
අප රට මේ වන විට ගත කරමින් සිටින්නේ ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක බව ජනතාවට ද රහසක් නොවේ. කාලයක් තිස්සේ ඔඩු දුවමින් තිබුණු ආර්ථික ගැටලු කොරෝනා වසංගතයත් සමඟ ටිකෙන් ටික පුපුරා යාම ආරම්භ වූ අතර එහි ප්‍රතිඵල ලෙස ජනතාවගේ පසුම්බියට දරාගත නොහැකි අයුරින් ජීවන වියදම මේ වන ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ආර්ථික ගැටලු පුපුරා යාම ආරම්භ වීමත් සමඟම ජනතාවට එදිනෙදා සිය ආහාර පිළියෙල කර ගැනීම සඳහා අවශ්‍ය ගෑස් සැපයුමද සීමාසහිත වී වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක්ද නිර්මාණය වී ඇති අතර ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාවට දින ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදු වී ඇත්තේ මතුවී ඇති ආර්ථික ව්‍යසනයේ බලපෑම කෙතරම් දැයි කියාපාමිනි. එපමණක් නොව රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම හා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මේ වන විට ජනතාවට තරු පෙනෙන අයුරින් ගෑස් මිල ඉහළ යෑමද ආරම්භ වී ඇත.
මෙරට තුළ ගෑස් වෙළෙඳාමේ නිරත ප්‍රධාන සමාගම් වන්නේ ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් වේ. ඒ අතරින් ලිට්‍රෝ සමාගම රාජ්‍ය අංශය යටතේ පාලනය වන සමාගමක් වන අතර ලාෆ් සමාගම අයත් වන්නේ පෞද්ගලික අංශයටයි. මෙරට ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය කෙරෙන ගෑස් මෙට්‍රික් ටොන් 1600 අතරින් ගෑස් මෙට්‍රික් ටොන් 1250 ක් ලිට්‍රෝ සමාගම මඟින් සපයන අතර ලාෆ් ගෑස් සමාගම මඟින් සපුරාලන ගෑස් ප්‍රමාණය දළ වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 350ක් පමණ වේ. මේ ආකාරයෙන් ගණන් බලා ඇති අන්දමට සාමාන්‍යයෙන් එක් කැලැන්ඩර් මාසයක් සඳහා මෙරට ගෑස් ඉල්ලුම මෙට්‍රික්ටොන් 48,000 ක් වන නමුත් මේ වන විට රටේ මතු වී ඇති ආර්ථික වාතාවරණය තුළ ජනතාවට අවශ්‍ය ගෑස් සැපයීම මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාළ වී ගොස් ඇත්තේ සමාගම් දෙකටම අඩුම තරමින් මෙට්‍රික්ටොන් 10,000 ක් වත් වෙළෙඳපොළ වෙත මුදාහැරීමට ගත වූ මාසයේදී හැකියාවක් නොලැබුණු බැවිනි.
කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර 2019 වසරේදී ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදු වූයේ රුපියල් 177 ක් වූ නමුත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අනුගමනය කරන ලද උපක්‍රමයක් ලෙස ඩොලරය පා කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ තීරණයත් සමඟ ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් ඇත.
මේ සටහන ලියන අවස්ථාව වන විට එලෙස ඇමරිකානු ඩොලරයක් සඳහා මහ බැංකුව විසින් ගෙවන ලද මුදල රුපියල් 282/-කි. මේ වාතාවරණය තුළ ගෑස් මෙරටට ආනයනය කිරීම සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවීමටද ගෑස් සමාගම් වෙත සිදු වී තිබේ. තත්ත්වය කෙතරම් බරපතළ වී තිබේදැයි කිවහොත් ගෑස් රැගෙන මෙරටට පැමිණි නැව් කීපයකම තිබූ ගෑස් මෙරටට ගොඩ බා ගත නොහැකිව දින ගණනාවක් මුහුදේ නැංගුරම් ලා තිබුණු අතර ඒ නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවීම සඳහාද අමතර ඩොලර් වැය කිරීමට පවා සිදු විය. මෙම ආර්ථික අර්බුදය ඉස්මතු වීමට පෙර පසුගිය වසරේදීද මෙරට වෙළෙඳපොළ තුළ ගෑස් අර්බුදයක් නිර්මාණය වූ අතර ඒ හේතුවෙන් 2020 වසර වන විට රුපියල් 1493 ක් වූ 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල ගත වූ දෙවසර තුළදී රුපියල් 2840 ක් දක්වා වැඩි වීමද විශේෂත්වයක් වේ. මෙහිදී මෙලෙස රුපියල් 2840 ක් ලෙස මිල නියම වී තිබුණේ ලාෆ් ගෑස් හී මිල වන අතර ලිට්‍රෝ ගෑස් හි මිල තවමත් දැක්වෙනුවේ රු.2675/-ක් ලෙසයි. 2003 අංක 9 දරන පාරිභෝගික ආරක්ෂණ පනතට අනුව ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර 12.5 Kg හා 5 Kg බර යටතේ වූ ගෑස් සිලින්ඩරයන් හි මිල වැඩි කිරීමට නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ලබාගත යුතු බවට නියම කර තිබුණත් ගෑස් සමාගම් අර්බුදයක් වෙත තල්ලු වී යාම වළක්වා ගැනීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගෑස් මිල ගණන් නියාමනයෙන්ද ඉවත් වුණු අතර ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම හමුවේ ගෑස් සමාගම් විසින් ඉල්ලා සිටි මිල ගණන්වලට අනුව එම ගෑස් මිල තීරණය කිරීම සඳහාද රජය විසින් අවස්ථාව ලබා දෙන ලදී. මේ වන විට ගෑස් වෙළෙඳපොළ තුළ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යම් පමණකට හෝ ගොඩ ඒම සඳහා ඇමර්කානු ඩොලරයේ මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගෑස් මිල ද වැඩි කළ යුතු බව ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් දෙකෙහිම ස්ථාවරය වී තිබුණි. කෙසේවුවත් දැනට පවතින ගෑස් හිඟය තුළද තවමත් රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක ලිට්‍රෝ ගෑස් හී මිල ගණන් වැඩි කිරීමට පියවර ගෙන නොමැති අතර ලාෆ් සමාගම නම් අලුතෙන් වෙළෙඳපොළ වෙත මුදාහැරි ගෑස් සිලින්ඩරයන්හී මිල ගණන් ඉහළ නැංවීම සඳහා කටයුතු යොදා තිබුණි. ඒ අනුව ලාෆ් සමාගම මඟින් අලෙවි කරනු ලැබූ 12.5 Kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 2840/- සිට රුපියල් 4,199/-ක් දක්වා වැඩි කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර 5 Kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680/- ක් දක්වාත් 2Kg ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 672/- දක්වාත් වශයෙන් මිල වැඩි කර තිබේ. ලාෆ් සමාගම මේ ආකාරයෙන් සිය ගෑස් මිල ඉහළ දමද්දී පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී ලිට්‍රෝ සුරැකීමේ නියෝජිතයින්ද අවධාරණය කරන ලද්දේ අවම වශයෙන් තම සමාගම මඟින් අලෙවි කරනු ලබන 12.5 Kg ගෑස් සිලින්ඩරයක් රුපියල් දෙදහසකින්වත් මිල වැඩිවිය යුතු බවයි. එසේ නොවුණහොත් තම සමාගම කඩාවැටීමකට ලක්වී මෙරට ජනතාවට අවශ්‍ය අඛණ්ඩ ගෑස් සැපයුම ලබා දීම අසීරු වනු ඇති බවත් ඔවුන් විසින් පෙන්වා කරන ලදී.
එක පිට එක මතුවූ ගැටලු, අර්බුද රැසක් මැද රටේ සමස්ත ආර්ථිකයම වේගවත් පසුබෑමකට මුහුණ දී ඇති මෙවන් අවස්ථාවක පැවති මිලට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි අගයකින් ගෑස් මිල වැඩි කිරීමට තීරණය කිරිම පිළිබඳව ලාෆ් සමාගමේ සභාපති ඩබ්. කේ. එච් වෑගපිටියගෙන් අප අදහස් විමසූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ ලෝක වෙළඳපොළ තුළ අධික ලෙස ගෑස් මිල ඉහළ යාමත් සමඟ මෙරට ගෑස් සමාගම් හි වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු සැලකිය යුතු ලෙස අඩාළ වී ඇති බවත් ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගැනීම පවා තම ආයතන වෙත දුෂ්කර කටයුත්තක් වී ඇති බවත්ය. පවතින අසීරු වාතාවරණය පිළිබඳව ජනතාව බුද්ධිමත් ලෙස තේරුම් ගත යුතු බවද කී ඔහු මේ තත්ත්වය ඉදිරියටද පැවතුණහොත් ඉදිරි කාලය තුළ ගෑස් මිල තව කොයි තරම් මුදලකින් වැඩි කිරීමට සිදුවනු ඇත්දැයි තමන් පවා නොදන්නා බවද සඳහන් කර සිටියේය.
මේ අතර එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සව සමය නිමා වන තෙක් ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට තීන්දුකර ඇතැයි ලිට්රෝ ආයතනයේ ආරංචිමාර්ග පවසයි. මේ සම්බන්ධව අප කළ විමසීමේදී පිළිතුරු ලබා දුන් එම සමාගමේ උසස් නිලධාරියකු සඳහන් කර සිටියේ පවතින දුෂ්කර වාතාවරණය තුළ අනිවාර්යයෙන් ගෑස් මිල වැඩි කිරීම සිදු කළ යුතු නමුත් ජීවන වියදම ඉතාම වේගයෙන් ඉහළ යාම හමුවේ මෙරට සමස්ත ජනතාව මේ මොහොතේ පත්ව අපහසුතාවයන් පිළිබඳව සලකා උත්සව සමය නිම වන තෙක් ගෑස් මිල වැඩි නොකිරීමට තම සමාගම කටයුතු කරනු ඇති බවයි.
මේ අතර අපහසුතා මැද වුවත් ගෑස් ආනයනයට අවශ්‍ය ඩොලර් සපයා ගනිමින් අඛණ්ඩව ගෑස් සැපයීම සිදු කිරීමටද ලිට්‍රෝ සමාගම කටයුතු යොදනු ඇත. ඒ සඳහා අවශ්‍ය සියලුම පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති අතර ලිට්‍රෝ සමාගම සතු කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන් ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළ වෙත බෙදා හැරීම පසුගිය දින කීපය පුරාම සිදුවුණු බවටද වාර්තා විය.
මෙලෙස ගෑස් සිලින්ඩර වෙළෙඳපොළ වෙත සැපයීම සිදු වුවද තවමත් ගෑස් හිගය පහව ගොස් නැති අතර රට පුරාම තවමත් ගෑස් මිලදීගැනීමට දිගු පෝලිම් දැකගත හැකියි. ගතවූ දින කීපය තුළදීද අවම වශයෙන් තවත් ගෑස් නැව් තුනක් පමණ මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර ඉදිරි දින කීපයේදීම දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළ වෙත සැපයීමට හැකි වනු ඇති බවට ලිට්‍රෝ සමාගම ගණන් හදා තිබුණි. එම තත්ත්වයත් සමඟ ඉදිරි සතිය තුළදී දිවයින පුරා තවමත් දක්නට තිබෙන ගෑස් පෝලිම් සම්පූර්ණයෙන්ම නැති වනු ඇතැයි යන්න එම සමාගමේ අපේක්ෂාව වී තිබේ.