
ලංකාවේ පළමු බෞද්ධ බටහිර වෛද්‍යවරයා සහ අනගාරික ධර්මපාල තුමාගේ සොහොයුරකු වූ චාල්ස් අල්විස් (සී. ඒ). හේවාවිතාරණ 1929 දී දුම්රිය අනතුරකින් මිය ගොස් ඉකුත් අප්‍රේල් තුන්වැනිදාට වසර 93කි. මේ ලිපිය එතුමාගේ සමාජ සේවය ගැන කියවෙන කතාවකට වඩා එම ඛේදජනක මරණය ‘දිනමිණ’ අන් සියල්ලන්ටම කලින් හෙළිකළ අන්දම ගැන වැඩි දෙනෙකු නොදන්නා අනාවරණයකි. එහි කතානායකයා වසර 1920-1950 අතර වකවානුවේ ලේක්හවුසියේ සේවය කළ දක්ෂ පුවත්පත් කලාවේදියකු වූ දිවංගත ඩී. ඩබ්ලිව්. සේනාධීර ය.
ඒ දශක තුන දිනමිණ පුවත්පතේ ස්වර්ණමය යුගය යැයි කිවහොත් නිවැරදිය. විසිවැනි සියවසේ මුල් දශකවලදී ‘සිංහල බෞද්ධයා’ ‘සිංහල ජාතිය’ (1910), ‘ලක්මිණ’ යනාදී පුවත්පත් පැවති නමුත් දිනමිණ සමඟ තරඟ කිරීමට කිසිදු ප්‍රධාන පෙළේ දිනපතා සිංහල පුවත්පතක් නොවීය. (ලංකාදීපය සවස පුවත්පතක් ලෙස පැරණි ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම විසින් (Times of Ceylon Limited) 1947 දී අරඹන ලද නමුත් එය දිනපතා උදෑසන ප්‍රධාන පුවත්පතක් බවට පත්වුයේ 1949 දීය.)
මුලින් කුරුණෑගල මලියදේව විදුහලේ ගුරුවරයකුව සිටි සේනාධීර 1924 දී එම දිස්ත්‍රික්කයේ ගමක පැවති රැස්වීමක වෛද්‍ය හේවාවිතාරණ පැවැත්වූ කතාවක් ඇසීමට ගියේය. එම කතාවෙන් වශීවූ සේනාධීර, ඒ ගැන එවකට පළවූ The Independent නම් ඉංග්‍රීසි පුවත්පතට වාර්තා කළේය. පුදුමයට මෙන් එම පුවත්පත ඔහුගේ වාර්තාවට ඉතා වැදගත් තැනක් දී තිබුණි. එයින් සතුටට පත් සේනාධීර ගුරු වෘත්තිය අත්හැර පුවත්පත් කලාවේදියකු වීමට තීරණය කළේය.
ඔහු උප කතුවරයකු ලෙස දිනමිණ කර්තෘ මණ්ඩලයට එකතු වුයේ ඒ අනුවය. එවකට ලේක්හවුස් සභාපති වරයා වූයේ එම ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධනයන්ය.
සේනාධීරගේ පුවත්පත් දිවියේ ඉතාමත් තීරණාත්මක මොහොත පැමිණියේ 1929 අප්‍රේල් තුන්වැනිදාය. එදින හේවාවිතාරණ හදිසි කටයුත්තක් සම්බන්ධයෙන් සිය වැඩිමහල් සොහොයුරු අනගාරික ධර්මපාල තුමාගෙන් (කලින් ඩේවිඩ් හේවාවිතාරණ) ලැබුණු විදුලි පණිවුඩයක් (telegram or cable) නිසා සිය මෝටර් රියෙන් රත්නපුරයේ සිට කොළඹ බලා පිටත් විය.
ඒ කාලයේ සාමාන්‍ය දුරකථන (ජංගම නොවන) පහසුකම් පවා ඉතා අඩු විය. ගුවන්විදුලිය පැවතුණේ අත්හදා බැලීමේ තත්ත්වයකය. රූපවාහිනී ගැන අසා තිබුණේවත් නැත. පුවත් දැනගැනීමේ එකම ප්‍රධාන මඟ වුයේ මුද්‍රිත පුවත්පතයි. හදිසි පණිවුඩ යැවුණේ විදුලි පණිවුඩ ක්‍රමයෙනි (telegraph system).
එදින (අප්‍රේල් තුන්වැනිදා) දිනමිණ පුවත්පතේ රාත්‍රී කතුවරයා වුයේ සේනාධීරය. රාත්‍රී අට වන විට කර්තෘ මණ්ඩලයේ සියලු දෙනාම නිවෙස් බලා ගොසිනි. අන්තිමට 8.05 ට කාර්යාලයෙන් පිටවුයේ ප්‍රධාන කර්තෘ ඇලෙක්සැන්ඩර් වැලිවිට ය. ඔහු පිටත් වීමට පෙර සේනාධීරට විදුලි පණිවුඩයක් දුන්නේ එය කොටුවක් (box) ලෙස මුල් පිටුවේ පළකරන ලෙසය.
එම විදුලි පණිවුඩයෙන් කියැවුණේ ඇහැලියගොඩ දුම්රිය හරස් මඟේදී හේවාවිතාරණ රැගත් මෝටර් රිය ශීඝ්‍රගාමී දුම්රියක ගැටී බරපතළ අනතුරකට ලක් වූ බවයි. විදුලි පණිවුඩය කිහිපවරක් කියවූ සේනාධීරට ඉවෙන් මෙන් වැටහුණේ හේවාවිතාරණගේ ජීවිතය බේරාගත නොහැකි වන බවය. එබැවින් කර්තෘ මණ්ඩල පුස්තකාලයට ගිය සේනාධීර, හේවාවිතාරණ ජීවිතය ගැන දිගු ලිපියක් ලිවීමේ අදහසින් ඒ පිළිබඳ සියලු විස්තර එකතු කළේය.
ඉන්පසු සේනාධීර දුම්රිය අනතුර ගැන අලුත්ම තොරතුරු දැනගැනීමට මහාබෝධි සංගමයට සහ විද්‍යෝදය පිරිවෙනට දුරකථන ඇමතුම් දුන්නේය (එවකට යම් තරමකට හෝ දුරකථන පහසුකම් තිබුණේ කොළඹට සහ වෙනත් නගර කිහිපයකට පමණි). ඒ දෙතැනින්ම ඔහුට ලැබුණු පිළිතුර වුයේ හේවාවිතාරණගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු ඉක්මනින් සුව අතට හැරෙනු ඇති බවත්ය.
එහෙත් සේනාධීර එම ආරංචියෙන් සෑහීමට පත්වුණේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ප්‍රධාන කර්තෘ ඇලෙක්සැන්ඩර් වැලිවිට ගේ උපදෙස් පරිදි අනතුර පිළිබඳ පුවත මුල් පිටුවේ කොටුකර (box) පළ කරන ලෙස රාත්‍රී මුද්‍රණ කටයුතු භාර ෆෝමන් වරයාට කියා “වෛද්‍ය හේවාවිතාරණ හදිසි අනතුරකින් මියගිය බව දිනමිණ පවසන්නේ සාතිශය සංවේගයෙනි..." යනුවෙන් ලියන්නට පටන් ගත්තේය. එය හුදෙක් අනුමානයක් පමණක් විය.
ඒ කාලයේ 'දිනමිණ' තීරු හතකින් යුක්ත විය. වාර්තාව ලිවීමෙන් පසු තීරු හතම හසුවන හෙඩිමක් යටතේ මුද්‍රණයට සූදානම් කරන ලෙස සේනාධීර ෆෝමන්වරයාට දැන්වීය. ඒ අතරම එය රහසක් වශයෙන් තබාගන්නා ලෙස ෆෝමන්වරයාට පැවසූ ඔහු සෝදු පිටුව අන් කිසිවකුට නොපෙන්වා තමන්ට දෙන ලෙස කීය. හේවාවිතාරණ පිළිබඳ ලිපිය තීරු එකහමාරක් දක්වා දික් විය.
එහෙත් පුවත්පත මුද්‍රණය කිරීමේ අනුමැතිය සඳහා සේනාධීර එහි අත්සන් කළේ නැත. ඒ වකවානුවේ පුවත්පත් මුද්‍රණය සඳහා යොදා ගනු ලැබුවේ ලයිනෝ ටයිප් ක්‍රමයයි. ඕෆ්සෙට් සහ පරිගණක මුද්‍රණ ක්‍රමය ගැන අසා තිබුණේවත් නැත.
ලේක්හවුස් මගී බස් සේවය ඒ වන විට පටන්ගෙන තිබු බැවින් පත්තර මිටි රැගෙන ප්‍රමාද නොවී එම බස් පිටත් විය යුතු බව ඒ දිනවල එහි මුද්‍රණ කළමනාකරුව සිටි යුරෝපීය ජාතිකයා සේනාධීරට දැන්වීය.
වේලාව රාත්‍රී 9.20 විය. මුද්‍රණ කළමනාකරු නැවතත් සේනාධීරගෙන් අවසන් සෝදු පිටුව ඉල්ලා සිටියේය. එහෙත් තව ටික වෙලාවක් ඉවසන ලෙස ඔහු මුද්‍රණ කළමනාකරුගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය. හරියටම රාත්‍ර 9.40ට කාර්යාල 'ආරච්චි' (කාර්ය සහායක) විදුලි පණිවුඩයක් රැගෙන කර්තෘගේ කාමරයට දිව ආවේය. සේනාධීර තැති ගැන්මෙන් එය විවෘත කළේය. එහි වූයේ වචන දෙකකි, “වෛද්‍ය හේවාවිතාරණ මිය ගියා"
සේනාධීරගේ අනුමානය හරියටම හරි ගියේය.
ඇහැලියගොඩ දී සිදුවූ මාරක අනතුර සිදු වූ දිනට පසු දා 'දිනමිණ' අන් සිංහල ඉංග්‍රීසි පුවත්පත් පරදවමින් ඒ ඛේදවාචකය රටට මුලින්ම හෙළි කළේය. සමහර පුවත්පත් වාර්තා කළේ වෛද්‍ය හේවාවිතාරණ තවමත් රෝහලේ සිටින බවයි. ඔහුගේ තත්ත්වය ඉක්මනින් සුව අතට හැරෙනු ඇතැයි සේනාධීරට මුලින් ලැබුණු ආරංචිය හිතාමතාම ගෙතු අමූලික බොරුවක් බව ඔප්පු වුයේ ඒ මහතා අනතුර වූ ස්ථානයේම මියගිය බැවිනි. ඔහුගේ සිරුර කැබලි වී හඳුනාගත නොහැකි තරමට විකෘති වී තිබිණි.
ලේක්හවුස් සභාපති විජේවර්ධනයන් සාමාන්‍යයෙන් දැඩි චරිතයක් වුවද එදින පුවත්පත මුද්‍රණය කිරීම පමා වීමට සහ එනිසා බස් පිටත් වීම පමා වීමට ගැන සේනාධීරගෙන් නිදහසට කරුණු විමසුවේ නැත.
වෛද්‍ය හේවාවිතාරණගේ මළ සිරුර කොල්ලුපිටියේ ඔහුගේ නිවෙස වූ 'ශ්‍රී නගර' යට ගෙන ආ පසු සොහොයුරු අනගාරික ධර්මපාල දරාගත නොහැකි සොවින් කුඩා දරුවකු මෙන් "දොස්තර, දොස්තර, අනේ දොස්තර" යයි තුන්වරක් හඬා වැලපෙමින් අසුනක් මතට ඇද වැටුණු බව ධර්මපාල චරිතාපදානය ලියු දවස පුවත්පතේ හිටපු කතුවර ඩේවිඩ් කරුණාරත්නයන් එම කෘතියේ පවසා ඇත. ධර්මපාල තුමාගේ ශෝකය වඩාත් දැඩි වුයේ හේවාවිතාරණට තමා යැවූ විදුලි පණිවුඩයක් නිසා කොළඹට එමින් සිටියදී එම අනතුර සිදු වූ නිසාය.
සේනාධීර ද හේවාවිතාරණ මහතාගේ අවමඟුලට සහභාගී වූ අතිවිශාල සෙනඟට එක්විය. දෛවය ඉතා පුදුම සහගතය. පුවත්පත් කලාවට තමාගේ තිබූ සහජ හැකියාව අනියම් ලෙසින් මතුකරගන්නට මඟ පෑදූ පුද්ගලයාගේ ඛේදජනක මරණය මුලින්ම වාර්තා කරන්නට තමන්ට සිදුවේයැයි සේනාධීර කිසිදා නොසිතන්නට ඇත.
අවමඟුලේ වඩාත්ම ශෝකයටත් කම්පාවටත් පත්ව සිටියේ වෛද්‍ය හේවාවිතාරණගේ මෑණියන් වූ මල්ලිකා හේවාවිතාරණ මැතිනිය බව අමුතුවෙන් කිව යුතු නැත. සිය ජීවිත කාලයේදීම සිය පුතුන් තිදෙනකුගේම අකල් මරණවල දුක විඳ ගැනීමට ඇයට සිදුවිය. අනෙක් දෙදෙනා එනම්, සයිමන් සහ එඩ්මන්ඩ් මිය ගියේ මීට කලින්ය. දැන් ඉතිරිව සිටියේ අනගාරික ධර්මපාල තුමා පමණි.
සයිමන් සහ එඩ්මන්ඩ් ගේ අකල් මරණවලින් පසු පවුලේ වගකීම බාරගෙන සිටියේ සී.ඒ. හේවාවිතාරණ ය. ඒ නිසාම ඔහු සිය වෛද්‍ය වෘත්තිය ද අත් හරින්නට සිදුවිය.
ලංකාවේ පැරණිතම සුප්‍රසිද්ධ ලී බඩු ව්‍යාපාරිකයන් වන එච්. දොන් කරෝලිස් සහ පුත්‍රයෝ පවුලෙන් පැවතෙන්නකු වූ ඔහු වසර 1914 සිට සිය මුළු කාලයම වැය කළේ ව්‍යාපාරික කටයුතු, වගාවන්, සම්ප්‍රදායික කර්මාන්ත සහ කලාවන් නඟා සිටුවීම සහ පාලි ග්‍රන්ථ මුද්‍රණය කිරීමටය.
එපමණක් නොව මෙරට සිසුන් සඳහා ජපන් ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවූ ඔහු මහනුවර ධර්මරාජ විදුහල පිහිටු වීම සඳහා ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා සමඟ එක්වී හීල්පැන්කඳුර නම් අක්කර හතහමාරක ඉඩමක් මිලදී ගත්තේය. එම විදුහලේම සුභසිද්ධිය පිණිස වෛද්‍ය හේවාවිතාරණ මාතලේ අක්කර සියයක තේ වත්තක් ද ඊට පරිත්‍යාග කළේය.
වසර 1915 දී පැන නැගුණු ජාතිභේදවාදී ගැටුම්වලදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් යුද්ධ නීතිය ප්‍රකාශයට පත්කර අහිංසක සිවිල් වැසියන් රැසකගේ ජීවිත අහිමි කරමින් ගෙන ගිය භීෂණ පාලනයේදී අයුක්ති සහගතව සිරකරන ලද එෆ්.ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, පියදාස සිරිසේන සහ අනෙකුත් දේශප්‍රේමීන් අතර වෛද්‍ය හේවාවිතාරණ ද විය.