ත්‍රිත්ව නම කැත කළ රග්බි රණ්ඩුව | සිළුමිණ

ත්‍රිත්ව නම කැත කළ රග්බි රණ්ඩුව

 

‘රග්බි ක්‍රීඩාව පිරිමින්ගේ ක්‍රීඩාවකි. සැබෑ පිරිමියෝ නීතිරීති වලට අනුව එකිනෙකාගේ ජවය පෙන්වමින් පිටියේ එකිනෙකා ගැටී වඩාත් වේගවත්, ජවසම්පන්න කණ්ඩායම කවුරුන්දැයි නරඹන්නන්ට කියති. රග්බි ක්‍රීඩාව නිර්මාණය වී ඇත්තේ එකී ශක්තිය, ජවය, වේගය, උපක්‍රමශීලිත්වය, ගැටී, හැපී, ඇද වැටී නැගී සිටිමින් සිදු කරන නොතිත් අරගලයක් ප්‍රේක්ෂකයන් තුළ සතුටක් මෝදු කරන්නට ය. එහිදී විවිධාකාරයේ ගැටුම්, මතගැටුම් සිදුවීම වළක්වන්නට බැරි ය. එහෙත් ඒවා සමථයකට පත් කරන්නට විනිසුරුවෝ පත්කර ඇත්තේ එහෙයිනි. පැති විනිසුරුවෝ, නවීන තරග රාමු නිරීක්ෂණ තාක්ෂණය, අනතුරු හැඟවීම්, කහ කාඩ්පත්, රතු කාඩ්පත්, දඬුවම් පහර ඇතුළු විවිධ නීති රීති හඳුන්වා දී ඇත්තේ එබැවිනි. එහෙත් ඒවායෙන්ද පාලනය කළ නොහැකි ආවේගයන් ක්‍රීඩා පිටියේ මතු නොවන්නේ නොවේ. මේ මෙරට පාසල් රග්බි පිටිය කැළඹූ එවන් සිදුවීමකි. එය වඩාත් අපකීර්තිමත් සිදුවීමක් බවට පත්වූයේ මැදහත් විය යුතු විනිසුරන් පහර කෑමට පවා ලක්වන ලෙස කිපුණු ප්‍රේක්ෂකයන් මෙම තරගය සමඟ කරළියට පැමිණීමත් සමඟ ය. මේ ඒ කතාව ඇසුරෙන් ‘ක්‍රීඩා‘ පුවත්පත පළ කරන ප්‍රවෘත්ති විශේෂාංගයකි.’

පසුගිය සතියේ සෙනසුරාදා (26) පස්වරුවේ කොළඹ හැව්ලොක් පිටිය උණුසුම් විය. කොතෙක් උණුසුම්වීද යත් මහා ගාලගෝට්ටියක් බවට හැව්ලොක් පිටිය පෙරැළිණි. ඒ මහනුවර ත්‍රිත්ව හා ගල්කිස්ස ශාන්ත තෝමස් සාම්ප්‍රදායික ආර්.එස්. ද සේරම් රග්බි තරගයේ අවසානය සනිටුහන් කරමින් නළාව පිඹ විනිසුරු ජයග්‍රහණය 17/14 ක් ලෙස ශාන්ත තෝමසුවන්ට පිරිනැමීමත් සමඟ ය.

ඉන් අනතුරුව ඇරැඹුණේ සිනමා පටයක් වැනි දසුන් පෙළකි. ත්‍රිත්ව ක්‍රීඩකයෝ සිය ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව දැන සිටි මුත් අපේකෂා භංගත්වයට පත්වීමේ රතු කට්ට පැන ඇති හෙයින් වහා තරග විනිසුරු වටකර ගත් හ. සිදු වූයේ කුමක්දැයි ඔවුහු විනිසුරුගෙන් විමසූ හ. එය යම් පමණකට ගැටුම්කාරී බවක් දිස්වුණ ද පාසල් ක්‍රීඩකයන් වශයෙන් මෙන් ම රගර් ක්‍රීඩාවේ නියැළුණ ද ත්‍රිත්ව විදුහල විසින් ක්‍රීඩකත්වය මත ඇතිකර ඇති විනය කරණකොටගෙන එය ඉන් ඔබ්බට රැගෙන නොයාමට කණ්ඩායම මෙහෙයවාලන්නට ත්‍රිත්ව රග්බිනායක ෂෙහාන් කරුණානායක සමත් වූයේ ය.

‘හරි අපි මේක මෙතැනින් ඉවර කරමු.‘ යැයි තම ක්‍රීඩකයන් එකඟ කරවා ගනිමින් ඔවුහු පිටියෙන් ඉවතට රැගෙන යාමට තරම් උපේක්ෂා සහගත හැසිරීමක් ප්‍රකට කිරීමට ත්‍රිත්ව රග්බි නායකයාගේ නායකත්ව පෞරුෂය ඉදිරියෙන් තිබුණේ ය. එහෙයින් විනිසුරු වට කරගත් ක්‍රීඩකයෝ ෂෙහාන්ගේ අණට කීකරු වෙමින් හා ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාශීලිත්වය රක්ෂා කරමින් විනිසුරුගෙන් ඈත් මෑත් විය.

නර නාටකය ඇරැඹුණේ ඉන් අනතුරුව ය. පිටියෙන් නික්ම යන්නට තණතීරුව මත ඇවිද යමින් සිටි විනිසුරුවා පිටුපසින් හදිසියේ දිව පැමිණි රගර් ප්‍රේක්ෂිකාවක් සිය අත් බෑගය ඔසවා ඔහුට පහර දුන්නී ය. විනිසුරුවාට යන්තමින් වැදුණු එම පහර ඔහු ඉදිරියට තල්ලු කළේ ය. සිදුවිය හැකි ව්‍යසනය තේරුම්ගෙන ඔහුට කඩිනමින් ආරක්ෂාව සලසාලමින් පිටියෙන් ඉවතට රැගෙන යෑමට තරග ආරක්ෂකයන් ලෙස එම අවස්ථාවේ කටයුතු කළ පිරිස් ක්‍රියා කළ හ. (පසුව වාර්තා වූ ආකාරයට විනිසුරුවාට මෙලෙස පහර එල්ලකොට තිබුණේ ත්‍රිත්ව විදුහල් රග්බි කණ්ඩායමේ උපනායකයාගේ සොහොයුරිය බව හෙළිදරව් විණි.) මෙසේ ගොඩනැඟුණු ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වැඩිදියුණු වූයේ තවත් ක්‍රීඩකයකුගේ පියකු විසින් විනිසුරු අල්ලා තල්ලු කරමින් ඔහුගේ පක්ෂග්‍රාහී තීරණවලට විරෝධය පළ කිරීමත් සමඟය. එහෙත් එය වැඩිදුර රැගෙන යෑ මට ඉඩ නොදෙමින් විනිසුරුවා ආරක්ෂිතව පිටියෙන් ඉවත් කිරීමට සෙසු කණ්ඩායම සමත් විණි. කෙසේ නමුත් තමන්ට පිටියේ දී පහරදුන් බව පවසමින් නාරාහේන්පිට පොලීසියට පැමිණිලි කිරීමට විනිසුරු පසුව කටයුතු කර තිබුණු අතර එහි චූදිතයන් බවට නම් කර සිටි පුද්ගලයන් පොලීසිය හමුවට පැමිණ භාර වන ලෙසට ද ප්‍රකාශ වුණේ ය.

අවසානයේ මෙම ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් අදාළ සිදුවීම ක්ෂණික කෝපය මත සිදුවූවක් බව පිළිගනිමින් එකිනෙකාගෙන් සමාව ගෙන සිද්ධිය සමථයකට පත්කරගැනීමට එකඟ වී තිබිණි. එහෙයින් එය තවදුරටත් මෙරට අධිකරණ පද්ධතියට බරක් බවට පත්විය හැකි වූ තිබූ අනවශ්‍ය සිවිල් නඩුවක් ගොනු කිරීමෙන් නිදහස් විණි.

සිද්ධියෙන් මතු වූ කතා බස් ‘මුල ඉඳලාම විනිසුරුවා පක්ෂග්‍රාහී වුණා. අපේ ක්‍රීඩකයන්ට අවස්ථා ගණනාවක දී කහ කාඩ් පත පෙන්නුවා. ශාන්ත තෝමස් ක්‍රීඩකයන්ට දඬුවම් පහර ලබා දුන්නා. වැරැදි නැති තැන්වල වැරැදි පෙන්වලා අපිව මේ තරගයෙන් තල්ලු කරන්න කටයුතු කළා. ඉතිං අපේ ක්‍රීඩකයන්ගේ ඉවසීම බිඳුණා. අන්තිමට තරගය අවසන් කරද්දී ඔවුන් විනිසුරුගෙන් ප්‍රශ්න කළා. මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න මූලිකවම බලපෑවේ විනිසුරුවාගේ ක්‍රියා කලාපයයි.‘ මෙසේ කීවේ නම හෙළි කිරීමට අකැමැති වූ ත්‍රිත්ව

විදුහල් රග්බි ප්‍රේක්ෂකයෙකි. ‘මම කියන්නේ නෑ අපේ අය හරි දේ කළා කියලා. මෙහෙම අසාධාරණකම් සිද්ධ වුණාට අපි විනයගරුක විය යුතුයි. ඒත් අවාසනාවන්ත දෙයක් සිද්ධ වුණා. පාසලේ නමට අපකීර්තියක් එකතු වුණා.’ ඔහු එසේ ද කීවේ ය. ‘අපේ කණ්ඩායමේ නායකයා බොහොම විනයවත් ආකාරයට කටයුතු කළා කියන එක කිවිය යුතුයි. ඔහු තමයි මේ ගැටුම වැඩි දුර රැගෙන යන්න ඉඩ නොදී ප්‍රශ්නය ඔය තරමින් හරි බේරා ගත්තේ. නැත්නම් මේ ගැටුම තවත් ඔඩු දුවන්න තිබුණා. ප්‍රේක්ෂකයෝ මේ

තරමට කුපිත කළේ විනිසුරුවාගේ ක්‍රියා කලාපය තමයි.’

මේ ත්‍රිත්ව විදුහල් පිලේ පරාජය ඉදිරියේ උරණ වූ ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් එම විදුහලේ තවත් මැදහත් ප්‍රේක්ෂකයන් දැක් වූ අදහස් ය.

එය එසේ වුව ද විනිසුරු තීරණය පක්ෂග්‍රාහී වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය නොහැකි ය. ඇස් පනා පිට ඉතිහාසය පුරා විනිසුරුවෝ දැනුවත්ව හෝ අත්වැරදීමක් හෝ වැරදි සහගත තීරණ ලබාදුන් අවස්ථා එමට ය. එවැනි තීරණ හා උරණ වන එම තීරණයෙන් වින්දිතයන් වූ කණ්ඩායම තවත් ප්‍රවේගකාරී ලෙස හැසිරී තරගය කෙසේ හෝ ජය ගන්නා අවස්ථා බොහෝ අවස්ථාවල දැකගැනීමට හැකි ය. ක්‍රීඩාවේ උද්වේගකර භාවය මතුවන්නේ එවැනි සිදුවීම් ද හේතු කොටගෙන ය.

අභියෝග හමුවේ නොසැලී ඊට පිළිතුරු ලබා දීම සැබෑ පෞරුෂ ලකුණකි. උස් තැන් දැක හැකිලෙන්නේ නමුත් මිටි තැන් දැක පුප්පන්නේ දුර්වල, භින්න පෞරුෂය. විනිසුරුවා නමැති උත්තරීතර පෞරුෂයට උස්, මිටි තැන් නොමැත්තේ ඔවුන් දකින්නේ සියල්ල නීතියට අනුකූලව නිවැරැදි හා අඩුපාඩු වශයෙන් පමණක් වන හෙයිනි. එහෙත් එම අනභියෝගී අයිතියට කැලලක් එක්කර ගන්නට යම් විනිසුරුවරයෙක් කටයුතු කරන්නේ නම් ඔහුට ඉතිහාසය විසින් හිමි කර දෙන්නේ සදාකාලික අපකීර්තිය ය.

ඇතැම් විට මුදලට, වරදානයන්ට, හිතවත්කම්වලට, ඥාති සංග්‍රහය අරභයා තමන්ගේ නලා හඬ, තීරණ එක් කණ්ඩායමකට පක්ෂග්‍රාහීව ලබා දෙන්නට යම් විනිසුරුවරයෙක් කටයුතු කරන්නේ නම් ඔහුට උරුම වනුයේ අපකීර්තියේ කුණු කූඩයට වැටීමය. විනිසුරුවරයෙක් වශයෙන් තමන් එසේ විය යුතු දැයි සිතා බැලිය යුත්තේ අදාළ විනිසුරුවරයාය. එවැනි විනිසුරුවන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය ඇත්තේ විනිසුරු කමිටුවට ය.

‘ක්‍රීඩා’ වෙත වාර්තා වන ආකාරයට ත්‍රිත්ව - ශාන්ත තෝමස් තරගය විනිශ්චය කළ පෙර කී ගැටුමට මැදි වූ විනිසුරුවරයාට ප්‍රමාණවත් පළපුරුද්දක් නොතිබූ බවක් ද වාර්තා වුණේ ය. එය සත්‍යයක් නම් අතිශය තරගකාරී බවක් ගොඩනැඟෙතැයි සිතිය හැකි තරගයකට නිසි සුදුසුකම් සහිත පීඩනය කළමනාකරණය කරගත හැකි විනිසුරුවන් යොදවා ගැනීමට පාසල් රග්බි සංගමයට ද හැකියාවක් තිබිය යුතු ය. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ මෙවැනි අපකීර්තිමත් සිදුවීම් තවදුරටත් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් වාර්තා වීමය.

අප කියන්නේ මෙවැනි සිදුවීම් මඟින් ක්‍රීඩකත්වය, ක්‍රීඩා පිටියේ විනිසුරු අභිමානය, තරගයක තීන්දුව දෙස උපේක්ෂා සහගත වීමේ ප්‍රේක්ෂකයාගේ වගකීම බිඳී ගොස් ක්‍රීඩාවේ චමත්කාරය බිඳ වැටී, එහි පැවතිය යුතු විනය සුනු විසුනු වී යාමට අවකාශය නිර්මාණය වන බවය. මෙවැනි සිදුවීම් රග්බි ක්‍රීඩාවට පමණක් නොව සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය තුළටම කාන්දු වීමට ඇති ඉඩකඩ ඉහළ යන බවද කිව යුතුය. ඉන් සිදු වන්නේ ක්‍රීඩාවේ මුඛ්‍ය අරමුණ ඉරිතළා යෑමය.

මහා රැල්ලක්ව මතුව වෙරළේ හැපී, බිඳී සන්සුන්ව යළි මුහුදු දිය හා එක්වන්නා සේ අදාළ ගැටුම් දැන් සමථයකට පත්ව ගිය ද අප ඉන් උගත යුතු පාඩම් මාලාවක් ඇත. එය නොවලහා ක්‍රීඩක, විනිසුරු හා ප්‍රේක්ෂක යන ත්‍රිකෝණයම තේරුම්ගත යුතුව ඇතැයි අවසන් වශයෙන් පැවසිය යුතුය.

සාධාරණ විනය පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන් නෙරපන්න

ත්‍රිත්ව ආදි ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලීමක්

‘මේ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන්නේ ත්‍රිත්ව විද්‍යාලයට අතරමැද පන්ති වලට ආපු සිසුන් දෙදෙනෙක්. ඔවුන් තමයි මෙතැන ගැටුම උත්සන්න කරන්නේ. මේ අය ගැන වහා විනය පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට රග්බි වර්ණ පවා අහිමි කළයුතු යැයි අපි පාසල් පාලනාධිකාරයෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම මේ සිද්ධියට ගුරුවරියන් දෙදෙනෙක් හා ගුරුවරයකුත් සම්බන්ධ වුණා. මේ ගුරුවරියන් දෙදෙනා තමයි ශාන්ත තෝමස් විදුහලේ රගර් භාර ආචාර්යවරයාට දිගින් දිගටම බලපෑම් කරමින් බැණ වදින්නේ. මේ ගුරුවරුන්ගේ දරුවන් ත්‍රිත්ව රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඒත් තමුන්ගේ දරුවන් ක්‍රීඩා කළා කියලා මේ ආකාරයෙන් හැසිරෙන්න ඔවුන්ට අයිතියක් නෑ. මෙතැනදී ප්‍රේක්ෂකයන් වගේම ගුරුවරුන් වශයෙනුත් ඔවුන්ට වගකීමක් තිබෙනවා. නමුත් ඔවුන් එය අමතක කරනවා. පාසලේ කීර්තියට කළු පැල්ලම් එක්කරනවා. එහෙම නම් ඔවුන් ත්‍රිත්ව විදුහලේ ගුරුවරුන් වෙන්නේ කොහොම ද? ඒ අය ගැන සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි. තමුන්ගේ දරුවන් ගැටුම සමහන් කරගන්න පිටිය තුළ මැදිහත් වෙද්දී ඒ ගැටුම අවුස්සන අම්මලා ත්‍රිත්ව විදුහලේම ගුරුවරියන්වීම කනගාටුදායකයි. ක්‍රීඩාගාරයට යද්දී විනිසුරුට පහර දෙන්න උත්සාහ කරන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ගේ තාත්තා කෙනෙක්. ඔහු පෞද්ගලික මූල්‍ය සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක්. ඔවුන්ගේ තනතුරු මොකට ද? මේ වගේ මුග්ධ විධිහට හැසිරෙනවා නම්. අපි කියන්නේ ත්‍රිත්ව විදුහලේ නම මේ වගේ සිද්ධිවලින් කැතකරන්න දෙන්න එපා.මේ අය ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වලා ප්‍රසිද්ධියේ තීරණයක් ගන්න. ‘ ‘ක්‍රීඩා‘ වෙත අදහස් දැක් වූ ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ කීපදෙනෙක් පැවසූ හ.

----------------

විනිසුරු සංගමය නොකියාම ගිහින්

කිසියම් රග්බි තරගයක විනිශ්චය සඳහා යාමට පෙර ශ්‍රී ලංකා රග්බි සම්මේලනය දැනුවත් කිරීමේ ව්‍යවස්ථාපිත වගකීමක් විනිසුරු කමිටුව ට තිබුණ ද සම්ප්‍රදායක ත්‍රිත්ව - ශාන්ත තෝමස් තරගය විනිශ්චය සඳහා විනිසුරුවන් සහභාගි කරවීමේ දී ඒ ආකාරයෙන් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි. මේ අතර අදාළ තරගයේ දී සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් පාසල් රග්බි සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය දැනුවත් කර නැතැයි ද පැවසෙයි. ‘කොවිඩ් නීති ප්‍රකාරව මේ තරගය පැවැත්වූවා ද ? පී.සී.ආර්. පරීක්ෂණ සහිතව ද ක්‍රීඩකයෝ තරගයට කැඳෙව්වේ? මේ කිසිවක් පාසල් සංගමය හෝ තරගයට සහභාගි වූ පාසල් ප්‍රසිද්ධ කර නෑ. රග්බි සම්මේලනයට කරුණු පැහැදිලි කර නොමැති නිසා ඔවුන් මේ සිදුවීම දිහා විමසිල්ලෙන් පසුවනවා. ඉදිරියේ දී ඊට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට සිදුවේවි.’ ‘යැයි රග්බි සංගමයේ ප්‍රකාශකයෙක් ‘ක්‍රීඩා’ වෙත පැවසී ය.

-----------------

සේරම් පළිහ ශාන්ත තෝමස් විදුහලට

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වසර 4කට පසුව කැනන් ආර්. එස්. ද සේරම් පළිහ ජයග්‍රහණය කරමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

අතර පැවැති කීර්තිමත් සාම්ප්‍රදායික රග්බි හටන පසුගිය දා 17/14 ක් ලෙස හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී ජය ගැනීමට සමත් වූ හ.

තරගය ආරම්භයේ පටන් ම තියුණු ස්වභාවයක් ගත් අතර, සාන්ත තෝමස් කණ්ඩායමේ යෙහාන් ට එල්ල වූ පහරක් නිසා ත්‍රිත්ව කණ්ඩායමේ ලිත්මාල් ට කහ කාඩ්පතක් හිමි විය. ත්‍රිත්ව කණ්ඩායමට එක් ක්‍රීඩකයෙකුගේ අවාසිය සහ සාන්ත තෝමසුවන්ගේ අභියෝගය හමුවේ තරගයෙන් තරමක් පසුබැසීමකට සිදු විය. තරගයේ පළමු අර්ධය 14/10 ක් ලෙස අවසන් වූයේ ත්‍රිත්ව විදුහලට වැඩි වාසි හිමිකර දෙමිනි.

දෙවැනි අර්ධයේ දී ත්‍රිත්ව ක්‍රීඩකයන් සුපුරුදු දස්කම් දක්නට නොලැබිණි. එසේම ආදේශක ක්‍රීඩක අශේන් ගේ අනතුරුදායක වැළැක්වීමක් නිසා තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවන් තීරණය කිරීමත් සමඟ ම ත්‍රිත්ව කණ්ඩායම තවත් පීඩනයකට ලක් විය.

ශා.තෝමස් හි සඛිත් දඬුවම් පහරක් තම පිල වෙත දිනා ගනිද් දී දුනාල් එම දඬුවම් පහර උත්සාහක දිනුමක් බවට පෙරළුවේය. ඒ අනුව ලකුණු තත්ත්වය කියැවුණේ 17/14 ක් ලෙස ය.

මේ අතර ශා. තෝමස් කණ්ඩායමේ නායක ලශාන්ද්‍ර ට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙනි. කෙසේ වෙතත් ත්‍රිත්ව ආදේශක ක්‍රීඩක ලෝෂික සාන්ත තෝමස් ක්‍රීඩකයෙකුගේ හිසට පාදයෙන් පහර දෙන අයුරු සහාය විනිසුරු විසින් නිරීක්ෂණය කර තිබූ නිසා ඔහුට ද කහ කාඩ්පතක් ලබා දුන්නේ ය.

තරගයේ අවසන් මිනිත්තුවේ දී නොසන්සුන්කාරී හැසිරීම සහ විනිසුරු-වරයාගෙන් නැවත නැවතත් ප්‍රශ්න කිරීම නිසා ත්‍රිත්ව කණ්ඩායමේ තිදස් ට ද කහ කාඩ්පත හිමි විණි.

කෙසේ වෙතත් තරගය අවසන් වීමෙන් අනතුරුව ඇතැම් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ආධාරක පිරිස් විනිසුරුවන්ට පහරදීමට ද උත්සාහ ගෙන තිබීම කනගාටුවට කරුණකි. මේ නිසා තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉසුරු පෙරේරා (ප්‍රධාන විනිසුරු), ගිහාන් යටවර (පළමු සහයක විනිසුරු) සහ ප්‍රදීප් ඉන්දික (දෙවැනි සහයක විනිසුරු) නිලධාරීන් පිරිසකගේ රැකවල් මධ්‍යයේ ක්‍රීඩාංගණයෙන් ඉවතට ගිය හ. ත්‍රිත්ව විදුහල් ආධාරක ප්‍රේක්ෂිකාවක් පැමිණ විනිසුරුවාට පහර දීම සිදු කර තිබුණේ මේ අතර වාරයේ ය.

බන්ධුල ජයමාන්න

 

Comments