විපක්ෂයේ රහස් කතා අස්සේ මෛත්‍රීගේ කෑලි ගැලවෙයි | සිළුමිණ

විපක්ෂයේ රහස් කතා අස්සේ මෛත්‍රීගේ කෑලි ගැලවෙයි

රටේ දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුමත් සමඟ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද උදා වූ අතර අවුරුදු සමයේ ද බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳවයි.

•දේශපාලන උණුසුමත් සමඟ අවුරුද්ද

කොවිඩ් ලෝක වසංගතය සමඟ පැමිණි ලෝක ආර්ථික අර්බුදයේ අභියෝගයට ශ්‍රී ලංකාව ද මුහුණ දෙමින් සිටින විට මෙම ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් හේතුවෙන් රටේ පොදු මහජනතාව ද පත්ව ඇත්තේ දැඩි දුෂ්කර තත්ත්වයකටයි.

මෙම සිදුවීම්වලින් විරුද්ධ පක්ෂය කොන්දේසි විරහිතව දේශපාලන වාසි ලබාගනිමින් ජනතාව විරෝධතා සඳහා යොමු කරමින් කටයුතු කරන බවට රජයට දිගින් දිගටම තොරතුරු ලැබෙමින් පවතී.

•අගමැතිගෙන් මැති ඇමැතිවරුන් ඉල්ලුවේ මොනවාද?

පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස් වූ අතර දැඩි උණුසුම්කාරී පාර්ලිමේන්තු සතියක නිමාව දුටුවේ පසුගිය සිකුරාදාය. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග 03 ම අහුරා විරෝධයේ නිරත වීම ඊට හේතුවයි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුවේ සිදුවන විවාදවලට දැඩි අවධානයක් යොමු කළේය.

විටෙක මැති සබයේ අසුන්ගෙන විවාදවලට අවධානය යොමු කරන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තවත් විටෙක පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට වී රූපවාහිනි යන්ත්‍රයෙන් විවාද නරඹයි.

මේ අතර මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඉහළ රාජ්‍ය නිලධාරීහු පැමිණ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමඟ රටේ ආර්ථික අර්බුද සහ ඊට යොදන පිළියම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතාබස් කළහ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ ඇතුළු ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් අගමැතිවරයාගෙන් එකම ඉල්ලීමක් කළහ.

"අපි කොච්චර කිව්වත්, අගමැතිතුමනි ජනතා විමුක්ති පෙරමුණයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි හදන්නේ කැම්පස් ළමයි ඉස්සරහට දාලා තරුණ පරපුර නොමඟ යවන්න. මේ ගැන අපි රටට හොඳින්ම පැහැදිලි කළ යුතුයි. ඔබතුමා විශේෂ ප්‍රකාශයක් රට හමුවේ කළොත් ඒක බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වෙනවා." යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවත් මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම ඉල්ලා සිටියේ රටේ තත්ත්වය ගැන සහ ආණ්ඩුව ඊට ලබා දෙන විසඳුම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා රට හමුවේ ප්‍රකාශයක් සිදුකිරීම වඩාත් කාලෝචිත වන බවයි.

•එදා භීෂණය දවස්වල 60000 මැරූ හැටි

පාර්ලිමේන්තුව අවට විරෝධතා ගැනද මෙහිදී සාකච්ඡා කළ අතර විරෝධතාවල අතීත සිදුවීම් ගෙනහැර පෑවේ ගාමිණී ලොකුගේය.

"අගමැතිතුමාට මතක ඇතිනේ 1988 - 89 භීෂණ කාලේදී මේ පාර්ලිමේන්තුවේ රෑට නිදා ගන්නත් අපිට සිදුවුණා." යනුවෙන් ගාමිණී ලොකුගේ එදා විරෝධතාවල අතීත සැමරුම් සිහිපත් කළේය.

"මොකද මතක නැත්තෙ ආමර්ටි කාර්වලින්නේ පාර්ලිමේන්තුවට ආවේ. ඒ කාලයේ ශ්‍රාවස්තියේත් කට්ටිය හිටියේ. පාර්ලිමේන්තුවේත් දවසක් දෙකක් රෑට නැවතිලා හිටිය මතකයි. ඒ භීෂණ කාලයේදී මැති ඇමැතිවරුන් කීදෙනෙක් මැරුවාද? ඔය විදිහට රවට්ටපු තරුණ තරුණියන් හැට දහසක් (60,000) ඝාතනයට ලක්වුණා." යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

"ඇයි තංගල්ල ආසනයේ මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ ඉඳලා ගෙදර යනකොට තමයි ජේ.වී.පී. එකෙන් වෙඩි තියලා මැරුවේ." යනුවෙන් ගාමිණී ලොකුගේ සඳහන් කළේය.

"ගාලු පාරේ යන්නේ නැතුව වැඩි ආරක්ෂාවට රත්නපුර පාරේ ගියේ. කට්ටිගල පාලම ළඟදී තමයි වීරසිංහ මහත්තයට වෙඩි තියලා තියෙන්නේ." යනුවෙන් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේය.

•තෙල් හා ගෑස් ලොක්කන්ට අගමැතිගෙන් එක දිගට උපදෙස්

හැකි ඉක්මනින් තෙල් හා ගෑස් පෝලිම් නැතිකර බෙදාහැරීමේ කටයුතු දිවා රාත්‍රී නොබලා සිදුකරන ලෙසට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ සිටම ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ ඉහළ නිලධාරීන්ට සහ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

කෙසේ හෝ ඩොලර් ගෙවා ගොඩබාන තෙල් හා ගෑස් කඩිනමින් බෙදාහැරීම සඳහා දිගින් දිගටම ක්‍රියාකරන බවත් බෙදාහැරීමේ යාන්ත්‍රණය අධීක්ෂණය කිරීමට තවත් පිරිසක් යොදා ඇති බවත් එම ප්‍රධානීහූ අගමැතිවරයාට ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධයෙන් යම් යම් ගැටලු පවතිනවා නම් ජනාධිපතිවරයා, තමාත්, මුදල් අමාත්‍යවරයාත් නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසට ද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.

•ස්වාධීන කණ්ඩායමේ සංයුතිය ආරක්ෂා කර ගැනීමට සටනක්

මේ අතර ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මන්ත්‍රී ධූර 41 ස්වාධීනවීම තවදුරටත් පවත්වාගෙන යාමටත් තවත් පිරිස් ස්වාධීන කරගැනීමටත් මෙහෙයුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආරම්භ කර තිබුණි.

පැජට් පාරේ පිහිටි සිය නිල නිවසේ දී මේ ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස් වූ අතර එම සාකච්ඡාව යන අතරතුර මෛත්‍රිපාල සිරිසේන විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල තම ජංගම දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට ද අමතක නොකළහ.

•මෛත්‍රීට ගණන් වරදී

එදින රාත්‍රි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවන බව මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා සමඟ තමා ජනාධිපතිවරයා හමුවී අන්තර්වාර පාලන ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන බවයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ස්වාධීන වූ බව මෛත්‍රී ප්‍රකාශ කළ ද එය නිවැරදි නොවන බව ඇතැම් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නිලධාරියෙකි.

ඒ වන විටත් ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු යළි රජයට සහාය දෙන බව ප්‍රකාශ කිරීම නිසා මෛත්‍රීට සිටි ස්වාධීන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 36 දක්වා අඩු වී තිබුණි. එම 36 දෙනාගෙනුත් කිහිපදෙනෙක් යළි රජයට සහාය පළකරන බවට ද යම් යම් වාර්තා පළවන්නට විය.

•පක්ෂ 11 ක් දිනේෂ් සොයාගෙන ආවේ ඇයි?

මේ අතර පසුගිය පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 ක නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පිහිටි සභානායක කාර්යාලය වෙත පැමිණියේ පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමටය.

විමල්, ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් දිනේෂ් ගුණවර්ධන හමු වී ප්‍රකාශ කළේ අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව සමඟ මහජන එක්සත් පෙරමුණ කටයුතු කරන බවට දිනේෂ් ගුණවර්ධන පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇති බව ද වාර්තා වේ.

•මුලින්ම ශ්‍රිලනිපයට එන්න කිව්වේ ඇයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මුලින්ම පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව ඉල්ලා සිටියේ ස්වාධීන වීමට තීන්දු කළ ද ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා ලෙසටය. එහිදී ජනාධිපතිවරයාට සහතිකයක් වෙමින් මෛත්‍රීපාල කියා සිටියේ තම පක්ෂය ස්වාධීන වීමට තීන්දු කළ ද ආණ්ඩුව පෙරළන කිසිදු කටයුත්තකට සහාය නොදෙන බවය. එමෙන්ම ඇමතිකම් නොගන්නා බවද ජනාධිපතිවරයාට කියා සිටී මෛත්‍රී, යම් යම් ප්‍රශ්න මතුවන අවස්ථාවලදී එම ප්‍රශ්න දෙස බලා ශ්‍රීලනිප ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව ද කියා සිටියේය. ඉන් පසුව ජනාධිපතිවරයා රංජිත් සියඹලාපිටියගෙන් කාරුණික ඉල්ලීමක් කළේය. ඒ, නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වන බවට එවා ඇති ලිපිය ඉල්ලා අස්කර ගන්නා ලෙසටය. මතුව තිබූ තත්ත්වය යටතේ ජනාධිපතිවරයගේ එම යෝජනාව පිළිගැනීමට සියඹලාපිටිය පියවර ගත්තේය.

•අනුර යාපා කුමක් කරාවිද?

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පොහොට්ටුවේ සිට ස්වාධීන වන බව ප්‍රකාශ කළ අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙහිදී ද ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිවක් නොකළ බව අනුර ප්‍රියදර්ශන කීය.

•අන්තර්වාර පාලන කතාව කරලියට ආ හැටි

මේ ආකාරයට ජනාධිපතිවරයා හමුවී ආණ්ඩුව පෙරළන ආකාරයේ කිසිවක් සිදු නොකරන බව ශ්‍රීලනීපය හා අනුර යාපා ප්‍රමුඛ කණ්ඩායම කියා සිටිය ද එම සාකච්ඡාවෙන් පසුව සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. එම සාකච්ඡාවෙන් පසු ආණ්ඩුව වෙනස් කොට අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතු බවට සඳහන් කරන විමල් පාර්ශ්වයත්, ශ්‍රීලනිපයත්, අනුර යාපාගේ කණ්ඩායමත් යන තුනම එක්ව පහුගිය සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී කියැවුණේ කෙසේ හෝ අන්තර්වාර පාලනයක් පිහිටුවීය යුතු තැනට ආණ්ඩුව තල්ලු කළ යුතු යැයි කියාය. ඒ සඳහා විපක්ෂයේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, ආණ්ඩුව ඇතුළේ සිටින අනෙකුත් පිරිස්වල සහාය ලබා ගන්නා ආකාරය පිළිබඳවත් පිරිස අතර සාකච්ඡා වනු දැකගත හැකි විය. එම සහය ලබාගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීම සඳහා ස්වාධීන කණ්ඩායමක් පත් කිරීමට ද එහිදී තීරණය විය.

•අගමැතිවරුන් 05 ක් යෝජනා කළේ කවුද?

එහිදී තවත් එක් යෝජනාවක් ද ඉදිරිපත් විය. ඒ, වහාම අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමටත්, අලුත් අගමැතිවරයකු නම් කොට අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමටත්ය.

ඒ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ජනවරමකින් පසු ආණ්ඩු පිහිටුවීමට සූදානම් බවට ප්‍රකාශ කර තිබූ නිසා විමල්ගේ පාර්ශ්වය යෝජනා කළේ 05 දෙනෙකුගෙන් යුත් නාමලේඛනයක් සකසා එම 05 දෙනාගෙන් පිළිගත හැකි එක් අයෙකු අගමැතිවරයා ලෙස පත් කර ගැනීමට සියල්ලන්ගේම සහාය ලබාගත යුතු යැයි කියාය. එම නම් පහ ලෙස විමල්ගේ පාර්ශ්වයෙන් කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක සහ ඩලස් අලහප්පෙරුමය.

මෙසේ විමල්ගේ පාර්ශ්වයෙන් නම් පහක් ඉදිරිපත් කෙරුණේ ඉන් ඩලස්ගේ නම හැරුණු විට අනෙක් නම් හතර ප්‍රතික්ෂේප වන බව දැන දැනමය.

මේ අතර ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර තවත් සාකච්ඡාවක් පසුගිය 10 වැනිදා රාත්‍රී 7.30 ට ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් වූ බව එම සාකච්ඡාවට සහභාගි වූ වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර තිබුණි.

•මෛත්‍රී, සජිත්ට දුන් පණිවිඩය

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සමගි ජනබලවේගයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවක දී යම් රහස් පණිවිඩයක් මෛත්‍රීපාල සිරිසේන විසින් විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ලබාදී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දී සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාවේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම පණිවිඩය දැනුම් දී ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් පවතී.

•අගමැතිගේ විශේෂ ප්‍රකාශයට වැඩි අවධානයක්

මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට යන බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මාධ්‍ය ආයතනවලට දැනගැනීමට ලැබුණේ පසුගිය 11 වැනිදා උදය කාලයේදීය.

එදින රාත්‍රී 7.30 ට අග්‍රාමාත්‍යවරයා රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව මාධ්‍ය ආයතන කෙටි පණිවිඩ (SMS) සේවා මඟින් ප්‍රචාරය කරන විට ඒ ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණි.

විපක්ෂයේ බොහෝ දෙනෙකු ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය ජාලා මඟින් ප්‍රචාරය කෙරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකොට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට යන බවකි.

මෙම ආරංචි පැතිර යන විට මේ පිළිබඳ මාධ්‍යවේදීන් පිරිසක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

"ඔය බංකොළොත් විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ අගමැතිතුමා ඉල්ලා අස්වෙන එක තමයි. නමුත් මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට නායකත්වය දුන් අගමැතිතුමා අභියෝග හමුවේ පළායන්නේ නැහැ. අගමැතිතුමාගේ කතාවෙන් පස්සේ වෙන්නේ මොකක්ද කියලා බලන්න." යනුවෙන් ජොන්ස්ටන් පැවසුවේ යම් කුතුහලයක් ද ඇති කරමිනි.

•ජොනී මෙහෙයුම අරඹයි

ජොන්ස්ටන් කියපු ඒ කතාව මොකක්ද? කියා එම මාධ්‍යවේදීහු පිරිස දස අතේ කල්පනා කරන්නට වූහ.

අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය අරලියගහ මන්දිරයේ දී පටිගත කර මාධ්‍ය ආයතන වෙත ලබාදෙන අතරතුර තවත් මෙහෙයුමක් ආණ්ඩු පක්ෂයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණි. ස්වාධීන වී පසුව ආණ්ඩුවට එක්වීමට කැමැත්ත පළකර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම එම මෙහෙයුමයි. ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළි ආණ්ඩුවට එක්කර ගැනීමේ කාර්යය පැවරී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුටය.

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ උපදෙස් අනුව එහි එක් වගකීම් කොටසක් පැවරී තිබුණේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක වෙතය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ මේ ගැන කතාබහ කළ අතර ඊට මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, ජානක වක්කුඹුර ඇතුළු පිරිසකගේ ද සහයෝගය හිමි වී තිබුණි. ශාන්ත බණ්ඩාරට ජානක වක්කුඹුර සහ ප්‍රියන්ත රත්නායක කතා කරන විට දැන ගැනීමට ලැබුණේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීනවීම ගැන ඔහුගේ එතරම් කැමැත්තක් නොමැති බවයි.

ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ වැරදි තිබෙනවා නම් එය නිවැරදි කළ යුතු බවත් ස්වාධීන වූ විට එමගින් ප්‍රයෝජන ගන්නේ රටට කිසිසේත්ම ආදරේ නොකරන පිරිසක් බවත් ජානක වක්කුඹුර ඇතුළු කිහිප දෙනෙකුම ශාන්ත බණ්ඩාරට පවසා තිබුණි.

"මං ස්වාධීන වුණත් ආණ්ඩුව වැටෙන්න දෙන්නෙ නැහැ." යනුවෙන් ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කොට තිබුණි.

පසුගිය 11 වැනිදා උදෑසන ශාන්ත බණ්ඩාර සිටියේ කුරුණෑගලය.

ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් සමඟ දුරකථනය ඔස්සේ පැවති සාකච්ඡාවලින් පසුව ශාන්ත බණ්ඩාර කොළඹට පැමිණ මුලින්ම හමුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය.

ජොන්ස්ටන් හමුවීමෙන් අනතුරුව ශාන්ත බණ්ඩාර ජොන්ස්ටන් සමඟම ගොස් අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවී ආණ්ඩුවට සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේය.

ඉන් පසුව එදින රාත්‍රි ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී ශාන්ත බණ්ඩාර දිවුරුම් දුන්නේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේය. ශෂින්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්වීම නිසා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධුරය පුරප්පාඩු වී තිබුණි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිවරයා විසින් පසුගිය 11 වැනි දා ප්‍රතික්ෂේප කරන ලදී. මේ අනුව එම රාජ්‍ය අමාත්‍යධූරයේ පියංකර ජයරත්න තවමත් කටයුතු කරයි. ඒ අනුව තවදුරටත් ඔහු ආණ්ඩුව නියෝජනය කරනු ලබන රාජ්‍ය අමාත්‍ය වරයෙකු වශයෙන් සැලකේ.

•ස්වාධීන වූ තවත් පිරිසක් අද හෙටම ආණ්ඩුවට එන ලකුණු

මේ අතර ස්වාධීන වූ තවත් පිරිසක් ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ උපදෙස් අනුව මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, ජානක වක්කුඹුර ඇතුළු පිරිසක් ඊට අදාළ සාකච්ඡා සිදු කරමින් පවතින අතර එම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක විසිනි.

මේ අතර ශාන්ත බණ්ඩාරට රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස උරණ වී සිටින අතර ඉදිරියේ දී ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා වර්ධනය කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

•පක්ෂ 11කණ්ඩායමේ සහාය මෛත්‍රිටද?

ශාන්ත බණ්ඩාරට රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම නිසා ඊට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකිරීමට කිරීමට තීරණය කර ඇති අතර ඊට සහයෝගය දැක්වීමක් ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ද ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා වර්ජනය කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හවුල්කාර පක්ෂ 11 න් ඉල්ලීමක් කරන ලදි. මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලීම ගැන අවධානය යොමු කළ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 ද තීරණය කරන ලද්දේ ජනාධිපතිවරයා සමඟ කරනු ලබන සාකච්ඡා වර්ජනය කිරීමටය.

•නව මහ බැංකු අධිපතිට දෙපැත්තෙන්ම ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ නව මහ බැංකු අධිපති ධුරයට පත් ආචාර්ය නන්දලාල් වීරසිංහ රටේ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ගත් පියවර මේ වන විට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ ද බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට පත්ව තිබීම විශේෂත්වයකි. යථාර්ථය තේරුම්ගෙන දේශපාලන ස්ථාවරභාවය ඇති කොට සියලුම දෙනාගේ සහයෝගය ලැබෙනවා නම් මෙම ආර්ථික අර්බුදය ජය ගැනීමට හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කොට තිබුණි.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද, ආචාර්ය නන්දලාල් වීරසිංහ ගන්නා ලද තීරණ පැසසුමට ලක් කර තිබීම විශේෂත්වයක් විය.

•ගාලු මුවදොර විරෝධතාවල රහස් එළියට

"Gota go home" තේමාව යටතේ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවල නියම අරමුණ දැන් දැන් එළියට පැමිණෙමින් පවතින බව දේශපාලන ක්ෂේත්‍රයෙන් වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සරසවි සිසුන් විසින් සංවිධානය කරනු ලබන මෙම විරෝධතාවලට නිර්පාක්ෂික බවක් ලබා දීමට කෙතරම් උත්සාහ ගත්ත ද එය සාර්ථක නොවන බව දැන් පැහැදිලි වී ඇත. පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට ඇති කරුණු මඟින් මෙම විරෝධතාවල සැබෑ අරමුණු රට, ජාතිය, ආගමට සූක්ෂව ප්‍රහාර එල්ල කිරීම බව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් ප්‍රකාශ කොට ඇත.

•43 සේනාංකය ගියේ සජිත්ට හොරාද?

ගාලු මුවදොර විරෝධතා සඳහා මුස්ලිම් පිරිස් ද එක් වී සිටින බවත් ඒ සඳහා ආධාර ලබා දෙන්නේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව බවත් පාඨලී චම්පික රණවකගේ 43 වැනි සේනාංකය නියෝජනය කරනු ලබන මුස්ලිම් නියෝජිතයින් ප්‍රකාශ කිරීම ගැන සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දැඩි අවධානය යොමු වී තිබෙන බව ද වාර්තා වේ.

 

Comments