
පැරණි දේ රත්තරන් සේ වටින බව කීවද හැම පැරණි දෙයක්ම එසේ වටින්නේ ද නැත. ලංකේය පත්තර ඉතිහාසයේ මහගෙදර වූ ලේක්හවුස් ආයතනයෙන් උපත ලැබූ ලංකාවේ පරිණතම හා පැරණිතම ඉරිදා පුවත්පත වන සිළුමිණ ඉකුත් මාර්තු 30 වැනිදා සිය 92 වැනි වර්ෂ පූර්ණය සමරනු ලැබුවේ සිය ආයු කාලයත් ඉක්මවා ගිය ගුණාත්මක වටිනාකම්වලින් පිරිපුන් පුවත්පතක් ලෙසටය. 1930 දශකයේදී උපන් සිළුමිණ මෙරට පුවත්පත් ලෝකයට සිළුමිණක් වූයේ දේශීය පාඨකයන්ට විශ්වවිද්‍යාලයක දැනුම් පරාසය ලබාදෙමිනි. එනිසාම එදා ‘සත දහයේ විශ්වවිද්‍යාලය’ලෙස විරුදාවලි ලත් සිළුමිණ මෙදා සිය අනූ දෙවැනි ඡන්ම දිනය සමරනු ලැබුවේ ද දශක නවයක අභිමානවත් ඉතිහාසයේ තවත් ස්වර්ණමය පියවරක් සනිටුහන් කරමිනි.
ඉකුත් 30 වැනිදා ‘සිළුමිණ’ට සුවිශේෂී දිනයක් වූයේ ඒ අනුවය. එය ශ්‍රී ලාංකිකයාට කවදත් හුරුපුරුදු ආගන්තුක සත්කාරය, කළගුණ සැලකීම සහ පිදිය යුත්තන් පිදීම යන මහඟු ගුණ සමුදාය තවමත් පත්තර මහගෙදර සිළුමිණ කර්තෘ මාණ්ඩලිකයන් සතු බව අරුත් ගැන්වූ අවස්ථාවක් විය. ගතවූ දශක නවයක කාලය තුළ සිළුමිණට මඟ කියූ හිටපු කතුවරුන් 26 දෙනා අතරෙන් ජීවතුත් අතර සිටින කතුවරුන් 7 දෙනා ලේක්හවුසියේ සිළුමිණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා සිළුමිණ ඡන්ම දින ප්‍රීතිය ඔවුන් හා බෙදාගන්නට වත්මන් කතුවරයා ඇතුළු කතෘ මාණ්ඩලිකයන් කටයුතු කර තිබිණ. ඒ අනුව සිළුමිණ 92 වැනි සැමරුම ආරම්භ වූයේ හිටපු කතුවරුන් හරසරින් පිළිගනිමිනි. ඒ අතර මේ වන විට මෙරට සිටින ජ්‍යේෂ්ඨතම පුවත්පත් කතුවරයා සහ මාධ්‍යවේදියා වන එඩ්මන්ඩ් රණසිංහයන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුන්දර නිහතමානී ද මැල්, සුනිල් ජයසේකර සහ චාමින්ද වාරියගොඩ විය. ගිලන් වී සිටීම හේතුවෙන් හිටපු කතුවරුන් දෙදෙනකුට මෙම අවස්ථාවට සහභාගීවීමට නොහැකි වුවද සිළුමිණටත් කතෘ මාණ්ඩලිකයන්ටත් සිය සුබපැතුම් පිරිනැමීමට ඔවුහු අමතක නොකළහ. මෙවර සමරුවේදී තවත් සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් සිළුමිණ කර්තෘ මාණ්ඩලිකයන් පෙළ ගැසුණහ. ඒ, මාධ්‍ය වාර්තාකරණයේ යෙදී සිටියදී 1995 අප්‍රේල් 29 වැනිදා යාපනය ගුවන් කලාපයේදී ඝාතනයට ලක් වූ සිළුමිණ සම කර්තෘ කරුණාරත්න සපුතන්ත්‍රී, සිළුමිණ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ කිරම පියසෝම සහ ඡායාරූප ශිල්පී එඩ්වින් වීරසිංහ යන මාධ්‍යවේදීන් තිදෙනාට ලේක්හවුස් ආයතනය වෙනුවෙන් සිළුමිණේ උත්තමාචාරය පුද කිරීමයි.
සිළුමිණ උන්නතිය වෙනුවෙන් නිබඳ දිරිදෙන ලේක්හවුස් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, අධ්‍යක්ෂ (නීති හා පාලන) නීතිඥ රඛිත අබේගුණවර්ධන, අධ්‍යක්ෂ (මූල්‍ය) නීතිඥ ජනක රණතුංග, සාමාන්‍යාධිකාරී(වැ.බ) සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන චන්දන බණ්ඩාර, එස්.එන්. අධිකාරී, වී.එස්. බොයිස්, සමාගම් ලේකම් එච්.ඩබ්ලිව්. එස් ප්‍රසංගා, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත්, තිනකරන් ප්‍රධාන කර්තෘ සෙන්තිල් වේලවර්, තරුණි කර්තෘ ඉඳුනිල් වීරරත්න, මිහිර කර්තෘ ජගත් හේවාපන්න සහ බුදුසරණ කර්තෘ රමණි සුබසිංහ ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සව සභාව ආරම්භ වූයේ චිරාගත සාම්ප්‍රදානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙනි. සිළුමිණ හිටපු කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහයන් විසින් සිළුමිණ හිටපු කර්තෘවරුන්ගේ ඡායාරූප නිරාවරණය කිරීම සිදුවූ අතර, ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්නයන් විසින් මියගිය සිළුමිණ මාධ්‍යවේදීන් තිදෙනාගේ ඡායාරූපය නිරාවරණය කිරීමත් සිදුවූයේ එකී මාධ්‍යවේදීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙනි. 1995 අප්‍රේල් මස 29 වැනිදා ජීවිතයෙන් සමුගත් සිළුමිණ සම කර්තෘ කරුණාරත්න සපුතන්ත්‍රී වෙනුවෙන් ඔහුගේ දියණිය ප්‍රදීපිකා සපුතන්ත්‍රි, සිළුමිණ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ කිරම පියසෝම වෙනුවෙන් ඔහුගේ බිරිය ගීතානි පියසෝම සහ බාල දියණිය නෙත්මිණි අගලකඩආරච්චිත් ඡායාරූප ශිල්පී එඩ්වින් වීරසිංහ වෙනුවෙන් ඔහුගේ බිරිය ජයම්පති වීරසිංහ සහ පුතු එරන්ද වීරසිංහ එම අවස්ථාවට එක්වූ අතර එය අතිශයින් සංවේදී සහ හැඟීම්බර අවස්ථාවක් බවට පත්විය. සිය ආදරණීයන්ගේ වියෝවින් වසර 27කට පසු ලේක්හවුසියට කැඳවා මෙවැනි උපහාර පිදීමක් පැවැත්වීම පිළිබඳ ඔවුහු සිළුමිණටත් ලේක්හවුස් ආයතනයටත් සිය කෘතඥතාවය පළ කළහ.
මාධ්‍යවේදී කිරම පියසෝම මීට වසර 27කට පෙර ජීවිතයෙන් සමුගන්නා විට මාස 8ක බිලිඳියකව සිටි ඔහුගේ බාල දියණිය නෙත්මිණි මේ වන විට 28 හැවිරිදි යුවතියකි. ඇය ඒ අවාසනාවන්ත සිදුවීම උත්සව සභාවේදී වදන්වලට පෙරළුවේ බොහෝ හැඟීම්බරවය.
“ඒ සිදුවීම නිසා අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් වුණා. මට තාත්තා ගැන කිසිම මතකයක් නැහැ. නමුත් මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් අවදානම් අවස්ථාවක ජීවිතය කැප කළ මගේ තාත්තා මම සැබෑ වීරයෙක් ලෙස සලකනවා. තාත්තගේ වියෝව සිදුවන විට මාස 8ක බිලිඳියකව සිටි මමත් අවුරුදු 6ක් වයැසති අක්කාත් සමඟ ජීවිතයට මුහුණ දීමට මගේ මවට විශාල කැපකිරීමක් කිරීමට සිදුවුණා. අම්මගේ කැපවීමත් තාත්තගේ ආශිර්වාදයත් නිසා අද මමත් අක්කාත් ජීවිතයේ හොඳ තත්ත්වයක සිටිනවා. සිළුමිණ මගේ තාත්තා ඇතුළු අනෙකුත් මාධ්‍යෙව්දීන් දෙදෙනා වෙනුවෙන් කළ මේ ඇගයීම ගැන අපි ඉතා සතුටුයි.”
එම අනතුරින් ජීවිතය අහිමි වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පී එඩ්වින් වීරසිංහ ගේ බිරිය ජයම්පති වීරසිංහ ද සිය ආදරණීය සැමියා ට සිළුමිණෙන් ලැබුණු උපහාරය පිළිගත්තේ හැඟීම්බර ලෙසිනි. සිළුමිණ සම කර්තෘ කරුණාරත්න සපුතන්ත්‍රී එම අනතුරෙන් ජීවිතය අහිමි වූ අනෙක් මාධ්‍යවේදියාය. ඔහුගේ දියණිය ප්‍රදීපිකා සපුතන්ත්‍රී සිය පියා වෙනුවෙන් වසර 27කට පසු ලේක්හවුස් ආයතනයට පැමිණෙන්නට ලැබීම ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් සිළුමිණ ප්‍රමුඛ ලේක්හවුස් ආයතනයට ස්තුතිය පළ කළාය.
“අද මගේ පියා ජීවතුන් අතර සිටියා නම් ඔහුගේ වයස අවුරුදු 81ක්. අභිමානවත් ගාම්භීර ඉතිහාසයක් සහිත ලේක්හවුස් ආයතනයෙන් මගේ පියා ඇතුළු එදා ජීවිතයෙන් සමුගත් මාධ්‍යවේදීන් තිදෙනාට මෙසේ උපහාර පිදීම මා දකින්නේ මාධ්‍යකරණය වෙනුවෙන් ජීවිතය පූජා කළ සියලු මාධ්‍යවේදීන්ට කළ ගෞරවයක් ලෙසටයි. අනාගත පරපුරට පවා ඔවුන් අමතක නොවනු සඳහා මගේ පියා ඇතුළු තිදෙනා වෙනුවෙන් සිළුමිණ පුවත්පත ඉටු කළ මේ යුතුකමට අප සියලුදෙනා ස්තුතිවන්ත වෙනවා.“
සිය කාර්ය මණ්ඩලයේ සෑම සේවකයකු වෙනුවෙන්ම ඒ යුතුකම නොපැකිළව ඉටු කිරීමට නිබඳ කැපවී සිටින ලේක්හවුස් පාලනාධිකාරිය වෙනුවෙන් සභාපති, ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ කොතෙක් බාධා පැමිණියද පුවත්පත් කර්මාන්තය පවත්වාගෙන යෑමට පියවර ගත යුතු බවයි. අභිමානවත් ඉතිහාසයක් හිමි සිළුමිණ පුවත්පතේ කර්තෘත්වය දැරූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ ඇතුළු හිටපු කතුවරුන් හමුවන්නට ලැබීම සතුට ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ ඇතුළු හිටපු කතුවරුන් කලකට පසුව හමුවීමේ ප්‍රහර්ෂය සිළුමිණ කතෘ මණ්ඩල සාමාජිකයන්ට පමණක් සීමා නොවීය. ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් ද පැවසුවේ මෙය තමාට ද මාධ්‍ය ජීවිතයේ ආරම්භය සිහිගැන්වූ අතිශය වැදගත් අවස්ථාවක් විය.
“මගේ ප්‍රධාන කර්තෘවරයා වූ එඩ්මන් රණසිංහයන් වසර 40කට පසුව මෙතැනදී හමුවීම විශේෂ සිදුවීමක්. 1982 වසරේදී දිවයින පුවත්පත ආරම්භ කරන විට බඳවා ගත් පළමු ප්‍රාදේශීය වාර්තාකරු මමයි. මාතලේ පැවති යොවුන් පුරය වාර්තා කිරීමට අද සිළුමිණ කර්තෘවරයාව සිටින ධර්මන් වික්‍රමරත්න 1985 දී පැමිණියා. එතැනදී තමයි ඔහුගේ සහ මගේ යහළුකම ආරම්භ වුණේ. සුන්දර නිහතමානී ද මැල් මහතා අපේ යුගයේ ජ්‍යෙෂ්ඨයෙක්. එතුමා මට හමුවන්නේ දිවයින පුවත්පත් ආයතනයේදීමයි. තිලකරත්න කුරුවිට මහතා ද අපේ යුගයේ ජ්‍යෙෂ්ඨයෙක්. මගේ පාසලෙන් බිහි වූ හිටපු සිළුමිණ කර්තෘවරයකු ලෙස චාමින්ද වාරියගොඩ මහතා හැඳින්විය හැකියි. මේ සියලු දෙනාම සිළුමිණ පුවත්පතේ වගකීම බාරගෙන තමන්ගේ ශ්‍රමය, කාලය වැය කළා. එමගින් පුවත්පත ඔසවා තැබීමට ඔවුන් උත්සාහ කළා. මෙරට පුවත්පත් ඉතිහාසයේ අලුත්ම යුගයක් බිහි කිරීමට කටයුතු කළ එඩ්මන් රණසිංහ මහතා එතුමාගේ සැඳෑ සමයේ නිරාමිස සතුටක් අද ලබනවා ඇති. අලුත් මාධ්‍ය කොපමණ පැමිණයත් ලෝකයේ පැරණිම මාධ්‍යයක් වන පුවත්පත තවත් සියවස් කාලයක් පවතීවි. මෙරට වංශ කතාවට බොහෝ දුරට සම්බන්ධයක් ඇති සිළුමිණ, ජාතික සලකුණ තැබූ පුවත්පත ලෙස හඳුන්වන්න පුළුවන්.”
සිළුමිණ පුවත්තේ 26 වැනි කර්තෘවරයා ලෙස කටයුතු කරන වත්මන් කතෘ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න සිළුමිණ 92 වැනි සංවත්සර සැමරුම වඩාත් අරුත්බර ගැන්වීමට කටයුතු කළ පෙරගමන්කරුය. වසර 27කට පෙර මාධ්‍යකරණයේ නිරතව සිටියදී මිය ගිය සිළුමිණ මාධ්‍යවේදීන් අනුස්මරණය කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ලේක්හවුස් ආයතනයට කැඳවා හරසර පුදන්නට ලැබීම තමා ඇතුළු සිළුමිණ කර්තෘ මාණ්ඩලිකයන්ට විශාල සතුටක් බව ඔහු පැවසීය. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහයන් ඇසුරේ පෝෂණය වූ සිය මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් ප්‍රකාශ කරද්දී එඩ්මන් රණසිංහයන්ගේ දෙනෙත් සතුටින් දීප්තිමත් විය. යහපත් ගුරුගෝල සබැඳියාවක ආශිර්වාදය සිළුමිණේ හෙට දවසට සුබ නිමිති පළ කරද්දී සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහයන් පැවසුවේ ඒ පැරණි සුන්දර කතා ඇසීමෙන් ඔහුගේ සිත ද ප්‍රීතියට පත්වූ බවයි. ඒ සතුට ඒ අවස්ථාවට එක්ව සිටි සියලු දෙනාට ආශිර්වාදාත්මක හැඟීමක් බවට පත්වූයේ පුවත්පත් කලාවේ ඒ මහා වෘක්ෂය ද සිළුමිණ පුවත්පත තරම් ආයු කාලයක් සපුරා ඇති බව ප්‍රකාශ වීමෙනි.
“සිළුමිණටත් 92ක්, මටත් 92ක්. දශක හතරකට පමණ පසුව වැඩ කළ ස්ථානයට පැමිණීමට ලැබීම මගේ හිතට සතුටක්. ඒ සතුට මගේ පැවැත්මටත් හොඳයි. මාධ්‍යවේදීන් අතර සුහදතාව වර්ධනය කරන මෙවැනි හමුවීම් පැවැත්වීම සතුටක්. වැඩ කරන පිරිසත් සමඟ අපි සතුටින් වැඩ කළා. පුවත්පත් කලාවට යමක් එකතු කිරීමට හැකි වීම ගැන සතුටුයි.”
සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සිළුමිණ නම් පැරණිතම පරිණතම පුවත්පතේ ගෙවුණු මතක ආවර්ජනය කළේ සතුටිනි.
“ලේක්හවුස් පඩිපෙළේ අවුරුදු හතළිස් ගණනක් නැගලා බැස්සා. අද මේ පඩිපෙළ නඟින විට සිතට සතුටක් දැනුණා. රණ්ඩු වෙවී යාළු වෙවී අපි පුවත්පතේ වැඩ කළා. නැවත හැරී බලන විට අපේ ජීවිත ගැන සතුටු විය හැකියි. කතුවරයෙක් යනු තනිවම පුවත්පතක් ගොඩ ගත හැකි කෙනෙක් නොවේ. සියලු දෙනා ඒ සඳහා උර දිය යුතුයි. කර්තෘ මණ්ඩලයම ඒ සඳහා සැදී පැහැදී සිටිය යුතුයි. ලේක්හවුසියේ දියුණුවට සුවිශේෂි සහායක් අපිටත් ලබාදීමට හැකි වීම ගැන සතුටු වෙනවා. විද්යුත් මාධ්‍ය ශක්තිමත් වන තරමටම අපේ කර්මාන්තයේ ගුණාත්මකභාවය ද රැක ගැනීමට කටයුතු කළ යුතුයි.”
සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල් මහතාට අනුව සිළුමිණ පුවත්පතේ සේවය කිරීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අත්දැකීමකි.
“ ලේක්හවුසියට එන තෙක් මම වසර 13ක්ම කටයුතු කළේ පෞද්ගලික අංශයේ පුවත්පත්වල. මේ පුවත්පතට මට එන්න සිදුවීම කරකවා අතහැරීමක් වගේ. පත්තර කලාවේදියකුගේ ජීවිතයට ලේක්හවුස් ජීවිත අත්දැකීමත් වටිනවා. විවිධ ජාතින්, ආගම්වලට අයත් සාමාජිකයන් සමඟ විවිධත්වයකින් යුතුව කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. වසර හතකට පසුව නැවත ලේක්හවුස් ආයතනයට පැමිණ මේ උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන සතුටුයි.”
තමා ලේක්හවුස් ආයතනයට පැමිණෙන විට බාහිර පිරිස මවා තිබුණේ උතුරේ බිම්බෝම්බ වළ දමා තිබූ ස්ථානයකට අඩිය තබන්නාක් වැනි භයානක පරිසරයක් වුවත් වැඩ කරන විට සුන්දර මිනිසුන් රාශියක් හමුවූ බවත් සිළුමිණ මතක අවදි කරමින් හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චාමින්ද වාරියගොඩ පැවසීය.
හිටපු කතුවරුන් සහ මාධ්‍යකරණයේදී ජීවිතය පූජා කළ මාධ්‍යවේදීන්ට උපහාර පුද කළ සිළුමිණ 92 වැනි සංවත්සරය සිළුමිණ පුවත්පතේ මෙන්ම ලේක්හවුස් ආයතනයේත් නවමු පරිච්ඡේදයක් සටහන් කළ අවස්ථාවක් වූ බව ඊට සහභාගි වූ බොහෝ දෙනාගේ අදහස විය.
“ඇතැම් අවස්ථාවල හිතාමතා හෝ නොදැනුවත්ව අපට ඇතැම් දේ මගහැරෙනවා. එහෙත් සිළුමිණ පමා වී හෝ එය වෙනස් කරන්නට පියවරක් තැබුවා. මෙතැන් සිට සිළුමිණ ආදි කර්තෘවරුන් සිළුමිණේ සන්නාම තානාපතිවරුන් ලෙස ලෝකය හමුවේ පෙනී සිටිනු ඇතැයි යන විශ්වාසය අපට තිබෙනවා. එය සැබෑම සතුටක්.”
සිළුමිණ කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න පැවසූ පරිදි සිළුමිණේ හෙට දවස වෙනුවෙන් බොහෝ දෙනාගේ ආශිර්වාදය ලැබෙන අදට වඩා පැහැබර හෙට දිනකට 92 වැනි සැමරුම හේතු පාඨ සපයනු ඇත.