ශ්‍රීපාද අඩවිය අපවිත්‍ර නොකිරීමට වග බලාගන්න | සිළුමිණ

ශ්‍රීපාද අඩවිය අපවිත්‍ර නොකිරීමට වග බලාගන්න

උඩරට කඳුකරයේ සොබාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක පිහිටි ශ්‍රීපාදය වන්දනා සමය මෙවර ආරම්භ වී මාස හතරකට ආසන්න කාලයකි. මේ දිනවල ශ්‍රීපාදය වන්දනා කිරීමට ඇදී එන බැතිමතුන් නිසා මහත් පාරිසරික ගැටලුවක් පැන නැඟි ඇත්තේ තැන තැන ඉවක් බවක් නොමැතිව කැළිකසළ බැහැර කිරීම නිසායි. ශ්‍රීපාදය වන්දනාවට විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන් හැටන් - නල්ලතන්නිය මාර්ගය දෙපස නොදිරන ඝන අපද්‍රව්‍ය වන ප්ලාස්ටික් ජල බෝතල්, ලන්ච් ෂීට්, මුව ආවරණ සහ නොයෙක් වර්ගයේ නොදිරන පොලිතින් මලු ඇතුළු කැළිකසළ විශාල වශයෙන් දක්නට ලැබේ.

එසේම වන්දනා බැතිමතුන් තැනින් තැන ආහාර ගෙන ඉඳුල් අපද්‍රව්‍යද නිසි පරිදි බැහැර නොකිරීම නිසා ප්‍ර දේශය පුරා විශාල දුර්ගන්ධයක්ද හටගෙන තිබේ. නිතර වැසි සහිත කාලගුණයක් පවතින හෙයින් මෙලෙස අපද්‍රව්‍ය බැහැර කරලීම නිසා ප්‍රදේශයේ ජනතාවගේ ජල මූලාශ්‍රද අපවිත්‍ර වී ඇති හෙයින් ප්‍රදේශයේ ජනතාවද මේ පිළිබඳව බොහෝ සේ මැසිවිලි නඟති.

ඒ අතරේ එම ප්‍ර දේශවල ගැවසෙන රිලවුන්, සුනඛයන්, පූසන් මෙන්ම නොයෙක් සතුන්ද කැළිකසළ ප්‍රදේශය පුරා ඇදගෙන ගොස් දැමීම නිසා පරිසර විනාශය තවදුරටත් තීව්‍ර වී තිබේ.

ඉකුත් දිනෙක මාධ්‍යයද වාර්තා කර තිබුණේ සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් හැටන් - කොළඹ මාර්ගයේ ඉවතලන පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය යටියන්තොට ප්‍රාදේශීය සභාව විසින් දින හයක ශ්‍රමදානයක් සංවිධානය කරමින් කියුබ් 8කට වැඩි ප්‍රමාණයක් එකතු කරන ලද බවයි. එම නිසා ප්‍රදේශවාසීන් ලෙස අප ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනුයේ පරිසරය අපවිත්‍ර නොකිරීමට වගබලා ගන්නා ලෙසයි. ඉතාම සුන්දර සහ සංවේදී පරිසර කලාපයකට හිමිකම් කියන ශ්‍රීපාද අඩවිය අපවිත්‍ර නොකොට එහි සුන්දරත්වය විඳ ගනිමින් ශ්‍රීපාදය කරුණා කරන ලෙසට නැවතත් සමස්ත රටවැසියාගෙන් ඉල්ලා සිටිමු.

ජගත් රත්නායක 
යටියන්තොට

Comments