පාසල් වර්ණ ප්‍රදානයන් ගමේ පාසලට අකැප ද? | සිළුමිණ

පාසල් වර්ණ ප්‍රදානයන් ගමේ පාසලට අකැප ද?

ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රගමනයන් ඇතිවන්නේ ඇගැයීම තුළිනි. මානව සම්පත් කළමනාකරණය ගැන කතා කරන අපි සියලු දෙනාම අභිප්‍රේරණයට ඉතාමත්ම කැමැතිය.

බුදුන් වහන්සේ පවා දේශනා කළේ පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් බවය. සංඝයා වහන්සේ කෙනෙක් යනු සියල්ල අත්හැරිය උතුම් චරිතයකි. එහෙත් බුදුරජාණන් වහන්සේ පවා අවධාරණය කළේ සංඝයා වහන්සේ පවා ඇගැයීමට ලක්විය යුතු බවය.

අපේ රටේ බොහෝ පිරිස් ඇගැයීමට ලක්කරන්නේ මියගිය පසුවය. එහෙත් එම ඇගැයීම් ජීවත්වන කාලයේම කළ හැකිනම් එය උතුම් කටයුත්තකි. දැනට දශක ගණනාවක සිට මෙම ඇගැයීම් ක්‍රියාවලිය ආරම්භ කළ තෝතැන්නක් වශයෙන් පාසල හැඳින්විය හැකිය. ඒ වසරක් පාසා සිදු කරන පාසල් වර්ණ ප්‍රදාන උලෙළ ඔස්සේයි.

වර්තමානයේත් දිවයිනේ ජනප්‍රියතම, උසස්තම පාසල්හි දරුවන් උදෙසා වර්ණ ප්‍රදාන උත්සවයන් සෑම වසරකම පවත්වනවා අප දැක ඇත. එහෙත් ඒවා අගනගරය ඇතුළු නගර සීමාවන්ට පමණක් සීමා වී ඇත. තවමත් ග්‍රාමීය මට්ටමේ දුෂ්කර පාසල් තුළ මෙම කටයුත්ත ආරම්භ නොවීම අභාග්‍යයකි.

ගමේ පාසලේ සිටිනා අතිදක්ෂයන් රටට හඳුන්වා දීම යුගයේ අවශ්‍යතාවකි. ඒ සඳහා මිල මුදල්ම වැය කිරීම අවශ්‍ය නොවේ. ඇගැයීමක් යනු මුදල්වලට සමාන කළ හැකි නිර්ණායකයක් බවට සිතන්නේනම් එය මිථ්‍යාවකි. අධ්‍යාපන බලධරයිනි, ඇති-හැකි පාසල්වල පමණක් නොව සෑම පාසලකම හැකි පමණින් දරුවන් අගයමින් වර්ණ ප්‍රදාන උත්සවයන් පැවැත්වීමට විධිවිධාන සලසන ලෙස දන්වා සිටිමු.

ඩබ්ලිව්. ඒ. කේ. මොහාන් 
මහවැලි සී කලාපය

 

Comments