
කතරගම ඇතුළු දකුණු පළාතේ සංචාරය කරන්නන්ගේ ජනප්‍රියතම ස්ථානයක් ලෙස රිදියගම සෆාරි උද්‍යානය මේ වන විට පත්ව තිබේ. අක්කර 500කින් සමන්විතව 2016 වසරේ මැයි 28 වැනිදා ජනතාව සඳහා විවෘත කෙරුණු මෙකී සත්වෝද්‍යානය නිදැල්ලේ සැරිසරන සතුන්ගේ චර්යාවන් නිරීක්ෂණයට මෙරට පිහිටි එකම එළිමහන් සත්වෝද්‍යානයයි. පසුගියදා රිදියගම සෆාරි උද්‍යානයේ වු ඩෝරා නමැති සිංහ පැටවාගේ උපතත් සමඟ එම සත්වෝද්‍යානය පිළිබඳව ජනතාව අතර කතාබහක් ඇතිවන්නට විය. එවැනි වටපිටාවක් තුළදී රිදියගම සෆාරි උද්‍යානයෙන් පසුගිය 23 වැනිදා අසන්නට-දකින්නට ලැබුණේ අවමන් සහගත සිදුවීමකි.
ඒ ඩෝරා සිංහ පැටවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් රැකබලා ගැනීම නිසාවෙන් ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණට එහි සේවකයන් පිරිසක් පහරදීමේ පුවතයි.
ජනතාවගේ පැසසුමට සහ ආදරයට පත් රිදියගම සෆාරි උද්‍යානයෙන් වාර්තා වූ එම නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ ද දැඩි අප්‍රසාදයකි. ඉමහත් ප්‍රයත්නයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස ජනතා අයිතියට පත් කෙරුණු මේ සෆාරි උද්‍යානය යම් පිරිසක් විසින් විනාශ මුඛය කරා ගෙනයාමට හෝ තම පෞද්ගලික අභිමතාර්ථ මුඳුන්පත් කර ගැනීම වෙනුවෙන් භාවිත කරන්නේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු තුළ ඇත්තේ දැඩි කුකුසකි. සෆාරි උද්‍යානයේ සිදු වු මෙම අශෝභන සිදුවීම පිළිබඳව සිළුමිණ අපද සොයා බැලීමක් සිදු කළේය.
සිදුවී ඇත්තේ මෙවැන්නකි. ඉකුත් 23 වැනිදා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ රිදියගම සෆාරි උද්‍යානයේ ක්ෂේත්‍ර චාරිකාවකට එක්ව සිටියාය. ඇය එම ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වෙද්දී මෙකී උණුසුම්කාරි තත්ත්වය උද්ගතව ඇත්තේ එහි සේවකයන් පිරිසකගේ කලහකාරී හැසිරීමක් නිසාවෙනි.
එම සිදුවීම පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල් ෂර්මිලා රාජපක්ෂ මාධ්‍යයට කීවේ,
“එදා මම රිදියගම සෆාරි උද්‍යානයට ගියේ මට ලැබි තිබෙන බලතල අනුව හා වගකිවයුතු නිලධාරියා ලෙස එහි සිදුවන දෑ පිළිබඳව සොයා බලන්න.
ඒ අවස්ථාවේ එහි සේවක පිරිසක් මගේ ළඟට ඇවිත් කලහකාරි ලෙස හැසිරෙමින් එක්වරම මා සමඟ කතාබහ කළ යුතු බවක් කීවා. ඔවුන් මත්පැන් පානය කර සිටියේ. එහෙම පිරිසක් සමඟ මට කතා කරන්න බැහැ. මම කීවා, ‘දැන් මට ඔයාලත් එක්ක කතා කරන්න බෑ. මම වෙනත් රාජකාරියකට ආවේ කියලා මම යන්න පිටත් වුණා.“
ඇය පවසන්නේ එම අවස්ථාවේ ඇයගේ පිටුපසින් පශු වෛද්‍ය ප්‍රියසාද් ද සිටි බවයි.
“මම ඒ අයට එතරම් ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. කතා කරන්න ඕනම නම් සිහිකල්පනාවෙන් ඉන්න විටෙක දිනයක්, වෙලාවක් කියන්න කීවා. ඒ අවස්ථාවේ මගේ මඟ හරස් කරමින් විවිධ දේ කියන්න ගත්තා. මම ඒවට ප්‍රතිචාර දක්වන්නෙ නැතිව යන්න ගියා. ටික දුරක් ගොස් බලනකොට තමයි මම දැක්කෙ සේවකයෝ පශු වෛද්‍ය ප්‍රියසාද්ට වටකරගෙන පහර දෙනවා. සේවකයන් මට පැවැසූ දේවලට පිළිතුරු දුන්නේ වෛද්‍ය ප්‍රියසාද්. ඒ වෙලාවේ තමයි සේවකයෝ පශු වෛද්‍යවරයාට පහර දුන්නේ.“
තම දෙපාර්තමේන්තුවේම සේවකයන්ගේ නොමනා හැසිරීම පිළිබඳව දැඩි කලකිරුණු ස්වභාවයෙන් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කීවේ, “හිතලා බලන්න මොකද්ද මේ සේවකයන්ගේ තියෙන විනය කියලා. තමන්ගේ ආයතන ප්‍රධානියා පැමිණි විට ඒ අය හැසිරිය යුත්තේ එහෙමද? මත්පැන් පානය කරලාද කතා කරන්න එන්නෙ.“
එසේම අධ්‍යක්ෂ ජෙනරාල්වරිය රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවන බොහෝ අක්‍රමිකතා පිළිබඳව ඇයට තොරතුරු රැසක්ම ලැබී ඇති බවත් පැවැසුවාය.
“ජනාධිපතිතුමා මාව මේ තනතුරට පත්කළේ මේ ආයතනවල තියෙන අක්‍රමිකතා නැති කරලා මේවා යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියා. ඉතින් මම මේවායේ සිදුවන අක්‍රමිකතා වළකාලීමට කටයුතු කරන විට බොහෝ දෙනෙකුට ඉවසගන්න බැරිවෙලා තියෙනවා. වර්තමානය වන විට ජනධිපතිවරයා පත් කළ නිලධාරීන් බොහෝ දෙනෙක් විවිධ චෝදනා මතු කරමින් ඉවත් කිරීමට ඇතැම් දූෂිත නිලධාරීන් කටයුතු කර තිබෙනවා. එවැනි දෙයක් තමයි මටත් කිරීමට සැරැසෙන්නේ. මට විරුද්ධව සිදුකළ විමර්ශනයේ විමර්ශන වාර්තාවවත් තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ.“
සෆාරි උද්‍යාන සේවක පිරිසගෙන් පහර කෑමට ලක්වූ පශු වෛද්‍ය ප්‍රියසාද් හම්බන්තොට මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට පහර දීමට එරෙහිව තවම නිසි ලෙස නීතියද ක්‍රියාත්මක වී නොමැති බවටද අධ්‍යක්ෂ ජෙනරාල් ෂර්මිලා රාජපක්ෂ චෝදනා ස්වරූපයෙන් පැවැසූවාය.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සේවක පහර කෑමට ලක්වූ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණද මාධ්‍යයට පවසන්නට වූයේ,
“මම එන්න එනකොට මගේ උදරය ප්‍රදේශයට පහරක් එල්ල කළා. ඒත් මම පහර කාගෙනම එන විට මගේ පිටුපසින් සිටිය කෙනෙක් මගේ හිසට ප්‍රහාරයක් එල්ල කළා. ඒ අවස්ථාවේ ඒ අය හිටියේ බීමතින්. මාව දිගින් දිගටම ඒ අය එහාට මෙහාට තල්ලු කරමිනුයි පහරදීම සිදු කළේ. ඇත්තටම මම කනගාටු වෙනවා අපේම සේවකයන්ගේ හැසිරීම් විලාසය පිළිබඳව.
මෙම සිද්ධියත් සමඟ ලංකාව පුරා සිටින සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන සියලුම පශු වෛද්‍යවරුන් අසනීප නිවාඩු වාර්තා කිරිමටද පියවර ගෙන ගැනිණි. එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය එච්.එච්.ඒ.එස්.පියසිරි මෙලෙස අදහස් දැක්වීය.
“ඇමතිවරයාගේ ලේකම්ගෙන් අපි ඉල්ලා සිටින්නේ වහාම ක්‍රියාත්මක වෙලා මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්, මේ පහරදීම සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. වැරදිකරුවන් වහාම නීතිය හමුවට පමුණුවන්න කියලයි. එතෙක් අපි අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටිනවා.“
අප මේ පිළිබඳව රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයන්ගෙන්ද විමසීමක් සිදුකළේය. එහිදී ඔවුන් පවසන්නට වූයේ තම කණ්ඩායම අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ කතාබහ කිරීමට අවස්ථාවක් ඉල්ලූ බවත්, එහිදී අදාළ පශු වෛද්‍යවරයා එය වළකාලමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය දිය යුතු පිළිතුරු ඔහු ලබා දෙමින් අනවශ්‍ය ගැටුමකට මඟහසර නිර්මාණය කළ බවයි.
එහිදී අදාළ පශු වෛද්‍යවරයා සේවකයකුගේ කොළරයෙන් ඇල්ලීමත් සමඟ එය යම් උණුසුම්කාරී තත්ත්වයක් දක්වා දුරදිග ගිය බවක් ඔවුහු පවසති.
“මේ ස්ථානය මේ තත්ත්වයට ගේන්න අපි පුදුමාකාර දුකක් වින්දා. මෙතන මාලිගා ගහලා ඔක්කොම වුණාට පස්සෙයි ඔය රඟපාන අය මේකට ඇවිත් තියෙන්නේ. ඩෝරා සිංහ පැටවාට බෙහෙත් කරන්න වගේ දෙයකට විතරයි පශු වෛද්‍යවරු එතැනට යන්නේ. නැත්නම් එතකම් සත්ත්ව බාරකරුවන් තමයි මේ සියලු කාර්යන් කරන්නේ. සතාගේ හැසිරීම් රටාව දන්නේ. නමුත් ඉතින් ඩෝරා සිංහයා නිසා බොහෝ අය බැබළෙන්න උත්සාහ කරනවා. මේ සිදුවීමත් එහි තවත් එක් කොටසක් පමණක් යැයි නම්ගම් කීමට අකමැති එහි සේවකයෝ එක් හඬින් පවසන්නට වූහ.
කෙසේ වෙතත් අදාළ සේවකයන්ගේ හැසිරීම කිසි ලෙසකින් අනුමත කළ නොහැකි බවද තවත් පිරිසක් පවසති. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීම මෙන්ම ඒ ඒ පුද්ගලයන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමද සේවකයන්ගේද වගකීමකි. එම නිසා ඕනෑම සේවක ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳාලීමට සැවොම වග බලා ගත යුතු බව අපද සඳහන් කරන්නෙමු. එය ලොකු පොඩි සෑම නිලධාරියකුගේම වගකීමකි.