මේ දිනවල දැවෙන ප්‍රශ්න ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

මේ දිනවල දැවෙන ප්‍රශ්න ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. අසීරු අවස්ථාවල IMF එකෙන් අපි උදවි අරන් තියෙනවාද?
2. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද? 
3. උත්සව සමයේදී භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කිරීමට ගතයුතු පියවර කුමක්ද?
4. ආහාර සුරක්ෂිතතාවේ බරපතළ අර්බුදයක් ඇති බවට ඇතැම් පාර්ශ්ව කරන චෝදනා සත්‍යයක්ද?
5. රුපියල ස්ථායි කරගැනීමට ගතයුතු පියවර කුමක්ද?

ඩොලර් රේට් එක වැඩි කරන්න හදන උත්සාහය අපි පරාජය කළ යුතුයි
- පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

1 මම හිතන්නේ දැන් තත්ත්වය ඉතාම සංකීර්ණයි. ඒ කියන්නේ IMF එකට යෑම සම්බන්ධව අපේ දේශපාලන සංවාදය සැහෙන කාලයක් තිස්සෙම කෙරෙන පරණ සංවාදයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මට හිතෙනවා; දැන් තත්ත්වය යටතේ IMF එක විසින් දෙන කොන්දේසි බරපතළ වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණත් IMF එක එක්ක ගමන් කිරීම අත්‍යවශ්‍යයි. අපි ආණ්ඩුව විදිහට මෙන්ම මාත් පුද්ගලිකව හිතනවා සමහර තීරණ ඒ අවස්ථාවල නිශ්චිත වෙලාවේදී ගත යුතුයි කියලා. නිශ්චිත වේලාවේදී තීරණ ගැනීමෙන් අපට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්. නමුත් එය එසේ සිදුවුණේ නැත්නම් සිදුවන පාඩුව විශාලයි. ඒ නිසා දැන් ආර්ථිකමය වශයෙන් විදේශ මුල්‍ය රට තුළට ගලා ඒමේ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. රටක් විදිහට අපේ රට රේටින්ග්ස් වලිනුත් පහළට වැටී තිබෙනවා. මෙවැනි තත්වයක් තුළ IMF එකේ කොන්දේසි ගැන බරපතළ විදිහට බලන්න පුළුවන් තැනක නෙවෙයි අපි ඉන්නේ. ඒ නිසා මම හිතනවා කොන්දේසිත් ඇතැම්විට බරපතළ ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. නමුත් ඊට වඩා බරපතළයි මේ වෙලාවේ සහයෝගයක් නැතුව යන්න වීම.

2 මම හිතන්නේ ඒක නිවැරදියි කියලා. මගේ පුද්ගලික මතය මීට පෙර එය සිදු කළා නම් හොඳයි කියලා. නමුත් එය එසේ වුණේ නැහැ. IMF එකත් එක්ක දීර්ඝ කාලයක් අපි වැඩ කරලා තියෙනවා. අපහසු අවස්ථාවල අපි උදව් අරන් තියෙනවා. ඒ නිසා මෙවරත් අපි ඒ සහය ලබාගත යුතුයි. මීට වසරකට පෙර, නැත්නම් මාස හයකට පෙරවත් IMF සමඟ සාකච්ඡා කළා නම් එය වඩා සුදුසු බව මම විශ්වාස කරනවා. නමුත් අපගේ ආර්ථික උපදේශකයන් හා කැබිනට් මණ්ඩලය කල්පනා කරන්නට ඇති ඒ සඳහා වර්තමානය සුදුසු කාලය කියලා. පහුවෙලා හෝ මේ තීරණය ගැනීම වැදගත් බවයි මගේ හැඟීම.

3 එය ඇත්තටම අමාරු තත්ත්වයක්. මොකද ඩොලරය සඳහා ගෙවීමට ඇති රුපියල් ප්‍රමාණය වැඩිවීම නිසා එය සෘජු බලපෑමක් සිදු කරනවා; භාණ්ඩවල මිළ ඉහළ යාමට. විශේෂයෙන් ආනයනික භාණ්ඩ සඳහා මේ තත්ත්වය විශාල බලපෑමක් සිදු කරනවා. ඩොලර් ඌණතාවත් ඩොලර් සඳහා ගෙවන ලාංකේය මුදල්වල වැඩි වීමත් කියන කාරණා දෙකම ගැටගැහිලා තියෙනවා. එනිසා අපිට විදේශ මුදල් ලැබෙන ප්‍රමාණය වැඩිවීමක් වුණොත් හා ඒ සමඟ ඩොලරය සඳහා අපි ගෙවන මුදල්මය වටිනාකම අඩුවෙන්න පුළුවන්. එවැනි ක්‍රමවේදයක් යටතේ මෙය කළමනාකරණය කිරීමට අපි සැලසුම් කළ යුතුයි. එසේ නොමැතිව විවෘත වෙළඳපොළ තුළ භාණ්ඩවල මිල අඩු කිරීමක් කළ නොහැකියි. එසේ නොමැතිව විවෘත වෙළඳ ක්ෂේත්‍රයේ පිරිස් භාණ්ඩ මිල අඩු කිරීමකට යොමු වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් පැන නැඟුණහොත් ඔවුන් භාණ්ඩ ගෙන්වන්නේ නැහැ. ඉන්පසු ඇති වන්නේ භාණ්ඩ හිඟයක්. ඒ අනුව භාණ්ඩ හිඟයක් නොමැතිව පවත්වා ගන්නත්, භාණ්ඩවල මිල ඩොලරයට සාපේක්ෂ අගයක් ගන්නත් කියන කරුණු දෙකම වෙ‍ෙළඳපොළ තුළ අපිට දැක ගැනීමට හැකි දේවල්. රටේ පවතින අර්බුදයත් සමඟ මේ මොහොතේ විශාල දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් රජයෙන් යම්කිසි සහනයක් ලබාදෙන්න දැනටමත් මුදල් ඇමතිතුමා රුපියල් පන්දහසක දීමනාවක් යෝජනා කර තිබෙනවා.

4 පොහොර සම්බන්ධයෙන් පසුගිය මහ කන්නයට අදාළ තත්ත්වය සමඟ ඒ සංවාදය ගොඩනැඟී තිබෙනවා. බොහෝ අය රසායනික පොහොර නැවත්වීම හරහා අපේ ඵලදාවට බරපතළ අභියෝගයක් ඇතිවෙයි කියලා හිතුවා. නමුත් අද පෙනෙන දේ තමයි ඉන් විශාල බලපෑමක් ඇති කර නොමැති බව. නමුත් යම් බලපෑමක් සිදුවී තිබෙනවා. ඉදිරි යල කන්නය සම්බන්ධයෙන් පොහොර පිළිබඳව ගන්නා වූ තීරණය වඩාත් පරීක්ෂාවෙන් ගත යුතුයි. එක් කන්නයකින් පමණක් රටේ අහාර සුරක්ෂිතභාවය සම්පුර්ණයෙන් අර්බුදයට යන්නේ නැහැ. අපිට පසුගිය කන්නයේ හරි ගියා හෝ වැරදුණා හෝ එය දැන් ඉතිහාසයට අයිති කාරණයක්. නමුත් වර්තමානයේ අපි බලන්න ඕනෙ කොහොමද ඊළඟ කන්නයට පොහොර සම්බන්ධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කියලා. මොකද දැන් අපි ඉන්නේ උත්සහ කරලා බලලා වැරදුණොත් අයින් කරන්න පුළුවන් තැනක නෙවෙයි. මොකද එක වරක් දැන් උත්සාහ කරලා ඉන්නේ. ඒ නිසා ඒ දෙස බලලා ඉන් ඉගෙන ගත් පාඩම් විදිහට මේ පොහොර සම්බන්ධ ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයි. අනෙක් කාරණය නම් බිත්තර වී එහෙම නැත්නම් බීජ සම්බන්ධයෙන් ලබා දියයුතු දැනුම්වත් කිරීම්.

ඒ වගේම ජලය සම්බන්ධ ගතයුතු ක්‍රියාමාර්ගත් වැදගත්.පොහොර, බීජ හා ජලය යන කාරණා තුන කෙරෙහිම පළල් අවබෝධයකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි. ආහාර සුරක්ෂිතතාව ගැන සමහර විශේෂ මත පිළිබඳව අවධානයට ලක්කරලා; අපි ඉදිරි ප්‍රතිපත්ති තීරණ ගැනීම සුදුසුයි.

5 මම පුද්ගලිකව හිතනවා රුපියල පා කිරීම හා සමාන්තරව විනිමය අනුපාතය විවෘත කිරීමට සාපේක්ෂව පොලීි අනුපාතය වැඩිකිරීම සුදුසුයි කියලා. කෙසේ වෙතත් එය සිදුකිරීම තුළ අපට තාවකාලික බලපෑමක් තියේවි. ඒත් දීර්ඝකාලීනව වාසියක් ඇතිවෙයි කියලා මම හිතනවා. එසේ වුවත් දැනට යන ආකෘතිය ඇතුළේ දිස්වන්නේ ඩොලරය පාකිරීමට සාපේක්ෂකව පොලී අනුපාතය වැඩි කිරීමේ උනන්දුවක් නැති බවයි. දෙවෙනි කාරණය නීතියට පිටින් විදේශ මුදල් සම්බන්ධව කරන සමහර කටයුතු නැවැත්විය යුතුයි. නීති විරෝධී මාර්ගවලින් ඩොලරයේ අගය වැඩි කිරීමට සිදු කරන ක්‍රියාමාර්ගත් අප පාලනය කළ යුතුයි. දැනට මේ ගැන මහ බැංකුව අවධානය යොමු කර තිබෙනවා. එය ඉතාමත් වැදගත්. තුන්වෙනුව මහ බැංකුව සතුව යම්කිසි සංචිත ප්‍රමාණයක් තබා ගැනීම සිදු කළා නම් මීට වඩා වැඩි වාසියක් ගන්න තිබුණා. මේ සෑම දෙයකටම හේතුව විදිහට මම දකින්නේ අවස්ථාව කල්පසු කර තීරණ ගැනීමේ ක්‍රමවේදයයි. එය නිසා මේ තත්ත්වයන් ඇතිවී තිබෙනවා. මේ කරුණු වසන් කර වැඩක් නැහැ. රටේ සමාජයේ මේවා පැහැදිලිවම සාකච්ඡා වෙනවා. නීති විරෝධි මාර්ගවලින් ඩොලර් රේට් එක වැඩි කරන්න හදන උත්සාහය අපි පරාජය කරන්න අවශ්‍යයි. පොලි අනුපාතය වැඩි කරලා ඩොලර්එක පා කිරීමෙන් වැදගත් වාසි ලබාගන්න අවශ්‍යයි. කළු කඩ ව්‍යාපාරය පිළිබඳව තීරණයක් ගන්න අවශ්‍යයි. මහ බැංකුව සතුව යම්කිසි සංචිත ප්‍රමාණයක් තබාගන මෙය විවෘත කළා නම් මීට වඩා වැඩි වාසියයක් ගන්න තිබුණා. නමුත් අවස්ථාව පන්නලා තිරණ නිසා ඇතැම් විට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මේවා වහලා වැඩක් නැහැ. මේවා විද්‍යාවක් නිසා සාකච්ඡා කරන්න පුළුවන් විවෘතව. අපේ සංචිත වුණාට පසුව ඩොලරය පාකිරිම තුළ අපිට තියන හෙට්ටු කිරීමේ බලය නැති වෙලා තියනවා.


මේ අවස්ථාවේදී අවශ්‍ය දේශපාලනික වෙනසක්  සමඟි ජන බලවේගයේ
- පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

1 යෝජනා 5ක් ඉදිරිපත් කරලා තියනවා IMF විසින්. ආණ්ඩුව ඒවා සාකච්ඡා කරලා; ඒ අයට වැඩපිළවෙළක් දෙන්න අවශ්‍යයි.

ලංකාවේ රජයේ ආදායම වැඩිකරන්න අවශ්‍යයි. මෙයින් අදහස් කරන්නේ වියදම් කපා හැරීම නොවෙයි අදායම් වැඩි කරගැනීමයි. අයවැය පරතරය අඩුකර ගන්න අවශ්‍යයි.

විදෙස් විනිමය ක්‍රමානුකූලව සහ සංයුක්ත පුළුල් ක්‍රමවේදයක් යටතේ නම්‍යශීලි කරගත යුතුයි වැනි කරුණුද මේ සඳහා ඇතුළත් වෙනවා.නමුත් අපේ මිනිසුන් මොනවා කරයිද දන්නේ නැහැ.

2 IMF යන්න කියලා 2020 මම තමයි කිව්වේ ඉස්සෙල්ලාම. 2020 ඔක්තෝබර් මාසයේ මේ ගැන කිව්වේ. එදා ඒ දේ කිව්ව වෙලාවේ කළා නම් අද කිසිදු ප්‍රශ්නයක් නැහැ.

මේ අවශ්‍ය වෙලාවට තීන්දු තීරණ නොගැනීමයි අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

කුඩාවට තිබුණ ප්‍රශ්නයක් දැන් මහ ලොකු භයංකාර තැනකට ඇවිත් තියනවා. මේ තීරණය හරිද, වැරදි ද නොවෙයි ඇයි IMF යන්න පරක්කු වුණේ කියලයි ගැටලුව තියෙන්නේ. මේ යෝජනා පහ කොන්දේසි ලෙස සලකන්න නරකයි.

සමාජ ආරක්ෂාව සුරක්ෂිත කරලා ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවට යම් සුබසාධනයක් ඇති කරන දෙයක් වෙනවා නම් එය වඩා වටිනවා. රටේ ආධාර වැඩි කරගන්න අවශ්‍යයි.

එයට නොයෙකුත් දේවල් කළ යුතුයි. ඒවා මේ ආණ්ඩුව විසින්ම කරපු දේවල්. මහ පාරිමාණ ව්‍යාපාරිකයන්ට බදු ඉවත් කරන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. ඒ ආණ්ඩුව විහින් කර ගත්ත දේවල්.

3 මෙය පාලනය කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ආණ්ඩුවට එය නවත්තගන්න බැහැ. අනිවාර්යෙන් වෙළෙඳපොළ තරගකාරීත්වයක් නැහැ; භාණ්ඩ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මිල ඉහළ යාම වළක්වා ගන්න බැහැ.

අඩුම තරමින් හාල්ටිකවත් නැහැ. ඩොලර් ප්‍රශ්නයට අනිවාර්ය විසඳුමක් අවශ්‍යයි. මිල ඉහළ යන එක නවත්තන්නේ කොහොමද?

ඇමරිකානු ඩොලරයක මිල රුපියල තුන්සියයක් වැනි තරමට ඉහළ ගිහින්. එසේ වුණාම කොහොමද බඩු මිල ඉහළ යන එක නවත්තන්නේ. ඒ වගේම දේශීය කෘෂිකර්මාන්තය මේවන විට විනාශ වෙලා. අස්වැන්න සියයට 50කින් අඩුවෙලා.

4 ආහාර සුරක්ෂිතතාව ගැන බරපතළ අර්බුදයක් මතු වෙලා. මම කියන්නේ පොහොර ටික තහනම් කිරීම සහ සහනාධාරයන් කැපීම නිසා විශාල කඩාවැටීමක් සිදුවෙලා තියෙනවා.

පොහොර තහනම නිසා විශාල ගැටලුවකට ලංකාව මුහුණ දීමට සිදුවෙලා තියනවා. ඒ නිසා අස්වැන්න විශාල කඩා වැටීමටකට ලක්වෙලා තියෙනවා. පොළොන්නරුව වැනි සහල් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කවල සහල් ග්‍රෑම් සියයක ෂැශේ පැකට් තියනවා විකුණන්න. ඒ තරමට රට විශාල අර්බුදයකට වැටිලා.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳව තව කවරකතා ද. පිටරටින් ගේන බඩු ටික ගන්න බැහැ වරායේ හිරවෙලා; ඩොලර් නැතුව. ඒකට වග කියන්නේ කවුද හැම පැත්තෙන්ම ජනතාව පීඩාවට පත්වෙලා. කවුද පොහොර තහනම් කරන්නේ මෙ වගේ ව්‍යසන අවස්ථාවකදී.

5 දැන් බොහොම අමාරුයි. කරන්න තිබුණ දේවල් කරන්න අවශ්‍ය වෙලාවට කළේ නැහැනේ. දැන් කරන්න අමාරුයි.

අපි කුඩා කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරද්දි බෝලයක් ලිඳට වැටුණාම බෝලය අරන් දෙන්න කියලා වැඩිහිටියෙකුට කිව්වාම ඒ වැඩිහිටියා ලිඳට පනින්නේ නැහැනේ. ලණුවකින් ලිඳට බැහැලා ඒ බෝලය උඩට ගන්නවා මිසක ලිඳට පැන්නේ නැහැ.

ලිඳට පැන්නාම මිනිහත් නැහැ බෝලයත් නැහැනේ. ඒවගේ වැඩක් තමයි; මේ අය කරන්නේ; එකපාරට ගැඹුර ගැන හිතන්නේ නැතුව ලිඳට පැන්නා වගේ වැඩක්. මේ අවස්ථාවේදී අවශ්‍ය දේශපාලනික වෙනසක්. ආණ්ඩුවට මේ රට ගොඩනඟන්න බැහැ.


දැන් උත්සව සමයක් නැහැ; තියෙන්නේ පෝලිම් සමයක් 
- ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

1 අපේ අර්බුදය IMF එක පැහැදිලි කරලා තියෙනවා. සුපුරුදු වට්ටෝරුව ඉදිරිපත් කරලා තියෙනවා. අපි එය දන්නවා ආදායම් වැඩි කරන්න වියදම අඩුකරන්න ණය බේරගන්න; රාජ්‍ය ආයතනයන් විකුණන්න. මේ ටික හැමදාම කියනවානේ; ඕවා කරලා තමයි මේ රට මේ තරම් විනාශයට පත් වුණේ .

මේ අර්බුදයට හේතුවක් තමයි; රජයේ ආදායම ආණ්ඩුව කපා හැරීම. එයට පිළිතුරක් ලෙස IMF කියන්නේ බදු වැඩි කරන්න කියලයි. මේ රටේ කාගෙන්ද වැඩි කරන්නේ කියලා ගැටලුවක් තියනවා. දේශපාලඥයන් හොරකම් කරන සල්ලි ටික දෙන්න අවශ්‍යයි. මහ පරිමාණයේ ව්‍යාපාරිකයන්ගෙන් බදු ඉවත් කළා.

ආණ්ඩුවේ දේශපාලඥයන් හොරකම් කරපුවා බාරදෙන්න කියලා IMF එක ආණ්ඩුවට කියලා නැහැනේ. කරන්න අවශ්‍ය ඒවගේ දේවල්. හොරකම් කරපුවා, බදු වංචා කරපුවා නැවත අය කරගන්න කියලා තමයි IMF එක හරි නම් කියන්න අවශ්‍ය වෙන්නේ.

ජනතාවගෙන් බදු ගහලා වැඩක් නැහැ. වදින්න ඕන බදු ඔක්කොම වැදිලා ඉවරයි දැන්. වියදම් කපන්න කියනවා; මොනවද කපන්න තියෙන්නේ තවත්. ගොවි රක්ෂණය කපන්න ද, සමෘද්ධිය කපන්න ද, අධ්‍යාපනය කපන්නද; මොනවද කපන්නේ. ජනතාවගේ කැපවිම් උපරිමයෙන් කරලා ඉවරයි. IMF කියන දේවල් ප්‍රායෝගිකව කරන්න බැහැ. විකුණන්න තියන දේපොළ ඔක්කොම් විකුණලා ඉවරයි.

2 සහය ඉල්ලා ආණ්ඩුව කරන්නෙත් ඒකම තමයි. සහය නොඉල්ලා කළෙත් ඒකම තමයි. සහය ඉල්ලන්නේ නැහැ කියලා කළෙත් ඒකම තමයි. පොහොර සහනාධාර ටික කැපුවා, විකුණන්න ඕන දේවල් විකුණුවා, සෙලෙන්දිවා ව්‍යාපෘතිය ගෙනාවා.

කොළඹ ඉඩම් විකුණුවා, මේ අයට අමුතුවෙන් කියන්න දෙයක් කපන්න නැහැ. කොළඔ නගරයේ වටිනා ඉඩම් විකුණුවා, කරන්න ඕන ටික කරලා සහය ඉල්ලන්නේ. ඒ අය ගේ රිපෝට්වලත් කරන්න ඕන මොනවාද කියලා නැහැ.

මේ අය තව ටිකක් කරලා පෙන්නන්න වෙනවා. හොරකම නවත්තන්නයි අවශ්‍යයි . IMFඑක මහජනතාවගේ මුදල් මංකොල්ල කාපු සල්ලි ඉල්ලන්නේ නැහැ. කොහොමත් සමාජික රටවල් සමඟ එකඟතාවෙන් යනවා.

මේ IMF එක කරන්නේ මැරෙන්න යන අයට වතුර ටිකක් දීලා ඉන්පසුව ඊට වඩා දෙයක් බලාපොරොත්තුවක් තියා ගැනීමයි.

3 උත්සව සමයක් නැහැ. දැන් තියෙන්නේ පෝලීම් සමයක්. කිරිබත් හදන්න වෙන්නේ නැහැ; බෙහෙත්, තෙල්, පෝර, ගෑස්, පෝලිමේ ඉදලා. උත්සව සමයක් කියලා දෙයක් නැහැ.

සිංහල හින්දු අවුරුදු කාලයටත් ඒ දේම කරන්න පුළුවන් වෙන්න ඕන.

රාමසාන් කාලයට රුපියල් 200කට තිබුණ රට ඉදි බදු අඩු කළා නම්, සීනි, හාල්, පොල්තෙල් බදු අඩු කරන්න අවශ්‍යයි. මිනිසුන්ට හුස්ම ගන්න බැහැ.

දැන් අවුරුදු කාලයට පමණක් නොවෙයි. හැම කාලයටම සහනයක් අවශ්‍යයි. මේ ආණ්ඩුව ජනතාවට දැන් කරන්න තියෙන ලොකුම සහනය ගෙදර යවන එක. සිංහල අවුරුද්දට කලින් ආණ්ඩුව ගෙදර යනවා නම් එයයි; ලොකුම සහනය.

4අපේ රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව බරපතළ අර්බුදයක් දැනටත් තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ට ඕන; හාල් ටිකනේ. ජනතාවගෙන් 98%ක් බත් කන මිනිස්සු. මේ රටේ මිනිස්සුන්ට බත් ටික නැති කළේ මේ ආණ්ඩුව.

පොහොර අර්බුදය නිසා ඒක වුණේ. එය කොරෝනා නිසා වුණ නෙවෙයි. 

මහ පරිමාණයෙ ව්‍යාපාරිකයන්ට බදු සහන දුන්නා. වරායේ හිර වුණ කෑම ටිකවත් නිදහස් කර ගන්න ඩොලර් නැහැ. බඩුමිල ඉහළ යනවා පාලනය කරන්න බැහැ. සෑම ගැටලුවක ම අවසාන තැනට කැරකිලා එන්නේ ඩොලර් අර්බුදය. ඉදිරියේදි හාල්ටික නැහැ, එළවළු ටික නැහැ.

5 මේක ක්‍රමවත් ලෙස පාලනය කර ගන්න තිබුණානේ. මේක නිර්මාණය කරපු අර්බුදයක්. ප්‍රායෝගිකව නොකළ යුතු දෙයක් නොකළ යුතු වෙලාවේ කරන්නේ.

කළ යුතු වෙලාවෙ කළේ නැහැ. මේ ආණ්ඩුව කරන්නේම එවැනි පැටලැවිලි. රුපියල පාවෙන තත්ත්වයට පත් කළේ කළුකඩ දියුණු කරන්නයි. කළුකඩ ප්‍රමෝට් කරන්නයි මේ දේවල් කරන්නෙ.

රුපියල ස්ථායි කර ගන්න නම් ඩොලර් ගේන්න ඕන. ඩොලර් ගේන්න නම් ආයෝජකයන් ගේන්න අවශ්‍යයි. ආයෝජකයන්ට විස්වාසයක් හදන්න අවශ්‍යයි. ආයෝජකයන්ට විස්වාසය හැදෙන්නේ නැහැ; මේ ආණ්ඩුව ඉන්නකල්.

මේ දේශපාලන විසඳුමක් හොයන්නේ නැතුව ආර්ථික අර්බුදයට මොන පැලැස්තර දැම්මත් නැති කරන්න බැහැ.

Comments