![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/08/4-9.jpg?itok=gm16FSdm)
ආණ්ඩුවට බහුතරයක් තිබෙනවාද? නැද්ද? යනුවෙන් පහුගිය දිනවල ඇතිවූ කතාබහට පසුගිය 05 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් වූ පසුව විසඳුමක් ලැබී තිබුණි.
03 වැනිදා මධ්‍යම රාත්‍රිය පසුවනතුරු කොළඹ ස්ථාන කිහිපයකදීම කතාබස් කෙරුණේ ආණ්ඩුවේ බහුතරය පිළිබඳවයි.
අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී ආණ්ඩුවට බහුතරය ගැටලුවක් නොමැති බව හෙළිවිය.
ආණ්ඩුවට සහාය දක්වන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබුණි.
රොස්මිඩ් පෙදෙසෙහි රහස් කතාබහක්
මේ අතර පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වීමට තීරණය කිරීමට සැලසුම් කර තිබූ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 හි නායකයින් 03 වැනිදා මධ්‍යම රාත්‍රිය ඉක්මවනතුරු සාකච්ඡා කළේ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසෙහි පිහිටි කාර්යාලයකයි. එම කාර්යාලය අයිති වී තිබුණේ පක්ෂ 11 න් එක් දේශපාලන පක්ෂයක නායකයකුටය.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස්, අසංක නවරත්න ඇතුළු දේශපාලන පක්ෂ 11 හි නියෝජිතයෝ එම සාකච්ඡාවට එක්ව සිටියහ.
"ආණ්ඩුවේ බහුතරය නැති කරන්න නව මන්ත්‍රී ආසන 10 ක්වත් අඩුම ගන්න ඕනේ. නිමල් ලාන්සා 40 ක් ස්වාධීන වෙනවා කියල කිව්වට තාම 40 ක් හරියට ෂුවර් නැහැ." යනුවෙන් එහිදී කතාබහ වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 ක නායකයින් තීරණය කරන ලද්දේ හැකිතරම් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ස්වාධීන කර ආණ්ඩුවේ බහුතරය කෙසේ හෝ නැති කළ යුතු බවයි.
ජොනීගෙන් රත්වෙන උත්තර.
"ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙනවාද? අගමැතිතුමා ගෙදර යනවාද?" යනුවෙන් විරුද්ධ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී දිගින් දිගටම විමසූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් කිසිසේත්ම ඉවත් නොවන බවයි.
ඇතැම් දේශපාලන පක්ෂවල කුමන්ත්‍රණවලට ඉතාම හොඳින් මුහුණදෙන බවද ප්‍රකාශ කළේය.
"ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලට ඔබතුමා තමයි පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේ දී හොඳටම උත්තර දුන්නේ." යනුවෙන් මැති ඇමැතිවරුන් කිහිපදෙනක්ම ජොන්ස්ටන්ට ප්‍රකාශ කර තිබුණි.
තෙල් හා ගෑස් නොකඩවාම කඩිනමින් සපයන ලෙසට අගමැතිගෙන් උපදෙස්
මේ අතර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තෙල් සංස්ථාවේ සභාපතිවරයාටත්, තෙල් ගබඩා පර්යන්ත සභාපතිවරයාටත්, ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාටත් දැඩි ලෙස උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කළේ තෙල් සහ ගෑස් දිවා රාත්‍රී නොබලා බෙදාහැරීමට උපරිම ලෙස කටයුතු කරන ලෙසයි. ඊට අමතරව තෙල් හා ගෑස් ලබාගැනීම වෙනුවෙන් ණයවර ලිපි (LC) කඩිනමින් නිකුත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
එම නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමට ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක විසිනි.
මැතිසබය උණුසුම් වෙද්දි සජබ වලි පිට වලි
මේ අතර පසුගිය සතියේ මැතිසබය උණුසුම් වන අවස්ථාවල දී ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකු අතර ගැටුම්කාරී අවස්ථා ඇතිවූහ.
මූලාසනයේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සිටින විට කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දුය. එම අවස්ථාව සමගි ජනබලවේගයේම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන ඉල්ලා තිබූ නිසා එම මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කර එම ගැටලුව විසඳා ගන්නා ලෙසට මූලාසනයෙන් උපදෙස් ලැබී තිබුණි.
මේ ගැන මැතිසබය තුළදීම හරින් ප්‍රනාන්දු සහ තුෂාර ඉඳුනිල් අමරසේන අතර ඇති වූ කතාබහ දුරදිග ගොස් අසභ්‍ය වචන හුවමාරුවකට පෙරළුණි.
ඉන්පසුව දෙදෙනාම තල්ලු කරගත් අතර අතින් පයින් පහර දීමට සූදානම් වූ වලිය නතර කර ගැනීමට හැකිවූයේ එම ස්ථානයේ ඒ අසල සිටි කිහිපදෙනෙකුගේ මැදිහත් වීම නිසාය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අතර ද දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර ගුටිබැට හුවමාරුවක් වැළකුණේ යාන්තමිණි.
මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අතර ද දැඩි උණුසුම් වචන හුවමාරුවක් මැතිසබය තුළ ඇති වී දෙදෙනා අතර තල්ලු කිරීමක් ද දක්නට ලැබුණි.
ජනාධිපතිට ඉහළ පිළිගැනීමක්
පසුගිය 07 වැනි දා උදෑසන 10.10 ට පමණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිසබයට පැමිණියේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ දැඩි අත්පොළසන් නාදය මධ්‍යයේය.
"ජනාධිපතිතුමාට ජයවේවා, කුමන්ත්‍රණය පරාජය කරමු, අපේ ජනාධිපති අපි රකිනවා, අපේ අගමැති අපි රකිනවා" යනුවෙන් රජයේ මැති ඇමතිවරුන් කෑකෝ ගසන්නට වූහ.
මැතිසබයට පැමිණි ජනාධිපතිවරයා අසල ආසන්නයේ සිටි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමඟත්, සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සමඟත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟත් කතාබස් කළේය. මැතිසබය තුළ ටික වේලාවක් සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ 02 වැනි මහලේ තිබූ ජනාධිපති කාර්යාලයට ගියේය.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක් පැමිණ ජනාධිපතිවරයා හමු වී කතාබහ කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවීමට පැමිණියේය.
එම කතාබහට සහභාගි වූයේ ඔවුන් දෙදෙනා පමණි. පැය ½ කට ආසන්න වේලාවක් එම කතාබහ සිදු වූ අතර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
විශ්වාසභංගයට කුමක් වේවිද?
සුපිරි හෝටලයක පසුගිය දා පැවති දේශපාලන රැස්වීම ගැන තොරතුරු විමසීමට ද මෙහිදී ජනාධිපතිවරයා අමතක නොකළේය. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සමගි ජනබලවේගය පසුගිය 08 වැනිදා තීරණය කළේය.
වර්තමාන ආණ්ඩුව පලවා හැරීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
මෙම විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක කාර්යාලයේ දී අත්සන් තැබීම ආරම්භ කෙරිණ.
මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කරනවා ද? නැද්ද? කියා දෙමළ ජනතා සන්ධානය ආණ්ඩුවේ ස්වාධීන වූ හවුල්කාර දේශපාලන පක්ෂ 11 ක, එක්සත් ජාතික පක්ෂය තම තීරණය කර නොමැති බව වාර්තා වේ.මේ අතර මෙම විශ්වාසභංග යෝජනාව ගැන ස්වාධීන වූ ආණ්ඩුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඇති වී ඇති අතර ඔවුන් කිහිප දෙනෙකුගේ මතය වී ඇත්තේ වැරදි අවස්ථාවකදී මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
මෙමඟින් ආණ්ඩුව තවත් ශක්තිමත් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇති බව ද වාර්තා වේ.
අර්බුදයට මුහුණ දිය යුතු බව අගමැති කියයි
පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගිය දා පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේය. මෙම රැස්වීම පැවැත්වුණේ ඇමතිවරු තමන්ගේ අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට කලින්. මෙහිදී මුලින්ම කතා කළේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ය.
"දැන් මේ තියෙන අර්බුදය සම්බන්ධයෙන් ඔබතුමාලා කවුරුත් දන්නවනේ. සිරිමාවෝ මැතිනියගේ කාලයේ නම් එක එක්කෙනාගේ ආරක්ෂාවට අවස්ථාවක් දීලා තිබ්බා තමන් කැමති දහ දෙනෙක් පොලිස් සේවයට බඳවාගෙන තමන්ට ආරක්ෂාව ලබා ගන්න. හැබැයි මේ තියෙන වටපිටාවේදී, මේ තියෙන ප්‍රශ්නෙදි, මේ තියෙන අරගලයේදී, මේ තියෙන කැරලි කෝලහලවලදී අපිට බෑ ඒ වගෙන් පැනල යන්න.
අපිට මේවට මුහුණ දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන හැටි මෙම විරෝධතාවලින් පේනවා. රටක් විදිහට මෙම ලෝක ව්‍යවසනයෙන් ඇති වූ අර්බුදයට මුහුණ දීමට අපි කටයුතු කරමින් සිටිනවා." අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වුවට පසුව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ අනිත් අයටත් මේකෙදි අදහස් දැක්වීමට අවස්ථාව සැලසිනි.
පුටින් වගේ නායකයෙක්
ඊට පසුව කතා කළේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත "දැන් බලන්නකො නිදහස ගත්තට පස්සේ ඔබතුමාට තමයි ජනාධිපතිතුමා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ. ජනතාව බලාපොරොත්තු වුණේ, අපි බලාපොරොත්තු වුණේ පුටින් වගේ නායකයෙක්. කෙලින් වැඩ කරන නායකයෙක්. ඒ වගේම තමයි දැන් බලන්නකෝ පොහොර ප්‍රශ්නෙ ගත්තත් අපි ඉල්ලගෙන නාගත්තා. ඒ වගේ දේවල් තමයි සිද්ධ වුණේ.
ඒ වගේම ආණ්ඩුවේ සමහර අය ඔබතුමාව රැවට්ටුවා. ඔබතුමා බලය ගත්තේ මේ රට හදන්න. හැබැයි අපේ අයම අපේ වළ කැපුවා." එහෙම ප්‍රකාශ කරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තය. "දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ගෙවල්වලටත් පොලිසියෙන් දාන්න.
බොහොම ඉක්මනට මේ තත්ත්වය සමනය කරගන්න ඕන." අමාත්‍ය සනත් නිශාන්ත දිගින් දිගටම කියා සිටියේය. ඔය අතරතුරේදී මහින්ද අමරවීර ප්‍රකාශ කළේ අපි රාජපක්ෂවරුන්ට ආදරෙයි, අපි නම් යන්නෙ නෑ කියලා. කියල කට ගත්තා විතරයි පහුගිය අඟහරුවාදා ඔහු ස්වාධීන වුණා.
ඊට පසුව කතා කළේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා. "දැන් ඔය ජනතාව පාරට බැස්සා කියලා ජේ.වී.පී. එක පාරට බැස්සා කියලා ජනාධිපතිවරයාව ධූරයෙන් ඉවත් කරන්න බැහැ.
මේක ව්‍යවස්ථානුකූල ප්‍රශ්නයක්. මේකට ව්‍යවස්ථානුකූලව තමයි උත්තර හොයාගන්න ඕනේ. ජනතාව පාරට බැස්සත් රාජපක්ෂවරුන් ඉවත්වෙලා ගියත් මේ පාර්ලිමේන්තුවෙන් තමයි කෙනෙක් හොයාගන්න ඕනේ.
ඉතින් මේක ව්‍යවස්ථාවෙන් මේ ප්‍රශ්නය විසඳගන්න ඕනේ. නැතිව අපිට මේක අරාබි වසන්තයක් වගේ ඒ තරම් දුර දිග ගෙනියන්න ඕනේ නැහැ." යනුවෙන් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේය.
සජිත්ගේ විසඳුම මොකක්ද?
මේ අතර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ. රංජිත් මද්දුමබණ්ඩාර මෙහි ප්‍රධානත්වය දරයි. රාජිත සේනාරත්න, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න යන අය මෙහි සෙසු සාමාජිකයෝ වෙති. ඔවුන්ගේ වාර්තාවක් සජබ මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන්ගේ ප්‍රධාන කරුණු 02 ක් ඇත. එකක් තමයි රාජපක්ෂවරුන් නැති කැබිනට් මණ්ඩලයක් පත් කිරීම. එහෙම නැත්නම් මැතිවරණයක් ද අන්තර්වාර ආණ්ඩුවක් ද මේ දේවල් සම්බන්ධයෙන් ඔවුන් තීරණයක් ගැනීමට නියමිතයි. මේ අතර ඇමති මණ්ඩලයේ වෙනසක් ගැන ඉකුත් ඉරිදා කතාබහක් ගිය අතර එහි මුලින්ම කියැවුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අගමැතිකම භාරගන්නට සුදානම් බවය.
රනිල්ගේ ගෙදරට දුරකථන ඇමතුම් ගලාගෙන එයි
එම කටකතාවත් සමඟ නායකයාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසේ දුරකතනවලට ඉස්පාසුවක් නොවීය. සෑම දුරකතන ඇමතුමකටම එ.ජා.ප. නායකයා දුන් පොදු පිළිතුර වූවේ තමන් කලින් කළ ප්‍රකාශයේ වෙනසක් නැති බවය. එනම් "එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ඉන්න මම ආණ්ඩුවක් කරන්නේ කොහොමද?" යනුවෙනි.
එදින ඇදිරි නීතිය පනවා තිබුණ ද ජනතාව එය කඩකරමින් මහමඟට බැස තිබුණි. එම අවස්ථාවේ නායකයා නීතිඥවරුන්ට උපදෙස් දෙමින් කියා තිබුණේ ඊට අදාළව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග දෙස අවධානයෙන් සිටින ලෙසය. පක්ෂ බේදයෙන් තොරව ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලෙස ද ඔහු නීතිඥවරුන් දැනුම්වත් කළේය.
සඳුදා නායකයාගේ නිවසට පක්ෂ නිලධාරී මණ්ඩලය කැඳවූ අතර ඔවුන් සාකච්ඡා කරන්නට වූවේ ආර්ථික අර්බුදය ගැනය. ජනතාව පාරට බැසීම හා හදිසි නීතිය ගැන පිරිස දීර්ඝ ලෙස කතා කර තිබුණි. ආර්ථික අර්බුදය හා ජනතාවගේ ජීවන බර සම්බන්ධයෙන් පිරිස අදහස් හුවමාරු කර ගත්හ.
"මැයි - ජුනි වෙන කොට තමයි මේ අර්බුදය උත්සන්න වෙන්නේ. රටේ ඩොලර් නැති නිසා භාණ්ඩ කිසිවක් ගෙන්වන්න බැරි වෙයි. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න බැරි වේවි." එ.ජා.ප. නායකයා කීවේ කණගාටුවෙනි.
"ඒ වුණාට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පුළුවන් වෙයි කියලා තමයි ආණ්ඩුවේ අය හිතාගෙන ඉන්නේ." රුවන් කතාවට එකතුවිය.
"කොච්චර කාලෙකට ඒක කරන්න පුළුවන්ද? ඩොලර් බිලියනයයි එතන තියෙන්නේ. ඉතින් කොහොමද කරන්නේ. මැයි, ජූනි වෙනකොට තල කැරැල්ලක්වත් ඔතාගන්න කඩදාසි නැති වෙයි." නායකයා කීවේ රුවන් දෙස බලමිනි. ජනතාව මතු කරන ප්‍රශ්න හා ඊට අදාළව කෙරෙන දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඔවුන් බොහෝ වේලාවක් සාකච්ඡා කළහ.
රනිල්ට ඉහළ ප්‍රතිචාර
එජාප නායකයා අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. නවක මන්ත්‍රීවරුන් එ.ජා.ප. නායකයා හමුවේ කීවේ මෙය ගොඩ දා ගැනීමට ඔබතුමාට වගකීමක් තිබෙන බවයි.
"මේ වෙලාවේ උදව් කරන්න." යැයි ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කියද්දී නායකයා කීවේ "ඔබේ නායකයන්ට කියන්න අයි.එම්.එෆ්. එකට ගිහින් ලෝකයේ විශ්වාසය තහවුරු කරගන්න කියලා." යනුවෙනි.
"පාර්ලිමේන්තුව ඇතුළෙත් තමන්ට විසඳුමක් නැහැ කියලා ජනතාව හිතන එක මේ නිසා තවත් වැඩි වෙනවා. 225 ම ගෙදර යන්න කියලා ජනතාව කියන්නේ ඒකයි." වජිර කතාවට එකතුවිය.
"හැබැයි 225 ම ගිහිල්ලා පිටතින් කවුද ගේන්නේ කියලා පේන්න නෑ. 225 පිටින් ගෙනාපු කෙනෙක් තමයි අද ජනාධිපති වෙලා රට පහළට ගෙනල්ලා තියෙන්නේ. අනෙක මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලනවා. කොහොමද මේ වෙලාවේ ඡන්දයක් තියන්නේ. මේකද ජනතාවට තියෙන විසඳුම." රංගෙ ද කීවේ කණස්සල්ලෙනි.
"මේ වෙලාවේ ඡන්ද තියනවා තියා බැලට් පේපර් එකක්වත් ගහගන්න ලංකාවේ කොළ නෑ. කැන්වසින් යන්න වාහනවලට ඩීසල් නෑ. කොහොමද ඡන්ද තියන්නේ." රුවන් ද පවතින අර්බුදය සිහිපත් කළේ එලෙසිනි.
සුපිරි හෝටලයේ රහස් සාකච්ඡාවට පැමිණියේ කවුද?
බදාදා පාර්ලිමේන්තු ගිය නායකයාට එදින සවස මොනාච් ඉම්පිරියල් හෝටලයට පැමිණෙන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ආරාධනා කළේ ඔහු මෙතෙක් කල් කතා කරමින් ආ ආර්ථික අර්බුදය ගැන දේශපාලන පක්ෂවල සාකච්ඡාවේ තවත් අදියරක් ලෙසය. එ.ජා.ප. නායකයා එදින සවස ශ්‍රී ජයවර්ධනපුර පිහිටි එම හෝටලයට ගිය අතර කරු ජයසූරිය, පාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන්, හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එහි පැමිණ සිටියහ.
එම සුපිරි හෝටලයේ 12 වැනි කාමරයේ මෙම රහස් සාකච්ඡාව පැවැත්විණ.
"මේක ජනාධිපතිවරයා විසඳිය යුතු ප්‍රශ්නයක්. අපට මෙය විසඳන්න බෑ. ජනතාව කියන්නේ ජනාධිපතිවරයාට යන්න කියලායි. ජනවරම දුන්න අයයි, ජනවරම ලැබුණ කෙනයි අතර ප්‍රශ්නයක් මේක. ඒ ප්‍රශ්නය විසඳුණාට පස්සේ තමයි ආර්ථික ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වෙන්නේ." පැමිණ සිටි බොහෝ පිරිසකගේ අදහස එය විය.
ඔවුන් සියලු දෙනා පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට වූහ. සකච්ඡා අවසානයේ ඔවුන් සියලු දෙනා විසිර ගියේ නැවත හමුවීමට කතිකා කර ගනිමිනි. විපක්ෂ නායකවරයාට හා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට ආරාධනා කර තිබුණ ද ඔවුන් ඊට සහභාගී වි සිටියේ නැත.
වර්තමාන ජනාධිපතිවරයා යටතේ විරුද්ධ පක්ෂයට කිසිම ආකාරයකින් ආණ්ඩුවක් කරගෙන යාමට නොහැකි බවට ද කිහිපදෙනෙකු විසින්ම පෙන්වා දෙන ලදී. නමුත් මෙහිදී පිළිගත හැකි විසඳුමක් අවසානය දක්වා ඉදිරිපත් වී නොමැති බවද වාර්තා වේ.
සුපිරි හෝටලයේ රහස් කතාබහේ තොරතුරු ජනපති දැනගනී
මෙම සුපිරි හෝටලයේ විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයින් අතර යම් රහසිගත සාකච්ඡාවක් සිදුවන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ද ආරංචි වී තිබුණි.
ඉකුත් බ්‍රහස්පතින්දා ද එ.ජා.ප. නායකයා පාර්ලිමේන්තු ගිය විට මන්ත්‍රීවරු පැමිණ ඔහු හා කතා කරන්නට වූවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සහ විද්වත් වෘත්තීයවේදීන් පිරිසක් සමඟ විශේෂ හමුවක් පසුගිය අඟහරුවාදා සවස ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණ සිටි මෙම වෘත්තීයවේදීන්ගේ හමුවේදී රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පියවර සම්බන්ධව මූලික අවධානය යොමු කරනු ලැබීය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම හා විනාශකාරී සන්ධිස්ථානයකට මේ වන විට රට පත්ව තිබෙන බැවින් මේ තත්ත්වයෙන් රටත් ජනතාවත් ආරක්ෂාකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට රට බාරගැනීමට ඉදිරිපත්වන ලෙස එම වෘත්තීයවේදීන් වජිරගෙන් ඉතා බැගැපත්ව ඉල්ලා සිටියේ අද මේ රටට රනිල් හැර වෙනත් විකල්පයක් නැති බව පෙන්වා දෙමිනි.
රනිල් රට බාරනොගන්නා හේතුව වජිර කියයි
"වෘත්තීයවේදීන් වශයෙන් ඔබතුමන්ලා කියන දෙය ඉතාම පැහැදිලියි. අද මේ රට භයානක තැනකට ඇද වැටී තිබෙනවා. ජනතාව අන්ත අසරණ වෙලා. හෙට දවස ගැන විශ්වාසයක් නැහැ. දරුවන්ගේ අනාගතය අඳුරු වෙන තැනට ගමන් කරමින් තිබෙනවා. මේ තත්ත්වය වහා වෙනස්කර රට යළි නිසි මඟට ගත යුතුයි. එය කළ හැක්කේ ඔබ කියනවා වගේම රනිල් වික්‍රමසිංහයන්ට පමණයි.
වැටී තිබෙන රට නැවත ගොඩගැනීම සඳහා එතුමට පැහැදිලි දර්ශනයක්, වැඩපිළිවෙළක්, දැක්මක් තිබෙනවා. එතුමා හැර පාර්ලිමේන්තුවේ සිටින 224 දෙනාටම එවැනි වැඩපිළිවෙළක් නැති බව අද වනවිට ඔප්පු වී තිබෙනවා. එහෙම නම් කළ හැකි පුද්ගලයාට රට බාරදිය යුතුයි. එලෙස කළ යුතු දේ නොකර තවදුරටත් කල් මරමින් සිටීමෙන් සිදුවන්නේ දිනෙන් දින රට විනාශයට තල්ලු වීමයි."
"ඇමතිතුමනි, රට බාරගන්නා ලෙස ආණ්ඩුවෙන් විපක්ෂයට ආරාධනාවක් කර තිබෙනවා. එහෙම නම් ඇයි බාර නොගන්නේ?"
"එහෙම එක එක්කෙනා කියන විදිහට රට බාරගන්න බැහැ. මෙලෙස අකර්මණ්‍ය වන රටක් නැවත ගොඩනැඟීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඕනෑ තරම් තිබෙනවා. ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලත් එහෙම සඳහන් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් කඩාගෙන වැටෙන්න ගියාම ඒ රටවල් නැවත ගොඩගන්න එවැනි ක්‍රම භාවිත කරලා තිබෙනවා.
හරීන් කියන සන්ධානය
1999 දශකයේදී ඉන්දියාව ඉතාම දුප්පත් තැනකයි තිබුණේ. අද ඉන්දියාව ලෝකයේ බලවතෙක් වෙලා. 99 දශකයේ දී සෝවියට් දේශය කැඩිලා කෑලිවලට වෙන් වෙලා යනකොට මෙවැනි ක්‍රම භාවිත කරලා තමයි පූටින් ජනාධිපතිවරයා විසින් අද රුසියාව ලෝකයේ බලවතෙක් බවට පත්කර තිබෙන්නේ.
දැන් සමස්ථ ජනතාවම රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් කවුරුවත් බය වෙන්න අවශ්‍ය නැහැ.
පාර්ලිමේන්තුවේ 224 ටම රට ගොඩගන්න වැඩේ කරන්න බැරි බව ප්‍රදර්ශනය කර හමාරයි. රනිල් වික්‍රමසිංහ පැහැදිලිව ප්‍රකාශකර තිබෙනවා පවතින අර්බුද සමනය කර රට ගොඩගත හැකි වැඩපිළිවෙළ කුමක්ද කියා. අද කළ යුත්තේ ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමට සියලු පාර්ශ්ව පොදු අරමුණකින් එක්වීමයි."
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව පක්ෂය නියෝජනය කරන විවිධ කණ්ඩායම් හා වජිර අබේවර්ධන අතර සාකච්ඡා වාර කිහිපයක් පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල කොළඹ සහ ගාල්ලේදී පැවැත්විණි.
"ආණ්ඩුවයි, ජවිපෙයි, එජාපයයි අර පක්ෂ 11 යි සන්ධානගත වෙලා." හරීන්ගේ විග්‍රහය එය විය. ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 ද ආණ්ඩු විරෝධයට එක්කර ගත හැකි බවද හරීන් පෙන්වා දුන්නේය.
03 දා ප.ව. 04.00 ට විපක්ෂ නායක සජිත් හා සජබ සියලු මන්ත්‍රීවරු විපක්ෂ කාර්යාලයට රැස්වී එතැන් සිට නිදහස් චතුරස්‍රයේ ඩී.ඇස්. පිළිරුව දක්වා පා ගමනක් ඇරඹූහ. ඊට සියලු දෙමළ මුස්ලිම් පක්ෂ ද එක්වීම විශේෂත්වයකි.
"ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දෙන්න. රට සන්සුන් කරන්න. මේ අධිබල විධායක ජනපතිකම මේ සතියෙම අහෝසි කරමු. සජබ ඊට අත්දෙකම උස්සනවා." සජිත් පාර්ලිමේන්තුවේ ද ප්‍රකාශ කළේය.
"රටේ තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයේ දී ඇමතිලා මේ උද්ඝෝෂණ කඩාකප්පල් වැඩ යැයි කිව්වා මිසක් රටේ ප්‍රශ්න විසඳන විදිය ගැන කිව්වෙ නෑ." කිරිඇල්ල කීය.