බ්‍රැන්ඩික්ස් ජල මෙහෙවර අඛණ්ඩව ඉදිරියට | සිළුමිණ

බ්‍රැන්ඩික්ස් ජල මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

ලෝක ජල දිනය යෙදී තිබුණේ පසුගිය මාර්තු 22 වැනිදා ය. බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය ජලය පිළිබඳ සිය ජාතික මෙහෙවර යළි පසක් කළේ, මුළු ලෝකයේ ම අවධානය ජල සුරක්ෂිතතාව පිළිබඳ යොමු වී ඇති එවැනි පසුබිමක ය.

ඒ ඔස්සේ ජනතාවට පිරිසුදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ දේශගුණ විපර්යාස හේතුවෙන් මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම බ්‍රැන්ඩික්ස් යළි අවධාරණය කළේය. 

මීට වසර 25කට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සිය ‘මනුසත්කාර’ වැඩසටහන යටතේ 'මෙහෙවරට දියවර' ව්‍යාපෘතිය දියත් කළේ, තම සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් පිරිසුදු ජල පහසුකම් ලබා දීම සඳහා ය.

මේ වනවිට මඩකලපුවේ සිට කොග්ගල දක්වා රට පුරා 'මෙහෙවරට දියවර' ව්‍යාපෘති 4,200 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවමින්, තම සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල්වලට පිරිසුදු ජල පහසුකම් ලබා දීමට බ්‍රැන්ඩික්ස් සමත්ව සිටී.

මෙවැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල කාන්තාවන් සහ ගැහැනු දරුවන් ගේ යහපත උදෙසා අතිශයින් වැදගත් බව බ්‍රැන්ඩික්ස් සිය ක්‍රියාකාරකම් තුළින් ප්‍රායෝගිකව පෙන්වා දී තිබේ.

පිරිසුදු ජල පහසුකම් නොමැති විට බොහෝ දුර ගෙවා ඔවුන්ට ජලය රැස් කිරීම සඳහා තම කාලය කැප කිරීමට සිදුවන අතර මෙය ඔවුන්ගේ අධ්‍යාපනය ලැබීමට සහ ආර්ථික කටයුතුවල යෙදීමට පවතින ප්‍රධානතම බාධාවක් බව බ්‍රැන්ඩික්ස් තව දුරටත් පෙන්වා දී තිබේ.

‘බ්‍රැන්ඩික්ස් මනුසත්කාර’ වැඩසටහන සිය සාමාජික සාමාජිකාවන්ට පමණක් සීමා නොවී සිය කර්මාන්තශාලා ආසන්නයේ වෙසෙන ජනතාව වෙත ද ව්‍යාප්ත කිරීම සඳහා ආදර්ශ ගම්මාන වැඩසටහනක් ද බ්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාවට නංවා ඇත්තේ මෙවැනි පසුබිමක ය.

මෙමඟින් පුද්ගලයන්ට පමණක් නොව, සමාජයේ යහපත වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන පාසල්, රෝහල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ ආගමික ස්ථාන ආදිය සඳහාද යහපත සැලසේ. මේ වන විට මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් ප්‍රතිලාභ හිමි වී ඇති පිරිස මිලියනයකට අධික ය.

විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සනීපාරක්ෂාවට මුල්තැන දීමට සිදු වූ පසුගිය කාලය තුළ 'මෙහෙවරට දියවර' සහ ආදර්ශ ගම්මාන ව්‍යාපෘති තුළින් ඉටු වූ මෙහෙවර, එම ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ හිමිවූවන් ඇතුළු සියලුම දෙනාගේ ප්‍රශංසාවට ලක් විය.

මෙවර ලෝක ජල දිනය වෙනුවෙන්, තවත් 'මෙහෙවරට දියවර' ව්‍යාපෘති 87 ක් සම්පූර්ණ කර තම සාමාජික සාමාජිකාවන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට බ්‍රැන්ඩික්ස් කටයුතු කළේ ය. එමෙන්ම, බ්‍රැන්ඩික්ස් සමූහය ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර, ආදර්ශ ගම්මානවල පිහිටි පාසල් තාප්ප මත චිත්‍ර ඇඳීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවා තිබේ.

'ජලය ජීවයයි' යන තේමාව යටතේ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, ජල සම්පත සුරැකීමේ වැදගත්කම පිළිබඳව නිර්මාණශීලී ලෙස දරු පරපුරට අවබෝධ කරවීම ය. සැබැවින්ම අර්ථවත් සමාජ පරිවර්තනයක් සිදුවීමට නම්, ප්‍රජාවේ යහපත උදෙසා ජලයෙහි වැදගත්කම වටහා ගැනීම මෙන්ම, දේශගුණ විපර්යාස හමුවේ අප සතු සීමිත සම්පත් ප්‍රමාණය රැකගැනීම සඳහා තිරසාර වැඩසටහන් ක්‍රියාවට නැංවීමද අත්‍යවශ්‍ය බව බ්‍රැන්ඩික්ස් විශ්වාස කරයි. බ්‍රැන්ඩික්ස් සමූහයේ පාරිසරික තිරසාරත්ව රාමුව පදනම් වී ඇත්තේ වාතය, ජලය සහ භූමිය යන සාධක මත වන අතර, වර්තමානයේ අප ජීවත් වන ලෝකය මුහුණ දෙන සංකීර්ණ අභියෝගවලට පිළියම් සෙවීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන තිරසාර නිෂ්පාදකයකු බවට පත්වීම එහි මූලික ඉලක්කය වී තිබේ.

සම්පත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීම ඉලක්ක කරගත් බහුවිධ ප්‍රවේශයක් මේ වනවිට ක්‍රියාවට නංවා, නිරන්තරයෙන් වැඩිදියුණු කරමින් පවතින අතර, 2023 වසර වනවිට ජලය අපතේ යෑම් සහමුලින්ම නැවැත්වීමට බ්‍රැන්ඩික්ස් සමූහය කටයුතු කරමින් සිටී.

උණුසුම්කරණ, වාතාශ්‍ර සහ වායුසමීකරණ පද්ධති ආශ්‍රිත වාෂ්ප ජලය ඝනීභවනය කරන නැවත භාවිතයට ගැනීමේ වැඩසටහන මේ සඳහා අගනා උදාහරණයක් වන අතර, මෙම වැඩසටහන දැනටමත් කර්මාන්තශාලා කිහිපයක ම ක්‍රියාවට නංවා ඇත.

මේ වනවිට මඩකලපුව සහ රඹුක්කන කර්මාන්තශාලාවල ක්‍රියාත්මක කර ඇති, දියර අපද්‍රව්‍ය බැහැර කිරීම නැවැත්වීමේ වැඩසටහනට අනෙකුත් කර්මාන්තශාලා වෙතද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැසිකිළි සහ වගා කටයුතු සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය භාවිත කිරීමේ වැඩසටහනද පුළුල් කර ඇත. මේ වැඩසටහන් සියල්ල සමගින්, 2020/21 මූල්‍ය වර්ෂය තුළ ජල භාවිතාව 19% කින් අඩුකර ගැනීමට බ්‍රැන්ඩික්ස් සමූහය සමත් විය.

අනාගතයේදී මෙවැනි වැඩසටහන් වැඩි-වැඩියෙන් ක්‍රියාවට නංවමින් රටේ තිරසාරත්වයට දායක වීම සඳහා අනෙකුත් පුද්ගලයන් සහ ආයතනද දිරිගැන්වීම බ්‍රැන්ඩික්ස් සමූහයේ අපේක්ෂාවයි. එය, කර්මාන්තයකින් සහ ව්‍යාපාරයකින් ඔබ්බට ගිය ජාතික වගකීමක් සේ ඔවුහු සලකති.

Comments