බල්ගේරියාවට මංගල ශතකය වැස්ස වූ අරවින්ද නොවන අරවින්ද | සිළුමිණ

බල්ගේරියාවට මංගල ශතකය වැස්ස වූ අරවින්ද නොවන අරවින්ද

 

‘‘අරවින්ද ද සිල්වා දැන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ බල්ගේරියාවට. එරට වෛද්‍ය විද්‍යාලයක අධ්‍යපනය ලබමින් අරවින්ද ඒ රටේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඔහු ගේ සම්පූර්ණ නම ඉෂාන් අරවින්ද ද සිල්වා කියලා ඔබට අමතක නැතිව ඇති. මීට වසරකට පෙර ඔහු ‘ක්‍රීඩා‘ පුවත්පත සමඟ සංවාදයකට එළැඹුණේ බල්ගේරියාවේ සිටයි. පසුගිය කාලයේ ඔහු අධ්‍යාපන කටයුතු අතර ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණා. දැන් විසිතුන් වැනි වියේ පසුවන ඔහු මේ දිනවල මොකද කරන්නේ කියන එක දැනගන්න යළි අපි ඔහුට කතා කළා.

ඒකට නිමිත්ත සැපයූවේ ඔහු බල්ගේරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විස්-සයි විස්ස ජාත්‍යන්තර තරගයක ශතකයක් රැස්-කරන්නට සමත් වුණා කියන ආරංචියයි. මේ අරවින්ද ද සිල්වා නොවන අරවින්ද ද සිල්වා සමඟ පැවැත් වූ සාකච්ඡාවෙන් තැබෙන සටහනක්.‘

‘පසුගිය දිනවල මට බල්ගේරියාව වෙනුවෙන් ක්‍රිකට් තරග රැසකට සහභාගි වෙන්න අවස්ථාව උදාවුණා. 2021 වසර අවසන් වනවිට මට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 12 ක් වෙනුවෙන් ක්‍රීඩා කරන්න හැකිවුණා. ලකුණු 304 ක් රැස් කරමින් කැපී පෙණුනා.

සොෆියා විස්සයි විස්ස තරගාවලියේ දී රොමේනියාව තමයි ශූරතාව දිනුවේ. අපි අනුශූරයන් වුණා. ග්‍රීසිය තෙවැනි තැනත්, සර්බියාව සිව්වැනි තැනත් දිනාගත්තා. ඒ තරගාවලියේ දී තමයි මම බල්ගේරියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ශතකය රැස් කළේ. ‘බල්ගේරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අයි. අරවින්ද ද සිල්වා සම්පූර්ණයෙන්ම කියනවා නම් ඉෂාන් අරවින්ද ද සිල්වා ‘ක්‍රීඩා’ වෙත පැවසූවා.

‘මට ඒ ශතකය රැස් කරන්න වැය වුණේ පන්දු හැටක් විතරයි. හතරේ පහරවල් අටක් හා හයේ පහරවල් අටක් ඊට ඇතුළත් කරන්න මට පුළුවන් වුණා. ‘ඒ තරගයේ දී අරවින්ද ගේ ප්‍රහාරක වේගය 166.66 ක්. ඔහු පිටියට පිවිසෙන්නේ පළමු කඩුල්ල බිඳ වැටුණාට පසුවයි.

‘මම තමයි ලෝකයේ අංක තුන පිතිකරුවා වශයෙන් පිටියට ඇවිත් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ලොව 11 වැනි ක්‍රීඩකයා.’ ඔහු කිව්වා.

වැඩි ම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරමින් ශතකයක් රැස්කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස සැලකෙන්නෙත් ඔහුයි. ඔහුට ඉදිරියෙන් සිටිමින් විස්සයි විස්සේ වැඩි ම හයේ පරහර සංඛ්‍යාවක් එල්ල කරමින් ශතකයක් රැස්කළ පිතිකරුවා සර්බියානුවෙක්. එය සංඛ්‍යාවක් ලෙස දහයක්.

‘මෝල්ටාවේ පැවැති Valletta කුසලාන තරගාවලිය වෙනුවෙන් අපි තරග වැදුණා. එහි දී අපිට හිමි වුණේ තෙවැනි ස්ථානය. ඒ තරගාවලියට සහභාගි වූ සියලු පිතිකරුවන් අතර ක්‍රීඩකයන් හතළිස් දෙදෙනෙක් අතර මම සිව්වැනියා ලෙස වැඩි ම ලකුණු රැස් කළා.’ ඔහු කිව්වා.

එම තරගාවලියේ දී ශූරතාව හිමිව තිබුණේ මෝල්ටාවට. දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයට. තෙවැනි තැන තමයි අරවින්ද ද සිල්වා ක්‍රීඩා කරන බල්ගේරියාවට හිමිව තිබුණේ.

අයි. අරවින්ද ද සිල්වා ගැන කියද්දී අපි ඔහුගේ ඉතිහාසය ගැනත් යමක් සිහිපත් කළ යුතුයි. ‘අරවින්ද ද සිල්වා කියන නමට මම ගොඩාක් ආදරෙයි. ඒ නම මට දැම්මේ මගේ තාත්තායි අම්මායි. ඔවුන් එහෙම නමක් දාන්න හේතු වුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඔවුන්ගේ ලොකු ම වීරයා අරවින්ද ද සිල්වා කියන ලෝකයේ විශිෂ්ට තම ක්‍රීඩකයා වුණු නිසයි. ඇත්තටම එවැනි විශිෂ්ට නමක් මට දාපු එක ගැන ඇත්තටම මම ආඩම්බරයි.’ ඉෂාන් අරවින්ද ද සිල්වා ජ්‍යෙෂ්ඨ හා විශිෂ්ට අරවින්ද ගැන කිව්වා.

‘අරවින්ද ද සිල්වා කියන නම ලෝකය පුරා නොදන්න ක්‍රිකට් ලෝලියෙක් නැති තරම්. ඒක මට සමහර වෙලාවට සුවිශාල ගෞරවයක් ඇති කරලා තියෙනවා. මගේ නම අහලා මගෙත් එක්ක කතාකරන හැමෝම මගෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි මම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ කවුද කියන එකයි. ඒත් ඒ වෙලාවට මට දෙන්න සෘජු උත්තරයක් නම් නෑ. මොකද මම අවුරුදු දෙක හමාරක් විතර වෙද්දීම එංගලන්තයේ පදිංචියට ගිය නිසා. හැබැයි මගේ සීයාගේ මොකක් හෝ ඥාතීත්වයක් ජ්‍යෙෂ්ඨ අරවින්ද ද සිල්වාගේ පවුලට ඇති. ඒත් ඒක මට සෘජුවම කියන්න බෑ.’ කනිෂ්ඨ අරවින්ද ද සිල්වා කීවා.

වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයේ සිට බල්ගේරියාවට සංක්‍රමණය වුණු අයි. අරවින්ද ද සිල්වා තමන් ඉගෙන ගන්න සොෆියා විශ්ව විද්‍යාලයේ ‘සොෆියා මෙඩික් කියන කණ්ඩායම තමයි මුලදී නියෝජනය කළේ. එහෙම ක්‍රීඩා කරද්දී තමයි බල්ගේරියානු ක්‍රිකට් ආයතනය මට ඔවුන්ගේ ජාතික කණ්ඩායමට එක්වන්න ආරාධනා කර තිබුණේ.’

‘තව වසරකින් ඒ කියන්නේ 2023 වද්දී මගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණයි. ඊට පස්සේ මම යළි එංගලන්තයට යනවා’ හේ පැවසුවා.

වෛද්‍යවරයෙක් වශයෙන් මානව චාලක හැකියාවන් මෙන් ම අස්ථි සම්බන්ධයෙන් විශේ-ෂණය වූ වෛද්‍යවරයෙක් වීමට ඔහු සූදානමින් සිටිනවා. ‘ක්‍රීඩාව පැත්තට වැඩිපුර එන්න මේ පැත්තෙන් වැඩ කරද්දි මට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි මම මේ වෘත්තියට තවත් කැමති.’ ඔහු කීවා. මේ වසරේ පැවැත්වීමට නියමිත තරගාවලි අතර මැයි මාසයේ Valletta කුසලාන ක්‍රිකට් තරගාවලිය සය කොන් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා මෝල්ටාව, බල්ගේරියාව, රොමේනියාව, ජිබ්රල්ටාර්, චෙක් සමූහාණ්ඩුව, හංගේරියාව තරග වැදීමට නියමිතයි. ඉන්පසු ජූනි මාසයේ යළි බල්ගේරියාව සොෆියා විස්සයි විස්ස තර-ගාවලිය යළි පවත්වනු ඇත. ඒ සඳහා සහභාගි වන කණ්ඩායම් මෙතෙක් ස්ථිර කර නොමැත. ජූලි මාසයේ දී අයි.සී.සී. 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ යුරෝපා සුදුසුකම් ලැබීමේ තරගාවලිය ෆින්ලන්තයේ දී පැවැත්වෙයි. එහිදී බල්ගේරියාව බී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර ඔවුන් සමඟ ලක්සම්බර්ග්, ඔස්ට්‍රියා, සොල්වේනියා, ගුර්න්සේ තරග වැදීමට නියමිතයි.

‘මම එම තරගාවලි වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කරලා තිබෙනවා. අධ්‍යාපන කටයුතු අතරේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවී සිටිනවා. මොකද මට මාපියන් ලබා දී තිබෙන නම ප්‍රතාප-වත් ක්‍රිකට් නාමයක්. ඒ නමේ ගෞරවය රැකීම මගේ යුතුකමක්. දැනට මට ඒ නමේ ගෞරවය, අභිමානය රකින්න පුංචි හෝ අවසරයක් ලැබිලා තියෙනවා කියලා මම සිතනවා. මට ඒ ගැන ගොඩාක් සතුටුයි.’ ඔහු සංවාදය අවසන් කරද්දී අපට කියන්නට අමතක කළේ නෑ.

Comments