කෝටි 800 ජනපති මන්දිරේ හිටපු ජනපතිට අහිමි වෙයිද? | සිළුමිණ

කෝටි 800 ජනපති මන්දිරේ හිටපු ජනපතිට අහිමි වෙයිද?

පැජට් පාරේ නිවස

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් ජනාධිපති ධුරය දරන සමයේ දී භාවිත කළ කොළඹ පැජට් පාරේ පිහිටි සුපිරි නිල නි‍ෙවස (කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස) විශ්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුගේ පාවිච්චිය සඳහා ලබා ගැනීමට කැබිනට් තීරණයක් ලබා ගෙන තිබුණි. ඒ සඳහා අනුමැතිය හිමි වූයේ 2019 වසරේ ඔක්තෝබර් 15 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමට එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවය.

විශ්‍රාමික ජනාධිපතිවරයකුට ව්‍යවස්ථානුකූලව ලබා දිය යුතු සියලු වරප්‍රසාදවලට අමතරව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට ද කැබිනට් මණ්ඩලය එහි දී තීරණය කර තිබිණි.

ඒ සම්බන්ධ තීරණ දැනුම් දීමත් සමඟ එවකට සමාජයේ දැඩි කතාබහකට එය ලක්විය. ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන විට (විශ්‍රාම යන විට) එම ජනාධිපති නිල නි‍ෙවස ආපසු බාර දිය යුතුය. ඒ අනුව කොළඹ පැජට් පාරේ පිහිටි මෛත්‍රීපාල සිරිසේනයන් පදිංචිව සිටි එම නිල නි‍ෙවසද ආපසු බාර දිය යුතුය.

ඇමෙරිකාවේ ධවල මන්දිරය ද මේ ලෙසිනි. ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන විට එනම් විශ්‍රාම ගිය විට නව ජනපතිවරයාට බාර දිය යුතුය. එය කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා විශ්‍රාම ගිය පසු ඒ නිවස ඔහුටම ලබා දෙන ලෙස ඉල්ලා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

නිල නිවසේ හිමිකම

විශ්‍රාමික ජනාධිපතිවරයකුට නිල නිවසකට හිමිකමක් පවතින බැවින් තමන් භාවිත කරන නි‍ෙවසම ඒ සඳහා ලබාගැනීම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අරමුණ විය. ඒ නිල නි‍ෙවස පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඩම් මිල අධිකම, මෙන්ම විකිණීමට කිසිදු ඉඩමක් නොමැති හා කිසිවකු ඉඩමක් අලෙවි නොකරන භූමි භාගයකය. සුපිරි ධනවතකුට පවා ඒ ප්‍රදේශයේ ඉඩමක් මිලට ගැනීමට ඉතා අසීරුය.

එහි ඉඩමක එක් පර්චසයක වටිනාකම මේ වනවිට කෝටි හතද ඉක්මවයි. එම නිල නිවස කැබිනට් ඇමැති නිවාස ඒකක දෙකක් එක් කර තැනූ විශාල නිවසකි. ජනාධිපතිවරයකුගේ භාවිතය වෙනුවෙන්ම කෝටි ගණනක වියදමින් එය නවීකරණය කළ, අති සුඛෝපභෝගි නි‍ෙවසකි. ඒ ඉඩමේ සහ නි‍ෙවසේ සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි 800 ඉක්මවන බව දේපළ තක්සේරුකරුවන් පෙන්වා දී තිබුණි.

ජනාධිපතිවරයකු විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ගැසට් පත්‍රයකින්ම දක්වා ඇත. ඒ 1986 වසරේ පෙබරවාරි මස නිකුත් වූවකි.

ඒ ගැසට් නිවේදනයට අනුව, "සෑම හිටපු ජනාධිපතිවරයකුට ම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය."

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවය.

මෙම නිවේදනයට නුව හිටපු ජනාධිපතිවරයකු අභාවයට පත් වුවහොත් ඔහුට හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නි‍ෙවස බිරියට හෝ සැමියාට ඔවුන් ජීවත්වන තුරු ලබා දිය යුතුය.

මීට අමතරව, 2005 වසරේ දී සිවිල් පුරවැසියන් දෙදෙනකු විසින් ගොනු කරන ලද නඩුවක තීන්දුවක් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අදාළ ව එවකට අගවිනිසුරු ධුරය සරත් එන්. සිල්වා 2007 වසරේ මාර්තු 02 වන දා දුන් නඩු තීන්දුවක් අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාදවල සංශෝධන සිදු කර තිබේ.

එහි දී SC FR503/2005 මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් පෙත්සම්කරුවන්ට පක්ෂව තීන්දුවක් ලබා දෙමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටියදීම ඇයගේ ප්‍රදාන සහ හිමිකම් පිළිබඳව ගෙන තිබූ කැබිනට් තීන්දුවක්ද අවලංගු කළේය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ සැමියන්ට විශ්‍රාම වැටුප්, කාර්ය මණ්ඩලය, නිල නිවාස, ආරක්ෂක භටයින්, රථවාහන සහ ඉන්ධන වියදම් ද හිමි වනු ඇත.

සින්නක්කර නිවෙසක් දෙන්න තින්දුවක්

එසේ වුවත් පළමු විධායක ජනාධිපති ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධනයන් විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ නිල නිවාසයක් බාර නොගත් ශ්‍රී ලංකාවේ එක ම ජනාධිපතිවරයා වේ. ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි සිය නි‍ෙවසේ ගත කරන ලදී.

ඔහුගෙන් පසුව පැමිණි රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරය දරන අතරතුර අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුට හිමි නිල නි‍ෙවස ඔහුගේ බිරිය වන හේමා ප්‍රේමදාසට හිමි විය. පළමුව කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිවසක් ඇයට ලබා දී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවතේ පිහිටි සී - 80 නි‍ෙවස ඇයට ලබා දී තිබුණි.

එමෙන්ම ඩී. බී. විජේතුංගයන් විශ්‍රාම ගැනීමෙන් පසුව වාසය කළේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වාසය කරන කොළඹ, මහගමසේකර මාවතේ (පැජට් පාර ලෙස මීට පෙර නම් කර තිබිණි) පිහිටි නි‍ෙවසේය.

එකිනෙකට සම්බන්ධ අමාත්‍ය නිල නිවාස දෙකක් එක් කර තැනූ සුවිසල් නි‍ෙවසක් එලෙස ඩී.බී. විජේතුංග භාවිතයට ගෙන තිබිණි. මෙරට පළමු විධායක ජනාධිපතිනිය ලෙස පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයන් ධුරයෙන් පසුව ගත කෙළේ කොළඹ 07, නිදහස් මාවතේ, අංක 27 දරන නි‍ෙවසේ ය.

එසේම මෙරට පස් වන විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂයන්ද විශ්‍රාම යාමෙන් පසු කොළඹ 07, විජේරාම මාවතේ, අංක 11 දරන නි‍ෙවස ඔහුගේ නිල නිවස වශයෙන් භාවිත කරන ලදී. එහෙත් පැජට් පාරේ නි‍ෙවස එසේ විශ්‍රාම ගැනීමෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ට සින්නක්කර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

මෙම නිල නි‍ෙවස ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයා සිය විශ්‍රාම දිවිය ගත කිරීමට තෝරා ගැනීමට පෙර පැවතියේ, අමාත්‍යවරුන් දෙදෙනකු සඳහා වෙන් කෙරුණු එකිනෙකට යාබද නිල නිවාස දෙකක් ලෙසය.

ඩී. බී. විජේතුංගගේ අභාවයෙන් පසු එම නි‍ෙවස පසුකලෙක අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සිය නිල නි‍ෙවස ලෙස භාවිත කළේය.

පසුව එය ප්‍රතිසංස්කරණය කර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නි‍ෙවස ලෙස භාවිතයට ගත්තේය. ඒ, කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිත කළහොත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බව පවසමිනි. කොටුවේ ජනාධිපති නිල නි‍ෙවස භාවිත කළහොත් ඒ සඳහා මසකට විදුලි බලය වෙනුවෙන් අධික විදුලි බිලක් වැය වන හෙයින් පැජට් පාරේ නිවස භාවිත කරන ලදී. එහෙත් පැජට් පාරේ ඒ නිවස ප්‍රතිසංස්කරණයට හා අනෙක් කටයුතු සඳහා රුපියල් මිලියන 180ක් හෙවත් කෝටි 18ක මුදලක් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් එකළ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති විය.

එසේ වුවත් 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතට අනුව විශ්‍රාමික ජනාධිපතිවරයකුට හෝ වරියකට නිල නි‍ෙවසක් සින්නක්කරව හිමි නොවේ. එම නිල නි‍ෙවස හිමි වන්නේ, ජනාධිපති සැමියා හෝ බිරිය අතරින් පසුව මිය යන තැනැත්තා ජීවත්වන තුරු පමණි. එම කරුණු අනුව 2019 වසරේ ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේනයන් විසින් සින්නක්කරවම නිල නි‍ෙවස ලබා ගැනීම වෙනුවෙන් අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

පාක්‍යසෝති ගේ විරෝධය

ඒ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි. එම මූලික අයිතිවාසිකම් පෙත්සමින් පෙන්වා දී තිබුණේ රුපියල් කෝටි ගණනක් වටිනා එම නිවස හා යාබද පිහිටි නිවසක් එක්කර රුපියල් මිලියන 180 ක් පමණ වැයකර ප්‍රතිසංස්කරණය කර ඇති බවත් එය පොදු දේපළක් බවයි. පොදු දේපළක් ජනපති ධුරය අහෝසි වීමෙන් පසුවත් සින්නක්කර ලෙසින් භාවිත කිරීම නීති විරෝධි බවත් පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

එසේම ජනාධිපතිවරයා විසින් මුලසුන හොබන කැබිනට් මණ්ඩලයක දී ජනාධිපතිවරයා විශ්‍රාම යාමට එසේත් නැත්නම් නැත්නම් ධුර අවසන් වීමට ආසන්නයේ එසේ නිල නි‍ෙවසක් සින්නක්කර වෙන් කර ගැනීම උචිත නොවන බවත් පොදු දේපළක් එලෙසින් වෙන් කර ගැනීම නීතිවිරෝධී බවත් පෙත්සම් කාර පාර්ශ්වය විසින් පෙන්වා දී තිබුණි.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සලකා බැලීමෙන් පසුව පසුගිය 29 වෙනිදා අතුරු නියෝගයක් නිකුත් කරන ලදි.

ඒ අනුව 2019 වසරේ ඔක්තෝබර් 15 වෙනිදා කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නිල නි‍ෙවස සින්නක්කර ලබා දීමේ තීරණය අත් හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

සති 4කින් අතුරු තහනමක්

එසේම එම අතුරු තහනම් නියෝගය මාර්තු 30 වැනිදා සිට සති 4කින් පසුව ක්‍රියාත්මක වන බවටත් විනිසුරු මඬුල්ලේ තීරණය විය. එමෙන්ම අදාළ පෙත්සම එළැඹෙන මැයි 18 වැනිදා නැවත කැඳවීමටද තීරණය කරන ලදී.

මෙම කැබිනට් තීරණයට ජනාධිපතිවරයාගේ කිසිදු බලපෑමක් නොමැති බව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විසින් පෙන්වා දුන්නද විනිසුරුවරුන් විසින් පෙන්වා දුන්නේ මූල්‍ය පරිපාලන බලය පාර්ලිමේන්තුවට හිමිවුණත් පොදු දේපළ පෞද්ගලිකත්වය වෙනුවෙන් භාවිත කිරීමේ බලයක් කැබිනට් මණ්ඩලයට නොමැති බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දෙන ලදී.

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා, නීතිඥ කීර්ති තිලකරන්න ඇතුළු නීතිඥ වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේනයන් වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. කෙසේ හෝ පැජට් පාරේ නි‍ෙවසින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පමණක් සිටිය හැකි වනු ඇත. පොදු දේපළ අයථා භාවිතයට කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කළේ කෙසේද යන්න ගැන මෙන්ම ජනාධිපතිවරයාගේ මුක්තිය සම්බන්ධවද යළිත් කථිකාවක් ගොඩ නැඟීමට කාලය එළැඹ ඇති බවට මේ තීන්දුවද බලපෑමක් වනු ඇත.

Comments