මහනුවර මත්කළ ජාවාරමක සුලමුල | සිළුමිණ

මහනුවර මත්කළ ජාවාරමක සුලමුල

- ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි හි සිට දිලිනි නම් තැනැත්තියක් 
- එක් වරක් පොලිසියත් රවටලා

නීති විරොධී වැඩ වලින් මුදල් උපයන බොහෝදෙනකු උපායශීලී මෙන්ම ඉතා සූක්ෂමය. පොලිස් ඇසට වැලි ගසා තම ක්‍රියාව සිදු කරන්නේ කොහොමදැයි ඔවුන් නිතර කල්පනා කරති. ඒ සඳහා සැලසුම් සකස් කරති. හොරාට ගණ දෙවි නුවණ ඇතැයි කියන්නේ මේ නිසාය. එවන් පුද්ගලයන් අල්ලා ගැනීමට නම් පොලීසිය ක්‍රියාකළ යුත්තේ ගණ දෙවියන්ගේ නුවණද අබිබවා යන පරිදිය. දීර්ඝ කාලයක් පුරා දළදා සමිඳුන් වැඩසිටින පුරවරයේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමක් සිදුවිය.

එය මෙහෙයවූවෝ විටින් විට තම උපක්‍රම වෙනස් කරමින් පොලිස් ඇසින් බේරී ජාවාරම සිදුකළේ ගණ දෙවි නුවණ පාවිච්චි කරමිනි. ඉතා සූක්ෂම ලෙස දැලක් එළා මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා සමත්විය.

ගණ දෙවි නුවණට එහා ගිය නුවණකින් සැලසුම් සකස්කර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිසට අවසානයේ නතර වන්නට සිදුවූයේ මහනුවර ගණ දෙවි කෝවිල ඉදිරිපිට කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේය. ඒ රුපියල් ලක්ෂ 196 ක වටිනාකමින් යුත් මත්කුඩු ග්රෑම් 901 ක්ද සමඟය.

ජාවාරමේ මහ මොළකාරිය දිලිනිය. ඇය මේ වනවිට මරණීය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්දගේ අනියම් බිරිය බව පොලීසිය පවසයි.

ඩුබායි රටේ සිට ඇය මෙම මත්කුඩු ජාවාරම අපූරුවට මෙහෙයවා ඇත.මහනුවර අවට ප්‍රදේශවල මත්කුඩු බෙදා හැරීම සඳහා ඇය පුද්ගලයන් පස් දෙනෙකු යොදවා තිබේ. ඔවුන් කිසිවෙකුත් එකිනෙකා නොහඳුනන ආකාරයට ජාවාරම පවත්වාගෙන යෑමට දිලිනි පියවර ගෙන ඇත. ඒ එක් අයෙකු හෝ හදිසියේ පොලිස් අත්අඩංගුවට පත් වුවහොත් ජාලයේ සියලු තොරතුරු පිටතට යාම වළක්වා ගැනීමේ අරමුණ ඇතිවය.

මත්කුඩු බෙදාහැරීමේ නිරත පුද්ගලයින් විවිධ අවස්ථාවල අත්අඩංගුවට පත්ව ඇතත් ඔහුගෙන් ලද තොරතුරු ඔස්සේ වෙනත් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී ඇත්තේ මේ නිසාය. මෙය එක් පැත්තකින් පොලීසියටද හිසරදයක් වූයේ අත්අඩංගුවට ගැනීමේ කොපමණ සිදුකළත් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරම අඛණ්ඩ ව ක්‍රියාත්මක වීම නිසාය.

මෙම මත්ද්‍රව්‍යය ජාවාරම ක්‍රියාත්මක වී තිබෙන්නේ අපූරු අකාරයටය. ඒ පිළිබඳව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතානගමගේ විස්තර කළේ මෙසේය.

‘දිලිනි ඩුබායි වල ඉඳලා දුරකතන මඟින් තමයි මේ ජාවාරම මෙහෙයවලා තියෙන්නේ. මෙයා එක්ක ඍජු සම්බන්ධතා පවත්වන පුද්ගලයින් පස් දෙනක් ඉන්නවා. ඒ අයට තවත් ගෝලයෝ ඉන්නවා. ප්‍රධාන පුද්ගලයන් පස් දෙනා ඒ අයව වෙන් වෙන්ව හඳුනන්නේ නැහැ. මහනුවර කලාප පහකට බෙදලා මේ පුද්ගලයින් පස් දෙනාට බෙදලා දීලා තියෙනවා.

දිලිනි අවශ්‍යය වෙලාවට කෝල් එකක් දීලා මත්කුඩු තියන්න ලොකේෂන් එකක් දෙනවා. හෙරෝයින් ග්රෑම් එකක් රුපියල් 20000 ක වගේ මුදලකට තමයි මේ අය ලබා දෙන්නේ.මත්කුඩු ලෝලින් අතර දිලිනිගේ නම්බරය හුවමාරු වෙනවා. මේ අය දුරකතන මගින් දිලිනිට අවශ්‍යය මත්කුඩු ප්‍රමාණය දැනුම් දුන් විට ඇය බැංකු ගිණුමක් ලබා දෙනවා. එම ගිණුමට මුදල් වැටුණු පසු දිලිනි අැගේ ප්‍රධාන ගෝලයකුට දැනුම් දෙනවා මත්කුඩු තැබිය යුතු ලොකේෂන් එක. කුණු කානු, විදුලි කණු යට, කුණු බක්කි වගේ තැන් තමයි ගොඩක් මේ අය ලොකේෂන් ලෙස පාවිච්චි කරලා තියෙන්නේ.

මත්කුඩු අදාළ ස්ථානයේ තැබූ බවට කෙටි පණිවිඩයක් දිලිනිට යැවීමෙන් පසු ඇය ඒ බව ගැණුම්කරුට දැනුම් දෙනවා. එම පුද්ගලයා මත්කුඩු අදාළ ස්ථානයෙන් ලබා ගන්නා විට ඡායාරූපයක් ගෙන එය වහා තමන් වෙත ගෙන්වා ගැනීමට ද දිලිනි ක්‍රියාකර තිබුණා. දිලිනිගේ ගෝලයෝ ඇයට ආමන්ත්‍රණය කරන්නේ මගේ වස්තුව, මගේ දෙයියෝ, මගේ පණ වගේ වචන කියමින්. මෙය උපක්‍රමයක් ලෙස ඔවුන් පාවිච්චි කර තිබුණා. යම් වෙලාවක දිලිනි අක්කේ කිව්වොත් ඇය දන්නවා ඔහු යම් කරදරේක වැටිලා කියලා. ඒ කිව්ව ගමන් ඇය ෆෝන් එක විසන්ධි කරනවා. 

අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී පොලීසියටද වැරදුණු අවස්ථා තිබිණි. ඒ මත්කුඩු මිලට ගැනීම සඳහා ගැනුම්කරුවකු මගින් කළ උත්සාහයක් වැරදීමෙනි.

රුපියල් 60,000ක මුදලක් දිලිනිගේ ගිණුමට දමා මත්කුඩු ග්රෑම් 03 ක් ලබා ගැනීමට පොලීසිය උත්සාහ කළේ ඊට අනුව ලොකේෂන් එකේ මත්කුඩු තැබීමට එන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ අදහසිනි. එසේ වුවත් මුදල් ලබා ගැනීමෙන් පසු දිලිනි ලොකේෂන් එකක් නොදී දුරකතනය විසන්ධි කර තිබේ.

පොලීසිය දියත් කළ පළමු මෙහෙයුම එසේ අසාර්ථක වෙත්දී පොලීසිය උත්සාහය අත්නොහැර තවත් පැති වලින් විමර්ශන කටයුතු ආරම්භ කළේය.

‘පොලීසියට එහිදී පොටක් පෑදුණි. දිලිනිගේ ජාලයේ සිටින ප්‍රධාන ගෝලයින් දිලිනිට හොරෙන් මත්කුඩු බෙදා හැරීම ඊෂි කෑෂ් ක්‍රමයට කරන බවට තොරතුරක් ලැබුණා. ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු මිලට ගත් තරුණයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙයියන්නේවෙල ප්‍රදේශයේ පුද්ගලයකු මත්කුඩු මිලි ග්රෑම් 7000 ක් සමඟ අත්අඩංගුවට ගත්තා.

දිලිනිගේ ප්‍රධාන ගෝලයකු වන ඔහුගෙන් ලබාගත් තොරතුරු මගින් කටුගස්තොට ප්‍රදේශයේදී ජගත් නැමැති අයකු අත්අඩංගුවට ගත්තේ මත්කුඩු මිලි ග්රෑම් 13750 ක් සමඟයි.

එයාගේ ගෝලයේ දෙදෙනෙක් මත්කුඩු මිලිග්රෑම් 160 ක් හා 275 ක් සමඟ අත්අඩංගුවට ගත්තා. දිලිනිගේ ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා සුරා. ඔහු වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ජගත් ලබාදුන් තොරතුරු මගින් සුරා අත්අඩංගුවට ගැනීමට කළ උත්සහයන් කිහිප වතාවක්ම අසාර්ථක වුණා. සුරා ගෙදර ඉන්නේ හරිම අඩුවෙන්.

මහනුවර ප්‍රධාන පෙළේ තරු හෝටල් වල තමයි එයා නතර වෙන්නේ. පුතාගේ උපන්දිනය දා මෑන් කීයට හරි ගෙදර එනවා කියලා අපි දැන ගත්තා. ඒ අනුව වැරැල්ලගම ප්‍රදේශයේ ස්ථාන දෙකක රැකවල්ලාගෙන හිටියා. පාන්දර 2.00 ට මෑන් ගෙදර ආවා කියලා මැසේජ් එක ආවා. කුඩු නැතුව සික් එක කියලා අජිත් ලව්වා සුරාට කෝල් එකක් දුන්නා. කොහෙද ඉන්නේ කියලා සුරා අජිත්ගෙන් ඇහුවා. මම උඹලගේ ගේ ළඟටම ඇවිත් ඉන්නේ කියලා මෑන් කිව්වා. හිටපන් මම බඩු ටිකක් අරන් එන්නම් කියලා සුරා බයිසිකලෙන් එනවත් එක්කම අල්ල ගත්තා.

සුරා දවසකට රුපියල් 60,000 ක විතර කුඩු බොනවා. සුරාගෙන් ලබාගත් තොරතුරු අනුව අඹතැන්නේ ප්‍රියංකර අත්අඩංගුවට ගත්තේ හෙරෝයින් ග්රෑම් 40 ක් එක්ක. මේ විදිහට ජාලයේ ප්‍රධාන පුද්ගලයන් පස්දෙනා එක්ක 19 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතානගමගේ පවසයි.

දිලිනි තමන්ගේ ගෝලයින්ට ගෙවීම් සිදුකර තිබෙන්නේ අපූරු ආකාරයටය.මත්කුඩු ග්රෑම් 01 ක් විකිණීමේදී ග්රෑම් එකකට රුපියල් 1,000 බැගින් ඇය ගෝලයින්ට ගෙවීම් කර තිබේ.

ග්රෑම් 20 ක් වික්කොත් රුපියල් 20000 කට අමතරව හෙරෝයින් මිලි ග්රෑම් 500 ක් ලැබේ.

ග්රෑම් 20 ට වඩා අලෙවි කළොත් මුදලට අමතරව ලැබෙන මත්කුඩු ප්‍රමාණය ග්රෑම් එකකි.සැකකරුවන්ගේ පවුල්වල උදවියද මත්කුඩු ජාවාරමේ නිරත වන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. ඇතැම් පිරිස් මේවන සිටින්නේ බන්ධනාගාර ගතවය. සුරාට පමණක් මත්කුඩු සම්බන්ධ නඩු 08 ක් විභාග වෙමින් තිබේ.

2019 වසරේදී විදුලි සැර වැදී මියගිය පුද්ගලයකු නමින් ගිණුමක් විවෘතකර පවත්වාගෙන ගොස් තිබෙන බව ද අනාවරණය වී ඇත.

එම ගිණුමේ රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් තිබෙන බවත් එයට මුදල් ලැබී ඇති ආකාරය අනුව ඒවා මත්කුඩු අලෙවියෙන් ලැබුණු ඒවා බවට සැක කළ හැකි බවත් පොලීසිය පවසයි.

මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවූ දිලිනිට එරෙහිව මෙරට අධිකරණ වල මත්ද්‍රව්‍යය සම්බන්ධ නඩු කිහිපයක්ම විභාග වෙමින් තිබේ.

එම නඩු විභාග වන අතරතුර ඇය ඩුබායි දේශයට පැන ගොස් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලැබ තිබීම විශේෂත්වයකි.

මහනුවර කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතානගමගේ ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක දසනායක, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන 6588 දිසානායක, 64803 කපිලරත්න, කාන්තා පොලිස් සැරයන් 3818 මංජුලා, පොලිස් කොස්තාපල්වරුන් වන 37661 වික්‍රමසිංහ, 35483 යාපා බණ්ඩාර, 74182 තරංග, 87865 කණිෂ්ක, 93406 ඒකනායක, 96319 බණ්ඩාර යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

ඡායාරූප-රුවන් මීගම්මන

Comments