුළු පිරිසක් විභාග කාල සීමාව තුලද තම පුහුණුවීම් කටයුතු විධිමත්ව පවත්වාගෙන යැම හේතුකොට ගෙන ඉහළ දක්ෂතාවල රැදී සිටිනවා.

වර්තමානය වන විට පාසල් පුහුණුකරුවන් බොහෝ පිරිසක් දැනුමෙන් ඉතාම ශක්තිමත්ව සිටීම සදහන් කිරීම වටිනවා. වර්තමානය වන විට ජාතික සංචිතයේ සිටින පුහුණුකරුවන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ පුහුණුකරුවන් බව සඳහන් කළ යුතුයි.

වර්තමානය වන විට ලංකාවේ කනිෂ්ඨ මලල ක්‍රීඩා මට්ටම ඉහල තලයක තිබෙන බව සදහන් කල යුතුය. අවසන් වරට ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ දී ශ්‍රී ලංකාව 05වන ස්ථානයට පත්වීම මෙම තත්වය සනාථ කිරීම සඳහා ඇති හොදම නිදසුනක්.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් තිබෙනවාද?

පසුගිය කාල වකවානුව අධ්‍යයනය කිරීමේ දී ක්‍රිකට් ක්‍රීඩාව හැරුණුකොට ගෙන අනෙකුත් ක්‍රීඩා තුලින් බිහිවන සුවිශේෂී දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීමට විධිමත් වැඩ පිළිවෙලක් අප රටේ ක්‍රියාත්මක වුණේ නැහැ. එය හේතු කොට ගෙන ආසියානු මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට තිබුණු හැකියාව මගහැරැණා. ඒත් දැනට අවුරුදු දෙකකට පමණ පෙර සිට ජාත්‍යන්තරය පැහැදිලිවම ජයගත හැකි දක්ෂතාවයක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීමට විධිමත් වැඩ සටහනක් ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සභාව එක්ව ආරම්භ කිරීමට කටයුතු කිරීම ඉතාමත් සතුටුදායක කරුණක්. උසස් ක්‍රීඩා දක්ෂතා සංචිතය නමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය තුලින් අදාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මසකට රුපියල් ලක්ෂයක මුදලක්ද අදාළ පුහුණු කරුවන්ට මසකට පනස් දහසක පුහුණුකරු දීමනාවක් ද ලබා දීමට කටයුතු කලා. මෙම ව්‍යාපෘතිය තවත් ඉදිරියට අවම වශයෙන් වසර 04ක් හෝ 05ක කාලයක් නොකඩවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් පැහැදිලි ලෙසම අදාළ සෑම ක්‍රීඩාවකම දක්ෂතා ආසියානු මට්ටමට රැගෙන ඒමට හැකිවන බව මගේ විශ්වාසයයි.

ඒත් කනගාටුවට කාරණයක් නම් මෙම ව්‍යාපෘතියේ යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව වී ඇති බව පෙනෙන්නට තියෙනවා. ඔවුන් පුහුණුකරුවන් සඳහා කරන ගෙවීම් අත්හිටුවා තියෙනවා. මොනවා වුණත් මෙම වැඩ සටහනට අමතරව අදාල ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන මට්ටම් අනුව ඔවුන් නව රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කිරිම කළ යුතුයි. වෙනත් රටවල් වල මෙම කටයුත්ත විධිමත් ලෙස ක්‍රියාත්මක වෙනවා. වර්තමානය වන විට ජාතික ක්‍රීඩා සංචිත වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 95%කට වැඩි ප්‍රතිශතයක් අයත් වනුයේ යුධ හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදාවටය. ඔවුන් හැකි උපරිම ආකාරයෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීමට කටයුතු කිරීම ඉතාම අගය කලයුතු කරුණක් .

සුසන්ත තරගාවලියකට යන්නේ මනස පුරව ගෙනද ? හිස් කර ගෙනද?

අවසන් පුහුණුවීම් සැසිය ඉවර වුණාට පස්සේ ළමයින්ට කතා කරලා ඔවුන්ව ධෛර්යවත් කරලා ආවාට පස්සේ තරග ඉවර වෙනකම්ම මම ඔවුන් දිහා බලන්නෙවත් නෑ.මම ඒ වෙන කොට ඔවුන්ව සම්පුර්ණයෙන්ම තරගාවලියට ඕනෑ කරන විදියට කායිකව සහ මානසිකව ගොඩනගලා තියෙන්නේ. හදිසි අවස්ථාවකදි ළමයකුට මොකක් හරි ගැටලුවක් මතු වුණොත් බලනවා මිසක් නැත්නම් තරගාවලිය අවසන් වන තෙක්ම ඔවුන් එක්ක ගනුදෙනුවක් කරන්නේ නෑ.

අපි මේ ළමයි ජාත්‍යන්තරය ඉලක්ක කර ගෙන ගොඩනගන්නේ අපිට එතැනදී වුණත් හැම දෙයකට ම මැදිහත් වෙන්න බෑ. මම හැම වෙලාවෙම ළමයාගේ මනසට අවශ්‍ය හැම දෙයක් ම හදලා තමයි තරගයකට යවන්නේ.

අවුරුදු 30කට වඩා තිබෙන මගේ පුහුණු ඉතිහාසය ඇතුළේ ශූරතාව හෝ අනුශුරතාව දිනලා තිබෙනවා. තෙවැනි තැනටත් පත්වෙලා තියෙනවා. ශුරතා දිනුවට පස්සේ අභියෝගය වැඩිය. ඒ දිනපු ශුරතා රැක ගන්න ඕනෑ. ඒක හරිම අමාරු දෙයක්. අපි දිනුවොත් අවුලක් නෑ. පැරදුණොත් කියන්නේ වලල වැටිලනේ කියලයි. මේ හැම දෙයක්ම තරගාවලියකට කලින් ළමයින්ට මතක් කරලා දෙනවා.

අමාරු ම දේ?

ඇත්ත. අමාරු ම දේ තමයි මේක. මොන පීඩනයක් තිබ්බත් මම ළමයින්ට මේ දේ දැනෙන්න දෙන්නේ නෑ. ළමයෙකුට කතා කරන්න ම ඕනෑ කියන හිතුණොත් විතරයි කතා කරන්නේ. සමහර අවස්ථාවලදී අවාසනාවත්ත, අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. ඒවා මඟ හරවා ගෙන යන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ.

සුසන්ත පුහුණුකරුවකු විදියට ආපු පළමු වැනි තරගාවලිය මතකද?

1990 දී. තමයි සමස්ත ලංකා තරගාවලියකට එක් ළමයෙක් එක්කර ගෙන ආවේ. මුලික තරගයෙන් ම ඒ ළමයා එළියට ගියා. විශේෂයෙන් ඒ දවස්වල බාලක බාලිකා අංශ දෙකෙන් ම නාගරික ළමයි තමයි ඉදිරියෙන් හිටියේ ඇයි අපිටත් බැරි කියන දේ තමයි මම එදා හිතා ගත්තේ. රට දිනන්න කලින් පළාත, ඒ කියන‍්නේ මධ්‍යම පළාත දිනන්න ඕනෑ කියලා හිතුවා. ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි, ධර්මරාජ, මහාමායා, උසස් බාලිකා මේ ඉස්කෝල තමයි මධ්‍යම පළාතේ මලල ක්‍රීඩාවෙන් ඉදිරියෙන් හිටියේ.

1990 දි මම වලල ළමයින්ට කිව්වෙත් තව අවුරුදු තුනක් යන කොට මධ්‍යම පළාත අපි ජය ගන්න ඕනෑ කියලා. 93 දී මධ්‍යම පළාතේ ශූරතාව දිනා ගත්තා. ඊට පස්සේ සමස්ත ලංකා තරගාවලිය සැලසුම් කළේ. 1995 -98 වන කොට අපි ක්‍රමයෙන් ඉදිරියට ඇවිත් 98 දී සමස්ත ලංකා ශුරතාව දිනා ගත්තා. ඒ අවුරුදු අටකට පස්සේ. 2000 ඉදලා බාලක බාලිකා ශුරතා ද්විත්වය ම අවස්ථා 19 කදී දිනා ගෙන තියෙනවා. සමස්ත ශුරතා බාලක - බාලිකා වශයෙන් ගත්තම වලල දැනට 75 කට වඩා දිනා ගෙන තියෙනවා. වලල සහාය පුහුණු කරුවන් හතර දෙනාත් ‍මගේ ගෝලයෝ. ඔවුන් විද්‍යාපීඨ උසස් අධ්‍යාපනයෙන් පස්සේ එකතු වෙලා ඉන්නේ.

1990 ඉදලා ගත්තම අවුරුදු 30කට වැඩි, මේ කාලය තුළ ඉගෙන ගන්න දේවල්, ප්‍රගුණ කරපු දේවල් එක්ක සුසන්තට පුළුවන් ද අනවශ්‍ය දේවල් ඔක්කෝම පැත්තකින් තියලා ග්‍රවුන්ඩ් එකට එන්න?

මේ ගමන සුන්දර නෑ. තාඩන - පීඩන - හැල හැප්පිලි එක්ක ආපු ගමනක් තියෙන්නේ. මගේ වලල ළමයින්ට විවිධ අවස්ථාවලදී ඕනැ තරම් අසාධරණකම් සිද්ධ වෙලා තියෙනවා. මේ කිසිම දේකදි මමවත් ළමයින්වත් වැටුණේ නෑ. එහෙම එක පාරක් හරි වැටිලා තිබුණා නම් අපිට මේ ගමන මෙච්චර දුර එන්න වෙන්නේ නෑ. අපි මේවා අවියක් කරගෙන ඉදිරියට ආපු නිසා තමයි මේ ගමන මෙච්චර දුර ආවේ. අපේ දක්ෂතා ගැන විශ්වාසයක් තියෙන තාක් කල් අපිට අනවශ්‍ය දේවල් එළියේ තියලා එන්න පුළුවන්.

අපි දැකලා තියෙනවා වලල ළමයි පුහුණුවීම් කරන්නේ මැටි ගොඩක. හොඳම වර්ගයේ සපත්තු වෙනුවට ඔවුන් පාවිච්චි කරන්නේ ප්ලාස්ටර් කැලි. මේ දේවල් ඔබට කියලා දීපු ලොකුම පාඩම මොකක්ද?

වලල ක්‍රීඩා පිටිය මීටර් 200 යි. ඒකත් ප්‍රමිතියකට නෑ. මීටර් 150 ක කවාකාර විදියට තියෙන්නේ. ක්‍රීඩකයෙක් මීටර් 400 තත්පර පනහට ආවට පස්සේ මේකේ දුවන එක හරිම අවදානම්. අපි ඒ නිසා පුහුණු සැලසුම් පවා සීමා සහිතව කරපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ හැම දෙයක්ම අභියෝග තමයි. හැබැයි පසුගිය අවුරුදු විස්සම ගත්තොත් මේ අභියෝග ජය ගෙන තියෙනවා. දැනට සතියකට දින 2-3 ක් දිගන ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරනවා. අපේ දක්ෂතා වර්ධනයට ඒක ලොකු පිටිවහලක් වෙලා තියෙනවා.

ලංකාවේ ක්‍රීඩා පාසල්වල තත්ත්වය මොකක්ද?

මධ්‍යම පළාත් සභාව මගින් ක්‍රියාත්මක වන මහනුවර දිස්ත්‍රික්ක ක්‍රීඩා පාසල් ලෙස නම් කරනු ලබන වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය හැරුණු කොට රේඛීය අමාත්‍යාංශය විසින් පාලනය වන දිවයිනේ සියලුම ක්‍රීඩා පාසල් දැඩි අසාර්ථක තත්ත්වයකට පත් වෙලා තියෙනවා.මෙම ක්‍රීඩා පාසල් සියල්ල ආරම්භක අවදියේදී ඉතා සාර්ථක ලෙස ක්‍රීයාත්මක වුවත් පසු කාලීනව ක්‍රමයෙන් අභාවයට යෑමක් දක්නට තියෙනවා. රත්නපුර සුමන බාලිකාව මෑතක් වන තුරු යම් සාර්ථකත්වයක් ලබා ගත්තත් එම ක්‍රීඩා පාසලද මේ වන විට ඇද වැටෙමින් තිබීම දක්නට ලැබීම ඉතා කණගාටුදායක කරුණක්.

මෙම ක්‍රීඩා පාසල් ව්‍යාපෘතිය නැවතත් සාර්ථක ලෙස ක්‍රියාකාරී මට්ටමකට ගන්න නම් ?

විශාල කැපකිරීමක් කළ හැකි අදාල දිස්ත්‍රික්කයේ සිටින දක්ෂතම පුහුණුකරුවන් ක්‍රීඩා පාසල් තුලට ඇතුළත් කරන්න ඕනෑ.ඒ වගේ ම පුහුණු කටයුතු විධිමත් කළ යුතුයි.

අ.පො.ස. උසස් පෙළ අවසන් වන තුරුම ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් පාසල තුල රදවා ගෙන , ක්‍රීඩා ශිෂ්‍යත්වධාර ආහාර දීමනා කලට වෙලාවට පාසල්වලට ලබාදිය යුතුයි.

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් බඳවා ගැනීම සෑම වර්ෂයකම නියමිත කාලවකවානුව තුල අනිවාර්යයෙන්ම සිදු කරනවා වගේ ම ක්‍රීඩා පාසල් පිලිබද සහ ක්‍රීඩා පුහුණුවීම් පිළිබඳ පරිගණක දැනුමක් ඇති නිලධාරියෙක් ක්‍රීඩා පාසල සතුව පත්කල යුතුයි.

විධිමත් අධීක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා වගේ ම ,අධීක්ෂණ කටයුතු සඳහා පත් කරන නිලධාරීන් පුහුණු කටයුතු ගැන නිවැරදි උපදෙස් ලබාදීමට හැකි ප්‍රවීනයන් විය යුතුයි.

සුසන්ත රැකියාවත් එක්ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු විධිමත්ව පවත්වාගෙන යන්නේ කොහොම ද?

මා දැනට වත්තේගම අධ්‍යාපන කලාපයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අතර කලාපයේ රාජකාරී වලට අමතරව තමයි මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස අදාල කටයුතු කරන්නේ. වත්තේගම අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගෙන් ඒ වෙනුවෙන් විශාල සහයක් ලැබෙනවා. එම තනතුරෙහි මීට පෙර සිටි සියලුම අධ්‍යක්ෂවරුන් ලබාදුන් සහයෝගයද මේ අවස්ථාවේ සිහිපත් කරනවා.


ඡායාරුප - ගාමීණි රණසිංහ

 

Comments