උපාලිගේ ‘කැන්ඩොස්’ ලොව පුරා රස මවයි | සිළුමිණ

උපාලිගේ ‘කැන්ඩොස්’ ලොව පුරා රස මවයි

 

මැලේසියානුවන්ට උපාලිගේ චොකලට් රස වැටුණු හැටි

ප්‍රථම හෙලිකොප්ටර් චාරිකාව කැලණි විහාරයට

මේ යුගය ශ්‍රී ලංකාවේ අලුත් කර්මාන්ත ඇති කිරීමට අපහසු විය. විදේශවලින් අමුද්‍රව්‍ය ගෙන ඒමට විදේශ විනිමය ද නතර කර තිබුණි. සිංගප්පූරුවේදී හදිසියේ හමුවූ මිතුරා එස්.එම්. රත්නම් ය. මැලේසියානු ජාතික ඔහු උපාලි සමඟ කළ කථාබහින් යමක් කළ හැකි කෙනකු බව වටහාගත්තේය. රත්නම්ගේ සහයෝගය ලැබුණු උපාලි කොකෝ නිපදවන කර්මාන්ත ශාලාවක් ඇරඹීමට තීරණය කළේය. කුන්ඩසාලයෙන් ඇරඹි ශ්‍රී ලංකාව පුරා ටික කලකින් ජනප්‍රියත්වයට පත් කැන්ඩෝස් චොක්ලට් මැලේසියාවේ ජනප්‍රිය කරවීම උපාලිගේ අදහස විය. ශ්‍රී ලංකාව ගැනත් ශ්‍රී ලංකා වැසියන්ගේ සිතුම් පැතුම් හා රුචිකත්වය ගැනත් පුළුල් අවබෝධයක් තිබූ නිසා මෙරට ව්‍යපාරයක් දියුණු කිරීමට පිළිපැදිය යුතු මූලධර්ම ගැන උපාලිගේ තිබුණු අවබෝධය නිසා උපාලි සමූහ ව්‍යාපාරය සුළු කලකින් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් බවට පත්වීම අපහසු නොවීය.

එහෙත් මැලේසියාව නුපුරුදු රටකි. නුපුරුදු මිනිසුන් හා නුපුරුදු රුචිකත්ව ඔවුන් සතු විය. බාධක මෙලෙස පවතිද්දී සේවකයන් තිහකින් කැන්ඩෝස් ව්‍යාපාරය ඇරඹූ ඔහුට මිනිසුන්ගේ රුචිකත්වය හඳුනා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවේ කොකෝවා මැලේසියා ගෙනවුත් එහි නිෂ්පාදන ඇරඹුවහොත් විශේෂයක් වෙතැයි උපාලි කල්පනා කළේය. මේ අනුව ලංකා කොකෝ නැව් දෙකක් එහි යවන ලදී. නගරය හැර දැමූ උපාලි මැලේසියාවේ ගම්බදව ජනප්‍රිය චොක්ලට් බවට පත් කිරීමට මහන්සි විය.

මැලේසියානු ගම්වල ජනතා රුචිකත්වය තහවුරු කරගන්නට උපාලිට පහසු විය. ඒ සමඟම අක්කර තුනක පමණ භූමියක් තුළ සුළු වශයෙන් ඇරඹි උපාලිගේ කම්හලේ අලුත් ගොඩනැඟිලි එකින් එක ඉදිවුණි. ක්‍රමයෙන් මැලේසියාවට ආනයන කළ චොක්ලට් වර්ග දෙවැනි තුන්වැනි තැනට පත්වී කැන්ඩෝස් පළමු තැනට ආවේය. සේවක පිරිස් ටිකෙන් ටික වැඩි විය. මර්ලින් හෝටලයේ කාමරයක කුලියට සිටි උපාලි අලුත් නිවසක් තැනවීය. කම්හලට තිබුණ එකම මෝටර් රථය වෙනුවට අලුත් මෝටර් රථ කීපයක් එක්විය. කැන්ඩෝස් ‘මැලේසියා’ නම ගත් චොක්ලට් වර්ගය බවට පත්විය.

කැන්ඩෝස් චොක්ලට් මැලේසියා සිට රටවල් කීපයකට පැතිරෙන්නට තරම් සුළු කාලකදී විශාල ජනප්‍රියත්වයට පත්විය. හොංකොං, සිංගප්පූරු, ඕස්ට්‍රේලියා, තායිලන්ත ආදී රටවලට චොක්ලට් අපනයන කරන ප්‍රධාන සමාගම බවට කැන්ඩෝස් මැලේසියා සමාගම ඉක්මන් දියුණුවක් ලැබීය. කැන්ඩෝස් ඉල්ලුම වැඩිවත්ම කම්හල පුළුල් කළේය. පැය විසි හතරම වැඩ කළත් නිෂ්පාදනය මඳ විය. සිංගප්පූරුවෙන් ලැබෙන ඉල්ලුම කෙසේවත් පිරිමැසිය නොහැකි විය. කළ හැකි හොඳම හා පහසුම දේ කළේය. සිංගප්පූරුවේ අලුත් කම්හලක් අරඹා කොකෝ පවුඩර් හා කොකෝ බටර් නිෂ්පාදනයට සැලසුම් කළේය. අවුරුදු දෙකක පමණ කෙටි කලක් තුළ මැලේසියා කොකෝ නිෂ්පාදනය අන්තිම ඉහළ මට්ටමකට නැංවූ උපාලිගේ පුංචි කර්මාන්ත ශාලාව අක්කර තුනක පමණ භූමි භාගය පුරා අතු ඉති ලියලන්නට විය. අග්නිදිග ආසියාවේ විශාලම කම්හල මෙසේ බිහිවිය.

එක් දිනක් සිංගප්පූරුවේ සිට මැලේසියාවේ කැන්ඩෝස් ආයතයේ වැඩ කළ පිරිසක් ගුවන්තොටුපළේදී අතරමං විය. ඔවුන් ළඟ ආපසු යාමට ගුවන් බලපත්‍ර ද නොවීය. ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ අයගෙන් ප්‍රශ්න කරන්නට විය. උපාලි හමුවීමට පැමිණි බව ඔවුහු කීහ. ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීනට මේ නම පුරුදු නැත. කැන්ඩෝස් නම ඇසූ සැණින් මේ පිරිස කවුරුන් හමුවීමට පැමිණියේදැයි ඔවුහු දැනගත්හ. දුරකථනයෙන් උපාලි සමඟ කථා කළ මේ නිලධාරීහු අර පිරිසට සුළු අවවාදයක් ද දුන්හ.

“එයාගෙ නම අපි දන්නෙ නෑ. මේ රටේ කවුරුත් එයාට “කොකෝ රජ්ජුරුවො” කියනවා”

මේ වනවිට මැලේසියාවල කැන්ඩෝස් සමාගම වෙනුවෙන් උපාලි විජයවර්ධන මිලට ගත් ඉඩම් ප්‍රමාණය අක්කර 40,000 කි.

ගුවන් හමුදා කපිතාන් මනි සෙනවිරත්න වැඩ කරමින් සිටියදී හදිසි දුරකථන පණිවුඩයක් ලැබිණ. කථා කළේ උපාලි සමූහ ආයතනයේ ආනන්ද පේළි මුහන්දිරම්ය. “උපාලි විජයවර්ධන ඔබ හමුවීමට බලා සිටිනවා. හැකි ඉක්මනින් පැමිණිය හැකිද?”යන්න එම පණිවුඩය විය. කාර්යාලීය කටයුතු නිම වූ සෙනවිරත්න උපාලි හමුවීමට ගියේය. ගුවන් ගමන් තොරතුරු, ගුවන් යානා, හෙලිකොප්ටර් ආදිය ගැන දෙදෙනා අතර කථාබහ ඇරඹිණ. ගුවන් යානා ගැන ලියැවුණු පොත්පත් විශාල ප්‍රමාණයක් මේ වන විට කථා බහ කරන ස්ථානයේම විය. ගුවන් යානාවල යාන්ත්‍රික අංශය කෙරේ උපාලි තුළ වූ දැනුම ගැන සෙනවිරත්න පුදුම විය.

“මම හෙලිකොප්ටරයක් ගන්න හිතාගෙන ඉන්නවා” යැයි උපාලි කීවේය. මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා තිබුණ ද ඒ හැම එකකටම වඩා උපකරණ අතින් ද, පහසුකම් අතින් ද නවීන වූ හෙලිකොප්ටර් යානයක් මිලට ගැනීම උපාලිගේ අදහස විය. මෙම මූලික කථාවෙන් සති දෙකක් යත්ම නැවත පේලිමුහන්දිරම් සෙනවිරත්නට කථා කළේය. උපාලි හෙලිකොප්ටර් යානයක් ඇණුවුම් කළ බවත් හදිසි සාකච්ඡාවකට නැවත එන ලෙසත් ඔහු කීවේය.

“අපේ සමාගමට බැඳෙන්න කැමතිද?” උපාලි කෙළින්ම ඇසුවේය.

“කල්පනා කරල උත්තරයක් දෙන්නම්”

පසුදා උපාලි ආයතනයෙන් මුද්‍රිත ඉල්ලුම්පතක් සෙනවිරත්නගේ ගෙදරට ලැබිණ. ඔහුගේ නිගමනය වූයේ ගුවන් හමුදා කපිතාන් ධුරයෙන් අස්වී උපාලි ආයතනයට සම්බන්ධ වීමය. තර්ස්ටන් පාරේ පිහිටි උපාලිගේ නිවසේ සඳළුතලය හෙලිකොප්ටර් යානය නතර කළ වේදිකාව විය. නිදහස් වෙළෙඳ කලාපයේ වැඩ කටයුතුත් සිය පෞද්ගලික වෙළෙඳ කටයුතුත් සඳහා මුලින් හෙලිකොප්ටරය ප්‍රයෝජනයට ගත් ඔහු කලක සිට කරගෙන ආ පුරුද්දක් වූ කල්‍යානි විහාරය බැලීමට යාම සිය ප්‍රථම හෙලිකොප්ටරයේ චාරිකාවට ද එක් කිරීමට අමතක නොකළේය. කැලණි විහාරය අසල යානය නතර කළ නොහැකි නිසා චෛත්‍ය රාජයා තෙවරක් පැදකුණු කොට පළමු චාරිකාව ඇරඹීය. මේ ඓතිහාසික සිද්ධිය වූයේ 1979 ජනවාරි 9 දාය.

පෞද්ගලික කටයුතු සඳහා ගෙන්වා ගත්තක් වුවද වැඩිවේලා නිකරුනේ තිබූ නිසා වෙළෙඳ ගමන් ද පැවැත්වීමට උපාලි කල්පනා කළේය. එහෙත් වෙනත් අයගේ පුද්ගලික ගමනක් යා යුත්තේ වඩා වැදගත් තැනකට යයි තීරණයක් ගෙන තිබුණි. මේ තැන ලෙස ශ්‍රීපාද ස්ථානයේ ඇති සාම චෛත්‍යය සඳහා වූ පෞද්ගලික ගමනකට ඉල්ලුමක් ලැබිණ. පැල්පොල විපස්සි හිමි සහ ලන්ඩන් විහාරාධිපති හම්මලව සද්ධා තිස්ස හිමියන් ප්‍රමුඛ පිරිස මේ ගමනට එක්වූහ.

හොලිකොප්ටර් යානයට ගුවන් ගමන් වැඩිපුර එක්වෙද්දී ගුවන් යානයක් මිලට ගත යුතු යයි උපාලි අදහස් කළේය. මේ අනුව ආසන පහේ සෙස්නා ගුවන් යානයක් මිලට ගති. ගුවන් හමුදා කපිතාන් ආනන්දප්පා මේ සමඟ උපාලි ගුවන් සමාගමට අලුතින් එක්වූ ගුවන් නියමුවා විය. ක්‍රමයෙන් රට තුළ ගුවන් ගමන් වැඩිවීම නිසා ඊළඟට ඔහු මිලට ගත්තේ ආසන විස්සක ගුවන් යානයකි. මේ සමඟ කොළඹ, අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය යන ස්ථාන අතර ගුවන් ගමන් සේවයක් ද ආරම්භ විය.

1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ විට මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට උපාලි පත්විය. මේ ආර්ථික කොමිසමට පැවරුණ වගකීම වූයේ සුදුසු භූමියක් තෝරා ගෙන එහි නිදහස් වෙළෙඳ කලාපයක් ඇරඹීමය. කටුනායක ප්‍රදේශය එයට ඉතාම සුදුසු යි මුල් රැස්වීමේදීම උපාලි ප්‍රකාශ කළේය. එයට හේතු වශයෙන් දැක්වූයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපව මෙවැන්නක් පිහිටුවීමෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට නිදහස් වෙළෙඳ කලාපය පිළිබඳ බලපෑමක් කළ හැකි බවය.

මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වීමෙන් පසුව උපාලි සිය පෞද්ගලික ව්‍යාපාර කටයුතු කෙරෙහි දක්වන ඇල්ම ක්‍රමයෙන් අඩු කළේය. මුළු කාලයම යෙදවූයේ තමා වෙත පැවරී ඇති අලුත් වගකීම ඉහළින් ඉටුකිරීමටය. මුලදී ඩෙල්ටා ටොපි ව්‍යාපාරය ඇරඹීමට ගත් මහන්සිය හා කැපවීම බඳු කාරියක් මේ අලුත් තනතුරු ලැබීමේදී නිදහස් වෙළෙඳ කලාපය කෙරෙහි යොමුවන්නට විය.

කලක් මුළුල්ලේ ලබන ලද ව්‍යාපාරික අවබෝධය ව්‍යාපාරික ආයෝජකයන් ගෙන්වීමට ද මූලික වශයෙන් අවශ්‍ය වූ ව්‍යාපාරික ලෝකයේ ලබා තිබූ ඉහළම පිළිගැනීම යන කරුණු නිසා නිදහස් වෙළෙඳ කලාපය සාර්ථක කර ගැනීමට ඔහුට හැකි විය. බොහෝ ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණියේ පෞද්ගලිකව උපාලි ලබා තිබූ විශේෂතා නිසාය. නිදහස් වෙළෙඳ කලාපයේ වැඩ කටයුතු සඳහා නිතර නිතර පිටරට යාමට උපාලිට සිදුවිය. පිටරට ගමන් සඳහා රජයෙන් සතයකුදු වැය වන්නට ඉඩ තැබුවේ නැත. ගුවන් යානයේ පළමු පන්තියේ යෑම සිරිතක් වුවත් ඒ සෑම ගමනකටම මුදල් යෙදවූයේ ද ඔහුමය. ඇතැම් විට පිටරට ගමන් සඳහා රජයේ නිලධාරීහු ද ඔහු සමඟ ගමන් ගති. ඔවුනට හිමි වූයේ සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයි. පළමු පන්තියේ අවසර පත් සඳහා අවශ්‍ය වන මුදල් ගෙවා ඔවුන් ද තමා සමඟම ගෙන යාම උපාලිගේ සිරිත විය.

1978 වර්ෂය සිට 1982 වර්ෂය දක්වා කාලය තුළදී විදේශ ආයෝජකයන් හතළිහක් පමණ ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාපයේ ව්‍යාපාර සඳහා ගෙන්වා ගැනීමට උපාලිට හැකි විය. මේ මඟින් 15,000 ට පමණ රැකියා අවස්ථා ලබා දීමටත් එමෙන්ම දෙගුණයක් පමණ දෙනාට වෙළෙඳ කලාපය නිසා ඇතිවන අමතර රැකියා සඳහා යෙදීමටත් හැකි විය.

නිදහස් වෙළෙඳ කලාපයේ වැඩ කටයුතු සඳහා වැඩියෙන් කාලය යොමු වෙද්දී උපාලි සමූහ ව්‍යාපාර හා විදේශවල පිහිටි උපාලි ආයතනවල කටයුතු සාර්ථකව පවත්වා ‍ගෙන යාමට හැකිවිය. මෙහිදී උපාලි සමූහ ආයතනයට එක්වූ දක්ෂ තරුණයකු ලෙස ආනන්ද පේලිමුහන්දිරම් දැක්විය හැකිය. පේලිමුහන්දිරම් උපාලි ආයතනයට ආවේ පුහුණු වන පාලන නිලධාරියකු ලෙසිනි. ළාබාල තරුණයකු වූ හෙතෙම සුළු කාලයක් තුල පාලන කටයුතුවල දස්කම් දැක්වූහ. ව්‍යාපාරික කටයුතු පිළිබඳව හසල බුද්ධිමතකු වූ උපාලි පේලිමුහන්දිරම් සිය සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළේය. විශේෂයෙන් පිටරට ව්‍යාපාර අංශයේ ලා උනන්දුවකින් කටයුතු කරන්නට පේලිමුහන්දිරම් සිටි හෙයින් නිදහස් වෙළෙඳ කලාපයේ වැඩ කටයුතුවලට වඩාත් කාල වේලාව ලබා ගැනීමට උපාලිට හැකි විය. මේ කාලයේදී උපාලි, උපාලි යූ.එස්.ඒ. නමින් පිහිටු වූ ඇමරිකා වෙළෙඳ ආයතනයත්, ලෝක වෙළෙඳපොළ සමඟ තරග වැදීමට ශක්තිය ලැබිණ.

බුදු පා පහස ලද කැලණි රජමහා වෙහෙර විජාතික සතුරු බලවේග විසින් ජරා ජීර්ණ ලෙසට පත්කොට තිබූ අවධියක එහි කටු කොහොල් හැර ප්‍රතිසංස්කරණය කරවූයේ හෙලේනා විජේවර්ධන මැතිනියයි. ස්වකීය මෑණියන්ගේ අදහසට ක්‍රියාවට නැඟූ බලවේගය වූයේ වෝල්ටර් විජේවර්ධන ය. කැලණි වෙහෙර වැඳීමට ගිය වෝල්ටර් විජේවර්ධන බුදුගෙය මඩ වගුරක්ව පැවති අයුරු සිය මෑණියන්ට පෙන්වා දුනි. දෙදෙනාගේ අදහස් අනුව නව විහාර කර්මාන්තය ඇරඹිණි. පැරණි විහාර මන්දිරය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය වුණි. මේ වනවිට රටපුරා සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට ගොස් ලැබූ අත්දැකීම් තුළින් විහාර මන්දිරය විචිත්‍ර බිතු සිතුවම්වලින් අලංකාර කළ යුතු යැයි කල්පනා කළේය. පැරණි වෙහෙර බුදු මැදුරේ චිත්‍ර නිර්මාණය කළ සෝලියස් මැන්දිස්ට උපදෙස් දීම සඳහා චිත්‍ර කලාව ගැන ලියවුණු ග්‍රන්ථ රැසක් පරිශීලනය කරන්නට ඔහුට සිදුවිය. පැරණි සිංහල චිත්‍ර කලාව හා ඉන්දියානු චිත්‍ර කලාව පිළිබඳවත් ලියැවුණු පොත්පත් කියවා බලා නොනැවතුණු විජේවර්ධන එම චිත්‍ර නිර්මාණ යළි යළිත් මතකයට නැංවීම සඳහා සෝලියස් මැන්දිස් සමඟ රට පුරා සංචාරය කළේය.

බුද්ධ ප්‍රතිමාව බුදු මැදුරේ නෙළීම සඳහා ඉන්දියාවෙන් ගල් වඩුවන් ගෙන්වීය. මුලදී නිම කළ බුද්ධ ප්‍රතිමාව වෝල්ටර් විජේවර්ධනගේ සිත් නොගත්තෙන් තවත් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවීය. අද කැලණි වෙහෙරේ බුදු මැදුර තුළ ඇත්තේ දෙවැනි වර කරන්නට යෙදුණු ශෛලමය බුද්ධ ප්‍රතිමාවයි. පළමු නිර්මාණය අද බෝමළුවේ සෙවණ ලබමින් ඇත.

කැලණි පෙරහැරේ මූලිකයා වූයේ ද වෝල්ටර් විජේවර්ධන ය. එහි අතීත සිද්ධිය ද රසවත් පුරාවෘත්තයකි. අද එක්සත් ජනපද ප්‍රවෘත්ති සේවා කාර්යාලය (ඇමෙරිකාවේ තානාපති කාර්යාලය) පිහිටි සුවිසල් මන්දිරයේ විජේවර්ධන පදිංචිව සිටි නිවෙසේය. එහි භූමි භාගය ගාලු පාරේ සිට මුහුදු තීරය දක්වා විහිදී පැවතිණ. නිවෙසට සමීපව විශාල බුදු මැදුරක් ද ඉදිකොට තිබිණ. දළදා මැදුරේ නිති පතා සිදුවන තේවා ඇතුළු ආගමික පිළිවෙත් මෙහිදී නිතිපතා පැවැත්විණ. සෑම වෙසක් පෝ දිනම නිවෙස වටා සධාතුක කරඬුව වැඩමවා කළ මහ පෙරහැරකි. කැලණි වෙහෙරේ දායක සභාපති හැටියට මෙහිදී මහ පෙරහැරක් පැවැත්විය යුතු යයි වෝල්ටර් විජේවර්ධන කල්පනා කළේය. එවකට වාර්ෂික පෙරහැර පැවැතියේ මහනුවර දළදා මාළිගයේ පමණි. ශ්‍රී දළදා මාළිගයේ මෙන් අංගසම්පූර්ණ පෙරහැරක් පැවැත්වීමට සිතූ විජේවර්ධන මහනුවරට ගොස් පෙරහැරේ සියලුම අංගයක්ම සූක්ෂ්මව අධ්‍යයනය කළේය. තමන්ගේම වියදමින් අවශ්‍ය කළමනා පිළියෙල කළේය. ධාතු කරඬුව වැඩමවීමට යොදාගත්තේ තමා විවාහ වූ දිනයේ ඉන්දියානු නිර්මාණ ශිල්පයට අනුව ඉදිකළ විචිත්‍ර පෝරුවයි. අදත් ධාතු කරඬුව වැඩම වනුයේ එදා වෝල්ටර් විජයවර්ධන නැඟි මඟුල් පෝරුවයි.

සිය සිත්ගත් නන්දලාල් බෝස් සහ රවීන්ද්‍රනාත් ථාගෝරයන් ලංකාවට ගෙන්වා සති ගණනක් සිය නිවෙසේම නතර කරවාගෙන ඇසුරු කිරීමෙන් ඔහු මහත් වින්දනයක් ලැබීය. මේ යුගයේ මැද පන්තියට අයත් කොළඹ හතේ පවුල්වල කාන්තා පක්ෂය පෘතුගීසි තාලයට සාය හැට්ට ඇඳ සැරසී සිටීම ජාතිකත්වයට මදිකමක් බව හෙතෙම නිතර ප්‍රකාශ කළේය. සිය පවුලේ අයට සාරි අන්දවා එය කොළඹ හතට පුරුදු කළේ ඔහුයි. අයෙක් පොතපතින් ද ජාතිකත්වයට අනුබල දුන්හ. තවත් අය දේශන මඟින් අනුබල දුන්නේය. වෝල්ටර් විජේවර්ධන ක්‍රියාවෙන්ම ජාතිකත්වයට අනුබල දුන්නේය. වසර හතළිස් පහක් පමණවූ කෙටි කලකදී මෙරට සිංහල බෞද්ධ ජනතාවට විශාල මෙහෙයක් ඉටු කළ පුණ්‍යවන්තයකු ලෙස ඔහු හැඳින්විය හැකිය.

උපාලි විජයවර්ධනගේ පිය පස මිත්තණිය මෙන් ම මවගේ මව ද එබඳු ම ජාතික ආගමික සේවාවක යෙදුණු පුණ්‍ය‍යවන්තියක වූවාය. ප්‍රැන්සිස් විජේසිංහ හා සාරා ලොරැන්සිනා විජේසිංහ, උපාලි විජේවර්ධනගේ මව වූ අනුලා කල්‍යාණවතී විජයසිංහ මහත්මියගේ පියා සහ මව ය. ප්‍රැන්සිස් විජේසිංහ කඹුරුපිටිය මුල් කරගෙන මෙම ප්‍රදේශයට විශිෂ්ට සේවයක් කළ කෙනෙකි. කුඹුරු අක්කර තුන්සියයක් හා ගොඩ ඉඩම් අක්කර දෙසියයක් වගා කළ ප්‍රසිද්ධ වතු කාරයෙකි. මුහන්දිරම් විජේසිංහ ඒ ඉඩම්වලින් ලැබුණු වී සහල් අටු කොටුවල පුරවා හෝ විකුණා මුදල් එකතු කළ පුද්ගලයකු නොවීය. ගමේ සිටි නෑදෑයන්ට ද දීමෙන් ඔහු සතුටක් වින්දේය. මෙලොව වත්කමට වඩා එලොව වත්කම ඉහළට යවන්නට වඩාත් සිත් යොමු කළ හෙතෙම දන් පින් වැඩවලට හැරුණු සිතින් කල් යැවීය. ගමේ පන්සලේ හාමුදුරුවෝ මිරිස්වත්ත වලව්වට වැඩම කොට විත් ගිලන්පස දානමාන පිළිගන්වන අනුශාසනා ලබාගැනීම ඔහුගේ දෛනික පුරුද්දක් විය. කුඹුරු වගාවට වඩා අලුත් දෙයක් කළ යුතු යැයි ඔහු තුළ තිර අදිටනක් විය. ඒ අනුව රටින් ගෙනා රබර් ඇටවලින් හිටවූ වතු වගාව රට ‘ලංකාවත්ත’ යයි හැඳින්වීය.

කඹුරුපිටියේ කපුගොඩ විද්‍යානිකේත පිරිවෙන් විහාරයේ අභිවෘද්ධියට ක්‍රමවත් සැලසුමක් ඇති කරමින් ‘සංඝ රක්ෂිත සභාව’ නම් අලුත් සංගමයක් ඇති කළේය. පන්සලේ දියුණුවට ඉඩකඩම් ද, නව ගොඩනැඟිලි ද ඉදි කරවීය. විද්‍යානිකේත පිරිවෙන් විහාරයේ සංඝාවාසයක්, සීමා ගෙයක් හා ධර්ම ශාලාවක් ද ඉදි කරවීය. ප්‍රැන්සිස් විජේසිංහගේ ආගමික කටයුතුවලට වඩා ධෛර්යයක් ලැබුණේ විජේසිංහ මැතිනියගෙනි. තම සැමියා පන්සල දියුණු කරද්දී සාරා ලොරැන්සිනා සිය නිවෙස ද බුදුගෙයක් කරන්නට වෙර දැරුවාය. මිරිස්වත්ත වලව්ව පසෙක බුදු මැදුරක් ද සිල් ගෙයක් ද කරවූවා ය. පෝය දිනවල පහසුවෙන් සිල් රැකීම සඳහා නිවෙසට සමීපව තැනුණු සිල් ගෙයකට වී සේවක කාරකාදීන් සමඟ එක්වී සිල් ගත්තාය. භාවනා කළාය. බණ ඇසුවාය. වස්කාලය එළඹි විට භික්ෂූන් වහන්සේ නමක් වඩමවා සිය නිවසේදීම වස් ඉඳුවා උවටැන් කරමින් පින් රැස්කර ගත්තාය.

බටපත්තල උපසේන පිරිවෙන් විහාරස්ථානයේ සංඝාවාස තැනවූවේය. විලේගොඩ විහාරස්ථානය, සපුගහපිටිය විහාරස්ථානය, කිතුලේවෙල මහා මන්තින්දය ඇතුළු ළඟපාත විහාරවල දියුණුවට කටයුතු කළාය. මාතර රාහුල විද්‍යාලයට එදා වියදමින් රුපියල් එක්ලක්ෂයක් පමණ වියදම් කොට සිය මාපියන් සිහිවීම සඳහා ‘ගුණතිලක ශාලාව’ නමින් පාසල් ගොඩනැඟිල්ලක් තනවා දුන්නේය. ගුණතිලක ශාලාව විවෘත කළ දා සිට දින හතක් පිරිත් කියවා මහා සංඝයා පනස් නමක් විෂයයෙහි දන් පවත්වා ධර්ම පුස්තක පරිත්‍යාග කළාය. කඹුරුපිටියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රැන්සිස් විජේසිංහ උදවු වූවා පමණක් නොව විශ්‍රාම ශාලා මංමාවත් තනවා ගම් වැසි අවශ්‍යතා සඳහා විශාල සේවයක් කළේය. අදත් ගම්වැසියන්ට විජේසිංහ පරපුර කෙරේ භක්තියක් ඇත්තේ ගම හදන්නට මුල් වූ මූලිකයන් අගය කරන්නට ඔවුන් සැදී පැහැදී සිටින හෙයිනි.

Comments