
දැවෙන ප්‍රශ්න කඩිනමින් විසඳන්න ජාතික ආණ්ඩුවක් හොදයි
- එච්.එෆ්.එම්. ඉම්රාන් මොහොමඩ් (35) - මල්වාන ප්‍රවාහන නිලධාරී
මේ වනවිට රටපුරා උද්ඝෝෂණ රැල්ලක් සංවිධානය වෙමින් ජනතාව රජයට විරෝධය පානවා. අත්‍යවශ්‍ය භාණ්ඩ පෝලිම් නිසා හා හිඟය නිසා මිනිස්සු පීඩාවට පත්වෙලා. මේ ගැටලුව විසඳන්න නම් භාරකාර ආණ්ඩුවක් හදලා කෙටිකාලීනව හරි ප්‍රශ්න විසඳිය යුතුයි. ඉන්පසු මැතිවරණයක් පවත්වා බහුතර ජනතා ප්‍රසාදයකින් රජයක් පිහිටුවාගත හැකියි.
නැත්නම් රට අරාජික වෙනවා. සාමාන්‍ය ජනතාවට උහුලන්න බැරි තරමට ඉහළ යන ජීවන වියදමට විසඳුම් අවශ්‍යයයි. එසේ නැත්නම් තව තවත් නොනවතින අරගලයක් ඇරඹෙනවා.
අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතුයි
- මෝක්ෂා සමෝෂි (25) - මත්තේගොඩ ව්‍යාපාර සහායිකා
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම වඩා ඵලදායි වෙනවා. සියලු පක්ෂවල නියෝජිතයන් එකමුතුවෙන්. අඩුගානේ තව වසරක්වත්. රට අරාජික නොවී පවත්වාගෙන යාමට යම් යම් පනත් සම්මත කර ගැනීමෙන් සාමූහිකව එකමුතුවෙලා රට ගොඩනැගීම අත්‍යවශ්‍යයයි. මේ රටේ ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙනාවට වගකිවයුතු දේශපාලන පක්ෂ බලවේග හැමෝටම මේ වෙලාවෙ ලොකු වගකීමක් තියෙනවා. අන්තර්කාලීන පාලනයක් පිහිටුවා දේශපාලන අස්ථාවර භාවය නැති කරලා රටේ ආර්ථික සාමාජීය ගැටලු විසඳීමට. ඉන්පසු තමන් අභිමත පාලන තන්ත්‍රයක් නිර්මාණය කරගැනීමට අවස්ථාව ලබාදිය හැකියි.
නවක දේශපාලනඥයන් පත් කළ යුතුයි
- නෙතුක ෂබීන් (26) - පන්නිපිටිය ගණකාධිකාරී
භාරකාර ආණ්ඩුවක් ආවත් ජාතික ආණ්ඩුවක් ආවත් ඒ දෙකේම ඉන්නේ මේ අයනේ. වෙනසක් නැහැනේ. මිනිස්සු හැමෝම එළියට බැහැලා ඉල්ලන්නේ වෙනසක් මිසක් මේ අයම නැවත මැති ඇමැති පුටුවල වාඩි කරන්න නෙමෙයි. යූ එන් පී , ජේ වී පී , පොහොට්ටුව කියන පක්ෂවල එල්ලෙන ඔළු ඉවත් කරලා රටට වැඩ කළ හැකි පිරිසක් අලුතින් පත් කළ යුතුයි.
දීර්ඝ කාලයක් පක්ෂවලට ගැතිකම් කරපු අය ඉවත් කරලා නැවත මැතිවරණයකට ගිහින් අලුතින් ම පිරිසක් පත් කළ යුතුයි. දේශපාලනයෙන් කුරුවල් නොවුණු ඒ පිරිස මඟින් නැවුම් ලංකාවක් බිහි කළ හැකියි.
දේශපාලන ක්‍රමයම වෙනස් විය යුතුයි
- එම්. රේණුකා නිලන්ති (46) - කළුතර පුස්තකාලාධිපතිනි
සමස්ත දේශපාලන ක්‍රමයම වෙනස් විය යුතුයි. භාරකාර ආණ්ඩු, ජාතික ආණ්ඩු මේ මොකක්වත් වැඩක් නෑ. විධායක ජනාධිපතිට පමණයි අවුරුදු 12 ක් පමණක් බලයේ සිටිය හැක්කේ. ඇතැම් ඇමැතිවරු හැරමිටියෙන් යද්දිත් පාර්ලිමේන්තුවේ. එවිට තරුණ උගත්, බුද්ධිමත් බහුතරයකට ඉඩක් නෑ.
මේ ඉන්න දේශපාලනඥයෝ මෙලෝ රහක් නෑ. මේ පවතින පක්ෂ දේශපාලනය හරිම අසාර්ථකයි. එකම කාසියේ දෙපැත්ත වගේ. කොයි ආණ්ඩුව ආවත් එකම සෙතේ තමයි බුද්ධිමත්, රට ගැන හිතන පරාර්ථය ගැනත් සිතන විකල්ප සම්පත් ලංකාවෙ නැතිවා නොවේ. ඒ අයට ඉඩක් නෑ.
පැහැදිලි යහපත් වෙනසක් අවශ්‍යයයි
- චමින්ද සිල්වා (47) - අම්බලන්ගොඩ රූපවාහිනී මාධ්‍යවේදී
ජාතික ආණ්ඩු පිහිටුවූවත්, භාරකාර ආණ්ඩු පත් කළත් මේවා තාවකාලික පැලැස්තර විතරයි. දැනට පාර්ලිමේන්තුවේ සිටින අයට ජනතාව කැමැති නැහැ. කළ යුත්තේ මේ හැම පක්ෂයකම ඉන්න අය ඉවත් කරලා නව පරම්පරාවකට ඉඩදීමයි. මේ සියලුම පක්ෂවල සිටින දේශපාලනඥයන්ට පැහැදිලි දැක්මක් නෑ.
ජනතාව ගැන වගකීමක් නෑ. ජනතාවට වඩා තම තමන්ගේ සුඛිත මුදිත බව ගැනයි හිතන්නේ. ඒ නිසා ආණ්ඩුවල නමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පත්වන පුද්ගලයන්ගෙයි. විශේෂයෙන් ජනාධිපති, අගමැති, මුදල් ඇමැති, මහ බැංකු අධිපති තනතුරුවලට වැරදි කළ අය පත් නොකළ යුතුයි. පවතින දේශපාලන ව්‍යුහයේ ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයයි.
තුන් වැනි බලවේගයක් බලයට පත් කළ යුතුයි
- අහමඩ් මීරා මොහොමඩ් ජවුෆර් (50) - මරදාන මූල්‍ය කළමනාකරු
අන්තර්වාර පාලනයක් හෝ ජාතික ආණ්ඩුවක් හෝ මධ්‍යම කාලීන ආණ්ඩුවක් හෝ තාවකාලික රජයන් එකක්වත් මේ රටට සුදුසු නෑ. ඒ එකකින්වත් මේ රට හදන්න බෑ. භාරකාර රජයක් මාස 2, 3 වැනි කෙටි කාලයක් තුළ පිහිටුවා ඉන්පසු ජනාධිපතිවරණයකට හා මහ මැතිවරණයකට යා යුතුයි. ඊට පෙර ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. ඊට පසු තමයි තාවකාලික, භාරකාර ආණ්ඩුවකට යා යුත්තේ. මේ ප්‍රධාන පක්ෂ දෙකේම පාලනයෙන් ජනතාව පීඩාවට පත්වෙලා තියෙනවා පුදුම විදිහට. ඒ නිසා මේ රටට තුන්වැනි බලවේගයක් අවශ්‍යයයි. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වන ජනතාවගේ රජය වන්නේ.