ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවු චිලී ජන රැල්ල | Page 2 | සිළුමිණ

ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවු චිලී ජන රැල්ල

2019 වන විට චිලී දේශය පාලනය කරමින් සිටියේ සෙබස්තියන් පිනේරා ය. ඔහු යටතේ ජනතාව පීඩාවට පත්වෙමින් සිටි අතර සමාජ අසමානතාව, විරැකියාව, දරිද්‍රතාව වැනි බොහෝ මහජන පැමිණිලිවලට විසඳුම් චිනී ජනතාවට තම රාජ්‍ය නායකයා වන පිනේරාගෙන් ලැබුණේ නැත. ඔහු ජනතාවගේ කෙඳිරුම් නෑසු කන්ව සිටියේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2019 ඔක්තෝබර් මාසයේදී තවදුරටත් ඉවසිය නොහැකි වූ චිලී මහජනතාව පාරට බැසීමය.

ආරම්භයේදී චිලී අගනුවර වන සන්තියාගෝ නගරයේ මහජන විරෝධතා දක්නට ලැබුණු අතර පසුව ක්‍රමයෙන් එම විරෝධතා රට පුරා ව්‍යප්ත විය.

තත්ත්වය පාලනය කර ගත නොහැකි වු පසු චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කර සිටියේය. එහෙත් එම හදිසි නීතියට ජනතාව අවනත වූයේ නැත. පාසල් සිසුන් පවා විරෝධතාවන්ට එක් වෙමින් එකම මහා ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගූහ.

ජනතාවට පිළිතුරු වශයෙන් විරෝධතා මර්දනය කිරීමට හමුදාව යෙදවීමට පිනේරා කටයුතු කළ අතර ජනතාව සහ හමුදාව ගැටීමෙන් විරෝධතාකරුවන් මිය යන්නට සහ තුවාල ලබන්නට වූහ. ඒ සමඟින් වඩාත් කළහකාරී වන්නට වූ සාමාන්‍ය ජනතාව නගරයේ නොයෙක් ස්ථාන ගිනි තබමින්, පොදු දේපොළවලට ද හානි සිදු කරන්නට වූහ.

එහෙත් තවදුරටත් තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව ආණ්ඩුව අතින් ගිලිහෙන්නට වූයේ හමුදා මර්දනයට නොතකමින් සිය දහස් ගණනින් ජනතාව විරෝධතාවන්ට එක්වීමත් සමඟිනි. ජනතාව පිනේරා ධූරයෙන් සමු ගත යුතු බව ඒක හඬින් කියා සිටියද පිනේරා තම කැබිනට් මණ්ඩලය සංශෝධනය කරමින්, කල් මරමින් සිටියේය.

මේ අතර කොවිඩ් වසංගතය ලොව පුරා පැතිරී යන්නට වූ බැවින් විරෝධතාකරුවන්ට තාවකාලිකව තම විරෝධතා හකුලා ගැනීමට සිදු විය. ඒහෙත් ඔවුන් කිසිවිටෙක තම අරමුණෙන් බැහැර වූයේ නැත. අවසානයේ දී 2020 වසර අවසානය දක්වාම කොවිඩ් වසංගතය අතරතුරද තම විරෝධතාවේ ගිනි සිළු නොනිවා දල්වා පවත්වා ගැනීමට චිලී විරෝධතාකරුවන් සමත් වූ අතර පිනේරාව බලයෙන් පහ කිරීමටද ඔවුන්ගේ විරෝධතා ප්‍රබල විය.

අවසානයේ චිලී ජනතාව සැනසුම් සුසුමක් හෙළුවේ ඔවුන්ගේ අභිප්‍රාය පරිදි වාමාංශික නව මතධාරියකු වන 36 හැවිරිදි ගාබ්‍රියෙල් බොරික්ට චිලී දේශය බාර දීමත් සමඟිනි.

සියල්ල අවසාන වන විට වසර දෙකක කාලයක් පුරා මිලියන 3.8 ක ජනතාවක් විරෝධතාවලට ඒක්ව තිබූ අතර 36 දෙනෙකු අරගලය වෙනුවෙන තම ජිවිත පූජා කර තිබිණි. කෙසේ වුවද චිලී මහජන රැල්ල ඉතිහාසයට එක් වූයේ ලෙයින් දිනූ අරගලයක් ලෙසිනි.

Comments