![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/01/12-9.jpg?itok=IFU9YsXW)
දේශපාලන ක්ෂේත්රයේ තවත් උණුසුම්කාරී සතියක් නිමාවිය. බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ පසුගිය 31 වැනි බ්‍රහස්පතින්දා මිරිහාන ප්‍රදේශයේ ඇතිව තිබූ දැඩි උණුසුම්කාරී තත්වයයි.
එදින සවස 6.30 ට පමණ නුගේගොඩ, මිරිහාන, ජුබිලිකණුව හන්දියේ සිටි කිහිපදෙනා ඉටිපන්දම් දල්වමින් විරෝධතාව පළ කිරීමට සූදානම් වූයේ විදුලිය කැපීමට එරෙහිවය.
ජුබිලිකණුවේ විරෝධතාව පැඟිරිවත්තට
මිරිහාන හන්දියෙ ඉන්ධන පිරවුම් හල අසලට සාමකාමී උද්ඝෝෂකයන් පිරිසක් රැස්ව සිටියහ. පෙනුමෙන් ඉතා වැදගත් පිරිසක් ලෙස පෙනී ගිය මේ අය උද්ඝෝෂණය කළේ රජයට හා ජනාධිපතිවරයාට පණිවිඩයක් ලබා දීමටය. ගෝඨා go home ආදී වශයෙන් යම් යම් දැඩි වදන් ඒ පුවරු මත දක්වා තිබුණා වැඩි දෙනා අත තිබූ පුවරුවල දැක්වුණේ මහජනතාව විඳින දුෂ්කරතා ගැන ය.
හයයි තිහට පමණ ආරම්භ වූ එම උද්ඝෝෂණයට යම් පිරිසක් සංවිධානාත්මකව හොඳ ප්‍රචාරයක් දෙන බව දක්නට ලැබිණි. මිරිහානේ පැවති මෙම උද්ඝෝෂණය ජනාධිපතිවරයා පදිංචිව සිටින නිවස අසල සිදු වන නිසා මෙය වෙනත් දේශපාලන වුවමනාවක් සඳහා යොදාගත හැකි බව යම් යම් පිරිස් ඒ වනවිටත් තේරුම් ගෙන තිබිණි.
ෆේස්බුක් මඟින් ලබාදුන් ප්රචාරයට අමතරව මෙම උද්ඝෝෂණයට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් මඟින් ද හොඳ ප්‍රචාරයක් ලබා දෙමින් තිබිණි.
සාමකාමී උද්ඝෝෂකයෝ සැලසුම් කර තිබුණේ තම නිහඬ උද්ඝෝෂණය පැයකින් හමාර කිරීමටය. නමුත් අඳුර වැටෙන්නට පටන් ගත් විට ඊට ලබා දී තිබූ ප්‍රචාරය නිසා නන් දෙසින් සෙනඟ එකරාශි වන්නට වූහ. සියයකින් පමණ ආරම්භ වූ උද්ඝෝෂණය අන්තිමේ දෙතුන්සීයයක් බවට වර්ධනය වූහ.
මේ අතර බයිසිකල් විශාල ප්‍රමාණයක නැඟී සංවිධානාත්මකව එතනට පැමිණි ආක්රමණකාරී උද්ඝෝෂකයන් පිරිසක් නිසා මෙම සාමකාමී උද්ඝෝෂණය මුහුණුවර වෙනස් අතක් ගත්තේය.
එම විරෝධතාව ටිකක් වෙලා පවත්වමින් සිටින විට වෙනත් ප්‍රදේශවලින් යතුරුපැදිවලින් පැමිණි පිරිස් එම ස්ථානයේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස පිහිටා තිබෙන මිරිහාන පැඟිරිවත්ත පාර දෙසට ගමන් කරන්නට වූහ.
යතුරුපැදිවලින් හෙල්මට් හා වෙස් මුහුණු පැලඳ පැමිණෙති
දරුවන් වඩා ගත් කාන්තාවන්, තරුණ තරුණියන් මෙන්ම මහත්වරුන් විසින් පටන් ගන්නා ලද උද්ඝෝෂණය වෙස් මුහුණු හා හෙල්මට් පැලඳ සංවිධානාත්මකව එතනට ආ කලහකාරීන් පිරිසකගේ උද්ඝෝෂණයක් බවට අවසානයේ පරිවර්තනය විය. සාමකාමී උද්ඝෝෂණය එක්කෙනා දෙන්නා එතනින් ඉවත්ව යන අයුරු දැකගත හැකි විය. තවත් පිරිසක් විපිලිසර වන්නේ කුමක්දැයි බලා සිටියහ. අවසානයේ උද්ඝෝෂණය කලහකාරීන් පිරිසකගේ ක්‍රියාන්විතයක් බවට පත්විය. පළමුවෙන් ඔවුන් කළේ යන එන වාහන නවතමින් ඔවුන්ට වාහනවල නලා හඬවන්නට බලකරමින් ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට එරෙහි වෙන ලෙස ඉල්ලීම් කිරීමය. ඒ අතර මෙම ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත ගැන කෙටි දෙසුම් ද පවත්වන ලදහ.
ඒ හා සමඟම එතන සිදුවන්නේ කුමක්ද කියා දැකබලා ගන්නට තව තවත් පිරිස් ඇදී එන්නට වූහ. හෙල්මට්කාර සංවිධානාත්මක පිරිස කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ ඉන්පසුවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වන විටත් වේලාසනින්ම තම නිවසට පැමිණ සිටියේ යැයි මාධ්‍යවලට වාර්තා වුවත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර අහන්නට ලැබුණේ නැත.
විරෝධතාකරුවන් අතර දේශපාලන පෝස්ටර්
කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂකයන් පිරිසක් විසින් ආරම්භ කරන ලද එම උද්ඝෝෂණය අන්තිමේ කලහකාරීන් පිරිසක් අතට ගොස් අවසන් වූයේ 88 - 89 භීෂණකාරී සමය මතක් කරගෙන කර දෙන අන්දමේ මහා ව්‍යසනයකින් පසුවයි.
ආරක්ෂක අංශ පවසන අන්දමට මේ කලහකාරීන් උත්සාහ කර ඇත්තේ උද්ඝෝෂණ කරන්නට නොව, ජනාධිපතිවරයා ජීවත්වන මිරිහානේ නිවස වටලා ඊට අලාභහානි කරන්නටය. තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළහ.
පොලිසිය හා ආරක්ෂක අංශ කලහකාරීන් විසුරුවා හරින්නට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබු අතර ඉන් කෝපයට පත් කලහකාරීන් ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරන්නට වූහ.
මේ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වූයේ බස් රථ දෙකක් ඇතුළු වාහන කීපයක් දැවී අළුවී යෑමය. ගල්මුල් ප්‍රහාර නිසා දෙපැත්තේම බර ගණනක් තුවාල වී රෝහල් ගත කරනු ලැබූ අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත්ව සිටියහ. කිසිම දේශපාලන භේදයක් නැහැයි කියා ඇතැමුන් ප්‍රකාශ කළ ද මෙම විරෝධතාකරුවන් අතර තිබුණු පෝස්ටර් දේශපාලන පක්ෂවල නමින් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.
සාමකාමී විරෝධතාවකට කඩු, පොලු ගෙනාවේ කවුද?
මෙම විරෝධතාකරුවන් අතර කඩු, පොලු රැගෙන පැමිණි පිරිසක් “අද ගෝඨාභය ගෙදර යවන බවයි. අරාබි වසන්තය ඇවිල්ලා“ යනුවෙන් කෑකෝ ගැසූහ.
ඉන්පසුව එම පිරිස් පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවසට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී එම පිරිස පලවා හැරීමට පොලිස් කඳුළු ගැස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවන් පෙරළා ගල්, මුල්වලින් පහර දීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
හමුදාව පැමිණි බස් රථයක් විරෝධතාකරුවන් විසින් ගිනිතැබූ අතර තවත් පොලිස් ජීප් රථ, වාහන, යතුරුපැදි කිහිපයකට ද විරෝධතාකරුවෝ ගිනි තැබූහ.
මෙම උණුසුම්කාරී තත්වය සැලවීමත් සමඟම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවසට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝ පැමිණෙන්නට වූහ. මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද ජනාධිපතිවරයාගේ නිවසට පැමිණෙන්නට වූහ.
අගමැති මහින්දට මිරිහානේ වැසියන් කීවේ මොනවාද?
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මිරිහානේ ගැටුම්කාරී සිද්ධිය ඇති වූ ස්ථානයට පැමිණියේ 01 වැනි සිකුරාදා පෙරවරුවේය.
විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති රථවාහන සහ දේපළ අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
පාර අසල සිටි මිරිහානේ නගරවැසියන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ පිටින් පැමිණි විරෝධතාකරුවන් සිදුකරන ලද පහරදීම්වලින් තමන්ගේ තාප්පවලට ද අලාභ හානි සිදු වූ බවයි.
“මහජන දේපළ විනාශ කරමින් සිදුකරන විරෝධතා කවුරුවත් අනුමත කරන්නේ නැහැ." යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජනපති දැඩි කාර්ය බහුලත්වයක
පසුගිය සතියේ ජනාධිපතිවරයාට දකුණු ආසියානු කලාපයේ රටවල තානාපතිවරු හා විදේශ අමාත්‍යවරුන් ගණනාවක්ම හමුවී සාකච්ඡා කරන්නට ඉඩ ලැබුණේ මෙරට පැවති “බිම්ස්ටෙක්“ සමුළුව නිසා ය.
බෙංගාලබොක්ක ආශ්රිත ආසියානු රටවල බහු ආංශික හා ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් බිම්ස්ටෙක් සමුළුව මෙවර පස්වැනි වරටත් පැවැත්වුණේ ලංකාවේදීය. පසුගිය 28 වැනිදා එම සාමාජික රටවල තානාපතිවරුන්ගේ සමුළුවත් 29 වැනි දා විදේශ ඇමතිවරුන්ගේ සමුළුවත් 30 වැනිදා රාජ්‍ය නායකයින්ගේ සමුළුවත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්විණි. ජනාධිපතිවරයා එය අමතා කතා කළේ 30 වැනි බදාදාය.
මෙම සමුළුවට සහභාගි වූ තානාපතිවරු විදේශ ඇමැතිවරු හා රාජ්‍ය නායකයෝ විටින් විට ජනාධිපතිවරයා හමුවන්නට පැමිණියහ. ඒ නිසා ඔහු මෙම සතියේ තරමක් කාර්ය බහුලව සිටියේ යැයි කීවොත් නිවැරදිය.
බදාදා දිනයේත් බ්‍රහස්පතින්දා දිනයේත් ජනාධිපතිවරයා හමුවන්නට තානාපතිවරු හා විදේශ ඇමැතිවරු විටින් විට පැමිණියහ.
බ්‍රහස්පතින්දා කොහොමටත් ජනාධිපතිවරයාට අතිශයින් උණුසුම් හා කාර්යබහුල දිනයක් විය. එදින උදේ නයිජීරියානු තානාපතිවරයා ජනාධිපති හමුවන්නට පැමිණියේය.
ශ්‍රී ලංකාව හා නයිජීරියාව අතර සම්බන්ධතා වර්ධනය වී 65 වසරක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර දෙකක් නිර්මාණය කිරීම සඳහා තානාපතිවරයා ඉල්ලීමක් කළේය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ විය.
“ඔබතුමාලගේ රටේ වෛද්‍ය උපාධිය හුඟක් වටින එකක්. අපේ රටේ උපාධි අපේක්ෂකයන්ටත් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න.“ තානාපතිවරයාගේ මේ යෝජනාව ගැන ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
විමල්ලාගේ විශ්වාසභංගය කල්යන්නේ ඇයි?
නයිජීරියානු සංචාරකයන් මේ වන විට ලංකාව අතහැර මාලදිවයින් වල සංචාරක කටයුතු සඳහා යන බව කී තානාපතිවරයා ශ්‍රී ලංකාවේ විශේෂ තැන් හුදෙකලාව නැරඹීමට ඔවුන් තුළ ඇති ආශාව ගැන ද විස්තරයක් කළේය. ඒ සඳහා හුදෙකලා ස්ථාන වෙන්කර දෙන ලෙස ඉල්ලීමක් කළේය. ජනාධිපතිවරයාගේ එකඟතාව ඒ සඳහා පළවිය.
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට නියමිතව තිබේ. විමල් හා ගම්මන්පිල එක්ව ආණ්ඩුවට එරෙහිව මේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වෙති. ඔවුන් මේ විශ්වාසභංග යෝජනාව ගේන්නේ ආණ්ඩුවට සහාය දක්වන කණ්ඩායමෙන් 33 දෙනෙක්ගේ සහාය තමන්ගේ පාර්ශ්වයට ලැබුනට පසුව බව ඔවුන් කියා සිටී. 33 දෙනාගේ සහාය ලැබුණට පස්සේ 33 දෙනෙක් බවට සහාය ලබාදෙන කණ්ඩායම හරි ආකාරව 33 දෙනෙක් බවට තහවුරු කර ගත්තට පස්සේ මෙම විශ්වාසභංග යෝජනාව ගේන්න නියමිතව තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී.ල.නි.ප. යේ කිහිපදෙනෙක් විශ්වාසභංගයට නෑලු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද සිල්වා, ලසන්ත සහ චාමර සම්පත් වගේ අය මේකට සහයෝගය දෙන එකක් නැහැ කියලත් වාර්තා වේ. නිමල් සිරිපාල ඔහු අමාත්‍යවරයෙක් විදිහට තමන්ගේ දේශපාලන දිවියේ අවසන් කාල පරිච්ඡේදය ගත කරයි.
ඒ වගේම තමයි ලසන්ත. අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බොහොම සමීපතම මිත්රයෙකි. ඒ වගේම දුමින්ද මේ දවස්වල රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස සූර්ය බලශක්තිය ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරයි. ඒ වගේම තමයි චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යධූරයක් ලැබෙනු ඇති කියලා වාර්තා පළ වේ. නමුත් සමගි ජන බලවේගය මේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙයි කියලා විමල් හා ගම්මන්පිල විශ්වාසය පළ කරති.
රනිල් හමුවූ හිටපු ඇමැති කවුද?
පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ සෙන්දිල් තොණ්ඩමන් පහුගිය දවසක එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැහිලා සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද හිටපු අග්‍රාමාත්‍යවරයාව මුණගැසී විනාඩි 40 ක් විතර සාකච්ඡා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ලොබියේදීය.
මෙහිදී රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ "මට නම් කිසිම වුවමනාවක් නැහැ මේ ආණ්ඩුවට සම්බන්ධ වෙන්න. දේශපාලනය කරන්න ඉස්සෙල්ලා රටක් තියෙන්න ඕනේ. ඒක නිසා මම මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන්න මේ වෙලාවේ අදහසක් නැහැ." යනුවෙනි.
ලබන තුන්වෙනිදා විරෝධතාවක් පවත්වන්න කණ්ඩායමක් මේ වන විට සූදානමක් ඇත. මේ විරෝධතාව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතාවක් බවට අඟවන්න පෝස්ටරයකුත් සැලසුම් කර ඇත. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ 03 වැනිදා පැවැත්වෙන විරෝධතාවයට ඔවුන්ගේ කිසිම සම්බන්ධතාවක් නැත කියලා පවසා තිබේ.
අනුර - විමල් එකතුකිරීමේ තැතක්
විමල් වීරවංශ සහ අනුර කුමාර දිසානායක යළි සමගි කරවන්න, යළි එකතු කරවන්න ඔවුන් දෙදෙනාට ම සමීප කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණෙන් නම් පවසන්නේ විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජාතිවාදය සම්බන්ධයෙන් නැත්තම් ජාතිය සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව ඔවුන්ට තවදුරටත් ප්‍රශ්නයක් තිබෙන බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ අදහස නම් පහුගිය කාලයේ තිබිච්ච ආණ්ඩු රාජ්‍ය ආදායම් පාවිච්චි කරලා තියෙන්නේ ණය ගෙවන්න. නමුත් ඔවුන්ගේ සැලසුම මේ ණය ගෙවන්න අවුරුදු 05 කට පමණ කල් දාගන්න ප්‍රතිව්‍යුහගත කරන්න සැලසුම් කර තිබේ. ඒ වගේම තමයි වසර 03 ක වැඩපිළිවෙළක් හදලා ස්ථිරවම ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට අරගෙන ගිහින් රට යම් තැනකට ඉදිරියට ගේන්න හැකිවෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වේ. ඔවුන්ගේ සැලසුම වෙන්නේ අපනයන ආදායම ඩොලර් බිලියන 15 ක් දක්වා වැඩි කර අපනයන සහ ආනයන වියදම් පරතරය අඩු කිරීමටයි.
විනිමය අර්බුදය අවසන් කරන හැටි බැසිල් කියයි
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දවසක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුණගැහිලා ජල දෙන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. නමුත් මේ වැඩේට බට නැති බවත් බට ගැනීමට සල්ලි නැති බවත් ඔහු ප්‍රකාශ කරලා තිබේ. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඒ වෙලාවේ ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු මුදල්වලින් කොටසක් මං ලබා දෙන්නම් ඔය බට ටික ගන්න යනුවෙනි. කෙසේ හෝ රටේ පවතින විදේශ විනිමය අර්බුදය අප්‍රේල් මාසය අවසන් වෙද්දී අවසන් කිරීම මගේ සැලසුම” යනුවෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කර ඇත.
බන්දුල ඩොලර් මිලියනයක් ඉතිරි කරලා
පසුගිය කැබිනට් රැස්වීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ආවේ නැත. ඔහු ඕමානයට ගිහින් ඕමාන් අමාත්‍යවරුන් 05 දෙනෙක් එක්ක ඔහු සාකච්ඡා කර තිබේ. එහිදී හම්බන්තොට තෙල් පිරිපහදුවත් අලුතෙන් ආරම්භ කිරීමට ඕමානයේ නියෝජිතයන් එකඟතාව පළ කර ඇත. ඒ වගේම ලිට්රෝ ගෑස් සමාගම සම්බන්ධව ඒකාබද්ධ වෙලා නව ව්‍යාපාර කටයුත්තක් නව ආයෝජනයක් සිදුකිරීමටත් ඔවුන් එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ ආණ්ඩුව යටතේ තුන් වතාවක් විතර රට ගොස් ඇත. රට යද්දි ආණ්ඩුවෙන් ලබාදෙන ඩොලර්වලින් ඉතුරු කරගෙන එන ඩොලර් ආපහු ආණ්ඩුවටම ලබා දී තිබේ. ඒ ඔක්කොම ඩොලර්වල වටිනාකම රුපියල් මිලියනයකට ආසන්න වේ.
සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් ආසන මට්ටමෙන් ලබන 7 වැනිදා විරෝධතාවක් සංවිධානය කර තිබේ. මේ ගැන සාකච්ඡා කිරිමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවූයේ විපක්ෂ නායක කාර්යාලයේදීය.
“15 වැනිදා අපි කළ සාර්ථක විරෝධතාවයෙන් ජනතාව දැන් ඉදිරියට එමින් තියෙනවා. දැන් බය නැතිව ජනතාව පාරට බහිනවා.“ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසුවේය.
“දැන් මේ විරෝධතාවයන් මිනිස්සු අතට අරගෙන තියෙනවා. අපි මේ මිනිස්සු තනි කරන්න ඕන නෑ. අපි මේකට දේශපාලන පාටක් ගාන්න ඕන නෑ. ජනතාවගේ විරෝධතාවට ශක්තියක් දෙන්න, ජනතාව ආරක්ෂා කරන්න අපි ඕනම වෙලාවක ඉදිරිපත් වෙන්න ඕන.“ සජිත් කීවේය.
“අරගලය අපි මහ පාරට අරගෙන එන්න ඕන.“ රාජිත යෝජනා කළේය
මේ අතර ජනතාව ස්වාධීනව නැගී සිටිමින් 03 වැනිදා රට පුරාම විරෝධතාවක් සංවිධානය කිරීමට ජනතාව කටයුතු කරමින් සිටින බවට සජිත්ටත් තොරතුරු වාර්තා විය. ඒ අනුව එම විරෝධතාවට සහාය දැක්වීමට ඔහුට අවශ්‍ය විය.
විරෝධය මහ මඟට ගෙන එන බව සජිත් - රාජිත කියයි
“මම මේකට සහාය ලබාදෙනවා කියලා සමාජ මාධ්‍ය හරහා පණිවුඩයක් නිකුත් කරන්නම්. මේක අපේ වැඩක් නොවුනත්, ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ නැගී සිටීම්වලට අපේ ශක්තිය දෙන්න ඕන.“ සජිත්ගේ ස්ථාවරය විය.
ඒ අනුව 03 වැනිදා විරෝධයට සහාය ලබාදෙන බවට සජිත් පණිවුඩයක් නිකුත් කළේය. එයට විවිධ පාර්ශ්වයන්ගෙන්, විවිධ අදහස් ඉදිරිපත් විය.
“මම පක්ෂ නායකයෙක් විදියට නෙමෙයි පුරවැසියෙක් විදියට තමයි අදහස් දැක්වූයේ. මේක එක පක්ෂයක් අතට ගන්න නෙමෙයි උත්සාහ කළේ. පුවරවැසි සටන්වලදී අපි දේශපාලනය ඉස්සරහට අරගන පටු වාසි ලබාගැනීමට කටයුතු කරන්නේ නෑ.“ සජිත් තම හිතවතුන්ට පැවසුවේය.
මේ අතර මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස වට කරමින් ජනතාව විරෝධය දක්වන විට එහි පවතින තත්ත්වයන් ගැන සජිත් කරුණු සොයා බැලුවේ නිදි වර්ජිතවය. එතැන සිටි පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වූ වහාම සජිත් අවධානය යොමු කළේ අවශ්‍ය අයට නීතිමය සහාය ලබාදීම කෙරෙහිය.
“මෙතැන පාට පක්ෂ භේද බලන්න එපා. නීති උපදෙස් අවශ්‍ය කවුරුන් හෝ ඉන්නවා නම් ඔවුන්ට නීතිමය සහාය ලබාදෙන්න. හැබැයි කිසිම තැනකදී මේක දේශපාලන කෝණයකින් ගන්න එපා.“ සජිත් උදෑසනම පක්ෂයේ නීති කමිටුවේ ජ්‍යෙෂ්ඨයින්ට දුරකතනයෙන් කතා කරමින් උපදෙස් දුන්නේය.
රනිල්ගේ ඉන්දීය පැරණි මිත්‍රයා
ඉන්දියානු විදේශ ඇමති ජයශංකර් යනු නායක රනිල්ගේ පැරණි මිත්රයෙකි. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ඔහු නායක රනිල් හඳුනන්නේ 90 දශකයේ සිටය. ඔහු ඇමතිධූරය දරන්නටත් පෙර සිටම නායකයා අගමැති ලෙස හා විපක්ෂ නායක ලෙස ඉන්දියාවේ ගිය සෑම අවස්ථාවකදීම මුණගැසුණේය. මන්ද භාරතිය ජනතා පක්ෂය තුළ ඔහු ඉදිරියට එන නායකයෙකු ලෙස රනිල් කලින්ම දැක තිබු නිසාවෙනි.
ඔහු ඉන්දියාවේ විදේශ ඇමති වන්නේ නායක රනිල් අගමැතිධූරය, විපක්ෂ නායකධූරය මෙන්ම මන්ත්‍රීධූරය ද නොමැතිව සිටින කාලයේදීය. විදේශ ඇමතිධූරය ගෙන ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔහු කිසිදු තනතුරක නැති නායකයා මුණ ගැසීමට කටයුතු කළේ පැරණි මිතුදම අලුත් කරගනිමිනි.
මෙවර ද ඔහු නායකයා මුණ ගැසීම වෙනුවෙන් කාලය වෙන් කර තිබුණේ ආර්ථික අර්බුදයත් සමඟ ඔහු ගැන රටේ කතා බහක් ඇතිව තිබෙන මොහොතකදීය. රටේ ආර්ථික අර්බුදය ගැන මෙන්ම පෞද්ගලික කාරණා ගණනාවක් ගැන ඔවුන් දෙපළ කතාබහ කර තිබුණි. ඉන්දියානු මහකොමසාරිස්වරයා නොමැතිව ද ඔවුන් ස්වල්ප වේලාවක් කතාබහ කර තිබූ අතර එම කතාබහ ඔවුන් දෙපළට පමණක් සිමාවීම ද විශේෂත්වයකි.
එ.ජා.ප. යෙන් තවත් සත්‍යග්‍රහයක්
කොළඹ හයිඩ් පිටියෙන් එජාපය ඇරඹි සත්යග්රහ ව්‍යාපාරය රට පුරා ගෙන යාමටත් පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ගමින් ගමට ආරම්භ කිරීම ගැනත් පිරිස දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. ඒ අනුව සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම කොළඹින් පිටත දී තවත් සත්‍යග්‍රහයක් පැවැත්වීම ගැන හා සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව රටපුරා නගරයෙන් නගරයට එය ඉදිරියට ගෙන යාම ගැනත් පිරිස කතා බහ කරන ලදි.
“රටේ පැය 13 ක් විදුලිය කපනවා කියන්නේ මිනිස්සුන්ට ජිවත් වෙන්න ලැබෙන්නේ නෑ. මෙහෙම කොහොමද රටක් ඉදිරියට යන්නේ. මට නම් මතක් වෙන්නේ ලෙබනනය.“ නියෝජ්‍ය නායක රුවන් කී විට සැවොම හිස සැලූහ.
“රටේ ඩීසල් නෑ. ඩිසල් නැව වරායට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඩොලර් නැති නිසා ගොඩබාන්න බෑ. පුදුම තත්ත්වයක් රටේ ඇතිවෙලා තියෙන්නේ.“ රංගේ ද කීවේ කනගාටුවෙනි.
“ඩීසල් නැතිවුනාම රට ඉදිරියට යන්නේ නෑ. ජනාධිපතිතුමා කතා කළත් ඉන්ධන සමාගමේ අයිතිකාරයා මුදල් දෙනකම් ගොඩබාන්නේ නෑ කිව්වා කියලත් ආරංචියි.“ වජිර ලද තොරතුරක් හෙළි කළේය.
රනිල් ගැන වජිරගෙන් විමසුවේ කවුද?
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය දා කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව විහාරස්ථානයේ වැඩකටයුතු සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව වජිර අබේවර්ධන සහ අස්සජී හිමියන් දිගු සාකච්ඡාවක නිරත වූ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී වජිර කරුණු පැහැදිලි කිරීමක් කළේ රට වැටී තිබෙන තත්ත්වයෙන් නැවත රට ගොඩගැනීම සඳහා සිය නායක රනිල් වික්‍රමසිංහගේ පළපුරුද්ද, දැනුම ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා අද වනවිට අවශ්‍යව තිබෙන බව පෙන්වා දෙමිනි.
“ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවට පැමිණ රනිල් හාමු කටයුතු කළ ආකාරය ඉතා අගය කළ යුතුයි. එය පක්ෂ පාට භේදයකින් තොරව හැමෝම ඇගයීමට ලක්කර තිබෙනවා. ඒ වගේම සෑම සමාජ මාධ්‍ය ජාලයකින්ම ඉහළ ප්‍රතිචාරයක් ඊට ලැබී තිබෙනවා. ඔබතුමා මේ බව රනිල් හාමුට දැනුම් දෙන්න." යැයි අස්සජී හිමියෝ පැවසූහ.
අස්සජි හිමියන්ගේ ඒ පණිඩුඩය ඒ මොහොතේම සිය නායක රනිල් වික්‍රමසිංහට දැනුම්දීම සඳහා දුරකථන ඇමතුමක් ගත් වජිර තමන්ගේ දුරකථනය අස්සජී හිමියන්ට ලබා දී දෙදෙනාට අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව උදාකර දුන්නේය.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කළ බංග්ලාදේශ් 51 වෙනි නිදහස් හා ජාතික දින සමරු උත්සවය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැති අතර ඊට වජිර අබේවර්ධන සහභාගී විය.